වතුර කාන්දුව මත සැප ගත් බල්ලා! – සුනන්ද දේශප්‍රිය

546

සුපිරි මාරකැට්ටුවෙන් බණ්ඩක්කා 500ක්   බෑගයක දා ගෙන පිටවීමේ දොරටුව පැන්නා විතරයි, ඌ මා දෙස බලා විරිත්තුවේය.

මගීන් පණ පිටින්  සාඩින් කිරීමේ හාස්කම් සහිත 177 බස් පාරේ අටේ කනුව  ළග ‘සාදාකාලික වතුර කාන්දුව’ යැයි දෙස් විදෙස් හි සුපතල වතුර කාන්දුවේ සැප ගන්නට එන කණාටු බල්ලාය ඒ. ‘අඩේ කෙහෙළිය වෙන්නද යන්නේ? ඔය කොළපාට බෑග් මල්ල විතරයි දැන් කෙහෙළිය පවුලට තියෙනව කියන්නේ’ බල්ලා අපහාස සිනහවක් දැම්මේය.

බල්ලා යළි  කට හැත්තෑ දෙක කර ගත්තේ මේ දවස්වල ‘අපි ඔක්කොම යාළුවෝ’ වේදිකාවල කෙඳිරි ගාන විපක්ෂ සෙට් එක මතක් වෙන ගානටය.

‘ බලු මාමේ, උදේට කෑවයි?” මං ඇහුවේ බණ්ඩක්කා කරළක් අතට ගනිමිනි. ‘ ඇයි මාත් ලිස්සන බොට්ටුවේ යනව කියලයි බණ්ඩක්කා දෙන්නේ?’

‘පෙරේද ටුවරිස්ල සෙට් එකක් බැස්සනේ මගේ ‘සදාකාලික වතුර කාන්දුව’ බලන්න. ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ කිව්වා මෙහෙම එකක්! මට පොටෝත් ඇල්ලුවා. ‘ මගේ ෂැපේ නවත්තන්න කුමාරයටත් බැරි වුනා’ කියල මං සද්දයක් දැම්මේ එතන ජයවේවා බෝඩ් එකක් එයාර් පොට් එකේදි උස්සන් ආපු ආපු මාලිමා කාරයෙක් වගේ පොරක් හිටපු නිසා’.

බල්ලා හතර වටේටම දෙසන්නට ගත්තේය.

‘මං මෙතන ෂැප ගන්න එකට ඔහේ අවුල්ද? ඔහේ කුමාරයටයි කුමාරිටයි ලිව්ව නේද නවත්තන්ත කියල? දැන් අව්රුදු හතක් ලියලත් කරපු කෙංගෙඩිය මොකක්ද ඕයි.”

මට තක්බීර් වුණා. මොකක්, මං බල්ලෙක් වෙලාද, බල්ලා සිංහයෙක් වෙලාද කියා මගේ ඉහ මොළ රත් වුණා. මුගේ කතා මට ඇහෙන්නේ කොහොමෙයි? මට හිස කුඩිච්චියක් වත් වැටිලද දන්නේම නැතුව?

මට එකපාරටම බලු හාමු කියවෙච්චි! බලු බාසාව ගූගල් එකෙන් වගේ පර්වර්ථනය වෙන්න ගත්තා.

කතාව ඇත්ත. මං කිඹුල් බනිසක් කකා එන ගමන් මේ බලුහාමු අපේ ගෙදරට වතුර එන පොළව යට  බටෙන් සදාකාලිකව පිටාර යන සුනිල්වන් දිය දහර උඩ කූල් වෙවී හිටියේ තුවාල හේදෙන්නත් එක්ක. ඒ සෞඛ්‍යමය වතුර,බටය අතුලට ගියේ ඔච්මක් දා ගෙන.  නාන ගමන් බලු හාමු ‘අල්ලපන් බං පොටෝවක්වත් කිව්වා’.

ඒ පින්තූරේ අරං මං එලොන් මස්සගේ එක්ස් සමාජ ජාලෙට දුන්නනේ.  කුමාරයයි කුමාරියි ටැග්කර බව මතක් වුණේ එතකොට. බලු හාමුට ඒක ආරංචි වෙලා. සුදා යූ ටියුබයකවත් කිව්වද මන්දා? සුදා අසමත්ජාති එකා. ඌ කිව්ව නං කියන්නේ ඇත්තේ ‘සුනන්දයා බලුහාමුගේ පොටෝත් වික්කා. සත්ව හිංසනයට හිරේ යනව සත්තයි. නොගියොත් මං පොලවේ පස් කනවා’ කියල වෙන්නැති.

බලු හාමු කුරුසෙ ගහල බැලුව. ‘සුදා කතාව දාලද? එහෙනන් සජියටත් දාපන්. පව් අහිංසකයා එල්ලෙන්න වැළක් නැතුව ඉන්නේ. පස්සේ දෙකට තුනට කැඩෙයි වගේ.  සුදාගේ එල්ලිලා දිවය ලොකේවත් යං නැතෑ’ කියපි.

‘බලුහාමුට පක්ෂෙ වෙනුවට කියවුණේ පස්සේ කියල වෙන්නැති.  වැඩ වෙන හැටියට සජිත්ගේ පස්සයි සජිත්ගේ පක්ෂෙයි ඒ තරං වෙනසක් නැතුව ඇති’ කිව්වේ ළග හිටපු කඩල මහත්තය!

‘හැබැයි සජියට කියනව හෙම නොවෙයි, මං ගන්න ෂැප. ඒයි මාත් අරං ගිහිං කොටින්ට දෙන්න’ බලු හාමු සාම සාකච්ජා බාසෙන් කිව්ව. ‘ හැමෝටම සාමේ ඕනේ රෙද්දේ රෙවුනහමනේ’ මට කියවුණා.

‘මටත් ආරංචියි, ‘සර් අත්අඩංඟුවට ගන්නව’ කියපු ගමන් ලංඩන් ගිය රනිලා ටොයිලට් බැස්ස කියල.කළිසම උස්ස උස්සලුලු ගියැයි කියන්නේ. ඒත් ප්‍රවේසමෙන් බණ්ඩක්කයො. දැන් සෙට් එකම සැට් වෙලාලු නේද’ බලු හාමු ඇහුව. ‘පිල්ලලෙයාන් හිරේ හිටියේ නැත්නම් ඌටත් එතන පුටුවක් ෂුවර්.’

කඩල මහත්තය දැම්මේ නැතැයි ආයෙත් ඔලුව.

‘අම්මට උඩු! සිරා මැද වාඩිවෙලා දුන්න මල් පහේ කතාවක්. සිරා නොවෙයි මිනිහ මයික් ටයිසන් කෙනෙක්. මයික් එකක් දෙනව නම් කීරි සම්බා ලොරියක් හරි බාවි!’

‘බලු හාමු ටිවී බලනවද?’ මං ඇහුව. ‘බල්ලොත් නොබලන ටීවී!’ කියාපි කඩල මහත්තය.

‘රනිලගේ මස් කන්න හිටපු සැට් එක දාපු බජව්ව නං නැගලම ගියා. දයාසිරි දාපු ප්‍රභූ පොලු සෙල්ලමට ජී.එල්. දාපු මණමාල හිනාව. මගේ අම්මෝ එහෙම හිනාවක්.’

‘බලු මහත්තය හරි වල්’ කිව්වේ භූතයෙක්ද කොහේ.

‘රනිල ඇතුලට දාපු එක පළි ගැනීමක් කියළ නේද සැට් එකම කිව්වේ?  අඩුවකට තිබුණෙ උපාලි අබේරත්න උන්නැහේ විතරයි!’ බලු හාමුගේ ගර්ල් ප්‍රෙන්ඩ් කිව්ව. ගර්ල් පෙන්ඩ් ආවෙ නොට්ටි ගගහ.

‘උඹ නොට්ටි ගහන්නේ මක්කැයි?’ ඇහුවේ ලවින් බලු හාමු. ‘ප්‍රභූ කාරෙකක් මගේ කකුල උඩින් ගියා. සුනාමි හොරයි චෞර රැජනයි කිව්ව ඕක සුලු දෙයක්නෙ කියල. බෙතඩීන් චුට්ටක් දීල ඒක හලා ගන්න කිව්ව’

‘අබේරත්න කිව්වේ අර ගොටගේ පළිගැනීම් කොමිසමේ ලොක්කනේද? එයාට පාර්ලිමේන්තු පැන්ෂන් නෑනේ. ආණ්ඩුව වැට්ටුව කියළ උපාලි උන්නැහේට වාසියක් තියේද?’

බලු හාමිනේට යකු ගියා. ‘ යෝදයෝ, වතුරට කූල් වෙලා තොට ඕල් මොරන්දම්ද? අර ‘අපි යාළුවෝ” මයික් සෙට් එක වගේ. මං කිව්වෙ ඒ උත්තමයා ආවේ නෑ කියල. ආවනං හෙම කෝමෙයි රග්බි පුතා ‘මේක දේශපාලන පළිගැනීමක් කියන්නේ?’ රග්බි පුතත් හිටියනේ ගොටගේ පළිගැනීම් කොමිසම දාපු කැබිනට් ලාච්චුවක.”

‘අම්මට හුඩු’ ඒ තමයි කඩල මහත්තයගේ ආරම්භක සුභපැතුම! ‘ගෝටගෙයි ඔය නාමල් ගෝතයගෙයි ආණ්ඩුව තිබුණ නම් පළිගැනීම් කොමිසමෙන් රනිලගේ සෙට් එක හිරේ යවල ඉවරයි! අපරාදේ අරගලයකාරයො ගේල්පේස් ගියේ. එහෙම නූනා නම් රනිල හිරේ යන්න මරාගේ අනුහසින්’

‘එදා රනිල් හිරේ යවන්න කොමිසන් දාපු එකා අද රනිලා  අතුළට දාපු එක දේශපාලන පළිගැනීමක් කියන කොට රෙදි  ඉල්ලයෙි උනානේ.” බලු හාමිනේ කිව්වෙ ලැජ්ජාවෙන් වගේ.

‘උඹ වේදිකාව යටට රංගුවද රෙදි ඉල්ලලෙයි වෙන කොට සැට් එක බලන්න.’ ආයෙත් වල් කතාවක් කිව්වේ කඩල මහත්තය.

බලු හාමිනේ ඇරියෙත් නෑ. ‘ රග්බි පුතාගේ සැට් එක බලන්න මං එයාර් ලංකා හාමිනේයැ?’

‘අරගලකාරයො ගැන කිව්වනේ. ඇත්තද අර කොළඹ වසන්තය ගෙන්න බැහැපු වසන්ත මුදලියත් බැහැල කියන්නේ ගේමට.’ කූල් වෙන ගමන් බලු හාමු ඇහුව. බලු හාමු චමුදිතයගේ පත්තර කතා බලනවද  කොහේ.

‘ඔය රනිලා කියන එකා තමයි වසන්ත මුදලිය දවස් 167ත් නිරපරාදේ හිරේ වහල තිබුණෙ.  එතකොට රවුෆ් හකීම්  තුමාගේ මුඛ දෙකම වැහිලද බොල තිබුණෙ. දැන් රනිලට හොදින් ගරුසරුවට සළකන්න කියන්නේ ජනාධිපතිල එන්නේ අලි පුකෙන් නිසාද?’

කඩල මහත්තය සුම්බරයක් බැඳ ගත්ත. ‘මං උන්ගේ එකෙක්. අපේ කොල්ලෝ දෙන්නෙක් කුමාරයම අත්සන් ගහල හිරේ තිබ්බ මාස ගණන්. ඔය හකීමය වාතයක්වත් යැවුවද? රනිල දවස් හතරටයි දැම්මේ. එකත් හොස්පිටල්! හකීමයගේ පුටුව ගිනි අරංලු. නොදකින් ප්‍රභූ හැත්ත’

අහම්බෙන් වගේ ආපි 155 බස් එකක්. පාර වැරදිලා! මල්මාල පිටින්ම බැස්සේ නැතැයි කඩුවෙල මංත්‍රිනී මානව හිමිකම් (හිටපු) නෝනෙ. පොටෝ කට්ටියත් බැහැපි.

‘අප බස් දානව. වතුර කරාම අරිනව. පොටෝ ගහනව. ඒ අස්සේ මෙතන බලු සමුළුවක්. මේ වතුර කාන්දුවට පරණ ආණ්ඩුව වග කියන්න ඕන බව දන් නැත්ද? කුමාරය කිය කිය තොපි ලොක්කට බණිනව. අපේ ඔත්තුකාරයො හැම තැනම දාල තියෙන්නේ. ඔය අවුස්සන එකාට බණ්ඩක්කෙ උඩම නැගල ලිස්සල යන්න කියපල්ලා.”

බලු හාමුයි බලු හාමිනෙයි හිනහ වෙවී නැගපි බස් එකට. අබුද්දස්ස කාලේ වගේ කව්ද කියල කව්රුත් දන් නෑ වගේ. ‘ රතු සහෝදරවරු බල්ලන්ටත් කූල් වෙන්න දීල තියෙන්නෙ බොලව්! පැලවත්තනේ එන්න කලින් අන්ත්‍රස්ධාන වෙයව්”බලු ජොඩුව කෑ ගැහුව.

‘බල්ටියක්’ අර භූතයා කියා ගෙන පැලවත්ත පැත්තට පා වුණා.

බලු සමුළුව අදට අවසන්. බයට නොවෙයි හෑ!

( මෙම ලිපිය අනිද්දා පුවත්පතෙහි පසුගිය කලාපයේ සම්මුති විසම්මුති තීරු ලිපිය ලෙස පළ විය)

                                                                                     ‘