අප කුඩා කාලයේ “මගේ රට” යන මාතෘකාවෙන් රචනයක් ලිවීමට හෝ කතාවක් පැවැත්වීමට සිදු වුවහොත් අනිවාර්යයෙන්ම “ශ්රී ලංකාව සුළි සුළිං, භූමි කම්පා, ගිණි කඳු පිපිරීම් වැනි භයානක ස්භාවික විපත් නොමැති වාසනාවන්ත රටක්” වග ලියන්නට කියන්නට යෙදුනා මතකයි. ගං වතුරක්, නාය යාමක්, නියඟයක් ඉඳහිට ප්රාදේශීයව සිදු වුවත් මහා පරිමාණ ස්භාවික ව්යසන අවම රටක්ව අප උන්නා අපට හොඳින් මතකයි.
2004 දෙසැම්බරයේ සුනාමිය අප උස්සා පොළොවේ ගැසුවේ එවැනි වකවානුවකයි. සුනාමියෙන් පසු මාස හයකටත් අඩු කාලයක් ඇතුළත 2005 මැයි මස වන විටම එවකට ශ්රී ලංකා පාර්ලිමේන්තුව විසින් “ශ්රී ලංකාවේ දේශභූමිය ඇතුළත සිදුවන්නා වූ ඇතැම් ව්යසන නිසා මනුෂ්ය ජීවිතය, දේපළ හා පරිසරය තර්ජනයට හා අනතුරට ලක්ව ඇති හෙයින්” 2005 අංක 13 දරන ශ්රී ලංකා ව්යසන කළමනාකරණ පනත සම්මත කර ගනු ලැබුවා.
ඒ අනුව පනත යටතට ගැනෙන ව්යසන අවස්ථාවන්හිදී ශ්රී ලංකාවට ඉතා කාර්යක්ෂමව සහ නීත්යානුකූලව කඩිනම් සහ ඵලදායී පියවර ගැනීමට අවශ්ය නීතියේ රාමුව සහ රාජ්ය යාන්ත්රණය සකසා පිළියෙල කොට පනතක් මත තබා තිබේ. ඇත්තේ එය ප්රයෝජනයට ගැනීමටයි.
පනත යටතේ දීර්ඝකාලීන වැඩ පිළිවෙලක් සහ ව්යසනයකදී කෙටිකාලීනව කළ යුතු කාර්ය සහ කර්තව්ය මනා කොට වෙන් වෙන්ව දක්වා තිබෙනවා.
ශ්රී ලංකාව මේ මොහොතේ මුහුණ දෙමින් සිටින්නේ පනතේ 25 වගන්තියේ අර්ථ නිරූපනය කර ඇති ආකාරයේ ව්යසනයකටයි. (අ) සිට (ද) දක්වා හඳුනාගෙන ඇති ව්යසන 21ක් අතුරින්
(අ) නායයාමක්
(ආ) සුළි සුළඟක්
(ඇ) ගං වතුරක් යන අවස්ථා තුනටම සමස්ථ දිවයිනම මේ මොහොතේ අවාසනාවන්ත ලෙස මුහුණ දී සිටිනවා.
පනතේ 11 වන වගන්තිය ප්රකාරව මෙවැනි අවස්ථාවක ජනධිපතිවරයා විසින් හෝ ජනාධිපතිවරයාගේ මෙහෙයවීමෙන්ම හෝ ව්යසන තත්වයක් පවතින බවට ප්රකාශයට පත් කරනු ලැබිය හැකියි.
මෙය ව්යසනයකදී මෙන්ම ව්යසනයක ආසන්නයේදී වුව කළ හැකියි (ඒ මොහොත දැන් ඉක්මවී ගොසින්). යම් ප්රදේශයකට හෝ මුළු රටම අරභයා කළ හැකියි.
එවිට එය ඉදිරි මාස දෙකක් සඳහා බලපවතී. ඉක්බතිව පැවැත්වෙන ප්රථම පාර්ලිමේන්තු සැසියේදී එය අනුමත කරගත හැකියි. අවශ්ය නම් දීර්ඝ කර ගත හැකියි.
අප ව්යසන තත්වයක් ප්රකාශයට පත් කළවිට;
1. ඉතාම විධිමත් ක්රියා පටිපාටියක් රට ඉදිරියේ දිග හැරෙයි.
2. මුලු රටටම, රාජ්ය යාන්ත්රණයටම, රාජ්ය නොවන සංවිධාන වලට පවා ව්යසනය කළමනාකරණය කිරීමට මැදිහත් වීමට කාර්යක්ෂම සහ ක්රමානුකූල පරිසරයක් ගොඩ නැගෙයි.
3. මුදවා ගැනීම්, හදිසි පියවර ගැනීම්, මිනිසුන්, දේපළ, සතුන් ඉවත් කිරීම්, ගමනාගමනය සඳහා මාර්ග වසා දැමීම්, අවහිරයන් ඉවත් කිරීම් අවස්ථාවෝචිත පරිදි සිදු කළ හැකි වෙයි. (14 වගන්තිය)
4. ශ්රී ලංකාව තුළදී හෝ ඉන් බැහැර කවර වූ නීත්යානුකූල ප්රභවයකින් ණය, පරිත්යාග, ත්යාග හෝ ප්රදාන වශයෙන් මුදල් ලබා ගැනීමට විනිවිද පෙනෙන ක්රම වේදයක් සැකසෙයි. (17 වගන්තිය)
5. ආදායම්, වියදම්, වත්කම්, බැරකම් ගිණුම්ගත වෙයි, විගණනය වෙයි. (18 වගන්තිය)
6. සද්භාවයෙන් කරන කරන ක්රියා සම්බන්ධයෙන් ආරක්ෂාව සැලසෙයි. (23 වගන්තිය)
7. ව්යසනය කළමනාකරණයට අවහිර කරන්නන්ට දඬුවම් කළ හැකියි. එමගින් බාධාවකින් තොරව කාර්ය සාධනය කළ හැකි වෙයි. (24 වගන්තිය)
ඉහත කී ආකාරයන්ට අමතරව ඵලදායී ලෙස ව්යසන කළමනාකරණයට අදාළ වන බොහෝ ප්රතිපාදන 2005 අංක 13 දරන ශ්රී ලංකා ව්යසන කළමනකරණ පනත සතුයි. මා මෙහි උපුටා දැක්වූයේ පොදු මහජනතාවට වැදගත් වේ යයි සිතූ කරුණු සුඟක් පමණයි.
මෙහිදී විශේෂයෙන්ම 23 වගන්තිය යටතේ ලැබෙන විනිර්මුක්තිය කඩිනම් පියවර ගැනීමට දෙවරක් සිතීමට සිදු වී ඇති රාජ්ය නිළධාරීන්ට, පොලිස් නිලධරයන්ට සහ සන්නද්ධ හමුදාවල සාමාජිකයන්ට අස්වැසිල්ලක් වනු ඇත. එය යාත්රණය කාර්යක්ෂම කරනු ඇත.
එසේම ශ්රී ලංකා රජය විසින් නම් කළ නිල ව්යසන තත්වයක් පවතින විට විදේශ රටවල් වලට, ලෝක සංවිධාන වලට, පිළිගත් රාජ්ය නොවන සංවිධාන වලට අපට සහන සහ උපකාර ලබා දීමට පහසුවක් සහ නීත්යානුකූලභාවයක් ඇති වෙයි. මන්ද මෙවැනි අණ පනත් හරහා සිදුවන ව්යසන කළමනාකරණය දියුණු ලෝකය පිළිගන්නා ක්රමයයි.
ස්භාවික ව්යසනයකට මුහුණ දීමට රටකට සිදුවීම ලැජ්ජා වීමට කරුණක් නොවෙයි. ලෝකය පුරා දෛනිකව මෙවැනි තත්වයන් ඇතිවේ. ඒවා සමනය කිරීමට සමස්ථ මානව වර්ගයාම එකාවන්ව වෙහෙස වෙයි. අත්වැල් බැඳගෙන වෙහෙසවෙයි. ශ්රී ලංකාව ඒ සඳහා වන ජාත්යන්තර සම්මුති ගණනාවක කොටස්කරුවෙක්ය, ජාත්යාන්තර සංවිධාන සමූහයක සාමාජිකයෙක්ය.
ලංකාවේ තුළ ව්යසන තත්වයක් ප්රකාශයට පත්කිරීම හදිසි නීතිය පැනවීමක් හෝ ඊට සමාන දෙයක් නොවෙයි. එවැනි දුර්මත ව්යසන කළමනාකරණය දුර්මුඛ කරනු ඇත.
එබැවින් මෙවැනිම අවසනාවන්ත තත්වයකින් උගත් පාඩම් මත නිර්මාණය වු මෙවැනි තත්වයකදී කාර්යක්ෂමව රාජ්ය යාන්ත්රණය ක්රියාත්මක කිරීමට සහය වන 2005 අංක 13 දරන ශ්රී ලංකා ව්යසන කළමනාකරණ පනත ප්රයෝජනයට ගන්නා මෙන් ජනාධිපතිතුමා ඇතුළු සමස්ත රජයෙන්ම මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. එමෙන්ම එම පනත බලාත්මක කිරීම සඳහා රජයට සහය වන මෙන් සියලු පුරවැසියන්ගෙන්ද ඉතා උනන්දුවෙන් ඉල්ලා සිටිනවා.
Ajana Ranagala මුහුණූ පොතිනි.

