Wednesday, January 14, 2026

ප්‍රගීත් ඝාතන නඩුවේ හමුදා සැකකරුවකුට දුන් උසස්වීම ඉල්ලා අස්කර ගන්නා ලෙස සන්ධ්‍යා එක්නැළිගොඩ ජනපති අනුර කුමාරට ලියයි!

ප්‍රගීත් එක්නැළිගොඩ පැහැර ගැනීම සහ ඝාතනය කිරීම යටතේ ගරු නීතිපතිතුමා විසින් 2019 වසරේදී ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ‘මරණයට පත් කිරීම’ ඇතුළු අධිචෝදනා 17ක් ගොනු කර ඇති ලෙප්ටින්නට් කර්නල්  තෙල්ගේ එරන්ත රදීෂ් පීරිස් ජනාධිපති දිසානායක විිසින් කර්නල් තනතුර දක්වා උසස් කිරීම සම්බන්ධයෙන් කණගාටුව ප්‍රකාශ කරමින් සන්ධ්‍යා එක්නැළිගොඩ ජනාධිපතිවරයාට ලිපියක් යවා තිබේ.2010.01.24 දින ප්‍රගීත් පැහැර ගෙන අතුරුදහන් කිරීමට සෘජුව සම්බන්ධ වූ පුද්ගලෙයකු ලෙස මොහු හඳුනාගෙන ඇති බවත් එම ලිපියේ දැක්වේ

ලිපිය:

2026 ජනවාරි 13

සන්ධ්‍යා එක්නැලිගොඩ
අංක 136/2, සුහද මාවත, හිරිපිටිය පාර,
පන්නිපිටිය.
විද්‍යුත් තැපෑල : [email protected]
දුරකථන : 0772844590

ගරු අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා,
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජය,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ 01.

ගරු ජනාධිපතිතුමනි, 

විෂය : ප්‍රගීත් එන්නැලිගොඩ අපරාධ නඩුවේ 9 වන චූදිතයා වන තෙල්ගේ එරන්ත රදීෂ් පීරිස්ට උසස්වීම් ලබාදීම පිළිබඳ විරෝධය පළ කිරීම 

2010 ජනවාරි 24 වන දින අනීතික ‌ලෙස පැහැරෙගන ගොස් අතුරුදහන් කරන ලද මාධ්‍යවේදී ප්‍රගීත් එන්නැලිගොඩගේ බිරිඳලෙසත්, මේ වන විට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවේ අගතියට පත් පාර්ශවය ලෙසත් මම මෙම ලිපිය ඔබතුමා වෙත යොමු කරමි.

මෙකී නඩුවේ 9 වන චූදිතයා ලෙස නම් කර සිටින හමුදා බුද්ධි නිලධාරී තෙල්ගේ එරන්ත රදීෂ් පීරිස් යන අයගේ හමුදා නිලය ‘කර්නල්’ තනතුර දක්වා ඔබතුමා විසින් උසස් කර ඇති බව මාධ්‍ය වාර්තා මගින් දැනගන්නට ලැබුණි. එම පත්වීම සම්බන්ධෙයන් මාගේ දැඩි කණගාටුව සහ විරෝධය පහත කරුණු පදනම් කරගනිමින් ඉදිරිපත් කරමි:

බරපතල අපරාධ චෝදනා : ගරු නීතිපතිතුමා විසින් 2019 වසරේදී ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ මෙම නිලධාරියාට එරෙහිව ‘මරණයට පත් කිරීම’ ඇතුළු අධිචෝදනා 17ක් ගොනු කර ඇත.

විමර්ශන තොරතුරු : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) විමර්ශනවලට අනුව, 2009.08.27 දින ප්‍රගීත් එස්නැලිගොඩපළමු වරට පැහැර ගැනීම සඳහා හබරණ සිට කොළඹ දක්වා ලුහුබඳින ලද පුද්ගලයා සහ 2010.01.24 දින අතුරුදහන් කිරීමට සෘජුව සම්බන්ධ වූ පුද්ගලෙයකු ලෙස මොහු හඳුනාගෙන ඇත.

යුක්තිය පසිඳලීමට එල්ල වන බාධා : මෙවැනි බරපතල අපරාධ චෝදනා ලැබූ අයෙකුට උසස් නිලතල ප්‍රදානය කිරීම මගින්, නඩුවේ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමටත්, විමර්ශන නිලධාරීන් සහ අධිකරණ ක්‍රියාවලිය අධෛර්යමත් වීමටත් විශාල ඉඩකඩක් පවතී.

බ්‍රිගේඩියර් තනතුර දරා, දැනට විශ්‍රාමික මෙම නඩුවේ පලමු චූදිතයා විසින්, නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුවෙකුට (4 වන සාක්ෂිකරු) දැනට සේවයේ නිරත හමුදා නිළධාරීන් මාර්ගයෙන් බරපතල මරණ තර්ජන හා බලපෑම් කර ඇති අතර, මේ වනවිට ඔහුට විරුද්ධව අපරාධයක වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂාකිරීමේ කොට්ඨාශය මගින් ගොනුකරන ලද‍ අංක BR 115/01/PC/2025 B වාර්තා නඩුව ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන බව ඔබතුමාගේ අවධානයට යොමු කරමි.

පොරොන්දු කඩවීම : එක්නැලිගොඩ නඩුව කඩිනම් කර යුක්තිය ඉටු කරන බවට ඔබතුමා ලබා දුන් ප්‍රතිඥාවන් පිළිබඳව අප තැබූ විශ්වාසය මෙවැනි තීරණ හරහා බිඳ වැටීමට ලක් වේ. බරපතල අපරාධ නඩුවක චූදිතෙයකු ලෙස අධිකරණය හමුවේ පෙනී සිටින නිලධාරියකුට රාජ්‍ය ගෞරව සහිත උසස්වීම් ලබාදීම නීතියේ ආධිපත්‍යට සහ යහපත් පූර්වාදර්ශයන්ට පටහැනි බව මගේ විශ්වාසයයි. එබැවින්, කරුණාකර මෙම කරුණු කෙ‌රෙහි ඔබතුමාගේ කඩිනම් අවධානය යොමු කර, අදාළ නිලධාරියාගේ උසස්වීම වහාම අත්හිටුවීමට හෝ දැනටමත් ලබා දී ඇත්නම් එය අවලංගු කිරීමට පියවර ගන්නා ලෙස ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

ස්තූතියි.

මෙයට විශ්වාසී

සන්ධ්‍යා එන්නැලිගොඩ

පිටපත්:

1.ගරු අගවිනිසුරුතුමා – ශ්‍රේෂ්ඨාධිකරණය.

2.ගරු නීතිපතිතුමා – නීතිපති දෙපාර්තමේන්තුව

3.UN Working Group on Enforced Involuntary Disappearances (UNWGEID)

Archive

Latest news

Related news