ගානට වැඩේ යටින් යනවා, පරිස්සමෙන්..!
මේ දවස්වල බුකීගත වුණාම හරි අපූරු දේවල් පේනවා. කාලයක් සමලිංගික අයිතීන් වෙනුවෙන් වැඩකරපු මිනිස්සු අද වෙනකොට සමලිංගික විරෝධී ස්ථාවරයකට පොලාපැනලා කෑගහනවා. කාලයක් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් වෙනුවෙන් පෙනීසිටි උදවිය දැන් එකපාරට විරෝධී වෙලා තිබෙනවා. කාලයක් හොරු අල්ලන්න ඕනෑ මිනී මරුවන් අත්අඩංගුවට ගන්න ඕනෑ කියපු අය දැන් එකපාරටම එපෝ කියනවා. කාලයක් ලිංගික ශ්‍රමය අලවි කිරීම නීතිගත කරන්න අවශ්‍යයි කියපු අය අද ඊට විරුද්ධ වෙලා. කාලයක් ලිංගික අධ්‍යාපනය දෙන්න ඕනෑ කියපු අය අද කියනවා නෑ එපා කියලා. මේ තත්ත්වය බරපතළයි කියලයි මම නම් හිතන්නේ. ඒ ඇයි?
මට මේ ආණ්ඩුව ආරක්ෂා කරන්න කිසි සේත්ම අවශ්‍ය නෑ. මම මේ ආණ්ඩු එනවට අකුල් හෙළපු මිනිහෙක්. හැබැයි 2013 අවුරුද්දේ රාවය පත්තරේට ආවාට පස්සේ ලියපු දේවල් ආයේ අංශක 360ක් ආපස්සට හැරිලා බොරු කියලා කියන්න මට බෑ. මම ඒ වෙනුවෙන් අදත් හෙටත් පෙනී ඉන්නවා. ඒකට මට පක්ෂ දේශපාලනයක් අදාළම නෑ. එතනදී මට මේ වෙන දේ ගැන සාධාරණ බයක් දැනෙනවා. මොකද 2015 අපි යහපාලනය කියලා එකක් හැදුවට පස්සේ 2016-17 වෙනකොට මේ ප්‍රශ්නයම ආවා. එදා ඒක පාලනය කරන්න තියා ඒකේ අනතුර දකින්නවත් නුවනක් රනිල්ට හෝ මෛත්‍රීපාලට තිබෙන්නේ නෑ.
අදත් ඒ තත්ත්වය ඒ විදිහටම වැඩ කරන්න පටන් අරගෙන. හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න නිදහස් කරනු කියලා මානෙල් මල් ව්‍යාපාරය කියලා එකකින් රට වටේම තාප්පවල පෝස්ටර් අලවනකොට මට මේක පේන්න ගත්තා. අද වෙනකොට ඒක පුලුල්ව හොරු සහ මිනීමරුවන් බේරාගැනීමේ මතවාදී ඔලු කන මෙහෙයුමක් බවට හැරිලා තිබෙනවා.
2016දී යහපාලනයට විරුද්ධව මේ මතවාදී යුද්ධය පටන්ගත්ත කල්ලියම අද මේ මතවාදී මෙහෙයුම පටන් අරගෙන තිබෙනවා. වෙනසකට තියෙන්නේ එදා යහපාලනය පැත්තේ හිටිය සමහරු පක්ෂ දේශපාලන අනුරාගය නිසා තමන් කැමති නායකයා බලයට අරගෙන ඒමේ උවමනාවෙන් මේ මතවාදී යුද්ධයට සිය කොන්දේසි විරහිත සහයෝගය ප්‍රකාශ කිරීම. මේ කල්ලිය එදා ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් තමයි මේ වැඩේට බැස්සේ. වෙනසකට තියෙන්නේ අද ඔවුන් නාමල් රාජපක්ෂ වෙනුවෙන් මේ වැඩේට බැහැලා සිටීම විතරයි.
දැන් මෙයාලගේ මූලික රාජකාරිය මොකද්ද? මූලික කාර්‍යය තමයි, සීඅයිඩීය ප්‍රමුඛ පොලීසිය සහ අල්ලස් කොමිසම දේශපාලනීකරණය වෙලා, දැන් මේ ආයතන දෙකම පැලවත්තේ කීමට තමයි වැඩකරන්නේ, මේ මිනිස්සු අත්අඩංගුවට ගන්නේ දේශපාලනය නිසා මිසක්, මේ මිනිස්සු වැරදි කරලා නෑ කියන එක, සමාජයේ බහුතර මතය කිරීම තමයි, මේ කල්ලියේ මතවාදී මෙහෙයුම බවට පත්වෙලා තිබෙන්නේ. එදා 2016 වෙනකොටත් ඕකම තමයි උනේ. ඒක කොයිතරම් දරුනුවට ඒ කාලේ ගියා ද කියනවා නම්, මෛත්‍රීට ලයිට් නිවාගෙන සාකච්ඡා කරන්න උනා.
ආණ්ඩුව රිවස්වීම
අද කොහොමද තත්ත්වය? අදත් වෙනස් නෑ. අද අනුර කුමාර ජනාධිපතිවරයා ට තකහනියක් නුවර දුවගෙන ගිහිං මහනායකවරුන් හමුවෙලා අපි සමලිංගික අයිතීන් පිළිගන්නේ නෑ කියලා කියන්න වෙලා. ඒ විතරක් ද?… මේ මතවාදී යුද්ධය කොච්චර දරුණු විදිහට යටින් යනවාද කියනවා නම් ආණ්ඩුවට සිද්ධවෙලා තිබෙනවා සමහර අත්අඩංගුවට ගැනීම් දැම්ම කරන්න එපා කියලා සීඅයිඩීය වගේ විමර්ශන ආයතනවලට කියන්න.
මේ මතවාදී යුද්ධයට ආණ්ඩුව එදා මෛත්‍රීපාලගේ ආණ්ඩුව වගේම බය වෙලා තිබෙනවා. ඒ බය නිසා තමයි රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීමෙන් පස්සේ ඒ ක්‍රියාදාමය ආපස්සට හරවන්න සිද්ධ වුණේ. ඒ බය නිසා තමයි ගම්මන්පිළ, මනූෂ වගේ අය අත්අඩංගුවට ගන්න ඉන්නවා නම් ටිකක් පරක්කු වෙන්නේ. අද වෙනකොට උළුගේතැන්න සිද්ධියට වගේම ළමයින් 11ක් පැහැරගෙන ගිහිං අතුරුදන් කරපු සිද්ධියට අදාළව සීඅයිඩීය තොරතුරු ඉල්ලුවාම නාවික හමුදාවෙන් කියන්නේ කුමක්ද? ඔවුන් 2016 වගේම අද කියනවා ඒවා විනාශ වෙලා කියලා. නාවික හමුදා මූලස්‍ථානය සුනාමියට අහුවුනාද ඒ තොරතුරු විනාශ වෙන්න? නෑ .. කතාව හරි පැහැදිලියි. එකම දේ තමයි මේ වෙමින් තිබෙන්නේ. ආණ්ඩුවත් ගන්නා සමහර පියවරයන් බයට ආපස්සට හරවලා, මේ මතය සමාජය තුළ තහවුරු වෙන්න ඉඩ හැරීම තමයි, මෙතන තිබෙන බයානකම තත්ත්වය.
පාස්කු අපරාධය
ඔන්න ඊයේ රෑ ඉදලා ආයෙත් පාස්කු කරළියට ඇවිත්. මේ විමර්ශනවලට අදාළවත් සමහර අත්අඩංගුවට ගත යුතු පුද්ගලයන් නොගෙන ඉන්න සීඅයිඩීය මේ වෙලාවේ පරිස්සම් වෙන බව පේනවා. ඒකට හේතුව මේ මතවාදයත් එක්ක දේශපාලන නායකත්වය සෙලවීම. රවී සෙනෙවිරත්න, ශානී අබේසේකර දෙන්නා අද සිට නැවත වටයකින් මේ කල්ලියේ ප්‍රහාරයට ලක්වෙන්න නියමිතයි. ඒකෙන් ඔවුන් කරන්නේ ඉදිරියේදී සිද්ධවෙන්න පුළුවන් අත්අඩංගුවට ගැනීම් දේශපාලනික පළිගැනීම් බවට හරවන්න අවශ්‍ය සමාජ මතය නිර්මානය කරන එක. අද වෙනකොට මේක රංග දිසානයකට සහ අල්ලස් කොමිසමට කරලා ඉවරයි කියලයි මට හිතෙන්නේ. රංගගේ හැසිරීමත් ඒකට යානයක් උනා.
නාමල් රාජපක්ෂ 2029 ජනාධිපති කරන්න සිහින දකින බොහෝ පිරිසක්ට නාමල් ප්‍රමුඛව සිරගත වෙන්න නියමිත මේ නඩය ආරක්ෂා කරගැනීම සඳහා මතවාදී මිනිස් පළිහක් නිර්මානය කරන්න අවශ්‍ය වෙලා තිබෙනවා. මොකද මේ පිරිස හොඳටම දන්නවා තමන්ගේ ලොක්කා ප්‍රමුඛ වටය කරලා තියෙන දේවල්වල ඇත්ත සහ එහි බරපතළකම. මේ පිරිස දන්නවා විමර්ශන ඇත්තටම ඉස්සරහට ගියොත් තමන්ගේ නායකයාට 2029 ජනාධිපති වෙන්න නෙවෙයි වෙන්නේ හිරේ යන්නයි වෙන්නේ කියලා. රනිල් 2029 ආයෙත් ජනාධිපති කරන්න සිහින දකින අපේ මිත්‍රයොත් මේ වෙලාවේ ටෙම්පරියක් අදිනවා නාමල් සුළඟට. හැබැයි ඔවුන් දන්නේ නෑ යම් මතයකට සමාජ බලයක් ලැබුණාම මොකද වෙන්නේ කියලා.
මම අර සචින් රත්වත්තේ ද කවුද කියන ලියන්නා වෙනුවෙන් පෙනී හිටිමින් ජනප්‍රියම හෑලි ලියපු හෑලි කවය දිහා පොඩ්ඩක් පරිස්සමට බැලුවා. නියම බඩු ටිකක් තමයි ඉන්නේ. ආතල්ම කතාව තමයි මේ බඩු මේ විදිහටම 2015 ඉදලා එක දිගට සිමෙන්ති ගල් බාස් ජනාධිපති වෙනකම්ම හෑලි ලිව්වා. වෙනසකට තිබෙන්නේ එදා මේ හෑලිවලට වැඩියෙන්ම හා හා රියැක්ෂන් දාපු හා හා හරි හාවෝ සෙට් එක අද රනිල් වෙනුවෙන් නාමල්ට ටෙම්පරි වැඩට බැහැලා මේ පෝස්ට් වලට හාට් රියැක්ෂන් දැමීම.
කාලය මැව් වෙනසක අරුමේ කියලා අපි බලාගෙන හිටියට කමක් නෑ ආණ්ඩුව බලාගෙන හිටියොත් නම් කපෝතියි..!
මට පේනවා ගෝඨාභය-රනිල් ගාව හිටපු ලොකුම ලොකු හමුදා සෙබලෙක් ගේ රුව සහිත පෝස්ටර් හෙටානිද්දට තාප්පවල දිදුලනවා. ඒ අස්සේ මහින්ද වන්දනාවේ යන වන්දනා නඩත් වැඩි වෙන්න පුළුවන්. ආණ්ඩුව සීඅයිඩීයට නිදහසේ තමන්ගේ වැඩේ කරන්න දීලා බලාගෙන ඉන්නයි තියෙන්නේ. අකුල් හෙළුවොත් අඩියක් පස්සට ගන්න කියලා කීවොත් ඉතිං මේ ආණ්ඩුවටත් වෙන්නේ යහපාලනයට උන දේම තමයි..! ඒ නිසා යටින් යන වැඩේ ගැන සවිඥානික වෙන්න කියලා තමයි ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට කියන්න වෙන්නේ..!
(කේ. සංජිවගේ මුහුණූ පොතේ වෝලයෙනි)