Friday, October 10, 2025

මෙය හිංසනයට එරෙහි පනතක් මිස, ශික්ෂණයට එරෙහි පනතක් නෙවෙයි – අගමැතිනි

රජය විසින් ඉදිරිපත් කර ඇති පනත හිංසනයට එරෙහි පනතක් මිස ශික්ෂණයට එරෙහි පනතක් නොවන බව අගමැති ආචාර්ය හරිනි අමසූරිය පවසයි.

ඇය මේ බව පැවසූවේ ඊයේ (01) අරලියගහ මන්දිරයේ පැවති “ආදරයෙන් සුරකින්න – අපට ලොව දිනන්නට” යන තේමාවෙන් සංවිධානය කළ ලෝක ළමා දින සැමරුම් උත්සවය අමතමිනි.

ළමාදිනය තේමා කරගනිමින් සමරු මුද්දරයක් සහ කවරයක් නිකුත් කිරීමද මෙහිදී සිදු කෙරිණ.

සභාව අමතමින් අගමැති ආචාර්ය හරිනි අමරසූරිය මෙසේද පැවසීය,

“අපේ රටේ ළමා පරපුර ප්‍රමාණාත්මකව ගත්විට ජනගහනයෙන් 31%කට ආසන්න ප්‍රමාණයක් නියෝජනය වෙනවා. ඔවුන් වෙනුවෙන් ඉටුකරන්නට රජය ලෙස අපට විශාල වගකීම් කොටසක් තිබෙනවා.

මෙවර ලෝක ළමා දිනයේ තේමාව ලෙස තෝරාගෙන තිබෙන්නෙ “ආදරෙන් සුරකින්න – අපට ලොව දිනන්නට” යන්නයි. ඇත්තටම දරුවන් වෙනුවෙන් අපි ඉටුකරන්න ඕන ප්‍රමුඛතම කාර්යය වන්නෙ ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම.

මම ආරක්ෂාව යනුවෙන් අදහස් කරන්නෙ දරුවන් කුමන පසුබිමක, කුමන තත්ත්වයක් යටතේ ජීවත් වුණත් “සියලුම දරුවන්ගේ සුරක්ෂිතතාවය තහවුරු කරමින් “කිසිදු දරුවකු අත නොහැර, ආර්ථික, සමාජයීය සහ මානසිකව සුරක්ෂිත මෙන්ම දරුවන්ට හිතකාමී පරිසරයක නිදහසේ ජීවත් වීමේ අවස්ථාව උදාකර දීමයි.

“සුරක්ෂිත ළමා ලෝකයක් – නිර්මාණශීලී අනාගත පරපුරක්” කියන අදහස මුල් කරගත් රජයක් ලෙස අපි දැනටමත් ඒ ආරක්ෂාව තහවුරු කිරීමේ කාර්යය වෙනුවෙන් අපේ උපරිමයෙන් ක්‍රියාත්මක වෙනවා.

 

විශේෂයෙන්ම ගෙවුණු වසරකට ආසන්න කාලය පුරාවට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශ විසින් දරුවන්ගෙ සුබසාධනය හා සමාජ ආරක්ෂාව සඳහා නීති සම්පාදනය කරමින් දරුවන්ගේ යහපැවැත්මට ප්‍රතිපත්ති, උපාය මාර්ග වැඩසටහන් හා ව්‍යාපෘති සම්පාදනය කරමින් ඒවා පිළිබඳ පසු විපරම් හා ඇගයීම් සිදු කරමින් දරුවන් වෙනුවෙන් විශාල වැඩකොටසක් ඉටුකරමින් ඉන්නවා.

ඒ අනුව පසුගිය අයවැය යෝජනා යටතේ ආයතනික රැකවරණය, භාරකාරත්වය යටතේ සිටින දරුවන් හා වීදි දරුවන් වෙනුවෙන් රුපියල් 5,000ක දීමනාවක් ලබා දීමේ වැඩසටහන, යම් කිසි කාරණාවකට වින්දිතයින් බවට පත්වන දරුවන්ට ආරක්ෂිතව සාක්ෂි ලබා දිය හැකි ඩිජිටල් පහසුකම් සහිත සාක්ෂි කාමර නිර්මාණය ආරම්භ කිරීම වැනි ඉතා වැදගත් තීරණ කිහිපයක් ම මේ වසරේ දී අපි ගනු ලැබුවා.

ඒ වගේම දරුවන් වෙනුවෙන් සිදුවන සියලුම ආකාරයේ හිංසනයන් පිටුදැකීම වෙනුවෙන් අවශ්‍ය පියවර ගැනීම අපි රජයේ විශේෂ අවධානය යොමු කරන ලද කාරණයක්.

එහි දිගුවක් ලෙස තමයි දරුවන් වදහිංසනයට පැමිණවීම පිළිබඳ පනත පාර්ලිමේන්තුට එන්නෙ. ඒ පනත සම්බන්ධයෙන් විවිධ මතිමතාන්තර, වාද විවාද ඇති වී තිබෙනවා. ඒක හොදයි එවැනි කථිකාවක් නීති සම්පාදනය කිරීමේ දී අවශ්‍යයි.

රටට ජනතාවට අදාල නොවන නීති සකස්කරලා වැඩක් නැහැ.

නමුත් මේ වාද විවාද ගැන අපි කල්පනාකාරී විය යුතුයි. වධහිංසා පනත සංශෝධනය කිරීමේ බලාපොරොත්තුව හිංසනයට එරෙහිවීම මිස ශික්ෂණයට එරෙහි වීම නෙමෙයි. දරුවන් වැරදි වැඩ කළොත් වැරදි ලෙස සමාජයේ හැසිරුණොත් ඔබව නිසි මාර්ගයට ගන්න වැඩිහිටියන් ගුරුවරුන්, දෙමව්පියන් මැදිහත් වෙනවා.

දරුවන් නිසි මගට ගන්න වැඩිහිටියන් දරුවන්ට වධහිංසා පමුණුවන්නේ නැහැ. විනය පවත්වා ගන්න පාසල්වල වධහිංසා පමුණුවනවා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. එ වගේම පාසල් තුළ විනය පවත්වා ගැනීමට එරෙහිව නෙමෙයි මේ පනත සංශෝධනය කළේ.

දරුවන් වරදින් මුදවාගන්න වැඩිහිටියන්, ගුරුවරුන්, දෙමාපියන් හිරගෙවල්වල දාන්න අපි සුදානම් නැහැ. දරුවන් හිරගෙවල්වලට යන එක නතර කරන්නයි අපිට අවශ්‍ය.

සහකම්පනයෙන් පිරුණු ආදරනීය ගුරුවරුන් වෙතින් ඉගෙනුම ලබන දක්ෂ, සංවේදී දරුපරපුරක් නිර්මාණය කිරීම රජයේ බලා පොරොත්තුව.”

ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය සරෝජනී සාවිත්‍රී පෝල් රාජ්, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා ඇමති නීතිඥ හර්ෂණ නානායක්කාර, නියෝජ්‍ය ඇමති වෛද්‍ය නාමල් සුදර්ශන යන මහත්ම මහත්මීන් ඇතුළු මැති ඇමතිවරුන්, අමාත්‍යංශ ලේකම්වරුන්, නිලධාරීන්, විදේශීය නියෝජිතයින්, දූදරුවන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

(ලංකා ට්රුත්)

Archive

Latest news

Related news