Friday, January 23, 2026

කනිෂ්ඨ පාරින්ද රණසිංහ කදෝ පැණියක් මිස Free Lawyers අහින දකින පරිදි යුක්තියේ හා ස්වාධීනත්වයේ භාරකරුවෙක් නම් නොවේ.- මංජුල ගජනායක

නෛසර්ගික සාධාරණත්වය හමුවේ පාරින්ද රණසිංහ (කනිෂ්ඨ) යහපත් පූර්වාදර්ශයක්ද?

නීතිපතිගේ භූමිකාව හා පිළිතුරු අහිමි විරෝධාභාෂ

අදවන විට ශ්රී ලංකා ජනරජයේ නීතිපති පාරින්ද රණසිංහ (කනිෂ්ඨ) වටා නිර්මාණය වී ඇති කලිකලහය වරෙක සංවේගජනකය. තවත් වරෙක ඒ.වී. ඩිසේ, ලොන් ෆුලර් වැන්නන් ද සිහිකරවන්නේය. ඔවුන් දෙදෙනා පුරෝගාමිත්වය දරන්නේ නීතියේ ආධිපත්යය හා සබැඳි විෂය ක්ෂේත්රයක් වෙනුවෙනි. මෙය දුහුනන් තම අධ්යයන පරාසය තුළ ඉගෙනීම අරඹන්නේ ”Rule of Law vs. Rule by Law” මැයෙනි. සැබවින්ම අද්යතන ලෝකයේ Attorney General යන නාම මාත්රය කෙරෙහි ඉතා අල්පතර පිරිසක් අපේක්ෂා කරන්නා සේ බහුමානීය හෝ නිසඟ ගෞරවය මුසු බැඳීමක් ජනිත නොකරන්නේය. එහි සම්ප්රදායික මුහුණුවර හා වර්තමාන පර්යාලෝකනයන් අතර ඇත්තේ අහසට පොළොව තරම් වූ පරතරයකි. මෙවැනි පසුබිමක නීතිපති දෙස සඳුන් කපුරු පුදන ගම්පෙරළියේ හිරිගල් දේවාලය වෙත ඇති ආලම්භනය හා සම බැතිමත් බවක් පළ කෙරුම කාලීනත්වයට පසුපස හැරවිමකි. එහෙත් එපමණකින් නීතිපති හුදු සාමාන්ය රජයේ සේවකයෙකුගේ ස්වරූපයෙන් සළකා සිදුකරන නිග්රහයන්ද නොහොබී. මෙකී පසුබිම මත්තේ පැහැදිළි වන්නේ කොළඹ කේන්ද්රීය දැනුම්වත් සමාජය නීතිපති අරඹයා වන විවාදයෙහි යම් විරෝධාභාෂයක් නියෝජනය කරන්නේය යන්නයි. එබැවින් මෙම අදහස් දැක්වීම මඟින් පැහැදිළි කරනු ලබන්නේ වර්තමාන රාජ්යකරණය තුළ නීතිපති ස්ථානගතව ඇත්තේ කවර දිසාවකද යන්න හා පුරවැසි සමාජයට ඔහු කෙතරම් අවැසි තැනැත්තෙක් ද යන්නයි.

නීතිපති යනු කවුද? කුමක්ද?

නීතිපති පිළිබඳව වූ ප්රාචීන විවරණගත පැහැදිළි කිරීම් මඟහැර කියවන සැමගේ ප්රතිලාභය උදෙසා ඔහු කවුදැයි හැඳින්විය හැකි ප්රවේශයක් එරික් හෝල්ඩර් විසින් ලබාදී ඇත්තේය. ඔහු ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු නීතිපතිවරයෙකි. මාධ්ය වාර්තාකාර සමාජයෙන් වරෙක අඛණ්ඩව නැගුනු ප්රශ්ණ මාලාවක් මඟහැර යමින් ඔහු මෙවදන් පැවසීය.

“I’m the Attorney General, not a magician.”

මෙය ලොව කවර නීතියේ ආධිපත්යය කෙරෙහි රුචිකත්වයක් හා බැඳීමක් ඇති රටකදී වුව ඇසිය හැකි යමකි. නීතිපති මැජික් පෙන්වන්නට ගියහොත් අපට ආසන්න වශයෙන් එළඹෙන ගැටළු ද්විත්වයක් පිළිබඳව අනුමාන කල හැකිය. පළමුවැන්න එසේ වුවහොත් රටේ නීතිඥ ප්රජාවේ සාමාජිකයන් හට නඩු නැතිව යන්නේය (එක්කෝ තියෙන නඩු වාර ගණන කොට වන්නේය). අනෙක් කරුණ නම් රාජ්යකරණය යනු නීතිය ම නොවීමයි. දේශපාලන අධිකාරිය වෙත ලැබෙන නිලවරමේ (Mandate) දිගට හා පළලට සරිලන සේ නීතිපති ධූරය ද විස්ථාපනය විය යුතු වීම නවීන ලිබරල් සම්ප්රදායේ සාමාන්ය පරිපාටියයි. එහෙත් අද පාරින්ද රණසිංහ (කනිෂ්ඨ) වටා භ්රමණය වන්නේ එහි අනෙක් අන්තයයි. එනම් අසහාය නිලවරමක් ඔස්සේ බලය ලත් ආණ්ඩුවක ප්රගතිශීලි ප්රතිඥා ආපසු හරවන ලීවරය ඔහු බවයි. කරුණු එසේනම් එය මඳක් දෙබැම රැළි නංවන ආකාරයේ උඩුගං බලා පිහිනීමකි. එසේත් නැත්නම් හරාකිරි කරගැනීමකි. එහෙත් පෙනෙන්නට ඇත්තේ හරාකිරි කරගැනීම හෙවත් බඩට පිහියෙන් ඇන ගන්නට සිදුවනු ඇත්තේ ජාතික ජනබලවේග ආණ්ඩුවට බවයි. හේතුව නීතිපතිවරයාගේ භූමිකාව කෙරෙහි වත්මන් ආණ්ඩුවෙහි හැසිරීම පිළිඹිඹු කරන්නේ ගුප්ත හා වරදකාරී මානයකි.

ශ්රී ලංකාව අතිශය ප්රසාරණයට පත්කරන ලද රාජ්ය සේවයක් හිමි රටකි. එතෙකුදු වුවත් එකී සමස්ත රාජ්ය සේවය අභියස නීති උපදේශකවරයා නීතිපතිය. මෙරටේ අපරාධ නඩු පරිපාටිය පරිපාලනය කිරීම අභියස ඔහු සතු බලය සුවිශාලය. එබැවින් ශ්රී ලංකා නීතිඥ සංගමය තම නවතම පුවත්පත් නිවේදනයේ සඳහන් කල එක් කරුණක් සත්යයය. එනම් ඔවුන් අවධාරණය කල අර්ධ විනිශ්චයමය බලතල ඔහු වෙත ලැබෙන්නේ මිට කලකට පෙරය. ඒ වසර 1978 සම්මත කල අංක 02 දරන විනිශ්චයක පනත මඟිනි. ඔහු වෙත වර්තමානයෙහි එල්ලවී ඇති මහජන අප්රසාදය ඉලක්ක වී ඇත්තේ ඉහළ උසාවියෙහි ප්රමුඛ අභිචෝදනා මෙහෙයවන්නා ලෙස ඔහු තමන් සතු බලය අසාධාරණ ජනතා අපේක්ෂාවන්ට එපිටින් තබා පටු රුචිඅරුචිකම් මත්තේ තබා ක්රියා කළේය යන නිගමනය ඔස්සේය. එය නීතිය හමුවේ අභියෝගයට ලක්කිරීම එතරම් පහසු නැති, එහෙත් පුරවැසි සමාජයේ යම් පිරිසක් දැඩි කුතුහලයට හා කෝපයට පත්කරන හේතුවකි. එවැනි හේතුවක් සහේතුක වුවද, ඉදිරියට ගෙනයෑම නම් එවරස්ට් කඳු ශිඛරය නැගීමක් හා සමය. එහිලා පැනනැගිය හැකි ප්රබලතම ප්රතිවිරෝධය වනු ඇත්තේ නීතිය තුළම පවත්නා පිළිගත් සම්ප්රදායන්ය. යම් නඩුකරයකදී චූදිතයෙක් නිදහස් කිරීම හා සබැඳි පෙර නිදහස් කිරීමේ මූලධර්ම සුරක්ෂා කිරීම (Autrefois Acquit) මෙන්ම සාමාන්යයෙන් නීතිපතිවරයෙක් සතුව පවත්නා ස්වාධීන අභිමතය (Prosecutorial Discretion) යන කරුණු මෙවැනි අවස්ථාවකදී පෙරට දැමිය හැකි නොවරදින නෛතික මාත්රාවන්ය. මේ සැමටම ඉහළින් පවත්නා අනෙක් කරුණ නම් තමන්ට එරෙහිව පැණෙන කවර හෝ චෝදනාවක් අභියස ගොරක දඩමස් කිරීමට ශ්රී ලංකා පොලීසියට පමණක් නොව පමණක් නොව නීතිපති දෙපාර්තමේන්තුව මෙන්ම සමහර ජනාධිපති නීතිඥයන්ට පවා මෙරටේ අසමාන හැකියාවක් පවතින බවට වන පැළපදියම් වූ මතවාදයයි. ඊට බලපෑ සමහර ප්රත්යක්ෂ සිද්ධීන් බොහොමයක් පැවතියද එකී සිද්ධීන් අන්තර්ගත කිරීම තුළ මෙම ලිපිය තවත් දිගු කිරීම කියවන ඔබට සිදුකරන අගතියක් විය හැකිය.

ජාඩියට මූඩිය සේ සැසඳෙන දෙජාතියක්

ඉහත අවසන් කරුණ ඉතා නිවැරදිව පෙරදැකුම් සහිතව දුටු තැනැත්තා ද වත්මන් නීතිපතිමය. ඔහු බැහැදකිමින් නීතිපතිවරයාගේ ස්වාධීනත්වය පිළිබඳව කරුණු අවධාරණය කල Free Lawyers නම් අදිසි එකමුතුව වෙත ඔහු දුන් පිළිවදන් මෙබැව් සනාථ කරනු ලබන්නේය (ඔවුන් නමින් පමණක් Free වන අතර එහි අත්වැල් බැඳගත් බහුතරය පූර්ව දේශපාලන ස්වාමීන් වෙතින් වරදාන ලත් පිරිසක් පමණි). නීතිපතිවරයා එහිදී පැවසුවේ තමන් කෙරෙහි යම් සැකයක් ඇත්තෝ වෙත්නම් ඔවුන් හට ඉහළ උසාවි වෙත ප්රවේශ විය හැකි බවයි. ශ්රී ලංකාවේ යුක්තිය වෙත ප්රවේශ වීම යනු ගිනිකන හා කාලය ද කාබාසිනියා කරන යමක් මිස අනෙකක් නොවේ. එවන් අයුක්තිසහගත සමාජ පසුබිමක තම සුමිතුරු නීතිඥ ප්රජාව අභියස එවැනි ප්රකාශයක් කිරීමට පළමු නීතිපතිවරයා සහ ඔහුගේ දෙපාර්තමේන්තුවට කල හැකි යමක් ඇත්තේය. එනම් මෙලෙස ක්රමක්රමයෙන් විසල් සමාජ තීරුවක් තමන් වෙත එල්ල කරන චෝදනා අභිමුව තම නෛතික හා පරිපාටිගත ස්ථාවරය දක්වා යම් කරුණු පැහැදිලි කිරීමක් කිරීමයි. එහෙත් එවැන්නක් වුව නොකරන්නේ නීතිපති දෙපාර්තමේන්තුව තවමත් පූර්ව මහන්තත්වය මිශ්රිත පොල්මක්කාර සිතිවිල්ලේ ගැලී සිටින බැවිනි.

කෙසේවෙතත් වර්තමාන නීතිපතිවරයාගේ ස්වරූපය ඕලන්ද පාලනය හා සබැඳි Advocate -Fiscal නම් වූ ධූරය දක්වා වූ ඉතිහාසයක් නියෝජනය කරයි. එය පසුකාලීනව මහරැජිනගේ අද්වකාත් ලෙස එනම් Queens Advocate ලෙස පරිණාමය විය. කෙසේවෙතත් මෙකී ඉතිහාසය පිරික්සීමේදී පැහැදිලි වන එක් කරුණක් ඇත. එනම් එම ධූරය සඳහා වන නිසි සැළකීම ලැබීමට උදක්ම හේතුවී ඇත්තේ ඒ වටා ගොඩනැඟුණු බලය ම නොවීමයි. කලින්කලට එය උසුලන්නා සතුව පැවති අදීන පෞරුෂය හා රජයේ උපදේශකත්වය දැරීමේදී පළකළ ස්වීය හැකියාව එහිදී ප්රමුඛ විය.

ගස් නැති රටේ නීතිපති දෙපාර්තමේන්තුව එඬරු ගසක් වීම

එහෙත් අද්යතන ශ්රී ලංකාවේ කිසිදු ක්ෂේත්රයක ආදර්ශවත් චරිත දක්නට නොලැබීම නීතිපති දෙපාර්තමේන්තුවට ද පොදුය. එහි මෑත කාලීන නිදසුන නම් සංජය රාජරත්න නම් නීතිපතිවරයාය. ඔහු ඇදහිය නොහැකි ආකාරයේ නැමියාවක් හා ස්වාමි භක්තියක් ඔස්සේ හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහත්මා වෙත තම කොන්දේසි විරහිත පක්ෂපාතිත්වය පළ කරන ලද්දෙකි. එකී අලජ්ජි පෙළහැරේ ප්රමුඛ සිද්ධි දාමය ගොඩ නැගුනේ පළාත් පාලන ජන්ද විමසීම කල් දැමීම වෙනුවෙනි. පළාත් පාලන ජන්ද විමසීම සම්බන්ධයෙන් රනිල් වික්රමසිංහ මහතා ඉතා සරදම් සහගත සහ හාස්යජනක ප්රකාශයක් පාර්ලිමේන්තු සභා ගර්භයේදී සිදු කළේය. එම ප්රකාශයට පෙර ඉතා තීරණාත්මක සාකච්ජාවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණි. මැතිවරණ කොමිෂන් සභාව වෙත ඇරයුම ලැබුනේ ජනාධිපති කාර්යාලයෙනි. එහිදී සමහරවිටෙක එවකට සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහත්මා සිතන්නට ඇත්තේ මැතිවරණය පවත්වන දින වකවානු පිළිබඳව ජනාධිපතිවරයා ඔහුගෙන් විමසන්නට බලා සිටින බවයි. එහෙත් සිදුවූයේ අනපේක්ෂිත කරුණකි. රනිල් වික්රමසිංහ මහත්මා මැතිවරණ කොමිෂන් සභා සාමාජිකයන් වෙත දැන්වුයේ කලයුතු දේ නීතිපති සමඟ සාකච්ජා කරන ලෙසයි. එසේ කියා ඔහු තමන්ගේ ලේකම්වරයා තමන් වෙනුවෙන් කැඳවූ හමුවෙන් ඉවත්ව ගොස් ඇත්තේ කිසිවක් නොදන්නා කිරිසප්පයෙක් සේය. සංඥාව පැහැදිළිය. ආණ්ඩුවට අවශ්ය පරිදි කොමිසම නිහඬ විය යුතු විය.

එනමුත් ගැටලුව එයම පමණක් නොවේ. අදාළ හමුවේ මූලාසනය දැරුවේ නීතිපතිවරයා වන අතර ඔහු එකපැහැර පවසා සිටියේ ජන්දය කල් දමන ලෙසය. අනාගත නීතිපති භූමිකාව පිළිබඳව පර්යේෂණයේ රුචි කවරෙකුට හෝ මෙය කදිම පර්යේෂණ කලාපයකි. එක් පසෙකින් ඔහු විධායක ජනාධිපතිවරයාගේ අභිමතය නියෝජනය කරන අතර ආණ්ඩුව යනු විධායක ජනාධිපතිවරයා යැයි යන පූර්ව අදහසින් ක්රියා කරනු ලබන්නේය. අනෙක් පසින් ස්වාධීන කොමිෂන් සභාවක් වන මැතිවරණ කොමිෂන් සභාව වෙත මැතිවරණය කල් දමන ලෙස උපදෙස් දෙන්නේය. පසුකාලීනව එකී ජන්ද කල්දැමීම සම්බන්ධයෙන් වන ශ්රේෂ්ඨාධිකරණ තීරණය කියවන වත්මනෙහි විශ්රාමික සංජය රාජරත්න මහත්මා වෙත කවර සිතිවිලි පහළ වනු ඇතිද? එමතු නොව කාලාන්තරයක් තිස්සේ මැතිවරණ ආශ්රිත නඩුකර වෙනුවෙනු වෙහෙසී අවසන සංජය රාජරත්නම් පිළිවෙත තුළින් මැතිවරණ කල්දැමීමේ පාපතර ක්රියාව තම පරිශ්රය තුළ සිදුවන ආකාරය දුටු නෙරින්පුල්ලේ වැනි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරුන්ගෙන් අවශ්යනම් පුරවැසියෙකුට දැන් සැපදැයි ඇසිය හැකිය. (වැඩිමනත් තොරතුරු සඳහා ශ්රේෂ්ඨාධිකරණයේ SC FR Application No. 69/2023 තීන්දුව කියැවිය යුතුය).

දැන් අපි අගවිනිසුරුවරයෙක් ලෙස කටයුතු කල සමරකෝන් විනිසුරු තුමන් වසර 1981 දී පවසන ලද කරුණක් වෙත සවන් දෙමු. ඔහු නීතිපතිවරයාගේ භූමිකාව පිළිබඳව මෙසේ කරුණු දක්වයි. ” මේ රටේ සිටින නීතිපතිවරයා , නීතිඥ මණ්ඩලයේ නායකයා සහ රජයේ ප්රධාන නීති නිළධරයා ද වේ. නීතිපතිවරයා වශයෙන් මෙරටේ අධිකරණය , රජය හෝ පුරවැසියන් වෙත ඔහුගේ යුතුකම වන්නේ මුළුමනින්ම ස්වාධීනව , බැඳීමකින් තොරව , අපක්ෂපාතීව , සහ සත්යය , ස්ථාපිත කිරීමේ අරමුණින් යුතුව කටයුතු කිරීමයි”.

සමරකෝන් විනිසුරුගේ අනාගත වාක්‍යය

සමරකෝන් විනිසුරුතුමගේ අර්ථ දැක්වීම අපි සංජය රාජරත්නම් සහ පාරින්ද රණසිංහ (කනිෂ්ඨ) යන නීතිපතිවරුන්ගේ කල්ක්රියාව හා සසඳන්නේ කෙසේද? පෙර නිදසුනම නැවත අවධාරණය කරන්නේ නම් එක් පසෙකින් නීතිපතිවරයා ජන්ද කල් දමන්න යැයි කියන්නේ වුවද තවත් පසෙකින් පරමාධිපත්යය බලය අභ්යාස කිරීම සඳහා උපචිත පිටිය සකස් කිරීමේ කාර්යභාරය මැතිවරණ කොමිෂන් සභාව සතුය. එවැනි පසුබිමකදී කල හැක්කේ කුමක්ද? සැබවින්ම අප තවදුරටත් සංවාද කලයුත්තේ බලය බෙදාහරින ලද රටක ස්ථාපිත ස්වාධීන කොමිෂන් සභා වැනි ව්යුහයන් අභියස නීතිපතිවරයාගේ භූමිකාව කවර හැඩයක් ගත යුතුද වැනි ගුණාත්මක දේ පිළිබඳවය. එහෙත් එවැනි ධනාත්මක හා අනාගතවාදී යමක් සාකච්ජා කල නොහැක්කේ නීතිපති දෙපාර්තමේන්තුව තම දෙපාර්තමේන්තුව කෙරෙහි අතීතයේ පැවති මහන්තත්වය මුසු පොල්මක්කාර පැවැත්මක් ඇතැයි තවදුරටත් සිතමින් සිටින බැවිනි. මීට හොඳම නිදසුන නම් තොරතුරු දැනගැනීමේ පනත මඟින් ඉල්ලා සිටින ලද තොරතුරක් සඳහා පිළිතුරු ලබාදීමේදී එකී දෙපාර්තමේන්තුවේ බලධරයෙක් මෑතදී ලබාදුන් පිළිතුරක ස්වභාවයයි. එහිදී පිළිතුරු ලබාදෙමින් ‘ඔබගේ ඊනියා ප්රශ්ණයට’ ආදී වශයෙන් ඔහු කරුණු දක්වා තිබුණි. මෙහි සාතිශය සරදම් සහගත ඛේදය වන්නේ බංකලොත් වූ රටක මැජික් පෙන්වන්නට තතතන එවැනි ළදරුවන් තවදුරටත් බැබලෙනුයේ Free Lawyers වැනි දේශපාලන තනතුරුකාමීන්ගේ කොන්දේසි විරහිත නිවට බවේ මන්දාලෝකයෙන් මිස, නීතිපති දෙපාර්තමේන්තුව සැබවින්ම පුරවැසි සමාජය වෙත ප්රදානය කලයුතු තම විචක්ෂණශිලිත්වයේ නොමඳ ආලෝකය තුළින් නොවීමයි.

නෛසර්ගික සාධාරණත්වයෙන් ඈත්වන නීතිපති දෙපාර්තමේන්තුව

වත්මන් නීතිපති මතු නොව ඔහුගේ පුර්වජනයන් බොහෝ දෙනෙකුගේ ක්රියාකලාපය සැළකිල්ලෙන් විමර්ශනය කරන කවරෙකු හට හෝ පැවසිය හැකි එක් කරුණක් පිළිබඳව මෙහිදී යම් අදහසක් දැක්විය හැකිය. එනම් බොහෝ කලෙක පටන් නීතිපති දෙපාර්තමේන්තුව වෙතින් ඔවුන් සතුව නෛසර්ගිකවම පැවතිය යුතු සාධාරණත්වය (intrinsic fairness) ක්රමයෙන් ගිලිහෙමින් පවතින බවයි. තම මිතුරු ප්රජාව හමුවේ තමන්ට එරෙහි වන්නේ නම් ඉහළ උසාවි වෙත යා හැකි යැයි පාරින්ද රණසිංහ (කනිෂ්ඨ) මහත්මා කියන්නේ වුවද ඔහු තමන්ගේ සෙවණැල්ල මත්තේ සිට තමා වෙතින්ම අසා ගත යුතු යමක් ඇත්තේය. එනම් ඔහු තම ධූරයට පත්වූ දින සිට අද දක්වා දෙපාර්තමේන්තුවේ කීර්තිය හා පුරවැසි සමාජයේ අපේක්ෂා දල්වාලීම පිණිස ඔහු කර ඇත්තේ කුමක්ද යන්නයි. ශිවා පසුපති, කමලසබේසන් වැනි ඔහුගේ අතීත ප්රධානීන් එක් පසෙකින් තම වෘත්තීය නිපුනභාවය හමුවේ අධිකරණ පරිශ්ර තමන් වෙත නතුකරගත්තා පමණක් නොව, ධූරය හා බැඳුනු කාර්යයන්හිදී පළකලේ අසහාය අදීනත්වයකි. එවන් පසුබිමක කනිෂ්ඨ පාරින්ද රණසිංහ කදෝ පැණියක් මිස Free Lawyers අහින දකින පරිදි යුක්තියේ හා ස්වාධීනත්වයේ භාරකරුවෙක් නම් නොවේ.

මංජුල ගජනායක

Archive

Latest news

Related news