මත්ද්‍රව්‍ය වැටලීමක් අතරතුර අත්අඩංගුවට ගත් පුද්ගලයකුට ලිංගික ප්‍රදේශයට ලූනු අතුල්ලමින් සහ දෑත් අප්‍රාණික වන තෙක් අමානුෂික ලෙස පහර දී වධහිංසා පැමිණවීමේ චෝදනාවට වරදකරුවන් වූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් තිදෙනෙකුට මීගමුව මහාධිකරණය මගින් වසර හත බැගින් වූ බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර තිබේ. මීගමුව මහාධිකරණ විනිසුරු කවින්ද්‍යා නානායක්කාර මහත්මිය විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලද අතර, ඒ අනුව උපපොලිස් පරීක්ෂක අසංග රමේෂ් අමරසිංහ සහ පොලිස් කොස්තාපල්වරුන් වන අරුණ දිනේෂ් හා තිළිණ උදයංග යන නිලධාරීන්ට මෙම දඬුවම් නියම විය.
මෙම සිදුවීම වාර්තා වන්නේ 2018 වසරේ නොවැම්බර් මාසයේදීය. කටුනායක ප්‍රදේශයේ පදිංචි ඇඳුම් මසන්නෙකු වන සීනි මොහොමදු නෞකර් නදීප් නැමැත්තා සිය පස් හැවිරිදි පුතු සමඟ සිටියදී අත්අඩංගුවට ගත් මෙම නිලධාරීන්, ඔහු සන්තකයේ මත්ද්‍රව්‍ය ඇතැයි පවසමින් දැඩි ලෙස ප්‍රශ්න කර තිබේ. එහිදී වින්දිතයාගේ හිසට පොලිතින් බෑගයක් දමා හුස්ම හිර කිරීම, මුගුරක් ආධාරයෙන් දෑත් බැඳ බැරල් මත තබා පහර දීම සහ ලිංගික අවයව වලට දැවිල්ල සහිත ද්‍රව්‍ය ආලේප කරමින් කෲර වධහිංසා පැමිණවීම සම්බන්ධයෙන් නඩු විභාගයේදී සාක්ෂි අනාවරණය විය.
අධිකරණ වෛද්‍ය වාර්තාවලට අනුව වින්දිතයාගේ සිරුරේ බාහිර තුවාල 11ක් නිරීක්ෂණය වී ඇති අතර, පහරදීම් හේතුවෙන් ඔහුගේ දෑත් පවා අප්‍රාණික තත්ත්වයට පත්ව තිබූ බව අධිකරණයේදී සනාථ විය. සැකකරු මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරන අවස්ථාවේදී පවා ඔහුගේ තුවාල වසා ගැනීමට බලපෑම් කර තිබූ අතර, මානව හිමිකම් කොමිසමේ මැදිහත්වීම සිදුවන තෙක් ඔහුට නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට පොලිස් නිලධාරීන් කටයුතු කර නොමැති බවද විනිසුරුවරිය සිය තීන්දුවේ පෙන්වා දුන්නාය.
පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ සාක්ෂි සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇති බව නිගමනය කළ මහාධිකරණ විනිසුරුවරිය, රාජකාරිමය බලය අවභාවිත කරමින් සිදුකළ මෙම අමානුෂික ක්‍රියාව දැඩි දෝෂදර්ශනයට ලක් කළාය. විත්තිකරුවන්ට නියම කළ සිරදඬුවමට අමතරව, වින්දිතයාට සිදුවූ අගතිය වෙනුවෙන් වන්දි ගෙවීමටද නියෝග කෙරුණු අතර, මෙය නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් විසින් සිදුකරන වධහිංසා පැමිණවීම්වලට එරෙහිව ලබාදුන් ප්‍රබල අධිකරණ තීන්දුවක් ලෙස සැලකේ.
Vajira Weerakoon ගේ සටහනකි.

