විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ දත්ත අනුව එම කොමිෂන් සභාවේ අනුමැති ලබා ගත් පෞද්ගලික විශ්වවිද්‍යාල 32ක් ඇත. එම පෞද්ගලික විශ්වවිද්‍යාල තුළින් ලබා දෙන උපාධි පාඨමාලා වර්ග 283ක් සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය ලබා දී ඇති බව පැවසේ.
2025 වර්ෂයේ ඔක්තෝබර් මස මාධ්‍ය වෙත අදහස් දක්වමින් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනවිරත්න පවසා ඇත්තේ 1000කට අධික පෞද්ගලික විශ්වවිද්‍යාල ප්‍රමාණයක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ හෝ අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතියකින් තොරව උසස් අධ්‍යාපන ආයතන පවත්වාගෙන යන බවය.
1978 අංක 16 දරන පනත යටතේ පෞද්ගලික විශ්වවිද්‍යාල හෝ උසස් අධ්‍යාපනය ලබා දෙන ආයතන විශ්වවිද්‍යාල ප්‍රතිපාන කොමිෂන් සභාවේ අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය නමුත් මේ වෙද්දී එසේ සිදු නොවෙයි.
ඕනැම අයෙකුට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂමේ අනුමැතියකින් තොරව හෝ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතියකින් තොරවම උසස් අධ්‍යාපන ආයතන ආරම්භ කළ හැකි තත්වයක් උදා වී ඇත.
කෙසේ වෙතත් 2025 වර්ෂයේ පෙබරවාරි 06 වන දින අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පවසා සිටියේ පෞද්ගලික විශ්වවිද්‍යාල නියාමනය ඉදිරියේදී සිදු කරන බවය.
ඇය පැවසුවේ අදාල නියාමනයන් සඳහා වූ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම පිළිබඳ වාර්තාවක් අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් අධ්‍යාපන අංශයේ ස්ථාපිත කමිටුවෙන් ඉල්ලා ඇති බවය.
වසර ගණනාවක් තිස්සේ ප්‍රතිපත්තියක් හෝ නියාමන ක්‍රියාවලියක් නොමැතිව පෞද්ගලික විශ්වවිද්‍යාල කියන නමින් සහ උපාධි ප්‍රදානය කරන ආයතන ලෙස විවිධ ආයතන රැසක් බිහිව ඇති බවත් මේ ක්‍රියාවලිය පිළිබඳ සොයා බැලීමක් සිදු කරන බවත් ඇය පැවසීය.
එහෙත් ඇය එම ප්‍රකාශය කර වසරක් ගත වී ගියද පෞද්ගලික විශ්වවිද්‍යාල නියාමනය කරනා ජාතික ප්‍රතිපත්තියක් හෝ ඒ පිළිබඳව කතාබහක්වත් ඇය කර නොමැත. අවස්ථා ගණනාවකදීම සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාරණ මේ පිළිබඳව පාර්ලිමේන්තුවේදී කතා කර ඇති අතර ඔහු පවසා ඇත්තේ මෙරට තුළ ආරම්භ කර ඇති පෞද්ගලික විශ්වවිද්‍යාල නියාමනය කිරීමට අවශය ප්‍රතිපාදන සකස් කළ යුතු බවය.
කෙසේ වෙතත් අප විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට යොමු කළ තොරතුරු දැනගැනීමේ අයැදුම් පත්‍රයකට පිළිතුරු ලබා දෙමින් එම කොමිෂන් සභාව පවසා ඇත්තෙ, ශ්‍රී ලංකාව තුළ කොපමණ පෞද්ගලික විශ්වවිද්‍යාල හෝ උසස් අධ්‍යාපනය ලබා දෙන ආයතන තිබේදැයි තම කොමිෂන් සභාව සතුව තොරතුරු නොමැති බවය. අදාළ ආයතනවල අයිතිකරුවන් කවුද ඒවා ආරම්භ කළේ කවදාද යන්න පිළිබඳවද තම කොමිෂන් සභාව නොදන්නා බවය.
අදාළ ආයතනවලින් එක් එක් උපාධි පාඨමාලා සඳහා සිසුන්ගෙන් අය කරනු ලබන මුදල් ප්‍රමාණය කොපමණ දැයි ිළිබඳව කොමිෂන් සභාව නොදන්නා බවත් තොරතුරු දැනගැනීමේ ඉල්ලුම් පතට පිළිතුරු ලබා දෙමින් පවසා ඇත.
කොමිෂන් සභාවේ දැනට අනුමැතිය ලබා දී ඇති ආයතනවල ප්‍රමිතිය සහ මුදල් ගෙවන සිසුන්ට ලබා දෙන අධ්‍යාපනය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වසරකට කී වතාවක් ගොස් අධීක්ෂණ කරනවාද සහ එසේ අධීක්ෂණය කර ඇත්නම් කොමිෂන් සභාවේ ප්‍රමීතීන්ට අනුකූල නොවන ආකාරයේ පෞද්ගලික අධ්‍යාපනය ලබා දෙන ආයතනවලට පියවර ගෙන ඇතිද යන්න පිළිබඳව කළ විමසීමේදී එම සභාව පවසා ඇත්තේ පෞද්ගලික විශ්වවිද්‍යාල නියාමන කිරීම යාන්ත්‍රණයක් දැනට විශ්වවිද්‍යාල කොමිෂන් සභාව සතුව නොමැති බැවින් එසේ අධීක්ෂණය නොකරන බවය.
පෞද්ගලික විශ්වවිද්‍යාල මඟින් සිසුන්ට දෙන අධ්‍යාපනයේ අඩුපාඩු සම්බන්ධයෙන් හෝ ආයතන සම්බන්ධයෙන් පසුගිය වසර 3ක කාලය තුළ විශ්වවිද්‍යාල කොමිෂන් සභාවට පැමිණිලි කිසිවක් ලැබී නොමැති බවත් කිසිදු ආයතනයක් සම්බන්ධයෙන් මේ දක්වා විමර්ශන කිසිවක් සිදු කර නොමැති බවත් කොමිෂන් සභාව සඳහන් කර ඇත. කොමිෂන් සභාවේ පිළිතුරු අනුව පෞද්ගලික විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට හෝ විමර්ශන කිරීමට කොමිෂන් සභාවට කිසිදු බලයක් නොමැති බව පැහැදිලි වේ. ඒ අනුව ප්‍රමිතියක් නොමැති අධ්‍යාපනයක් ලබා දෙමින් ඇතැම් ආයතන සිසුන්ගෙන් විශාල මුදලක් අයකරමින් සිටින බව පමණක් නිශ්චිත කරුණක් වන අතර එය නියාමනය කිරීමේ වගකීම අධ්‍යාපන අමාත්‍යවරිය අනිවාර්යයෙන්ම ගත යුතුය
රේඛා නිලුක්ෂි විසින් 20/02/26 දිනනිකුත් වූ අනිද්දා පුවත්පතට සපයන ලද ලිපියකින් උපුටා ගන්නා ලදී. සම්පූර්ණ ලිපිය සඳහා අනිද්දා බලන්න.

