Tuesday, October 14, 2025

තවත් රාජපක්ෂ බංගලාවක් රජයට. ගෝටාගේ මුසාවාද සහ කතරගම නිවසේ ඇත්ත

(Sri Lanka Brief/ 14 October 2025)  හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කතරගම මැණික් ගඟ අසළ ඉදිකර ඇති 12 කාමර සහිත බංගලාවක් තමන්ට අයත් නොවන බව කියමින් ඔහුගේ ෆේස්බුක් පණිවිඩයක් තබා තිබේ. එහි ඔහු සඳහන් කරන්නේ, “G. රාජපක්ෂ” නමකින් විදුලි සම්බන්ධතාවයක් ලබා ගැනීම සඳහා ඉදිරිපත් කළ අයදුම්පතක් නිසා තමන්ගේ නම CID පරීක්ෂණවලට ඇදී තිබෙන බවයි. එම අයදුම්පතේ නිසි අත්සනක් නොතිබුණු බවත් ඔහු පවසයි.

කෙසේ වෙතත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (සීඅයිඩී) විසින් සිදුකළ පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ, එම නිවස සඳහා විදුලි සහ ජල බිල්පත් නිකුත් වී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ නමට බවයි. උදාහරණයක් ලෙස, 2015 ජූනි මස ජල බිල රු. 5,522ක් විය, සහ රු. 10,423ක ගෙවීම් තිබුණි.

මෙම නිවස පිහිටා ඇත්තේ වනාරාජා ප්ලේස්, ඩිපෝ පාර, කතරගම යන ලිපිනයේය. එය රජයේ ආරක්ෂිත භූමියක ඉදිකර ඇති අතර, 15 වසරක පුරා පවතින නීතිමය හා පරීක්ෂණමය ගැටළුවක් බවට පත්වී ඇත. CID පරීක්ෂණය ආරම්භ වී තිබුණේ යහපාලන ආණ්ඩුවේදීය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවූ කාලයේදී එය නවතා දැමූ අතර, වත්මන් ආණ්ඩුව යටතේ නැවත ආරම්භ කර ඇත.

මෙම නිවස ඉදිකිරීම සඳහා යුද හමුදා සේවකයන් සහ රාජ්‍ය සම්පත් භාවිතා කර ඇති බවත්, මග නැගුම සහ ගම නැගුම වැනි සංවර්ධන ව්‍යාපෘතිවල සම්පත්ද මෙයට යොදාගෙන ඇති බවත් වාර්තා වේ. යෝෂිත රාජපක්ෂගේ ආරක්ෂාව සඳහා පවරා තිබූ නාවික නිලධාරියෙකු මෙම නිවසේ සේවය කරමින් සිටි බව සීඅයිඩී පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.

පරීක්ෂණ සඳහා ප්‍රකාශ ලබාගත් පුද්ගලයන් අතර:

  • ගෝඨාභය රාජපක්ෂ (හිටපු ජනාධිපති)

  • යෝෂිත රාජපක්ෂ ( මහින්ද රාජපක්සගේ දෙටු පුත් සහ හිටපු නාවික හමුදා නිලධාරී)

  • නෙවිල් වන්නිආරච්චි ( වර්තමානයෙහි වංචා දූෂණ සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසුවන   මහින්ද රාජපක්ෂගේ පුද්ගල ආරක්ෂක)

  • අශෝක වික්‍රමසිංහ (කතරගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති) ඇතුළත් වේ. ඔහු නිවස සඳහා වංචනික ලියකියවිලි සකස් කිරීමේ චෝදනාවක් මත  සීඅයිඩි විසින් අත්අඩංගුවට ගෙන තිබේ, .

යෝෂිත රාජපක්ෂ පවසන්නේ, මෙම නිවස පිළිබඳව කිසිදු දැනුමක් නැති බවත්, මතකයක් නැති බවත්ය. නමුත් ඔහුට පවරා තිබූ නාවික නිලධාරීන් එම ලිපිනයේ සේවය කරමින් සිටීම සීඅයිඩී පරීක්ෂණවලට මූලික හේතුවක් වී ඇත.

කතරගම ගෝටාභය බිල් ගෙවූ නිවස

එම භූමිය මත ඉදිකර ඇති ඕනෑම ගොඩනැගිල්ලක් එම දෙපාර්තමේන්තුවේ අධීක්ෂණයට යටත්වේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අයත්ව තිබූ, කතරගම මැණික් ගඟ අසබඩ රක්ෂිතයේ පිහිටි නිවස වාරිමාර්ග දෙපාර්තමේන්තුව වෙත අධිකරණය විසින් පවරණ ලදී.

මොණරාගල වාරිමාර්ග අධ්‍යක්ෂ අබ්දුල් ජාබාර් ඊයේ මෙම නිවාස වාරිමාර්ග දෙපාර්තමේන්තුව වෙත භාරගැනීමට කටයුතු කර  තිබේ.

මෙම ගොඩනැගිල්ල ඉදිරියට රජයේ නිලධාරින් සඳහා නවාතැන් ලබාදීම වෙනුවෙන් වෙන් කෙරෙන බව මොණරාගල වාරිමාර්ග අධ්‍යක්ෂවරයා පවසයි.

මෙයට පෙර බැසිල් රාජපක්ෂට හිමිව තිබූ බව කියූ මල්වාන බංගලාවද රජයට ගන්නා ලදී.

බැසිල් රාජපක්ෂට හිමි බවට චෝදනා එල්ල වූ මල්වාන බංගලාවේ වටිනාකම අධිකරණ වාර්තාවල සඳහන් කර තිබුණේ ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා රුපියල් මිලියන 240 ක් සහ අක්කර 16 ක ඉඩම සඳහා අතිරේක රුපියල් මිලියන 60 ක් ලෙසය. කෙසේ වෙතත්, පසුව ශ්‍රී ලංකා අධිකරණයක් ගෝටා සමයෙහි 2022 දී රාජපක්ෂ නිදොස් කොට නිදහස් කර දේපළ වෙන්දේසි කිරීමට නියෝග කළේය.

එමනඩුවෙහි දී හිමිකම සනාථ කිරීම සඳහා නිසි නීතිමය ලියකියවිලි නොමැති බවත්, දේපළ අයථා ලෙස පරිහරණය කළ අරමුදල්වලින් අත්පත් කර ගත් බවත් පවසමින් රජය මූල්‍ය අපරාධ විමර්ශන අංශය (FCID) හරහා නඩුව ඉදිරියට ගෙන ගියේය. රාජපක්ෂගේ සහචරයින් මීට පෙර ඔහු ඉඩම අත්පත් කරගත් ආකාරය සහ ඉදිකිරීම් සඳහා අරමුදල් සැපයූ ආකාරය පිළිබඳ දැනුම ප්‍රතික්ෂේප කර තිබුණි.

කතරගම නිවස පිලිබඳ සිද්ධිය රාජපක්ෂ පවුලේ සාමාජිකයන් විසින් රාජ්‍ය සම්පත් සහ ආරක්ෂක සේවකයන් පුද්ගලික කටයුතු සඳහා භාවිතා කිරීම පිළිබඳව පවතින පුළුල් චෝදනා නැවතත් මතු කරයි. වාර්තා අනුව, යුද හමුදා සෙබළන් නිවාස ඉදිකිරීම් සඳහා සහ පවුලේ සාමාජිකයන්ගේ පුද්ගලික කටයුතු සඳහා — උදාහරණයක් ලෙස බසිල් රාජපක්ෂගේ බිරිඳට සේවය කිරීම සහ බල්ලන් නෑවීම— යොදාගෙන ඇති බව සඳහන් වේ.

( සටහන්/වට් නිව්ස් වෙබ් අඩවියේ පුවත් ඇසුරින් සකස් කරන ලදී.)

Archive

Latest news

Related news