Monday, July 28, 2025

අග විනිසුරු ධූරයට පත් වූ ප්‍රීති පද්මන් සූරසේන දුන් සුවිශේෂී තීන්දු!

වත්මන් අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු විශ්‍රාමයාමෙන් පසුව එම ධූරයේ පුරප්පාඩුව සඳහා මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින දෙවන ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයා වන ප්‍රීති පද්මන් සූරසේන අද (ජූලි 27) ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම් දුන්නේය.

ඒ අනුව, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ශ්‍රී ලංකාවේ 49 වන අග්‍ර විනිශ්චයකාරවරයා ලෙස කටයුතු කරනු ඇත.

නීති ක්ෂේත්‍රයට පිවිසීම

1985 වසරේ කොළඹ විශ්වවිද්‍යාලයෙන් උපාධියක් හිමි කර ගත් ප්‍රීති පද්මන් සූරසේන ඉන් අනතුරුව නීති ප්‍රවේශ විභාගය තුළින් කොළඹ නීති විද්‍යාලයට ඇතුළත් විය.

නීති විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරූ ඔහු 1989 වසරේ නීතිඥවරයෙකු වශයෙන් දිවුරුම් දුන්නේ ය.

ඉන් අනතුරුව නීතිපති දෙපාර්තමේන්තුවට එක්ව රජයේ නීතිඥවරයෙකු වශයෙන් සේවය කළ ඔහු 2007 වසරේ එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත් කරන ලදී.

2016 වසරේ ජනවාරි මස 20 වන දා ප්‍රීති පද්මන් සූරසේන එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අභියාචනාධිකරණ විනිසුරු ධුරයට උසස් කරන ලදී.

ඉන් අනතුරුව 2018 වසරේ ජනවාරි මස 15 වන දා ඔහු අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා වශයෙන් පත් කරනු ලැබී ය.

2019 වසරේ ජනවාරි මස 09 වන දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වශයෙන් පත් කරන ලදී.

එතැන් පටන් මේ දක්වා ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චකාරවරයෙකු වශයෙන් කටයුතු කරන ප්‍රීති පද්මන් සූරසේන වත්මන් අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දුට පසුව සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයා වේ.

ප්‍රීති පද්මන් සූරසේන විසින් දෙන ලද විශේෂ නඩු තීන්දු

මහාධිකරණ විනිසුරුවරයා වශයෙන් කටයුතු කළ කාල සීමාව තුළ ඔහු දුන් ඇතැම් නඩු තීන්දු කෙරෙහි දැඩි අවධානයක් යොමු විය.

වෙලේ සුදාට මරණ දඬුවම නියම කිරීම

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා නමැත්තාට මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනා යටතේ නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පැවරීය.

එම නඩුව 2015 වසරේ ප්‍රීති පද්මන් සූරසේන කොළඹ මහාධිකරණ විනිසුරු ධූරයේ කටයුතු කරද්දී ඔහු ඉදිරියේ විභාගයට ගැනිණි.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරු සූරසේන විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කරනු ලැබ තිබූ මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවලට ඔහු වරදකරු කරන බව තීන්දු කළේ ය.

ඒ අනුව එම විත්තිකරුට මරණීය දණ්ඩනය නියම කිරීමටත් ඔහු කටයුතු කළේ ය.

දින 52 ව්‍යවස්ථා අර්බුදය

ඊට අමතරව, ප්‍රීති පද්මන් සූරසේන අභියාචනාධිකරණ විනිසුරු ධූරයේ කටයුතු කළ සමයේත් දැඩි මතභේදයට දුන් තීන්දු කිහිපයක් ප්‍රකාශයට පත් කර තිබිණි.

2018 වසරේ ඔක්තෝබර් මස 26 වන දා යහපාලන රජයේ අග්‍රාමාත්‍යවරයා අවශ්‍යයෙන් කටයුතු කළ රනිල් වික්‍රමසිංහ එම තනතුරෙන් ඉවත් කර එම තනතුරට මහින්ද රාජපක්ෂ පත් කිරීමට එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කළේ ය.

ඉන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් නව අමාත්‍ය මණ්ඩලයක් ද නම් කරන ලදී.

පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් නොමැතිව මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා වශයෙන් නම් කිරීම සහ නව අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීම නීතියට පටහැනි බවත්, එබැවින් ජනාධිපතිවරයා සිදු කළ එම පත්කිරීම් බලරහිත කරන ලෙසත් ඉල්ලා එවක පාර්ලිමේන්තුව නියෝජනය කළ එක්සත් ජාතික පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය‍, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පක්ෂවලට අයත් මන්ත්‍රීවරුන් 122 දෙනෙක් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කළහ.

එම පෙත්සම විභාගයට ගැනුණේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේනගේ ප්‍රධානත්වයෙන් යුත් විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ය.

එම පෙත්සම විභාග කළ සූරසේන විනිසුරුවරයා ප්‍රමුඛ විනිසුරු මඩුල්ල තීරණය කළේ, පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැතිව අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීමට එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගත් තීරණය නීතියට පටහැනි බවට බැලූ බැල්මටම පෙනී යන බව ය.

ඒ අනුව, අදාළ පෙත්සම විභාගයට ගැනීමට අවසර දුන් විනිසුරු මඩුල්ල එම පෙත්සම විභාග කොට අවසන් වන තෙක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු එම අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින්ට අමාත්‍ය ධූරවල කටයුතු කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කළේ ය.

මෙය මෙරට ඉතිහාසයේ නිකුත් වූ ඓතිහාසික අධිකරණ තීන්දුවක් ලෙස නීතිවේදීහු පෙන්වා දෙති.

ඥානසාර හිමිට සිර දඬුවම් නියම කිරීම

ඊට අමතරව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන්ට වසර 19ක සිරදඬුවමක් නියම කොට එය වසර 06කින් ගෙවී යා යුතු බවට නඩු තීන්දුවක් ලබා දුන්නේ ද ප්‍රීති පද්මන් සූරසේන අභියාචනාධිකරණ විනිසුරුවරයා වශයෙන් කටයුතු කළ අවධියේ ය.

2015 වසරේ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ එම අධිකරණය තුළ කලහකාරී ආකාරයෙන් හැසිරී අධිකරණ කටයුතුවලට බාධා කිරීම තුළින් ඥානසාර හිමියන් අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් එවක හෝමාගම මහේස්ත්‍රාත්වරයා වශයෙන් කටයුතු කළ රංග දිසානායක අභියාචනාධිකරණයට පැමිණිල්ලක් ගොනු කර තිබිණි.

එම පැමිණිල්ල විභාග කරන ලද්දේ ද, අභියාචනාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේනගේ ප්‍රධානත්වයෙන් යුත් විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ය.

එම අධිකරණයට අපහාස කිරීමේ පැමිණිල්ල පිළිබඳව දීර්ඝ ලෙස විභාග කිරීමෙන් අනතුරුව විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ප්‍රමුඛ විනිසුරු මඩුල්ල විසින් ඥානසාර හිමියන්ට ඉහත සඳහන් කළ සිර දඬුවම් නියම කරන ලදී.

ගීතා කුමාරසිංහගේ මන්ත්‍රී ධූරය අහෝසි කිරීම

2015 වසරේ පාර්ලිමේන්තු ඡන්ද විමසීමෙන් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වශයෙන් තේරී පත්වූ රංගන ශිල්පිනී ගීතා කුමාරසිංහගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීමේ රිට් ආඥාව නිකුත් කරන ලද්දේ ද ප්‍රීති පද්මන් සූරසේන අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු වශයෙන් කටයුතු කළ අවධියේ ය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වශයෙන් තේරී පත්වූ ගීතා කුමාරසිංහ ස්වීට්සර්ලන්තයේ පුරවැසිභාවය හිමි තැනැත්තියක බැවින් ඇයට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව සුදුසුකම් නොමැති බවත් ඇයගේ මන්ත්‍රී ධූරය බලරහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙසත් ඉල්ලා ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින් පිරිසක් විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබිණි.

එම පෙත්සම දීර්ඝ ලෙස විභාග කිරීමෙන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන තීන්දු කළේ, ගීතා කුමාරසිංහට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව සුදුසුකම් නොමැති බවට ය.

ඒ අනුව, ඇයගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බලරහිත බව තීරණය කරමින් ඔහු විසින් රිට් ආඥාවක්ද නිකුත් කරන ලදී.

පසුව මෙම තීන්දුවට විරුද්ධව ගීතා කුමාරසිංහ ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළ අතර, එය විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරියගේ මන්ත්‍රී ධූරය බලරහිත කරමින් අභියාචනාධිකරණය දුන් තීන්දුව තහවුරු කර අභියාචනය නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කළේ ය.

ශ්‍රේෂ්ඨාධිකරණයට පත්වීමෙන් පසුව දුන් නඩු තීන්දු 

දුමින්ද සිල්වාට ජනාධිපති සමාව දීම බලරහිත කිරීම

පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් වරදකරු වී මරණීය දණ්ඩනය නියම වි සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ජනාධිපති සමාව පිරිනමා නිදහස් කිරීමට ගනු ලැබූ තීරණය බලරහිත කිරීමේ තීන්දුව දෙනු ලැබුවේ ද ප්‍රීති පද්මන් සූරසේනගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසිනි.

දුමින්ද සිල්වා හිටපු මන්ත්‍රීවරයාට ජනාධිපති සමාව ප්‍රදානය කර නිදහස් කිරීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් එම සමාව බලරහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙසත් ඉල්ලා භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ බිරිඳ වූ සුමනා ප්‍රේමචන්ද්‍ර, දියණිය වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසක් මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබිණි.

එම පෙත්සම් පිළිබඳ විභාගයක් පැවැත්වීමෙන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ ප්‍රීති පද්මන් සූරසේන ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල දුමින්ද සිල්වා හිටපු මන්ත්‍රීවරයාට සමාව ප්‍රදානය කර නිදහස් කිරීමේදී එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නීතිමය ක්‍රියා පටිපාටිය අනුගමනය කර නොමැති බව සඳහන් කළේ ය.

ඒ අනුව, මරණීය දණ්ඩනය නියම වී සිටි දුමින්ද සිල්වාට ජනාධිපතිවරයා විසින් ප්‍රදානය කරන ලද සමාව බල ශූන්‍ය බවත් ඒ අනුව එය බලරහිත කරමින් ආඥාවක් නිකුත් කරන බවත් විනිසුරු සූරසේන සිය තීන්දුවේ සඳහන් කර තිබිණි.

නසීර් අහමඩ්ගේ මන්ත්‍රී ධූරය අහෝසි කිරීම

ඉකුත් රජයේ පරිසර අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කළ නසීර් අහමඩ්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහිමි කිරීමේ තීන්දුව ලබා දුන්නේ ද ප්‍රීති පද්මන් සුරසේනගේ ප්‍රධානත්වයෙන් යුත් විනිසුරු මඩුල්ලකි.

2020 වසරේ පැවති පාර්ලිමේන්තු ඡන්ද විමසීමෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරයෙකු වශයෙන් තේරී පත්වූ නසීර් අහමඩ්, 2021 වසරේ දෙසැම්බර් මස පැවති අයවැය විවාදය පිළිබඳ ඡන්ද විමසීමේදී රජයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේ ය.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය අයවැයට එරෙහිව ඡන්දය ප්‍රකාශය කිරීමට ඒකමතිකව තීරණය කර තිබියදී පක්ෂ තීරණය උල්ලංඝනය කරමින් රජය සමග එක්ව ඡන්දය ප්‍රකාශ කිරීම තුළින් නසීර් අහමඩ් මන්ත්‍රීවරයා පක්ෂ විනය උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් එම පක්ෂය විසින් ඔහු මන්ත්‍රී ධූරයෙන් නෙරපන ලදී.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා අමාත්‍ය නසීර් අහමඩ් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළේ ය.

එම පෙත්සම විභාග කරන ලද්දේ, ප්‍රීති පද්මන් සූරසේන ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසිනි.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ප්‍රීති පද්මන් සූරසේන විනිසුරුවරයා සඳහන් කළේ, අමාත්‍යවරයාගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීම ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නීත්‍යනුකූල ආකාරයෙන් සිදුකර ඇති බව ය.

ඒ අනුව, ඔහුගේ මන්ත්‍රී ධූරය බලරහිත වන බවත් විනිසුරුවරයා තීන්දු කළේ ය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සුඛෝපභෝගී නිවසක් ලබා දීම වැළැක්වීම

ඊට අමතරව, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විශ්‍රාම යාමෙන් අනතුරුව ඔහුට කොළඹ, මලලසේකර මාවතේ පිහිටි සුඛෝපභෝගී නිවසක් ලබා දීමට එවක අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලද්දේ ද ප්‍රීති පද්මන් සූරසේන ප්‍රධානත්වය දැරූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසිනි.

2019 වසරේ මෛත්‍රීපාල සිරිසේන අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරමින් තමන්ට අවශ්‍ය නිවසක් තම අමාත්‍ය මණ්ඩලය හරහා අනුමත කර ගැනීම නීතියට පටහැනි බවත්, ඒ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවත් චෝදනා කරමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඇතුළු පාර්ශව කීපයක් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කළහ.

එම මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට අවසර දුන් ප්‍රීති පද්මන් සූරසේන ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විශ්‍රාම යාමෙන් අනතුරුව මෛත්‍රීපාල සිරිසේනට මලලසේකර මාවතේ පිහිටි නිවස ප්‍රදානය කිරීමට ගෙන තිබූ අමාත්‍ය මණ්ඩල තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ ය.

විද්‍යුත් වීසා නිකුත් කිරීම සමාගම් දෙකකට පැවරීම වැළැක්වීම

ඉකුත් රජය සමයේ විද්‍යුත් වීසා නිකුත් කිරීමේ කටයුතු පෞද්ගලික සමාගම් දෙකකට පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමන් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලද්දේ, ප්‍රීති පද්මන් සූරසේනගේ ප්‍රධානත්වයෙන් යුත් විනිසුරු මඩුල්ලක් විසිනි.

අදාළ කැබිනට් තීන්දුව තුළින් රජයට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් අහිමි වන බවටත්, ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල වන බවටත් සඳහන් කරමින් එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන් කටයුතු කළ පාඨලී චම්පික රණවක, එම්ඒ සුමන්දිරන් සහ රවුෆ් හකීම් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කළහ.

එම පෙත්සම් විභාගයට ගැනීමට අවසර දුන් ප්‍රීති පද්මන් සූරසේන ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පෞද්ගලික සමාගම් දෙකකට පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ ය.

ඉන් අනතුරුව විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පැරණි ක්‍රමයට පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙසත් එම විනිසුරු මඩුල්ල ආගමන හා විගමන පාලකවරයාට තවත් අතුරු ආඥාවක් නිකුත් කර තිබිණි.

එම අතුරු ආඥාව අනුව කටයුතු කිරීම ආගමන හා විගමන පාලකවරයා පැහැර හැරිය බවට ඉදිරිපත් වූ පැමිණිල්ලක් සලකා බැලූ ප්‍රීති පද්මන් සුරසේන ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත්, ඒ අනුව ඔහු රක්ෂිත බන්ධනාගාරගත කිරීමටත් ඉකුත් සැප්තැම්බර් මස 25 වන දා තීන්දු කළේ ය.

එතැන් පටන් මේ දක්වා හර්ෂ ඉලූක්පිටිය රක්ෂිත බන්ධනාගාරගතව සිටින අතර ඔහු අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වරද පිළිගැනීමෙන් පසුව ඔහුට දඬුවම් නියම කිරීම මේ මස 24 වන දා සිදු කිරීමට නියමිත ය.

From BBC Sinhala site.

Archive

Latest news

Related news