Sunday, February 8, 2026

ග්‍රාමීය සමාජයේ බල ව්‍යූහයේ ප්‍රභූ ආධිපත්‍යය දෙදරා යවන ආණ්ඩුුවේ ‘ප්‍රජා ශක්ති’ වැඩ සටහන – ජයදේව උයන්ගොඩ

ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් ආරම්භ කරනු ලැබ ඇති ‘ප්‍රජා ශක්ති: දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය’ කෙරෙහි ආණ්ඩුවේ විවේචකයන්ගේ අවධානයට යොමු වී තිබේ. ඔවුන් එම වැඩපිළිවෙළ දකින්නේ නිෂේධනීය දෘෂ්ටිකෝණයෙනි. එහෙත් එම වැඩපිළිවෙළ ගැන සාධනීය දෘෂ්ටිකෝණයකින් බැලීමටද විශාල ඉඩක් තිබේ. මේ ලිපියෙන් මා කරන්නේ, ප්‍රජාතන්ත්‍රවාදයේ සහ ප්‍රජාතන්ත්‍රවාදි ආණ්ඩුකරණයේ දෘෂ්ටිකෝණයෙන් මේ වැඩපිළිවෙළ දෙස බලමින්, ප්‍රජාතන්ත්‍රවාදය බිම් මට්ටමින්, එනම් ප්‍රජාවගේ සහ පුරවැසියන්ගේ මට්ටමින්, ගැඹුරු සහ ශක්තිමත් කිරීමට එය සතු ශක්‍යතාව හඳුනාගැනීමයි.‘ප්‍රජා ශක්ති’ වැඩසටහනේ මූලික අරමුණ,

2030 වසර වන විට, සැම ආකාරයකම දරිද්‍රතාව තුරන් කිරීම සඳහා අප රටේ මීට පෙර පැවැති ආණ්ඩුද, දැනට බලයේ සිටින ජාජබ ආණ්ඩුවද සිදු කර ඇති කැප වීම අලුතින් ක්‍රියාවට නැංවීමය. ඒ සඳහා මීට පෙර ආණ්ඩු ක්‍රියාත්මක නොකළ ආකාරයේ නව වැඩපිළිවෙළක් පසුගිය වසරේ අගෝස්තු මාසයේදී ජාජබ ආණ්ඩුව විසින් ආරම්භ කරන ලදි. එම වැඩසටහන ‘ප්‍රජා ශක්ති’ යනුවෙන් නම් කර තිබෙන්නේ එක් වැදගත් හේතුවක් නිසා බව පෙනේ. එය නම් මේ වැඩසටහන මධ්‍යම රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන එකක් වුවත්, එය බිම් මට්ටමේදී ක්‍රියාත්මක වෙද්දී, බිම් මට්ටමේ ජීවත් වන, දරිද්‍රතාවට ගොදුරු වී එයින් ගොඩ ඒමේ අපේක්ෂාවෙන් සිටින පුරවැසියන්ද, ඔවුන්ගෙන් සමන්විත ප්‍රජාවද එම ක්‍රියාවලියේ සක්‍රීය පාර්ශ්වකරුවන් බවට පත් කිරීමයි.

මේ අර්ථයෙන් බලන කල, ප්‍රජා ශක්ති වැඩසටහන වනාහි පුරවැසි/ ප්‍රජා සහභාගිත්වය ඇසුරෙන් ක්‍රියාත්මක වීමට සැලසුම් කර ඇති සහභාගිත්ව සංවර්ධන සහ සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදි ප්‍රයත්නයකි. මේ වැඩපිළිවෙළෙහි ප්‍රජාතන්ත්‍රවාදි හරය තිබෙන්නේ ‘පුරවැසි සහභාගිත්වය’ යන පදවලය. මේ කරුණ ගැන අපි ඊළඟට සාකච්ඡා කරමු.

සහභාගිත්ව සංවර්ධනයේ අවශ්‍යතාව

‘සහභාගිත්ව සංවර්ධනය’ (Participatory Development) යන සංකල්පය 1980 ගණන්වල ලෝකයේ, විශේෂයෙන් ගෝලීය දකුණේ සංවර්ධනය වන රටවල ව්‍යාප්ත වූ සංකල්පයකි. එමඟින් යෝජනා වූයේ, ආර්ථික සංවර්ධනයේ ප්‍රතිඵල සහ ප්‍රතිලාභ ආර්ථික සහ සමාජීය වශයෙන් දුබල සමාජ කණ්ඩායම් කරා අර්ථවත් ලෙස ළඟා වන්නට නම්, එම ප්‍රජාවන් සංවර්ධන ක්‍රියාවලියට සක්‍රීය ලෙස සහභාගි කරවාගැනීම අත්‍යවශ්‍ය වන බවයි. සාම්ප්‍රදායික සංවර්ධන සහ දරිද්‍රතාවට විසඳුම් සැපයීමේ ප්‍රවේශවල ප්‍රධාන ලක්ෂණය වූයේ මධ්‍යම ආණ්ඩුව විසින් සැලසුම් කරන ලද ව්‍යාපෘති දේශපාලනඥයන් සහ නිලධාරීන් විසින් උඩ සිට පහළට ක්‍රියාත්මක කරනු ලැබීමයි. ඒවායේ ප්‍රතිලාභ ලැබිය යුතු ප්‍රජාවට වෙන් කර තිබුණේ, එකී ව්‍යාපෘතිවල ප්‍රතිලාභ ස්වල්පයක් ලැබෙන තුරු නිහඬව බලා සිටීමයි. එවැනි ව්‍යාපෘති දේශපාලන සහ නිලධාරිවාදි දූෂණය නිසා අසාර්ථක වීමට හේතුව වූයේද, මේ ඉහළ සිට පහළට සංවර්ධනය සිදු කිරීම යන වැරදි ප්‍රවේශයයි.

‘සහභාගිත්ව සංවර්ධනයේ’ සහ ‘සහභාගිත්ව දුගීකම තුරන් කිරීමේ’ ප්‍රවේශයේ ප්‍රධාන ලක්ෂණය නම්, සංවර්ධන ප්‍රතිපත්තිවල ප්‍රතිලාභ ලැබිය යුතු බිම් මට්ටමේ ප්‍රජාව එම ක්‍රියාවලියේ සක්‍රීය පාර්ශ්වකරුවන් බවට පත් කිරීමයි. 1990 දශකයේදී මේ පිළිබඳ ප්‍රමුඛතම නිදසුන් දෙකක් වූයේ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පැවති වාමාංශික ප්‍රාන්ත ආණ්ඩුව යටතේ ක්‍රියාත්මක වූ සහභාගිත්ව සහ විමධ්‍යගත සංවර්ධන ප්‍රයත්නය සහ බ්‍රසීලයේ පෝර්තෝ අලිග්‍රේ (Porto Alegre) නගරයේ සහභාගිත්ව සංවර්ධන ප්‍රයත්නයයි. මේ අත්දැකීම් දෙකම ලංකාවේ දැනට ක්‍රියාත්මක වන ප්‍රජා ශක්ති වැඩසටහනට සමානය. එබැවින් ඒවා ගැන කෙටියෙන් හඳුනාගැනීම, අප රටේ දුගී බව තුරන් කිරීමේ වර්තමාන ප්‍රජා සහභාගිත්ව ක්‍රියාවලියේ වැදගත්කම අවබෝධ කරගැනීමට අපට ආධාරකාරි වනු ඇත.

කේරළයේ විමධ්‍යගත සංවර්ධන මාදිලිය

කේරළයේ විමධ්‍යගත සංවර්ධන මාදිලියේ ලංකාවටද අදාළ වන ලක්ෂණ කිහිපයක් තිබිණි. ග්‍රාමීය මටිටමින් ක්‍රියාත්මක වන සංවර්ධන වැඩසටහන්, විමධ්‍යගත සැලසුම්කරණ මූලධර්මය යටතේ ගම් මට්ටමින්ම සිදු කිරීම පළමුවැන්නයි. එය සිදු කරන ලද්දේ ගම් මට්ටමේ පංචයාත් සභා සහ පළාත් පාලන සභා මාර්ගයෙනි. ‘පංචයාත් සභා’ යනු ඉන්දියාවේ පළාත් පාලන ක්‍රමයේ ඇති, ඡන්දයෙන් තෝරාගන්නා සභිකයන්ගෙන් සමන්විත පහළම ඒකකයයි. තමන්ගේ ගමට ගැළපෙන සහ අවශ්‍ය සංවර්ධන ව්‍යාපෘති සැලසුම් කිරීම, ඒවා ක්‍රියාත්මක කිරීම, නිසි ලෙස ඒවා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සුපරීක්ෂණ කාර්යය කිරීම එම සභාවලට භාර දී තිබිණි. එහි අරමුණ වූයේ, ඉහළ සිට පහළට සිදු වන සංවර්ධන ව්‍යාපෘති වෙනුවට, ගම් මට්ටමේ ඇති මහජන සභා සහ ජනතාවගේ ඍජු සහභාගිත්වය ඇතිව සංවර්ධන ව්‍යාපෘති සැලසුම් කර, ක්‍රියාත්මක කිරීමයි. ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ප්‍රාන්ත ආණ්ඩුවෙන් සැපයිණි. සංවර්ධනය ප්‍රජාතන්ත්‍රවාදි කිරීම එහි අරමුණයි.

එහි දෙවැනි ලක්ෂණය වූයේ සංවර්ධන සැලසුම් සකස් කිරීම, ක්‍රියාත්මක කිරීම හා මොනිටර් කිරීම සඳහා කුටුම්බ ස්ත්‍රී සංවිධාන ජාලය ඇති කිරීමයි. ග්‍රාමීය සංවර්ධන ක්‍රියාවලියේ සක්‍රීය පාර්ශ්වකරුවන් ලෙස කාන්තාවන් සහභාගි කරගැනීම එහි අරමුණයි. එයද සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදයේ වැදගත් ලක්ෂණයකි.

තුන්වැනි ලක්ෂණය, ආර්ථික සංවර්ධනයට සමාන්තරව ගිය සමාජ සංවර්ධන වැඩපිළිවෙළයි. සෞඛ්‍ය, අධ්‍යාපනය, මහාමාර්ග, ගමනාගමනය යනාදි සමාජීය අංශවල වර්ධනය ආර්ථික සංවර්ධනය සමඟ සම්බන්ධ කරමින්, ආර්ථික දරිද්‍රතාව සහ සමාජීය දරිද්‍රතාව තුරන් කිරීම සඳහා ප්‍රජා සහභාගිත්වය සහතික කිරීම එහි අරමුණ විය. ඒ හා සම්බන්ධ අනෙක් ලක්ෂණය වූයේ සංවර්ධන ක්‍රියාවලියෙන් පෙරදී බැහැර කරනු ලැබූ අන්ත දරිද්‍රතාවට පත්ව සිටි මෙන්ම පීඩිත කුල, වාර්ගික සහ ගෝත්‍රික ප්‍රජාව විමධ්‍යගත සංවර්ධන ක්‍රියාවලියේ හවුල්කරුවන් සහ ප්‍රතිලාභ ලබන්නන් බවට පත් කිරීමයි. ශ්‍රී ලංකාවේ ප්‍රජා ශක්ති වැඩසටහනේ ඇති සියලු දෙනාම ඇතුළත් කරගැනීමේ මූලධර්මයෙන් මේ ලක්ෂණය අවධාරණය වේ. ශ්‍රී ලංකාවේද, අන් රටවලද දරිද්‍රතාවේ ඇති එක් සමාජීය ලක්ෂණයක් නම් සමාජයෙන් කොන් කරනු ලැබූ පුරවැසි පවුල්වලට දරිද්‍රතාව තුරන් කිරීමේ වැඩසටහන්වල විශේෂ අවධානය හිමි විය යුතුය යන්නයි.

බ්‍රසීලයේ පෝර්තෝ ඇලිග්‍රේ නගරයේ 1990 සිට ක්‍රියාත්මක කරන ලද ‘සහභාගිත්ව අයවැය සකස් කිරීම සහ වියදම් කිරීම’ නම් වූ වැඩපිළිවෙළද, නාගරික ආණ්ඩුකරණයට ඍජු මහජන සහභාගිත්වය සහතික කළ එකකි. එය ක්‍රියාවට නඟන ලද්දේ නගර සභා පාලනයට ඡන්දයෙන් පත් වූ ‘කම්කරු පක්ෂය’ විසිනි. සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය සහ ආණ්ඩුකරණය පිළිබඳ ඒ අත්හදා බැලීමෙන් සිදු වූයේ, නගර සභාවේ වාර්ෂික අයවැය ලේඛනය සකස් කිරීම සහ වියදම් ප්‍රමුඛතා තීරණය කිරීම, පුරවැසි සභාවල ඍජු සහභාගිත්වය මඟින් තීරණය කිරීමයි. එමඟින් තවත් ප්‍රජාතන්ත්‍රවාදි ආණ්ඩුකරණ කාර්යයක් සිදු විය. එය නම්, මහ නගර සභාවේ මූල්‍ය පරිපාලනය සහ මුදල් වෙන් කිරීම ඉහළ සිට පහළට සිදු වීම අත්හිටුවීමත්, නිලධාරිවාදි සහ දේශපාලන දූෂණයට ඇති අවකාශය අහෝසි කිරීමත්ය. මූල්‍ය කටයුතු පිළිබඳ තීරණ ගැනීමේ ක්‍රියාවලිය ප්‍රජාතන්ත්‍රීයකරණයට ගොනු කරන ලද්දේ, අසල්වැසි කවුන්සිලවලට රැස් වී, සාකච්ඡා කර, විවෘත ක්‍රියාවලියක් මඟින් තීරණ ගැනීමේ බලය හිමි කරදීමෙනි. ප්‍රජාතන්ත්‍රවාදය ගැඹුරු කිරීමේ පියවරක් වන්නේ සැලසුම්කරණය හා මූල්‍ය පාලනය පිළිබඳ තීරණ ගැනීමේ අයිතිය සහ බලය බිම් මට්ටමේ පුරවැසි හෝ ප්‍රජා සභාවලට ලබාදීමය යන්න මෙම අත්දැකීමෙන් ශ්‍රී ලංකාවේ අපට ලබාගත හැකි වැදගත් පාඩමකි.

‘ප්‍රජා ශක්ති’ ව්‍යාපාරය සහ ගැඹුරු ප්‍රජාතන්ත්‍රීයකරණ විභවතා

ඉහතදී අප හඳුනාගත් ඉන්දියාවේ හා බ්‍රසීලයේ අත්දැකීම් දෙකෙන්ම, ශ්‍රී ලංකාවටද අදාළ කරමින්, අපට උගත හැකි පාඩමක් නම්, ප්‍රජාතන්ත්‍රවාදය ගැඹුරු කිරීම යන ග්‍රාමීය හා ප්‍රාදේශීය මට්ටමින් ආණ්ඩුකරණය, සංවර්ධන ප්‍රමුඛතා, සමාජ සංවර්ධනය සහ ප්‍රජා සංවර්ධන ව්‍යාපෘතිවල මූල්‍ය ප්‍රතිපාදන සඳහා තීන්දු ගැනීමේ බලය බිම් මට්ටමේ ක්‍රියාත්මක වන ප්‍රජා කමිටු නැත හොත් ප්‍රජා කවුන්සිලවලට ලබාදීමයි. එය ග්‍රාමීය මට්ටමෙන් පුරවැසියන් සවිබල ගැන්වීමකි. මෙය අප රටේ ජාතික හා ප්‍රාදේශීය මෙන්ම ග්‍රාමීය මට්ටමෙන්ද පවතින නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ ඇති එක් බරපතළ අඩුවක් පිරවීමක්ද වෙයි. එය නම්, ඡන්දය ප්‍රකාශ කිරීම හැර අන් ප්‍රජාතන්ත්‍රවාදී කාර්යයන්ගේ වගකීමත් පුරවැසියන්ට ලබා නොදීමයි. පාර්ලිමේන්තුවේ සිට ප්‍රාදේශීය සභාව දක්වා ඇති නියෝජන සභාවලට නියෝජිතයන් පත් කිරීමට ඡන්දය ප්‍රකාශ කෙරෙන්නේද වර්ෂ හතරකට හෝ පහකට වරක් පමණි.

දේශපාලන න්‍යායයෙන් කියන පරිදි මෙම නියෝජන ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රමයෙන් බිහි වන්නේ ‘නිෂ්ක්‍රීය පුරවැසියන්’ය. ඊට වෙනස්ම, ඉහත අප දුටු ආකාරයේ ‘සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදී මාදිලියේ’ අරමුණ සහ වැදගත් කාර්යය වන්නේ ‘නිෂ්ක්‍රීය’ පුරවැසියන් ‘සක්‍රීය’ පුරවැසියන් බවට පත් කිරීමයි. පුරවැසියන් සම්බන්ධව තිබෙන නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ සීමා ජය ගැනීමයි. ප්‍රජා ශක්ති ව්‍යාපාරය දෙස අපට බැලිය හැකි එක් ආකාරයක් නම් ශ්‍රී ලංකාවේ පුරවැසි ප්‍රජාව, විශේෂයෙන් ආර්ථික හා සමාජීය වශයෙන් දුබල ජනතාව, සක්‍රීය පුරවැසියන් බවට පරිවර්තනය කිරීමේ ශක්‍යතාව එයට තිබෙන බව පිළිගැනීමයි.

දිළිඳු බව තුරන් කිරීම සඳහා මධ්‍යම ආණ්ඩුව විසින් සකසා ඇති ජාතික ප්‍රතිපත්තියට මඟපෙන්වන මූලධර්මයක් ලෙස අදාළ චක්‍රලේඛනයේ සඳහන් වන්නේ ‘සහභාගිත්ව ප්‍රවේශය’යි. සමාජ සහයෝගිතාව, සමාජ බලගැන්වීම, සමාජ සාධාරණත්වය, කිසිවකු අත්නොහැරීම සහ සැම දෙනාම ඇතුළත් කරගැනීම එම වැඩපිළිවෙළෙහි අනෙකුත් මූලධර්මයි. මේ මූලධර්මවලින් ප්‍රකාශ වන වැදගත් දෙයක් වන්නේ, පවත්නා සමාජ, දේශපාලන හා ආර්ථික ක්‍රමය තුළ බැහැර කරනු ලැබ ඇති පුරවැසි කොටස්වලට දුගී බව තුරන් කිරීමේ ක්‍රියාවලියේ පාර්ශ්වකරුවන් බවට පත් කිරීමට ඇති අභිලාෂයයි.

එය එම ජනතාවට ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදි අයිතීන් සහතික වන අතරම, ග්‍රාමීය මට්ටමේ ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රියාවලියද සක්‍රීය වශයෙන් සමාජීය වශයෙන් සාකල්‍යවාදි කිරීමෙහි දැක්මකි. ග්‍රාමීය සමාජයේ දේශපාලනය සහ බලසම්බන්ධතා පිළිබඳ අපට නිරතුරුව කළ හැකි නිරීක්ෂණයක් නම්, එම බලය ගමෙහි ඉඩම් හිමි හෝ ධන හිමි සුළුතරයක් අතර කේන්ද්‍රගත වී ඇත යන්නයි. ප්‍රධාන ධාරාවේ දේශපාලන ආයතනයක් වන පළාත් පාලන ව්‍යූහයට අයත් පළාත් පාලන ආයතන සම්බන්ධයෙන්ද මේ නිරීක්ෂණය කළ හැකිය. ‘ප්‍රජා ශක්ති’ වැඩසටහන නිසි පරිදි ක්‍රියාත්මක වී සමාජය තුළ මුල්බැසගත හොත්, එහි අනිවාර්ය සමාජ හා දේශපාලන ප්‍රතිඵලය වනු ඇත්තේ, ග්‍රාමීය සමාජයේ බල ව්‍යූහයේ ප්‍රභූ ආධිපත්‍යය දෙදරා යෑමයි; දුගී සහ සාමාන්‍ය ජනතාව බල සහිත කරන, විකල්ප බල ව්‍යූහයන් ගම් මට්ටමෙන් බිහි වීමයි. ‘ප්‍රජා ශක්ති’ වනාහි අප රටේ සැම දිස්ත්‍රික්කයකම ‘ග්‍රාමීය ප්‍රජාතන්ත්‍රවාදය’ බිහි කිරීම උදෙසා මඟපාදන මැදිහත් වීමක් වන්නේ නම්, අප පුදුම විය යුතු නැත. එය බිම් සහ ගම් මට්ටමෙන් ප්‍රජාතන්ත්‍රවාදයට නව ප්‍රාණයක්ද, නව ස්වරූපයක්ද ලබා දීමට සමත් වනු ඇත. මන්ද යත්: ගමේ බල ව්‍යූහය ඇති-හැකි සුළුතරයෙන් නැති-බැරි සුළුතරයට මාරු වීමේ හැකියාව එහි තිබෙන නිසාය.

‘ප්‍රජා ශක්ති’ පිළිබඳ චක්‍රලේඛනයේ තවදුරටත් ප්‍රකාශ වන පරිදි, දිළිඳුකම තුරන් කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා මහජන කේන්ද්‍රීය සංවිධාන ව්‍යූහයක් ක්‍රියාත්මක කෙරෙනු ඇත. ග්‍රාමීය මට්ටමෙන් සංවර්ධන යෝජනා සකස් කෙරෙන බව ප්‍රකාශ වන්නේ මහජන සහභාගිත්වය ඇසුරෙනි. මෙය බිම් මට්ටමෙන් සිදු වන ‘ප්‍රජා සහභාගිත්ව සැලසුම්කරණය’ ලෙස හැඳින්විය හැකිය. සංවර්ධන යෝජනා හඳුනාගනු ලැබෙන්නේ ජනතාව පෙළගැස්වීමෙනි. ‘ප්‍රජා සංවර්ධන සභාව’ මේ ක්‍රියාවලිය තුළ තිබෙන වැදගත් ආයතනයකි. එය ක්‍රියාත්මක කරනු ලබන්නේ ප්‍රජාව විසින්මය. සංවර්ධන යෝජනා හඳුනාගැනීම, ඒවා ප්‍රමුඛතාගත කිරීම සහ ක්‍රියාත්මක කිරීමේදී අධීක්ෂණය කිරීම මේ ප්‍රජා සංවර්ධන සභාවල වගකීමයි.

ග්‍රාමීය ප්‍රජාතන්ත්‍රවාදය තවත් ශක්තිමත් කිරීමට

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ ඇති තවත් අඩුපාඩුවක් වන්නේ මහජන නියෝජන ආයතන වශයෙන් පළාත් පාලන ආයතන සතු කාර්යය සිදු කිරීමට ඒවාට ඉඩ නොලැබීමයි. මූල්‍ය සම්පත් හිඟකම, නිලධාරි අකාර්යක්ෂමතාව, මහජන නියෝජිතයන්ගේ උකටලී බව සහ දේශපාලන මෙන්ම නිලධාරි දූෂණය ඒ තත්ත්වයට තුඩු දී ඇති සාධකයි. න්‍යායික වශයෙන් බලන්නේ නම්, මධ්‍යම රජයට වඩා ජනතාවට කිට්ටුවෙන් තිබෙන්නේ පළාත් පාලන ආයතනයි. පුරවැසියන්ගේ දෛනික ජීවිතයට ඒවායින් සිදු වන්නේ වැදගත් වැඩ කොටසකි. එහෙත් ආයතනික බිඳවැටීමේ ඉරණමට පත් වී තිබෙන හෙයින්, පළාත් පාලන ආයතනවලට නව ජීවයක් ලැබිය යුතුව තිබේ. බිම් මට්ටමෙන් ප්‍රජාව බලමුළු ගන්වන ප්‍රජා ශක්ති ව්‍යාපාරය හා පළාත් පාලන ආයතන අතර, විශේෂයෙන් ප්‍රාදේශීය සභා, නගර සභා සහ ප්‍රජා ශක්ති කමිටු අතර සම්බන්ධයක් ගොඩනැඟීම ඒ සඳහා ප්‍රයෝජනවත් වනු ඇත. පළාත් පාලන ආයතනවලට ඡන්දයෙන් පත් වී ඇති නියෝජිතයන්, ග්‍රාමීය මට්ටමේ දේශපාලන හා සමාජ ක්‍රියාකාරීන් සහ ප්‍රජා සංවර්ධන සභා අතර සංවාදයක් සහ සහයෝගිතාව ගොඩනැඟීම, ග්‍රාමීය දිළිඳුකම තුරන් කිරීමේ නව ප්‍රජා ශක්ති ප්‍රයත්නය ග්‍රාමීය මට්ටමෙන් පුළුල් දේශපාලන සහභාගිත්වය තහවුරු වීමට දායක වීමට ඇති ඉඩකඩ බොහෝය.

මේ අතර, ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රජාතන්ත්‍රවාදයේ ඇති ඉතා වැදගත් සහ තවමත් නොසලකා හරිනු ලැබීමට ලක්වී ඇති සංවිධාන ව්‍යූහයක් නම් ස්වේච්ඡා පුරවැසි සංවිධානයි. ආණ්ඩුවෙන් සිදු නොවන බොහෝ සුභසාධන වැඩ සහ අසරණ ජනතාවට සරණ වීම, මරණාධාර සමිති ඇතුළු මෙවැනි පුරවැසි සමිති වෙතින් සිදු වේ. බිම් මට්ටමේ පුරවැසියන්ට ප්‍රජාතන්ත්‍රවාදි ජීවන ක්‍රමයේ මූලධර්ම සහ ආචාරධර්ම ගැන මුල් පාඩම් ලැබෙන්නේ මේ ස්වේච්ඡා පුරවැසි සංවිධානවල සාමාජිකත්වය සහ තනතුරු මාර්ගයෙනි. ‘පරාර්ථය’ සිය ආදර්ශ පාඨය කරගත් එම ස්වේච්ඡා සංවිධාන, දිළිඳුකම නැති කිරීමට ග්‍රාමීය මට්ටමෙන් ප්‍රයෝජනවත් වන වැඩසටහන් හඳුනාගැනීමට, සැලසුම් සකස් කිරීමට සහ පුරවැසියන් මෙහෙයවීමට හවුල් කර ගත හැකි වනු ඇත. එවිට ප්‍රජා සංවර්ධන සභාවලට ගමේ අනෙකුත් ප්‍රජාතන්ත්‍රීය සංවිධාන සමග ඓන්ද්‍රීය සම්බන්ධයක්ද ගොඩනඟාගත හැකි වනු ඇත. ප්‍රජා සංවර්ධන සභා ග්‍රාමීය සමාජය තුළ හුදෙකලා නොවීමටද එම සම්බන්ධතා උපකාරි වනු ඇත.

අවසාන වශයෙන් කිව යුත්තේ, පසුගිය වසරේ ආරම්භ කර ඇති ‘ප්‍රජා ශක්ති’ වැඩසටහන ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදි ආණ්ඩුකරණයේත්, දරිද්‍රතාව අවසන් කිරීම ඉලක්ක කරගත් ප්‍රජා සංවර්ධන න්‍යාය පත්‍රයේත් ඇති ප්‍රජාතන්ත්‍රීය ශක්‍යතාව ශක්තිමත් කිරීමට තුඩු දෙන ප්‍රයත්නයක්ය යන්නයි. එයට එල්ල විය හැකි විවිධ විවේචනවලට දිය හැකි එක් ප්‍රබල පිළිතුරක් වන්නේ, එම ව්‍යාපාරය ආරම්භ කර ඇති ආර්ථික හා සමාජීය ප්‍රජාතන්ත්‍රවාදීකරණ මැදිහත් වීම අවධාරණය කිරීමයි. එය පුරවැසි සහභාගිත්ව සංවර්ධනය මඟින් බිම් මට්ටමෙහි ආර්ථික සමානාත්මතාව සහ සමාජ සාධාරණත්වය සහතික කිරීමට කැප වී තිබෙන, නියෝජන ප්‍රජාතන්ත්‍රවාදි සීමා ඉක්මවා යා හැකි පුරවැසි කේන්ද්‍රීය සහ වැදගත් ජනතාවාදී සහ ප්‍රජාවාදී ප්‍රජාතන්ත්‍රවාදීකරණ ශ්‍රී ලංකාවේ ආණ්ඩුවලට අලුත් අත්හදා බැලීමකි.

එසේ වුවත්, සිවිල් සමාජ සංවිධාන විසින් මෙවැනි ප්‍රයත්න දශක ගණනාවකට පෙර පටන් ගැනීමෙහි ඉතිහාසයක්ද අප රටෙහි තිබෙන බවද අප මතක් කරගත යුතුය.

( උපුටා ගැනීම සිළුමිණ පුවත්පතිනි.)

Archive

Latest news

Related news