නීතිපති කැරැට්ටවෙන් ටිකක්! – ලොකු කුමා
නීතිපතිවරයාගේ රාජකාරිය ගැන මෙරට පුරවැසියන්ට සැකයක් සංකාවක් මතු වී තිබේ.ඒ සැකය හා සංකාව මාධ්‍ය වලින් අනාවරණය කෙරෙන තරමට බැරෑරුම්ය.
එහිදී නීතිපති ආරක්ෂා කිරීමට හා ඔහු වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම්ද නැත්තේ නොවේ.එම කණ්ඩායම්වල පැටිකිරිය පිළිබඳව අවධානය යොමු කරන විට පැහැදිලි වන්නේ ඒ සියළු දෙනාගේ විවේචනයන් කේන්ද්‍රීය ගතව ඇත්තේ එජාප රනිල් වික්‍රමසිංහ ගේ ලන්ඩන් සංචාරයට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පවරා ඇති නඩුවය.රනිල් වික්‍රමසිංහ සිඳු කර ඇති අපරාධමය වරද අධිකරණය තුළ තහවුරු කිරීමේ වගකීම ඇත්තේ නීතිපතිවරයාටය. සැබැවින්ම මේ නඩුව පැවරූ දින සිට මෙරට බොහෝ පුරවැසියන්ට සැකයක් මතු වී ඇත්තේ ඒ නඩුව සම්න්ධයෙන් නීතිපතිවරයා උදාසීනව කටයුතු කරමින් සිටින බවය. ඒ බව සනාථ කරන කරුණු කාරණාද මාධ්‍ය වෙත අනාවරණය වී තිබුණි.එය වඩාත් තහවුරු කෙරෙන සිදුවීමක් වූයේ හිටපු ජනපතිවරයා ගේ ලේකම් සමන් දිසානායක අත්අඩංගුවට ගැනීමට අවස්ථා කිහිපයකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිට්යද නීතිපතිවරයා විසින් ඒ සඳහා අනුමැතිය ලබා නොදීමේ සිද්ධියයි.නීතිපතිට එරෙහිව චෝදනා කරන්නන් ගේ ප්‍රධාන චෝදනාව වී ඇත්තේ ඔහු හිටපු ජනපති රනිල් වික්‍රමසිංහට පක්ෂපාතීව කටයුතු කරමින් සිටින බවය.
ඒ චෝදනාව සත්‍ය බවට තහවුරු වෙන තරමට රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුවේදී නීතිපති වරයාගේ මැදිහත්වීම උදාසීන බව පැහැදිලිව දැක ගත හැකිය.
මේ නීතිපතිවරයා ගේ රාජකාරිය ඉතා නොසැලකිළිමත් වූයේ හිටපු ජනපති රනිල් වික්‍රමසිංහට එරෙහිව විභාග වන නඩුවේදී පමණක් නොවන බව ඔහු විසින් පසුගිය කාලයේ පැවැති නඩු වලදී සිදු කරන ලද මැදිහත්වීම් තුළින් සනාථ කර ගත හැකිය.මේ නොසැළකිලිමත් වීම දේශපාලනික කුමන්ත්‍රණයක්දැයි සිතෙන තරමට ඒ වාර්තා වීම් බරපතළය.
නීතිපතිවරයා අප ප්‍රශ්ණ කරන්නේ ඔහු රාජ්‍ය නිලධාරියෙක් නිසාය.රාජ්‍ය නිලධාරියකු සිය ධුරයට නොගැළපෙන ආකාරයට රාජකාරි කරන්නේ නම් ඒ විෂමාචාරය ගැන ප්‍රශ්ණ කිරීමට පුරවැසියන්ට පවතින බව අපි දැඩිව විශ්වාස කරමු. එසේ නැතුව නීතිපති ධුරයට හිතූ මතේ රාජකාරි කිරීමට මුක්තියක් නැත.
එය එසේ වන්නේ නම් නීතිපතිවරයා මෙරට ජනපතිවරයාට හිමි ව්‍යවස්ථානුකූල විධායක බලය ඉක්මවා යන්නෙක් විය යුතුය.එහෙත් නීතිපති වරයාට ව්‍යවස්ථානු කූලව එවැනි අධිකාරී බලයක් පවරා නැත. 2002 අංක 05 දරණ නිළධරයන් ඉවත් කිරීමේ (කාර්ය පරිපාටිය )පනතේ 3(ඇ) 3(ඉ)3(ඊ)සහ 3(උ) වගන්ති යටතේ බරපතළ අනීතික ඝාතන හා වෙනත් අපරාධ සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින්
1.විෂමාචාරය හෝ දූෂණය
11.ඔහුගේ ධුරය බරපතල අන්දමින් අනිසි ලෙස යොදා ගැනීම
111.බරපතළ ලෙස රාජකාරි පැහැර හැරීම
1V.ධුරයේ කටයුතු වලදී දැඩි පක්ෂග්‍රාහිත්වය සිඳු කිරීම තුළින්
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පරමාධිපත්‍ය බලය හිමි මහජනතාව අගතියට පත් කරමින් චුදිත පුද්ගලයන් නිදහස් කිරීම ,නඩු අත්හිටුවීම හෝ නඩු නොපැවරවීම සහ එකී චුදිතයන් ආරක්ෂා කිරීමට කටයුතු කිරීම ආදී වැරදි මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 ඈ ව්‍යවස්ථාවේ 11 වන උප ලේඛනයේ නිශ්චය කොට දැක්වෙන පත් කිරීමක් වන නීතිපතිවරයා එකී නිලයෙන් ඉවත් කළ හැකිය.
අප මේ ලිපිය මගින් හෙළිදරව් කරන්නේ නීතිපතිවරයා ගේ ධුරයේ බලතල අනිසි ආකාරයට යොදා ගැනීම සම්බන්ධයෙන් අපට සැක මතුවූ අවස්ථාවන්ය. එම අවස්ථාවන් තුළ ඔහුගේ රාජකාරියේ බරපතල අසමර්ථ භාවය මෙන්ම එම රාජකරියේදී බරපතල පක්ෂපාතිත්වයක් සිඳු කර ඇති බවටද පෙනී යයි.
-
නඩු අංක B 311 /8/20 හා 2020/11/29 වන දින මහර බන්ධනාගාරය තුළ රැඳවියන් 11දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැති නඩුව 2020 හා 2024 කාලය තුළදී නීතිපතිවරයා ගේ උපදෙස් මත චුදිතයන් නිදහස් කර ඇත්තේ එම චුදිතයන්ට එරෙහිව නඩු නොපවරන බවට දැනුම් දීම නිසාය.
-
2022 .10.12 වන දින අහුංගල්ල ප්‍රදේශයේදී කේ.ඒ.මහේෂ් ඉන්දික ප්‍රභාත් යන අය පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් පරීක්ෂක කොළඹගේ වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් AR 2049 /22යටතේ බළපිටිය අධිකරණයේ පවරා තිබූ නඩුවේ චුදිතයා නීතිපතිවරයාගේ උපදෙස් මත නිදහස් කර තිබේ.(2020/2024)
-
2009.01.11 වන දින වඩිවේල් පක්කිලි සාමි ලෝගනාදන් හා රත්නසාමි පරමානන්දන් යන අයවළුන් ඔවුන්ගේ වෑන් රථය සමග පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමේ චෝදනාවට සම්බන්ධ විත්තිකරුවන්ට එරෙහිව මනුෂ්‍ය ඝාතනය චෝදනා කිරීම පැහැර හැර බලයෙන් ලබා ගැනීමට පමණක් චෝදනා ගොනු කරමින් නීතිපති වරයා එම චුදිතයන් ආරක්ෂා කර තිබේ.
-
2016.04.30 වන දින තිප්පනේ පොලිස් වසමේ සෙලෙස්තිමඩුව රක්ෂිතයේදී කාර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධව අනුරාධපුර චුදිතයන්ට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබූ නඩුව නීතිපති වරයාගේ උපදෙස් මත චුදිතයන් නිදහස් කර යවා ඇත.(2016-2024)
-
පුද්ගලයන් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් කප්පම් ලබා ගැනීම සම්බන්ධයෙන් B 9527/2018 නඩුවට අවශ්‍ය කරන සැකකරුවකු හට අත්අඩංගුවට පත් නොවී සිටීමට ආධාර උපකාර කිරීම හා එහිදී එම නඩුවේ පළමු සැකකරු වන රවීන්ද්‍ර විජේගුණරත්න නිදහස් කිරීමට පූර්වගාමී නීතිපති සංජය රාජරත්නම් විසින් උපදෙස් ලබා දීම හා එම නිදහස් කිරීමට අදාල අභියාචනය මෙම නීතිපතිවරයා නොසළකා හැර තිබේ.
-
දෙහිවල අත්තඩිය ප්‍රදේශයේදී 2009 .01.08 වන දින මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග තියුණු ආයුධයකින් ඇණ ඝාතනය කිරීම සම්බන්ධයෙන් B 92 /2009 අංක යටතේ ගල්කිස්ස මහේස්ත්‍රාත් නඩුවේ චුදිතයන් තිදෙනෙකු නිදහස් කරන ලෙසට නීතිපතිවරයා උපදෙස් දී තිබුණි.එම උපදෙස් අනුව ඒ චුදිතයන් නිදහස් කරන ලදී.එහෙත් එයට එරෙහිව දේශීයවත් ජාත්‍යන්තරවත් එල්ල වුන විරෝධතා හමුවේ එම චුදිතයන් නැවත නඩුවට ඇතුළත් කිරීමට නීතිපතිවරයාට සිිිඳුවිය.
-
2008- 2009 කාලය තුළදී පුද්ගලයන් 11දෙනෙකු පැහැර ගෙන ගොස් කප්පම් ලබා ගැනීම,අතුරුදන් කිරීම හා ඝාතනය කිරීම යන චෝදනා වලට අදාලව නඩු අංක B 732/09 TAB 1448/20 යටතේ පවරන ලද නඩුවේ 14 වන සැකකරු වන වසන්ත කරන්නාගොඩ නිදහස් කිරීමට සෘජුව හා වක්‍රව ක්‍රියාකරමින් වින්දිතයන්ට යුක්තිය අහිමි කිරීමට හා ප්‍රමාද කිරීමට මේ නීතිපති වරයා කටයුතු කර තිබේ.ඔහු එහිදී අතිශය පක්ෂග්‍රාහිත්වයෙන් හා බැඳියාවන් අතර ගැටුමක් ඇති වන ආකාරයට ක්‍රියා කර ඇතැයිද චෝදනාවක් නැගේ.
-
අලව්ව පොලීසියේ අත් අඩංගුවේ සිටි කෑගල්ල පදිංචි කරුවකු වන ශාන්ත සමරවීර යන අය අතුරුදන් කිරීමට අදාලව පොලිස් නිළධරීන්ට හා නාවුක හමුදා නිළධාරීන්ට එරෙහිව B 8016/2019 හා BA 426/25 යටතේ පවරා තිබූ නඩුවට අත් අඩංගුවට ගෙන සිටි හිටපු නාවුක හමුදාපති නිශාන්ත උලුගෙතැන්න විසින් කුරුණෑගල මහාධිකරණයට ඉදිරිපත් කරන ලද ඇප අයදුම්පත 2025.10.10 දින විභාගයට ගන්නා ලද අවස්ථාවේ නීතිපතිවරයා විසින් නඩුවේ සිද්ධිමය කරුණු හා සාක්ෂිකරුවන් සම්බන්ධයෙන් පැමිණිල්ලට අගතිගාමී ලෙස හා චුදිතයන්ට පක්ෂග්රාහී ලෙස අසත්‍ය කරුණු අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ.මින් සමස්ත නඩුකරයටත් වින්දිතයන්ට හා සාක්ෂි කරුවන්ටත් අගතියක් හා නීතියේ අවගමනයක් සිදු කර ඇති බව තහවුරු වේ.
-
උප පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.යූ.සී.ප්‍රේමසිරි විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති SCFR 51/2021 නඩුකරය 2025 .01.30 වන දින නිශ්ප්‍රභා කරමින් එම නිළධාරියා නැවත සේවයේ පිහිටුවීම ගැන නිත්‍යනුකූල භාවය සමාලෝචනය කරන ලෙස පොලිස්පතිවරයාට උපදෙස් දෙන ලෙසට අධිකරණය නීතිපතිවරයා නියෝග කෙරුවද නීතිපතිවරයා මෙතෙක් එම අධිකරණ නියෝගය ක්‍රියාත්මක කර නැත.මේ නිසාම නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග කඩ කරමින් හා රාජකරි නියෝග පැහැර හරිම්න් මත්ද්‍රව්‍ය ජාවරම්වලට සම්බන්ධ අපරාධකරුවන් ආරක්ෂා කිරීම හා එම මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ පොලිස් දෙපාර්තමේන්තුවේ මත් ද්‍රව්‍ය ජාලය යාවත් කාලීනව පවත්වාගෙන යාමට සහයෝගය දක්වන බව හැඟේ.
-
පොලිස් සැරයන් වාසල මුදියන්සේලාගේ උපාලි රත්නායක විසින් SCFR 87/2021 අංක යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරන ලද නඩුව 2025.01.30වන දින නිශ්ප්‍රභා කරමින් මෙම නිළධරියා නැවත සේවයේ පිහිටුවීමේ නිත්‍යනුකූල භාවය සමාලෝචනය කරන ලෙසට පොලිස්පතිවරයාට උපදෙස් දෙන ලෙස අධිකරණය නීතිපතිවරයාට නියෝග කළච මේ දක්වා නීතිපතිවරයා එම නියෝග පිළිපැද නැත.
-
පොලිස් සැරයන් පී.ඩබ්.ටී.ධනුෂ්ක විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ SCFR 170/22 දරණ නඩුව 2025.01.30 වන දින නිෂ්ප්රභා කරමින් පෙත්සම්කාර නිළධරියා නැවත සේවයේ පිහිටුවීමේ නිත්‍යනුකූලභාවය සමාලෝචනය කරන ලෙසට පොලිස්පති වරයාට උපදෙස් දෙන ලෙස නීතිපතිවරයාට නියෝග කෙරුවද නීතිපතිවරයා එම නියෝගයද මෙතෙක් ක්‍රියාත්මක කර නැති බව අනාවරණය වේ.
-
SC FR 168/2021 ,176/2021,184/2021 හා 277/2021 ආදී නඩු අංක යටතේ පවරා තිබූ එක්ස්ප්‍රස් පර්ල් නඩුවේ තින්දුව අනුව නිසි කඩිකරකමකින් හා කාර්යක්ෂමව කටයුුුතු කිරීම නීතිපතිවරයා පැහැර හැර ඇත.මින් අධිකරණය මගින් ලබා දෙන ලද යුක්ති සහගත තීන්දුවක් සම්බන්ධයෙන් පවතින මහජන විශ්වාසය කඩ වී ඇත.
සුගියදා නීතිපති දෙපාර්තමේන්තුවේ නීති නිළධාරීන්ගේ සංඟමය විසින් 2015.11.15 දින මහජන අභිචෝදක කාර්යාලයක් ස්ථාපිත කිරීමට එරෙහිව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන ලදී.මෙම මහජන අභිචෝදක කාර්යාලය පිහිටුවීම ජාජබ රජයේ ඡන්ද පොරොන්දුවක්ද වේ.මෙම නිවේදනය නිකුත් කර තිබුණේ නිතිපති දෙපාර්තමේන්තුවේ නිල ලිපිනය භාවිතා කරමිනි.මේ වරද ආයතන සංග්‍රහයේ 11 වෙළුමේ පරිච්ඡේදගත වගන්ති හා රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ කඩ කිරීමේ වරදකි.
මෙහිදී රාජ්‍ය සේවය අපකීර්තියට පත් කිරීමේ හැසිරීම තුළින් රාජ්‍යයේ ඉහළම නඩු පවරන අධිකාරිය වන නීතිපති දෙපාර්තමේන්තුව එහි සේවය කරන නීති නිලධාරීන් යොදවා ගනිමින් නීතියේ ආධිපත්‍යය ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙලකට ප්‍රසිද්ධියේ ව්රෝධය දක්වා තිබේ.මෙම හැසිරීම නීතිපති දෙපාර්තමේන්තුවේ ස්වාධීනත්වය පිළිබඳ මහජන විශ්වාසය පලුදු කරන්නක් විය.
කෙසේ වෙතත් මේ නඩු පිළිබඳව නීතිපතිවරයාගේ මැදිහත් වීමෙන් නීති ක්ෂේත්රය තුළ ගැටළු රාශියක් මතු වී ඇති බව පෙනෙන්නට තිබේ.එහිදී පුරවැසියන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21(01) වගන්තියෙන් භුක්ති විඳින නීතිය ඉදිරියේ සමානත්මතාවය අහිමි වී ඇති අතර අනීතික ඝාතන විමර්ශනය කිරීමේ රාජ්‍ය වගකීම ඇහිරී ගොස් ඇති බවත් විශේෂයෙන් බන්ධනාගාර සහ රාජ්‍ය අත් අඩංගුවේදී සහ ආරක්ෂක අංශ හා දේශපාලන අධිකාරිය මගින් සිදු කරන වැරදි පවා සාධාරණීය කෙරෙන වටපිටාවක් නිර්මාණය වී ඇත.මේ නිසාම නඩු පැවරීමේ බලය නීතිපති වරයා විසින් අනිසි හො අයුතු ලෙස යොදා ගෙන ඇතැයි පුරවැසියන් තුළ සැක මතුවීම සාධරණය.