ගල්ගමුව කියන්නේ ලංකාවේ අලි මිනිස් ගැටුම් ඉහළම මට්ටමින් වාර්තා වන ප්රදේශයක් වගේම, අලි මරණ විශාල ලෙස වාර්තා වන ප්රදේශයක්ද වේ. ඒ වගේම මේ ප්රදේශයේ විශාල රජයේ වනාන්තර භූමි ප්රමාණයක් පවතී. මේවා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වන සංරක්ෂණ ආඥා පනතේ 20 වන වගන්තිය යටතේ ආරක්ෂාව සපයා ඇති වනාන්තර ඉඩම් වේ.
එවැනි වන සංරක්ෂණය යටතේ පාලනය වන කුඹුක්වැව අංකෙන්ද රක්ෂිතයේ, ගල්ගමුව ප්රදේශීය සභාවේ සභාපතිවරයා විසින් කිසිදු අනුමැතියක්, අවසරයක් හෝ නීතිමය පාලනයක් නොමැතිව පස් කපාගෙන යාම සිදුකර ඇත.
ප්රදේශීය සභා සභාපතිවරයෙක් කියන්නේ රටේ දේපළ, පොදු දේපළ හෝ ජාතික සම්පත් තමන්ගේ කැමැත්තට භාවිතා කළ හැකි පුද්ගලයෙක් නොවේ. ඒවා එලෙස කළ හැකි බව සිතා ක්රියා කළ, නීතිය තමන්ගේ පක්ෂයටත් බලයටත් යටත් බව විශ්වාස කළ, පරිසරය තමන්ගේ කැමැත්තට හූරාකෑමට පුළුවන් බව සිතු පාලකයින් අපට අතීතෙයේ බහුලව සිටි නමුත් මාලිමාව රාජ්ය බලයට ගෙනාවේ එවැනි ක්රියාකාරකම්වලට එරෙහිව කටයුතු කිරීමට බවත් මෙහිදී සිහිපත් කළ යුතුය.
කලංචිය අංකෙන්ද රක්ෂිතයේ සිදුවන මෙම ජාවාරම පිළිබඳව බොහෝ දෙනා අදාල ආයතන වෙත පැමිණිලි කර තිබුණි. ඒ අතර ප්රාදේශීය ලේකම් කාර්යාලය, භූ විද්යා හා පතල් සමීක්ෂණ කාර්යංශය, සහ පරිසර අධිකාරිය ප්රමුඛ වේ. ඒ අනුව භූ විද්යා හා පතල් සමීක්ෂණ කාර්යංශය විසින් අදාල ස්ථල පරීක්ෂාව සිදුකර ඇත.
එහිදී කිසිදු බලපත්රයකින් තොරව රක්ෂිතයෙන් පස් කපාගෙන යමින් සිටි ට්රැක්ටර් 8ක් අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත. ඒ අනුව භූ විද්යා කාර්යංශය විසින් එම ට්රැක්ටර් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම වැටලීම සිදුකරන අවස්ථාවේ පොලීසිය සහ භූ විද්යා කාර්යංශ නිලධාරීන් එම ස්ථානයට පැමිණ සිටියදී, ගල්ගමුව ප්රදේශීය සභාවේ සභාපති විජේරත්න බණ්ඩා නම් පුද්ගලයාද එම ස්ථානයට පැමිණියහ. එහිදී ඔහු විසින් සම්පූර්ණයෙන්ම අදාළ වැටලීමට බාධා කරමින් එය තමන් විසින් නියෝග කර සිදුකරන ලද්දක් බව ප්රකාශ කරමින් අධිකාරී බලයක් ආරෝපණය කරගනිමින් හැසිරෙනු පෙනෙන්නට තිබුණි.
ඔහු පවසන්නේ “කැඩිච්ච පාරවල් හදන්න පස් කපන්නේ” යනුවෙනි. කැඩිච්ච පාරවල් වුවද, ජනාධිපති කාර්යාලය හදන්න වුවද, නීතිමය අවසරයකින් තොරව රක්ෂිතයකින් පස් කපන්න බැරි බව නොදැන සිටියා විය නොහැකිය.
තවද ඔහු මෙසේ පවසයි: “මෙතනින් කපන්නෙ නැත්නම් වෙන කොහෙන් කපන්නද? අපේ ගෙවල්වල බොරලු තියෙනවද?” මේ කතා කියන්නේ කාටද? භූ විද්යා නිලධාරීන්ට සහ පොලිස් නිලධාරීන්ටය.
ඒ අවස්ථාවේ භූ විද්යා නිලධාරීන් විසින් පැහැදිලි කර දුන්නේ, එවැනි ව්යාපෘති සඳහා වෙනත් ප්රදේශීය සභාවලින් නීතිමය අවසර ලබාගන්නේ කෙසේද යන්නත්, මෙසේ අවිධිමත් ලෙස රක්ෂිතවල පස් කපන විට සිදුවන බරපතළ පරිසර හානි, ඉන් පසු උද්ගත වන සමාජ, පාරිසරික සහ නීතිමය ගැටලු පිළිබඳවද වේ.
එයට පිළිතුරු ලෙස මෙම “මෝඩ” සභාපතිවරයා කියන්නේ, “මේ පස්වලින් පාරවල් 1800ක් හදනවා” යනුවෙනි. මෙය සම්පූර්ණයෙන්ම පට්ටපල් බොරුවකි.
මෙම සභාපතිවරයා මෙලෙස කපන පස් ගෙවල් ඉදිකිරීම් කරන ව්යාපාරිකයන්ට විකිණෙන බව නොදන්නවා විය නොහැකිය. එනම්, මෙම සභාපතිවරයා රිජුව හෝ වක්රව මෙම ජාවාරමේ හෝ අක්රමිකතාවේ කොටසක් බව පැහැදිලිය.
අදාළ අනවසර කැණීම නවත්වමින් එස්කැවේටරය ඉවත් කිරීමට යන අවස්ථාවේදී, එය නවත්වන්නට මොවුන් බලපෑම් කර ඇත. මෙය නීතියට, පරිසරයට, සහ පොදු ජනතාවට එරෙහිව සිදුකරන ප්රබල දේශපාලන අපරාධයක් බව පැහැදිලිවම පෙන්වා දිය හැක.
ඒ අවස්ථාවේ පොලීසිය පැහැදිලි කරන්නේ, OIC මහත්තයා කියපු විදිහට අදාළ යන්ත්ර පොලීසියට ගෙන යා යුතු බවයි. මෙන්න මේක හොඳින් මතක තියාගන්න ඕනේ කරුණක්. ඒ වෙලාවට පොලීසියට ලැබිලා තිබුණේ ස්ථානාධිපතිවරයාගේ පැහැදිලි නියෝගයකි.
ඒ අවස්ථාවේ මේ සභාපතිවරයා කියන්නේ, “මම පොලීසියට එන්නම්, මමයි මේ වැඩේ කළේ. ඕන නම් අක්ෂන් එකක් ගන්න” කියල බොහොම ලොකු කමින්. නමුත් භූ විද්යා නිලධාරියා පැහැදිලිවම කියන්නේ, තමන් මේකට අක්ෂන් නොගත්තොත් තමන්ටම අමාරුවට වැටෙන බවත්, ඒ තමන්ගේ වගකීම බවත්ය.
එවිට මේ සභාපතිවරයා අදාළ නිලධාරියාට කියන්නේ, “ඔයා වගේ අය අපි ගොඩක් දැකලා තියෙනවා” කියලා. මේ වගේ කතා අපට කලින් දේශපාලුවන්ගෙන් නිතර අහන්න ලැබුණු දේවල්. අද ආයෙත් ඒවා අහන්න සිදුවීම අතිශය කණගාටුදායකයි.
ඒ අතරතුර, පොලීසිය විසින් ට්රැක්ටර් කිහිපයක් පමණක් රැගෙන පොලීසියට යාමට උත්සාහ කරන විට, සභාපතිවරයාගේ මැරයන් මඟ හරස් කරමින් රාජකාරියට බාධා කිරීම සිදුකරයි. පොලීසියට උපකරණ ගෙන යාමට ඉඩ නොදෙයි. පළමුව එස්කැවටරය ගෙන යාම නවත්වන අතර, දෙවනුව පස් සමඟ ට්රැක්ටර් කිහිපයද සකකරුවන් සමඟ පොලීසියට ගෙන යාමට ඉඩ නොදෙයි.
මෙම සිදුවීමට අදාළව, සභාපතිවරයා සමඟ චන්දන තෙන්නකෝන් නම් පාර්ලිමේන්තු මන්ත්රීවරයෙක්ද සම්බන්ධ වන බව හෙළිවේ. මෙන්න මේ අවස්ථාවේදී භූ විද්යා හා පතල් සමීක්ෂණ කාර්යංශය සියලු කටයුතු අත්හැර දමයි. “ඇමතිවරයෙක් කෝල් කර උපදෙස් දුන්නා, දිස්ත්රික් සම්බන්ධීකරණයෙන් මේක තීරණය කළා” යනුවෙන් දන්වා සිටී.
මා මුල සිට පවසන පරිදි , මේ ආණ්ඩුව තුළ සමහරු සිතා සිටින්නේ “දිස්ත්රික් සම්බන්ධීකරණය” කියන්නේ නීතිය කඩන්න පුළුවන් ආයතනයක් ලෙසයි. නමුත් රටේ නීතිය නමන්න හෝ කඩන්න ඒකට කිසිම බලයක් නැහැ. ඒකට කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම්, ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරලා එකඟතා වලට එන්න පමණයි. ඒකට ඉහළින් ගිහිල්ලා බලය භාවිතා කරන්න කිසිම අයිතියක් නැහැ.
මෙම කුඹුක්වැව කැළයේ සිදුකළ ජාවාරම පිළිබඳව, එලෙස රාජකාරිය ඉටු කිරීමට එරෙහිව සභාපතිවරයා විසින් පසුව භූ විද්යා නිලධාරීන්ට බලපෑම් කළ බවත්, එයට අමතරව වෙනත් අමාත්යවරයෙකු විසින්ද (පරිසර අමාත්යවරයාද ආනන්ද විජේපාල අමාත්යවරයාද යන්න නොදනී) බලපෑම් කරමින් නීතිය ක්රියාත්මක කිරීම වළක්වා ඇති බවත් පැහැදිලිව පෙනී යයි.
එසේම, මෙහිදී කපන ලද පස් විවිධ ස්ථානවලට රැගෙන ගොස් ඇති අතර, “පාරවල් සංවර්ධනය” මුවාවෙන් පස් විකිණීමේ ජාවාරමක් සිදුකර ඇති බවටද බරපතළ සැකයක් මතුවෙයි.
මෙවැනි ක්රියාකාරකම් කිසිසේත්ම මාලිමා ආණ්ඩුවෙන් අප බලාපොරොත්තු වූ හැසිරීමක් නොවන අතර, ගල්ගමුව කුඹුක්වැව අංකෙන්ද රක්ෂිතය වැනසීමට එරෙහිව අදාළ ආයතන විසින් වහාම ක්රියාමාර්ග නොගැනීමද, නීතිය නවත්තමින් හෝ අකර්මණ්ය කරමින් සිටීමද අප දැඩිව විවේචනය කරමු.
අදාළ ප්රවෘත්තිය පිළිබඳ ප්රවෘත්ති වාර්තාව පළවැනි කමෙන්ට්ටුවට අමුණා ඇත.

