Sunday, December 21, 2025

යෝජිත ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව පෙළගැසෙමු! – වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

මාධ්‍ය නිවේදනය – යෝජිත ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත

මේ වන විට සමාජගත කොට ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් නෙටුම්පත හරහා දැනට අසම්පූර්ණව හෝ ආරක්ෂා වී පවතින ප්‍රජාතන්ත්‍රවාදය හා මූලික මිනිස් අයිතිවාසිකම්වලට බරපතල තර්ජනයක් එල්ල කරමින් ඉතිහාසයේ පැවති අඳුරු යුගයන් වෙත රට යළිත් රැගෙන යාමට වර්තමාන රජය දරන ප්‍රයත්නය ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය දැඩි පිළීකුලෙන් යුතුව හෙලා දකිමු.

මෙම පනත් කෙටුම්පතෙහි නීති සම්පාදනය තුළ බරපතල විධිවිධාන අඩංගු වීම මගින් පුරවැසියන්ගේ ව්‍යවස්ථාපිත නිදහසට සහ ජාත්‍යන්තර මානව හිමිකම් බැඳීම්වලට නිගරු කරමින් කෙසේ හෝ රාජ්‍ය බලය පවත්වාගෙන යාමට ප්‍රමුඛත්වය දී ඇති බවක් පෙන්නුම් කරයි. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව විසින් මෙම කෙටුම්පත පසුගිය අගෝස්තු මාසයේදී ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂා කළ බවක් වාර්තා වූ නමුත්, සැලකිය යුතු කාලයකින් පසුව එය ප්‍රකාශයට පත්කොට ඇත්තේ ‘දිට්වා සුළි සුළඟ’ (Cyclone Ditwah) හා බැඳුණු දරුණු අපදා තත්ත්වයකට පසුව පැනවූ හදිසි නීති තත්වයක් යටතේ වීම තවත් විශේෂත්වයකි. කෙසේ නමුත්, අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමට මාසයක කාලයක් ලබා දී ඇති නමුත් පශ්චාත් ආපදා තත්ත්වයක් තුළ අර්ථවත් මහජන සහභාගීත්වයක් අපේක්ෂා කළ නොහැකි වීමත් මෙහි ඇති දරුණු අන්තර්ගතය තවත් තීව්‍ර කරනු ඇත. එමෙන්ම මෙම පනත් කෙටුම්පත තුළ භයානක විධිවිධාන සහ අපයෝජනයට ඉඩකඩ ඇති බියකරු අන්තර්ගතයක් සහිතය.

පුළුල් ත්‍රස්තවාදී අර්ථ දැක්වීම: ත්‍රස්තවාදය පිළිබඳ අර්ථ දැක්වීම භයානක ලෙස පුළුල්ව ඉදිරිපත් කර ඇති අතර, නොපැහැදිලි, බැහැර කිරීමේ වගන්ති තිබියදීත්, සාමකාමී විරෝධතා පවා සාපරාධීකරණය කිරීමේ හැකියාවක් පවතී.

දිගු කාලීන රඳවා තබා ගැනීම: තවත් ගැටලුකාරී තත්ත්වයක් වන්නේ නඩු විභාගයට පෙර රඳවා තබා ගැනීමේ විධිවිධානයි. මෙම විධිවිධාන යටතේ, පුද්ගලයන්ට චෝදනා නොමැතිව රඳවා තබා ගත හැකි අතර, මෙම පුරුද්ද ඓතිහාසිකව ශ්‍රී ලංකා රාජ්‍යයේ පවතින ක්‍රමානුකූල අපයෝජන සමඟ සම්බන්ධ වී ඇත.

නීතිය බලාත්මක කිරීමේ මිලිටරිකරණය: මෙම පනත මගින් පොලිසියට අමතරව, අත්අඩංගුවට ගැනීම් සිදු කිරීමට හමුදාවට සහ වෙරළාරක්ෂක බලකායට ඉඩ ලබා දෙන අතර, මෙම මිලිටරිකරණය මඟින් නීතිය බලාත්මක කිරීම හා පවත්වාගෙන යාමේ භයානක ප්‍රවණතාවය ද නැවතත් තහවුරු කරයි.

පුළුල් විධායක බලතල අපයෝජනය: සංවිධාන තහනම් කිරීමට සහ තහනම් කලාප ප්‍රකාශයට පත් කිරීමට පුළුල් විධායක බලතල සහිතව, මෙම පනත “අතීතයේ පැවති දුර්දාන්ත පාලන රටා” නැවත ඇති කිරීමේ අවදානමක් ද පෙන්නුම් කරයි.

භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස මර්දනය: එසේම මෙම පනත් කෙටුම්පත් තුළ පුරවැසියන්ගේ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස සීමා කිරීමට මෙන්ම පෞද්ගලිකත්වයට ඇති අයිතිය මර්දනය කිරීමේ දැඩි අවදානම් තත්ත්වයන්ද අන්තර්ගත වෙයි. එබැවින් මෙම පනත් කෙටුම්පත මගින් ජනමාධ්‍යවේදීන්, වෘත්තීය සමිති ක්‍රියාකාරීන්, සමාජ ක්‍රියාකාරීන් ඇතුලු සියලු පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් ඇතුලු ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් දැඩි ලෙස මර්දනයට ලක් විමේ සමාජීය අනතුරද පනත් කෙටුම්පත තුළ අන්තර්ගත වේ.

ප්‍රජාතන්ත්‍රවාදය හා මූලික මිනිස් අයිතිවාසිකම් බරපතල හකුළුවාලීමකට හා මර්දනයට ලක් කොට ඒකාධිපති බලයක් ගොඩනගාගැනීමේ ව්‍යුහයක් මෙම ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’ තුළ අන්තර්ගත වන බැවින් වත්මන් රජය ප්‍රජාතන්ත්‍රවාදය අගයන රජයක් නම් වහාම මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී පනත් කෙටුම්පත ඉවත් කර ගන්නා ලෙස අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිමු.

එමෙන්ම මෙම අනතුරුදායක පනත් කෙටුම්පතට එරෙහිව පෙළගැසෙන මෙන් ප්‍රජාතන්ත්‍රවාදය හා මූලික මිනිස් අයිතිවාසිකම් අගයන සියලුදෙනාගෙන් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඉල්ලා සිටින්නෙමු.

Archive

Latest news

Related news