‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු රට යළි ගොඩනැගීම සඳහා “Rebuilding Sri Lanka” නමින් අරමුදලක් ස්ථාපිත කළ බව රජය ප්‍රකාශ කළද, තොරතුරු දැනගැනීමේ ඉල්ලීම්වලට ලැබුණු නිල පිළිතුරු අනුව එම අරමුදල තවමත් නීතිමය වශයෙන් පිහිටුවා නොමැති බව පෙනී යයි. වෙබ් අඩවි සහ මාධ්‍ය නිවේදන මඟින් අරමුදල් රැස් කරමින් සිටියද, නීතිමය පදනමක් හා නිශ්චිත පරිපාලන ව්‍යුහයක් නොමැති වීම සම්බන්ධයෙන් ගැටලු රැසක් මතුව තිබේ.
මේ බව හෙළිදරව් වන්නේ බීබීසී සිංහල සේවය තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලබා ගෙන ඇති තොරතුරු මගිනි.
ශ්‍රී ලංකාව ‘දිට්වා’ සුළි කුණාටුවට මුහුණ දී මාස තුනක් ගතව තිබියදී, එම විපත්තියෙන් සිදුවූ විශාල හානි සුබිම් කරගෙන රට යළි ගොඩනැංවීම සඳහා රජය “Rebuilding Sri Lanka” නමින් නව අරමුදලක් පිහිටුවීමට පියවර ගත්තේ ය. මෙම අරමුදල හරහා දේශීය සහ විදේශීය පරිත්‍යාග එක්රැස් කර ප්‍රතිසාධන කටයුතු වේගවත් කිරීම අරමුණු කර ඇති බව ප්‍රකාශ කෙරිණි. එහි කළමනාකරණ කටයුතු සඳහා කමිටුවක් ද පත් කළ බව රජයේ මාධ්‍ය නිවේදන මඟින් සඳහන් විය.
කෙසේ වෙතත්, 2005 සිට ක්‍රියාත්මක ශ්‍රී ලංකා ව්‍යසන කළමනාකරණ පනත යටතේ ද විපත් අවස්ථාවල අරමුදල් එක්රැස් කර භාවිතා කිරීමට විශේෂ අරමුදලක් පවතින අතර, එවැනි පසුබිමක නව අරමුදලක් පිහිටුවීම සම්බන්ධයෙන් විපක්ෂයෙන් හා විවිධ පාර්ශවයන්ගෙන් විවේචන එල්ල විය. නීතිමය පදනමක් නොමැතිව අරමුදල් රැස් කරන්නේ ද යන්න සම්බන්ධයෙන්ද ප්‍රශ්න මතු විය.
මෙම වාද-විවාද අතරතුර “Rebuilding Sri Lanka” ජාතික වැඩපිළිවෙළ ජනවාරි 13 වන දින කොළඹදී ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදී. එහිදී රට යළි ගොඩනැගීම සඳහා ඒකාබද්ධ ජාතික උත්සාහයක් අවශ්‍ය බව අවධාරණය කෙරිණි.
ඒ සමඟම, මෙම අරමුදලේ නීත්‍යනුකූලභාවය, පරිපාලන ව්‍යුහය සහ අරමුදල් භාවිතය පිළිබඳ තොරතුරු ලබාගැනීම සඳහා 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ පනත යටතේ ජනාධිපති කාර්යාලය සහ මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය වෙත තොරතුරු ඉල්ලීමක් යොමු කරන ලදී.
මුලින් මුදල් අමාත්‍යාංශයෙන් ලැබුණු පිළිතුර අනුව, මෙම අරමුදල සම්බන්ධ තොරතුරු ජනාධිපති කාර්යාලයේ විෂය පථයට අයත් බව සඳහන් කරමින් එම ඉල්ලීම ජනාධිපති ලේකම් කාර්යාලයට යොමු කර තිබිණි. එමඟින් පෙනී යන්නේ මෙම අරමුදල මුදල් අමාත්‍යාංශය යටතේ නොපවතින බව ය.
පසුව ජනාධිපති කාර්යාලයෙන් ලැබුණු පිළිතුරේ සඳහන් වූයේ “Rebuilding Sri Lanka” අරමුදල ජනාධිපති ලේකම් කාර්යාලයේ පිහිටුවීමට අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතින බව ය. එනම්, එම අවස්ථාවේදී නිල වශයෙන් අරමුදලක් ස්ථාපිත වී නොතිබූ බව පෙනී යයි.
අරමුදල පිහිටුවා ඇති නීතිමය ප්‍රතිපාදන සම්බන්ධයෙන් විමසූ විට, එයට අදාළ පනත් කෙටුම්පත සකස් කරමින් පවතින බව පමණක් දන්වා ඇත. එහෙත් රජය හඳුන්වා දී ඇති www.rebuildingsrilanka.gov.lk වෙබ් අඩවියේ අරමුදල ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ පිහිටුවා ඇති බව සඳහන් කර තිබුණි. එය සහ තොරතුරු ඉල්ලීමට ලැබුණු පිළිතුරු අතර විෂමතාවක් පවතින බව මෙයින් පෙනේ.
අරමුදල විගණනය කෙරෙන ආකාරය, පරිපාලනය සඳහා සිටින සේවක සංඛ්‍යාව, වැටුප් ගෙවීම්, සහ මෙතෙක් සිදුකළ වියදම් පිළිබඳවද විමසූ නමුත්, සෑම ප්‍රශ්නයකටම ලැබුණු පිළිතුර එකම විය — අරමුදල පිහිටුවීමට අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතින බව ය.
වෙබ් අඩවියේ තොරතුරු අනුව, 2026 පෙබරවාරි 10 වන විට රුපියල් බිලියන 6.072ක් සහ ඇමෙරිකානු ඩොලර් මිලියන 10.29ක් අරමුදලට එකතු වී තිබූ බව සඳහන් විය. නමුත් තොරතුරු ඉල්ලීම සිදු කළ දිනය දක්වා එකතු වී ඇති මුදල් ප්‍රමාණය පිළිබඳ නිශ්චිත තොරතුරු ජනාධිපති කාර්යාලය විසින් ලබා දී නොතිබිණි.
අරමුදල සඳහා කළමනාකරණ කමිටුවක් පත් කර ඇති බව රජයේ මාධ්‍ය නිවේදනවල සඳහන් වුවද, තොරතුරු ඉල්ලීමට ලැබුණු පිළිතුරේ සඳහන් වූයේ කළමනාකරණ කමිටුවක් නොව, 2025 ජනවාරි 1 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව පාලක මණ්ඩලයක් පත් කර ඇති බව ය. එහි රජයේ සහ පෞද්ගලික අංශ නියෝජිතයන් ඇතුළත් වූ අතර, විශ්වාසනීයත්වය හා විනිවිදභාවය ශක්තිමත් කිරීම අරමුණ වී තිබුණි.
කෙසේ වෙතත්, එම කමිටුවේ බලතල සම්බන්ධයෙන් ද විෂමතාවක් පවතින බව පෙනී යයි. මාධ්‍ය නිවේදනයක ඔවුන්ට අරමුදල් වෙන් කිරීම සහ මුදල් නිකුත් කිරීමේ බලය හිමි බව සඳහන් වූ අතර, තොරතුරු ඉල්ලීමට ලැබුණු පිළිතුර අනුව ඔවුන්ගේ කාර්යභාරය උපාය මාර්ගික මඟපෙන්වීම හා සම්බන්ධීකරණය දක්වා සීමා කර තිබුණි.
මේ අතර, රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ ද මෙම අරමුදල සම්බන්ධයෙන් සාකච්ඡාවක් මතු විය. එහිදී නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරයා සඳහන් කළේ අරමුදල් සියල්ල DST එනම් අරමුදලට මුදල් රැස් කිරීම සඳහා රජය නිවේදනය කළ නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරයාගේ ගිණුමකට ලැබී ඇති නමුත් ඒ සඳහා නීතිමය පදනමක් සකස් වී නොමැති බව ය. කාරක සභා සභාපති හර්ෂ ද සිල්වා අවධාරණය කළේ, නීතිමය හා පාර්ලිමේන්තු අධීක්ෂණය යටතේ පැවැත්විය යුතු අරමුදල් සම්බන්ධයෙන් පැහැදිලි තීරණයක් ගත යුතු බවයි.
සමස්තයෙන්, “Rebuilding Sri Lanka” අරමුදල පිළිබඳව රජය විසින් නිකුත් කරන ලද නිල ප්‍රකාශ හා තොරතුරු දැනගැනීමේ ඉල්ලීම්වලට ලැබුණු පිළිතුරු අතර පැහැදිලි නොගැළපීම් දක්නට ලැබේ. නීතිමය පදනම, පරිපාලන ව්‍යුහය, විගණන ක්‍රියාවලිය සහ අරමුදල් භාවිතය සම්බන්ධයෙන් තවමත් පැහැදිලි බවක් නොමැතිව පවතින අතර, මහජන විශ්වාසය තහවුරු කිරීම සඳහා වැඩි විනිවිදභාවයක් සහ නිශ්චිත නීතිමය රාමුවක් අවශ්‍ය බව මෙම සිද්ධිවලින් පෙනී යයි.
(බීබීසී සිංහල සේවයේ පළ කරන ලද දීර්ඝ ලිපියකින් සකස් කරන ලදී)

