Sunday, September 14, 2025

ආණ්ඩුවේ ජිනීවා පිළිවෙත ගැන එම්.එස්.එම්. අයුබ්ගේ විග්‍රහය

මානව හිමිකම් ආණ්ඩුවේ පිළිවෙත

රජයේ හමුදා හා කොටි සංවිධානය අතර යුද්ධයේදී සිදු වූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා ජාත්‍යන්තර යාන්ත්‍රණයක් ඇති කළ යුතු යැයි මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයා දැක්වූ අදහස ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කර ඇත.

මහ කොමසාරිස්වරයා මෙම අදහස් ඉදිරිපත් කර තිබුණේ ශ්‍රී ලංකාව පිළිබඳ මේ වර්ෂයේ ඔහු ඉදිරිපත් කළ වාර්තාවෙනි.

පසුගිය 8 වැනිදා එ.ජා. මානව හිමිකම් කවුන්සිලයේ 60 වැනි සැසිවාරය ආරම්භ වූ අතර එදිනම කවුන්සිලය ඇමතූ විදේශ කටයුතු ඇමැති විජිත හේරත් මහතා එම අදහස ප්‍රතික්ෂේප කළේය. ඒ වෙනුවට ශ්‍රී ලංකාව දේශීය යාන්ත්‍රණයක් මගින් එම පරීක්ෂණ කරන බවද ඔහු එහිදී ප්‍රකාශ කළේය.

ඒ අනුව ආණ්ඩුව මේ වසරේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කෙරෙන යෝජනාව ද ප්‍රතික්ෂේප කරනු ඇත. වත්මන් ජාතික ජන බලවේග ආණ්ඩුව පසුගිය වසරේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කෙරුණු යෝජනාවද ප්‍රතික්ෂේප කළේය.

2009 දී ශ්‍රී ලංකාව මූලික වී ඉදිරිපත් කරන ලද යෝජනාව හා ඊනියා යහපාලන ආණ්ඩුව පැවැති කාලයේ වෙනත් රටවල මූලිකත්වයෙන් 2015, 2017 හා 2019 වසරවල ඉදිරිපත් කෙරුණු යෝජනා තුන හැර මෙරට සම්බන්ධයෙන් කවුන්සිලයට ඉදිරිපත් කෙරුණු අනෙක් සෑම යෝජනාවක්ම ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.

රාජපක්ෂවරුන්ගේ ආණ්ඩු කාලවලදී මෙම යෝජනා ප්‍රතික්ෂේප කරනු ලැබීම අපේක්ෂා කළ යුතු දෙයකි. එහෙත් ජනතා විමුක්ති පෙරමුණ කේන්ද්‍ර කර ගත් ජාතික ජන බලවේගය යටතේ පවතින ආණ්ඩුව මානව හිමිකම් උල්ලංඝනය වීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර මැදිහත්වීමෙන් පරීක්ෂණ පැවැත්වීම ප්‍රතික්ෂේප කිරීම තරමක් විශේෂය.

මන්දයත්, පැවැති ආණ්ඩු කැරැලි ගසන තැනට ජවිපෙ තල්ලු කර එම පක්ෂය මර්දනය කිරීමේ දී 1971 දී දස දහසකටත් විසි දහසකටත් අතර පිරිසක්ද 1988/89 කාලයේදී හැට දහසකට වැඩි පිරිසක්ද රජයේ හමුදා හා රාජ්‍ය පාක්ෂික සන්නද්ධ කල්ලි විසින් ඝාතනය කරනු ලැබූහ. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැන කතා කරන රටවල් හා සංවිධාන බොහෝ ගණනක් එම ඝාතන ගැන එතරම් උනන්දු වූ බවක් නොපෙනුණි. දැන් බලයේ සිටින්නේ ඒ සා විශාල මානව හිමිකම් උල්ලංඝනයකට ලක්වූ පක්ෂයක් ප්‍රමුඛ සන්ධානයකි.

අනෙක් අතට ජවිපෙ හිතවතකු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත ප්‍රින්ස් ගුණසේකර මහතා මූලික වී 1971 දී ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානයේ නියෝජිතයකු වූ ඇවබරි සාමිවරයා ගෙන්වා ගෙන මෙරට මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ජාත්‍යන්තර අවධානයට ලක් කිරීමට උත්සාහ කළේය.

එසේ වුවද මානව හිමිකම් උල්ලංඝන කිරීම් සම්බන්ධයෙන් දැන් ජාත්‍යන්තර මැදිහත්වීම්වලට ඉඩදීමේදී ජාතික ජනබලවේගය ආණ්ඩුව පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයකට මුහුණදී සිටින බව පෙනේ. එය වඩා හොඳින් පෙනුණේ පසුගිය වසරේය.

එම වසරේ මානව හිමිකම් කවුන්සිලය රැස්වූයේ මෙරට ජනාධිපතිවරණයත් පාර්ලිමේන්තු මැතිවරණයත් අතර කාලයේදීය. ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගය අපේක්ෂක අනුර කුමාර මහතාට සියයට පනහක ඡන්ද ලබාගැනීමට නොහැකි විය. ඔහු ලබා ගත් ඡන්ද ප්‍රතිශතය සියයට 42කි. ඒ අනුව මහ මැතිවරණයේදී එම පක්ෂයට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ලබාගත හැකිද යන ප්‍රශ්නය ද මතුවිය.

එසේ තිබියදී ඇමැතිවරුන් තිදෙනකුගෙන් සමන්විත ජාතික ජනබලවේගය ආණ්ඩුව මෙරට බහුතර සිංහල ජනතාව දැඩි ලෙස විරුද්ධ විය හැකි යමක් කරනු ඇතැයි සිතිය නොහැකිය. ඒ එවැන්නක් කිරීම සති දෙක තුනකින් එන මහ මැතිවරණයේදී දැඩි ලෙස බලපෑ හැකි හෙයිනි. ශ්‍රී ලංකාව පසුගිය වසරේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව ප්‍රතික්ෂේප කළේ එවැනි පසුබිමක් තුළය. එය පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයක ප්‍රතිඵලයකි.

දැන් ජාජබට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට වැඩි බලයක් ඇති බව සැබෑය. එහෙත් එය කොතරම් ස්ථාවර බලයක් ද යන ප්‍රශ්නය ද මතු වී ඇත. 2019 දී ජාජබට සියයට තුනක පමණ ඡන්දය දුන් ජනතාව පසුගිය වසරේ මහ මැතිවරණයේදී සියයට හැට දෙකක ඡන්ද දුන්නේ අවබෝධයෙන් නොව ආවේගයෙනි. එය 2021-2023 ආර්ථික අර්බුදය නිසා ඇතිවූ අවේගයකි. එසේම 2022 අරගලයේ සටන් පාඨ විසින් එතෙක් රට පාලනය කළ හා පාලනයට ස්ථිරව හවුල් වූ සියලු පක්ෂවලට එරෙහි ජන මතයක් ගොඩ නගනු ලැබ තිබිණි. ඒ සියල්ලේ වාසිය ගියේ ජාජබටය.

ජනතාව පසුගිය මහමැතිවරණයේදී කළේ අවබෝධයෙන් නොව ආවේගයෙන් කළ තේරීමක් නිසා ජාජබට ලැබී තිබෙන ජන සහයෝගය ස්ථාවර එකක් යැයි කිව නොහැකිය. පසුගිය මැයි 6 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණයේදී ජාජබට ලබාගත හැකි වූයේ සියයට 43ක ඡන්ද ප්‍රතිශතයකි. එනම් ජාජබ දැනුදු පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයකට මුහුණ දී සිටී. ඒ අනුව මානව හිමිකම් පිළිබඳ ප්‍රශ්නයේදී ජාජබ තවමත් රැඩිකල් තීරණ ගැනීමේ තත්වයක නැත.

විදේශ කටයුතු ඇමැති විජිත හේරත් මහතා මානව හිමිකම් කවුන්සිලයේදි ප්‍රකාශ කළේ මානව හිමිකම් පිළිබඳ චෝදනා විභාග කිරීම සඳහා ජාත්‍යන්තර යාන්ත්‍රණයක් ඇති කිරීමෙන් ජාතීන් අතර සහජීවනයට බාධා ඇති වන බවය. එහෙයින් එම අරමුණ වෙනුවෙන් ආණ්ඩුව දේශීය යාන්ත්‍රණයක් ඇති කර පරීක්ෂණ පවත්වන බවද ඔහු පැවැසීය.

සහජීවනයට බාධා පැමිණෙනු ඇතැයි ඔහු කළ ප්‍රකාශය පිළිගත හැකිය. අතීත සිදුවීම් පිළිබඳ පරීක්ෂණ කෙරෙද්දී සිංහල හා දෙමළ ජනමාධ්‍ය යුද්ධය පැවැති කාලයේදී මෙන් තම තමන්ගේ වෙළෙඳපොළට ගැළපෙන අයුරින් ඒවා වාර්තා කරන්නටත් විග්‍රහ ඉදිරිපත් කරන්නටත් පටන් ගත් විට සහජීවනය තව තවත් දුෂ්කරවීම අනිවාර්යය. එහෙත් දේශීය යාන්ත්‍රණයක් මගින් මෙම පරීක්ෂණ කෙරුණද එම ප්‍රතිඵලයම ලැබිය හැකිය.

මීට පෙර ද විවිධ ආණ්ඩු දේශීය යාන්ත්‍රණයක් මගින් පරීක්ෂණ පැවැත්වීමට කැමැත්ත පළ කළේය. ඉන් අදහස් කෙරෙන්නේ යුද්ධය පැවැති සමයේ යුද අපරාධ හෝ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සිදුවූ බව එම ආණ්ඩු පිළිගන්නා බවයි. අනෙක් අතට දේශීය හෝ ජාත්‍යන්තර යාන්ත්‍රණයක් මගින් පරීක්ෂණ පැවැත්වීම දකුණේ ජනතාව හා එහි දේශපාලනඥයන් කැමැතිවීමත් පෙන්නුම් කරන්නේ ඒ සියල්ලන්ම රජයේ හමුදා පමණක් මානව හිමිකම් උල්ලංඝනය කළා යැයි සිතන බවයි.

එහෙත් තත්වය එය නොවේ. 2014 දී මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවේ යුද්ධය පැවැති කාලයේ සිදුවූ තනි තනි සිදුවීම් නොව සමස්ත තත්වය ගැන කළ පරීක්ෂණයේ වාර්තාවෙන් ස්ත්‍රී දූෂණ හැර රජයේ හමුදාවලට එල්ල වූ අසාධාරණ ඝාතන, පැහැරගෙන යෑම්, වදදීම් ආදි සෑම චෝදනාවක්ම කොටි සංවිධානයටද එල්ල කෙරිණි. ඒ පිළිබඳව ඒ දිනවල ප්‍රකාශයක් කළ එවක දෙමළ ජාතික සන්ධානයේ නායක, අභාවප්‍රාප්ත ආර් සම්බන්ධන් මහතා ‘‘අපගේ ජාතියේ නාමයෙන් කරන ලද අපරාධ සැබැවින්ම සිදුවී ඇති ඒවා බව අප පිළිගත යුතුයැයි’’ කීවේය.

ජාජබ ආණ්ඩුව යුද්ධය පැවැති කාලයේ සිදුවීම් සම්බන්ධයෙන් පෙර පැවැති ආණ්ඩුවලට වඩා එක්තරා දුරකට වෙනස්ව කටයුතු කරන බවක්ද පෙනෙන්නට ඇත. පසුගිය පෙබරවාරි මාසයේ යාපනය නගරයේ පිවිසුමේ දොරටුව යැයි සැලකිය හැකි චෙම්මනි ප්‍රදේශයේ සිත්තුපාති නම් ස්ථානයේ සංවර්ධන කටයුතුවල නිරතව සිටි කම්කරුවන් පිරිසකට අහඹු ලෙස මිනිස් ඇටසැකිල්ලක් හමුවීමෙන් අනතුරුව එහි කැණීමේ කටයුතු කරන්නට ආණ්ඩුව අවශ්‍ය පහසුකම් සලසා දුන්නේය.

පසුගිය ජූනි මාසයේ මානව හිමිකම් පිළිබඳ එ.ජා. මහ කොමසාරිස් වොල්කර් ටූර්ක් මෙරටට පැමිණි විට දකුණේ ඇතැම් දේශපාලනඥයන්ගේ විරෝධය නොතකා ආණ්ඩුව ඔහුට චෙම්මනි ප්‍රදේශයට යන්නට පහසුකම් සැලසීය. මේ වනවිට එම ප්‍රදේශයේ කරන ලද කැණීම්වලින් මිනිස් ඇට සැකිලි දෙසීයකට වැඩි සංඛ්‍යාවක් සොයාගෙන ඇත.

එහෙත් මේ මස මුලදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යාපනය දිස්ත්‍රික්කයේ කළ සංචාරයේදී චෙම්මනි සමූහ මිනි වළ බලන්නට නොයෑම පිළිබඳව ඇතැම් දෙමළ කණ්ඩායම් හා දකුණේ ඇතැම් දැඩි මතධාරී වාමාංශික කණ්ඩායම් ඔහු දෝෂ දර්ශනයට ලක් කර තිබිණි. එහෙත් ඔහු එසේ ගියේ නම් එය රඟපෑමකැයිද මාධ්‍ය සංදර්ශනයකැයිද ඔවුන්ට කියන්නට ඉඩ තිබිණි.

මෙයද ජාතික ජන බලවේගයේ දේශපාලන පැවැත්ම හා සම්බන්ධ වන ප්‍රශ්නයකි. ජනාධිපතිවරයා එම සමූහ මිනීවළ බලන්නට යන්නට තරම් ජාජබ ඊට වැදගත්කමක් දුන්නොත් එය දකුණේ ජාතිකවාදීන් හා ජාතිවාදීන් කෙසේ දකිනු ඇත්දැයි සිතාගත හැකිය. කෙසේ වෙතත් මෙම කාරණයේදී උතුරේ හා දකුණේ සිතුම් පැතුම් තුලනය කරන්නට ආණ්ඩුව උත්සාහ කරන බවක්ද පෙනෙන්නට තිබේ.

එක් අතකින් ආණ්ඩුව කොටි සංවිධානය විසින් කරන ලද සමූහ ඝාතනයකට ලක්වූ පුද්ගලයන් වළලා ඇති සමූහ මිනී වළක් සම්බන්ධයෙන්ද කටයුතු කරන්නට යයි. 1990 ජූලි මාසයේදි කොටි සංවිධානය හජ් වන්දනාවට ගොස් පෙරළා පැමිණෙමින් සිටි පිරිසක් හා ඔවුන් කැඳවාගෙන යාමට පැමිණි පිරිසක් රැගෙන පැමිණි වාහන පෙළක් කල්මුණේ හා මඩකලපුව අතර කුරුක්කල්මඩම්හි දී නවත්වා 167 දෙනකු ඝාතනය කළේය. එම පුද්ගලයන්ගේ මළ සිරුරු එම ස්ථානයේ වළලා ඇතැයි සැලකේ.

අධිකරණ හා ජාතික ඒකාබද්ධතා ඇමැති හර්ෂණ නානායක්කාර මහතා ද මේ මස මුලදී එම ස්ථානයට ගොස් එය පරීක්ෂා කළේය. එම ස්ථානයේ කැණීම් කටයුතු කරන ලෙස කලුවාංචිකුඩි මහේස්ත්‍රාත්වරයා අගෝස්තු 28 වැනිදා නියෝගයක් දී තිබේ.

අනෙක් අතට චෙම්මනි ප්‍රදේශයට විශේෂයෙන් නොගිය ද ජනාධිපතිවරයා උතුරේ කළ සිය සංචාරයේදී දෙමළ ජනතාවගේ තවත් බරපතළ ප්‍රශ්නයක් සම්බන්ධයෙන්ද අවධානය යොමු කර තිබිණි. ඒ තමිල්නාඩු ධීවරයන් උතුරේ ධීවරයන්ගේ ධීවර සම්පත් කොල්ල කෑමේ ප්‍රශ්නයයි. මේ ප්‍රශ්නය මුල් කර ගෙන කච්චතිව් දූපත යළි ඉන්දියාවට ලබාගත යුතු යැයි තමිල්නඩුවේ නැඟී එන දේශපාලන නායකයකු වන චිත්‍රපට නළු ජෝසෆ් විජයි චන්ද්‍රසේකර් හෙවත් විජයි ප්‍රකාශ කර ඇත. ඊට දකුණේ බොහෝ දෙනකුගේද අවධානය යොමුවී තිබිණි.

ජනාධිපතිවරයා සිය උතුරු සංචාරයේදී කච්චතීවු දූපතට ද ගියේය. එම දූපත තමිල්නාඩු නායකයන් අයිතිවාසිකම් කියන තත්වයක් තිබියදී මිනිසුන් ජීවත් නොවන කතෝලික දේවස්ථානයක් පමණක් ඇති මෙම දූපතට ජනාධිපතිවරයා යෑම එම දුපතට ශ්‍රී ලංකාවට ඇති අයිතිය තදින්ම කියාපෑමකැයි ඇතැම්හු කියති. මෙය උතුරේ ධීවරයන්ගේ සිතැඟියාවන්ට ගැළපෙන්නකි.

පොදුවේ ගත් කල ජනවාර්ගික ප්‍රශ්නයට අදාළ බොහෝ කරුණුවල දී ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට ද තීරණාත්මක හා රැඩිකල් තීරණ ගැනීමට නොහැකි වී තිබේ. ඒ එම ප්‍රශ්නය එම පක්ෂයේ දේශපාලන පැවැත්ම හා තදින් බැඳි ඇති හෙයිනි. එහිදී ඔවුන්ගේ කටයුතු නිරපේක්ෂ අර්ථයෙන් හරි ද වැරදි ද යන්න වෙනම ප්‍රශ්නයකි.

එම්.එස්.එම්. අයුබ් (ලංකාදීප)

Archive

Latest news

Related news