නැගෙනහිර බිය වැද්දූ පිල්ලෙයාන්ගේ වෙඩික්කරු කණ්ඩායම ළඟදීම අත්අඩංගුවට
ඡායාරූපය: පිල්ලෙයාන් සියලු රාජපක්ෂවරුන්ගේ සුරතලකු සහ ආරක්ෂකයකු විය.
(Sri Lanka Brief/17 August 2025) නැඟෙනහිර පළාතේ සිදු කළ පැහැරගැනීම්, අතුරුදන් කිරීම් සහ වෙඩිතැබීම්වලට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති හිටපු ඇමැති ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් යටතේ සේවය කළ වෙඩික්කරුවන් 6 දෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇති බව සිළුමිණ වාර්තා කරයි.
පිල්ලෙයාන් රාජපක්ෂ පාලන සමයන්හි දී නැගෙනහිර මහ ඇමති තුනතුර සහ මධ්‍යම ආණ්ඩුවේ නියෝජ්‍ය අමතිවරයකු ද විය.
ළමා සොල්දාදුවන් බලහත්කාරයෙන් බඳවා ගැනීම සහ තවත් යුද අපරාධ සම්බන්ධයෙන් පිල්ලෙයාන් චෝදනා ලබා තිබේ. මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ සමයන්හිදී පිල්ලෙයාන් පාර රාජ්‍යය ක්‍රියාකාරිත්වයන්ට තුවක්කුකරුවන් සැපයූ බවට චෝදනා එල්ල වී තිබේ. කප්පම් ගැනීම පිනිස නැගෙනහිර පළාතෙහි ඝාතන ගණනාවක් කළ බවට පා.ම. ශානක්කියම් රාසපුත්‍රම් පිල්ලෙයාන්ට චෝදනා කරයි.
පිල්ලයොන් අත්අඩංගුවට ගත් අවස්ථාවෙහි රනිල් වික්‍රමසිංහ සහ ගම්මන්පිල ඔහුගේ සහායට පැමිණි නමුත් දැන් පිල්ලෙයාන් ගැන දරන්නේ නිහඩ ස්ථාවරයකි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගැනීමෙන් පසු රඳවාගෙන ප්‍රශ්න කරන පිල්ලෙයාන්ගෙන් සහ නැඟෙනහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී කේ. පුෂ්පකුමාර් හෙවත් ඉනියභාරතීගෙන් සිදු කළ දීර්ඝ ප්‍රශ්නකිරීම්වලදී වෙඩික්කරුවන්ගේ කණ්ඩායම පිළිබඳ තොරතුරු හෙළි වී ඇත.
මේ දෙදෙනා විසින් අනාවරණය කරන ලද තොරතුරු මත පසුගිය සතියේ මඩකලපුවේදී සහ කොළඹ, කෙසෙල්වත්ත ප්‍රදේශයේදී අදාළ වෙඩිතැබීම්වලට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනක්ද අත්අඩංගුවට ගනු ලැබූහ.
පිල්ලෙයාන් විසින් 2007 – 2008 කාලයේදී මෙහෙයවන ලද සන්නද්ධ කණ්ඩායමක් මඟින් එම කාලයේදී මඩකලපුව දිස්ත්‍රික්කයේ සහ නැඟෙනහිර පළාතේ දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන් සහ සිවිල් වැසියන් ඝාතනය කිරීම්, පැහැරගෙන යෑම් සහ අතුරුදන් කිරීම් රැසක් සිදු කළ බවට මේ වන විට තොරතුරු අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන බවද සිළුමිණ වාර්තා කරයි.
සිළුමිණ රාජ්‍ය පාලනය යටතේ පවත්නා සති අන්ත පුවත්පතකි.