Saturday, October 25, 2025

“මරණ දඩුවම පවක් නොවෙයි” – අඥාන කොමා සහ මරණ දඩුවමේ ඇත්ත

(සටහන්/whatnews)

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු බවට බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ මහතා ඔක්තෝබර් 23 වැනි දා නාවලපිටියේදී කළ ප්‍රකාශයත් සමඟ මෙරට මරණ දඬුවම පිළිබඳ විවාදය යළි කරළියට පැමිණ ඇත.

මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යාංශය වහාම පරීක්ෂණයක් ආරම්භ කළ යුතු බවට සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ඉල්ලීම් කර තිබේ.

ජගත් වීරසිංහ මහතා පවසා තිබුණේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එල්ලා මරා දැමීම ජාතිය විනාශ කිරීම වැළැක්වීම සඳහා අනිවාර්යයෙන්ම සිදු කළ යුතුම දෙයක් බවත්, “ඒක පවක් නොවන” බවත්ය.

රටේ බන්ධනාගාර පද්ධතියේ දැඩි තදබදයට මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිකරුවන් විශාල වශයෙන් බලපා ඇති බවත්, බන්ධනාගාර 36 තුළ රැඳවියන් 10,500ක ධාරිතාවකින් යුතුවිය යුතු නමුත් දැනට 36,000කට අධික සිරකරුවන් සංඛ්‍යාවක් රඳවා සිටින බවත්, ඔවුන්ගෙන් 65%ක් පමණ මත්ද්‍රව්‍ය ආශ්‍රිත වැරදි සඳහා සිරගත කර ඇති බවත්, මරණ දඬුවම නියම වූ පුද්ගලයන් 805ක් (කාන්තාවන් 21ක් සහ පාසල් සිසුන් 5ක් ඇතුළුව) සිටින බවත් කොමසාරිස්වරයා මෙහිදී ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් මේ පිළිබද විමසීම්වලදී අධිකරණ අමාත්‍යවරයා කියා තිබුණේ මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම ගැන රජයේ තීන්දුවක් නොමැති බවත්, ඒ පිළිබද සාකච්ඡා කර නොමැති බවත්ය.

බන්ධනාගාර මෙහෙවරට පටහැණි ප්‍රකාශයක්?

බන්ධනාගාර කොමසාරිස්වරයා මරණ දඩුවම ක්‍රියාත්මක කළ යුතු බවට සිදුකළ ප්‍රකාශය සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා මහතා දැඩිව විවේචනය කළේය.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මෙහෙවර “දඬුවම් ක්‍රියාත්මක කිරීම නොව භාරකාරත්වය, රැකවරණය සහ නිවැරදි කිරීම” මත පදනම් වන බැවින්, එවැනි කරුණු සම්බන්ධයෙන් කොමසාරිස්වරයකුට පෞද්ගලික අදහස් ප්‍රකාශ කිරීමට හැකියාවක් නැති බව නීතිඥ පෙරේරා අවධාරණය කළේය.

ඔහු පෙන්වා දෙන්නේ: “එම තත්ත්වය තුළ, මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු බව බන්ධනාගාර කොමසාරිස්වරයකු කියන්නේ කොහොමද? ඔහු පවසන දේ දෙපාර්තමේන්තුවේ මෙහෙවරට සම්පූර්ණයෙන්ම පටහැණියි… සිරකරුවන් මරණ දඬුවමට ලක් කිරීමද බන්ධනාගාර තදබදයට විසඳුම? මෙය කිසි සේත්ම විසඳුමක් නොවෙයි.”

කොමසාරිස්වරයා මෙම මානසිකත්වයෙන් සේවය කරන්නේ නම් සිරකරුවන්ට සලකන්නේ කෙසේදැයි ප්‍රශ්න කළ නීතිඥ පෙරේරා, ඔහුගේ ප්‍රකාශය පිළිබඳව අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කළ යුතු බවට ඉල්ලා සිටියේය.

මරණ දඬුවම පිළිබඳ මානව හිමිකම් සහ නෛතික තර්ක

මෙම නවතම සිදුවීමත් සමග මරණ දඬුවම නැවත ක්‍රියාත්මක කිරීමේ උත්සාහයන්ට එරෙහිව මීට පෙර ඉදිරිපත් වූ ප්‍රබල මානව හිමිකම් සහ නෛතික තර්ක යළි සිහිපත් කිරීම වැදගත් වේ. 2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මරණ දඬුවම යළි ක්‍රියාත්මක කිරීමට ගත් තීරණය විවේචනය කරමින් ජනාධිපති නීතිඥ, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා දිගු ලිපියක් මගින් කරුණු දක්වා තිබුණි.

එම තර්ක වර්තමාන තත්ත්වයට ද අතිශයින් අදාළ වන අතර, ඒවා මෙසේ උපුටා දැක්විය හැකිය:

I. දේශපාලන සහ ජාත්‍යන්තර විරෝධය

  • දේශපාලන ඒකමතික භාවය: ජනාධිපතිවරයාගේ තීරණයට එවකට සිටි ආණ්ඩුවේ සහ විපක්ෂයේ සියලු ප්‍රධාන පක්ෂ (එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ) විරෝධය පළ කර තිබුණි.

  • ජාත්‍යන්තර සම්මුති කඩවීම: 2007 වසරේ සිට ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී, මරණ දඬුවම අවසාන වශයෙන් අහෝසි කිරීම දක්වා වන පියවරක් වශයෙන්, මරණයට පත්කිරීම් විලම්බනය කිරීමට (moratorium) පක්ෂව එක දිගටම ඡන්දය පාවිච්චි කොට තිබේ. 2018 දෙසැම්බර් තරම් මෑතකදී පවා ශ්‍රී ලංකාව එම ස්ථාවරයේ සිටියේය.

  • එක්සත් ජාතීන්ගේ යෝජනාව: 2007 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය සම්මත කර ගත් යෝජනාවේ මෙසේ සඳහන් වේ: “මරණ දඬුවම මනුෂ්‍ය ගරුත්වයට නිගාවකි. මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සහ යාවත්කාලීන කිරීම කෙරෙහි මරණ දඬුවම විලම්බනය කිරීම උපකාරී වන බව මේ සභාව ඒත්තු ගෙන සිටී. මරණ දඬුවම නිසා අපරාධ මර්දනය කෙරෙන බවට ඒකාන්ත සාක්ෂි ඇත්තේ නැත. එසේම, මරණ දඬුවමක් ක්‍රියාත්මක කිරීමේදී ඇති වීමට ඉඩ ඇති යුක්ති ධර්මයේ අත්වැරැද්දක් ආපසු හැරවීමට හෝ පිරිමසාලීමට හෝ පුළුවන් කමක් ඇත්තේ නැත.”

  • ජාත්‍යන්තර සහයෝගයට බාධා: මරණ දඬුවම යළි පැනවීම නිසා, මත්ද්‍රව්‍ය ජාවාරම සහ ත්‍රස්තවාදයට එරෙහි සටනට ජාත්‍යන්තර සහයෝගයට බාධා ඇතිවීමට ඉඩ ඇත. මරණ දඬුවම ක්‍රියාත්මක වන රටවල් සමඟ තොරතුරු හුවමාරු කර ගැනීමේ සහ උදර්පණය කිරීමේ කටයුතු තහනම් කෙරෙන නීති ඇති රටවල් බොහොමයක් ලෝකයේ පවතී.

  • වෛද්‍ය ආචාර ධර්ම: ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පෙන්වා දෙන්නේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා වන ඕනෑම කටයුත්තකට වෛද්‍යවරයෙකු සම්බන්ධ වීම වෛද්‍ය ආචාර ධර්මවලට පටහැනි බවයි.

II. නෛතික හා ව්‍යවස්ථාමය විග්‍රහය

ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතාට අනුව මරණ දඬුවම යළි ක්‍රියාත්මක කිරීමේ තීරණය,

  • ආණ්ඩුවේ ප්‍රතිපත්ති උල්ලංඝනය කිරීමක් වන අතර 1976 සිට මෙරට මරණ දඬුවම ක්‍රියාත්මක කර නොමැති තත්ත්වය මත මෙය ආණ්ඩුවේ දීර්ඝකාලීන ප්‍රතිපත්තිය වී තිබිණි.

  • ව්‍යවස්ථා විරෝධී විය හැකි අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42 (1) යටතේ ජනරජ ආණ්ඩුවේ මෙහෙයවීම සහ පාලනය පැවරෙන්නේ කැබිනට් අමාත්‍ය මණ්ඩලයටයි. එබැවින්, ආණ්ඩුවේ ප්‍රතිපත්තියට එරෙහිව යාමට ජනාධිපතිවරයාට නොහැකි බව සඳහන් කළ යුතුය.

  • අතාර්කික, අසාධාරණ සහ අත්තනෝමතික වන අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) වගන්තිය උල්ලංඝනය කිරීමකි.

III. යුක්තියේ අත්වැරැද්ද ආපසු හැරවිය නොහැක

කොල්වින් ආර්. ද සිල්වා මහතා 1956 දී පාර්ලිමේන්තුවේදී පැවසූ පරිදි, “රාජ්‍යය විසින් මිනිසාගෙන් පැහැර ගත හැකි බොහෝ දේවල්වලින් එක දෙයක්, පැහැර ගත් පසු ආපසු ලබා දීමට පමණක් නොව, ඒ සඳහා වන්දි ගෙවීමකින් හානිපූරණය කිරීමටවත් නොහැකි එක දෙයක් තිබේ. ඒ, ජීවිතයයි.”

මරණ දඬුවම අරභයා සිදුවීමට ඉඩ ඇති යුක්ති ධර්මයේ අවගමනයක් ආපසු හැරවිය නොහැකි බව ආචාර්ය වික්‍රමරත්න මහතා උදාහරණ සහිතව පෙන්වා දෙයි. වැරදි පුද්ගලයන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කර ඇති අවස්ථා ලෝක ඉතිහාසයේ ඕනෑ තරම් තිබේ (උදා: එංගලන්තයේ තිමොති එවන්ස් සහ රුසියාවේ ඇලෙක්සැන්ඩර් ක්‍රව්චෙන්කෝ).

IV. මරණ දඬුවම අපරාධ අධෛර්යමත් කරන නිවර්තකයක් නොවේ

  • සමාජ විද්‍යාත්මක සාක්ෂි: ඇමරිකා එක්සත් ජනපදයේ පොලිස් ප්‍රධානීන් 500 දෙනෙකුගෙන් කරන ලද මත විමසුමකින් හෙළි වූයේ, ප්‍රචණ්ඩකාරී අපරාධ අඩු කර ගැනීම සඳහා මරණ දඬුවම පහළම සාධකය වන බවයි. පොලිස් නිලධාරීන්ගේ සංඛ්‍යාව වැඩි කිරීම, මත්ද්‍රව්‍ය භාවිතය අවම කිරීම සහ වඩා යහපත් ආර්ථිකයක් ගොඩනැගීම ඊට වඩා වැදගත් බව ඔවුන් පෙන්වා දී තිබේ.

  • ප්‍රාන්ත රාජ්‍ය සංසන්දනය: මරණ දඬුවම ක්‍රියාත්මක වන ඇමරිකාවේ ප්‍රාන්තවල දක්නට ලැබෙන බරපතල අපරාධ අනුපාතිකය, මරණ දඬුවම නැති ප්‍රාන්තවල අනුපාතිකයට වඩා අඩු නොවන බව පැහැදිලිය.

  • අපරාධවේද විශේෂඥ මතය: කොලරාඩෝ බෝල්ඩර් සරසවියේ මහාචාර්ය මයිකල් එල්. රඩෙලෙට් 2009 දී කළ සමීක්ෂණයකින් හෙළි වූයේ, අදහස් විමසන ලද අපරාධවේද විශේෂඥයන්ගෙන් සියයට 88.2 ක් දරණ මතය වන්නේ, මරණ දඬුවම අපරාධ අධෛර්යමත් කරන සාධකයක් නොවන බවයි.

වික්‍රමරත්න මහතා සිය ලිපියේ පහත කරුණු සදහන් කර තිබුණි.

‘ප‍්‍රචණ්ඩකාරී අපරාධ අඩු කර ගැනීම සඳහා වඩාත් වැදගත් වන සාධක’ අතරින් මරණ දඬුවම වැටෙන්නේ පහළම ඝනයට බව, ‘ආර්. ටී. ස්ට‍්‍රැටජීස් ඔෆ් වොෂින්ටන් ඞී.සී.’ ආයතනය මගින් ඇමරිකා එක්සත් ජනපදයේ පොලිස් ප‍්‍රධානීන් 500 දෙනෙකුගෙන් කරන ලද මත විමසුමකින් හෙළි විය. එවැනි අපරාධ අඩු කර ගැනීම සඳහා මරණ දඬුවමට වඩා වැදගත් කොට ඔවුන් සලකනු ලැබුවේ, පොලිස් නිලධාරීන්ගේ සංඛ්‍යාව වැඩි කිරීම, මත්ද්‍රව්‍ය භාවිතය අවම කිරීම සහ වඩා යහපත් ආර්ථිකයක් ගොඩනැගීම යන කරුණු ය.

මරණ දඬුවම ක‍්‍රියාත්මක වන ඇමරිකාවේ ප‍්‍රාන්ත රාජ්‍යවල දක්නට ලැබෙන බරපතල අපරාධ අනුපාතිකය, මරණ දඬුවම නැති ප‍්‍රාන්ත රාජ්‍යයන්හි දක්නට ලැබෙන බරපතල අපරාධ අනුපාතිකයට වඩා අඩු නොවන බව කවුරුත් දනිති.

කොලරාඩෝ බෝල්ඩර් සරසවියේ සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්ය මයිකල් එල්. රඩෙලෙට්, ‘‘මිනිස් ඝාතන අනුපාතිකයන් මරණ දඬුවම් මගින් අඩු කරගත හැක්කේ ද? ප‍්‍රමුඛ පෙළේ අපරාධවේද විශේෂඥයන්ගේ අදහස්’’ මැයෙන් 2009 දී ‘අපරාධ නීතිය සහ අපරාධවේදය’ නැමැති සඟරාවට සැපයූ ලිපියක මෙසේ ලියා තිබේ:

‘‘මරණ දඬුවම නිසා අපරාධ අධෛර්යමත් කෙරෙන්නේය යන උපකල්පනය මිථ්‍යාවක් බව අනුභූතික පර්යේෂණ මගින් සනාථ වී ඇති බවට, ලෝකයේ ප‍්‍රමුඛ පෙළේ අපරාධවේද විශේෂඥයන් බහුතරයක් විශ්වාස කරන බව අපේ සමීක්ෂණයෙන් හෙළි වෙයි.. අදහස් විමසන ලද අපරාධවේද විශේෂඥයන් සියයට 88.2 ක් දරණ මතය වන්නේ, මරණ දඬුවම අපරාධ අධෛර්යමත් කරන සාධකයක් නොවන බවයි. ‘මරණ දඬුවම නිසා සෑහෙන දුරට අපරාධ සංඛ්‍යාව අඩු වන්නේය’ යන ප‍්‍රකාශය නිවැරදි බව කියා සිටියේ සියයට 9.2 කි. සමස්තයක් වශයෙන් ගත් විට, දීර්ඝ කාලීන සිර දඬුවමට වඩා මරණ දඬුවම මගින් අපරාධ අධෛර්යමත් කෙරෙන බව විශ්වාස කරන්නේ, ඒ අංශයේ විශේෂඥයන්ගෙන් සියයට 10 කට අඩු ප‍්‍රමාණයක් බව මෙයින් පැහැදිලි ය.. දීර්ඝ කාලීන සිර දඬුවමට වඩා මරණ දඬුවම සුළු වශයෙන් අපරාධ අධෛර්යමත් කරන බවට පැවසෙන මෑතකාලීන ආර්ථික අධ්‍යයනයන් ඉතා සීමිත සහ දෝෂ සහගත වන නිසා, පිළිගත් පොදු මතය නිෂේධ කිරීමට ඒවා සමත්ව නැත.

කෙටියෙන් කිවහොත්, අපරාධවේද විශේෂඥයන් අතරේ පොදු පිළිගැනීම වන්නේ, දීර්ඝ කාලීන සිර දඬුවම් මගින් ඇති කෙරෙන අපරාධ අධෛර්යමත් කිරීමට වඩා වැඩි කිසි පේ‍්‍රරකයක් මරණ දඬුවම මාර්ගයෙන් නොසැපයෙන බව ය.’’

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ නිර්දේශ

ජනාධිපති සිරිසේන මහතා වෙත ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRCSL) විසින් 2016 ජනවාරි 01 වැනි දින යවන ලද නිර්දේශ ලිපියෙහි මරණ දඬුවමට එරෙහිව ප්‍රබල කරුණු ඉදිරිපත් කර ඇත. එම නිර්දේශ ලිපිය අනුව:

  • “මරණ දඬුවම, ජීවිතයට ඇති අයිතිය ද කෲර සහ අවමන් සහගත දඬුවම් වලින් මිදී සිටීමට ඇති අයිතිය ද වෙනත් මානව හිමිකම් ද ප්‍රබල ලෙස උල්ලංඝනය කරනු ලබන දඬුවමක් ලෙසින් ද, අන්තගාමී වූත්, වෙනස් නොකළ හැකි වූත්, අපරාධ මර්දන ක්‍රමයක් ලෙස ප්‍රතිඵල විරහිත දඬුවම් ක්‍රමයක් ලෙසින් ද ලොව පුරා ඇතිව ඇති පිළිගැනීමෙන් මිදී සිටීමට ශ්‍රී ලංකාවට නොහැකි බව මානව හිමිකම් කොමිෂන් සභාව අවධානය යොමු කරයි.”

  • මානව හිමිකම් කොමිසම වැඩිදුරටත් අවධාරණය කරන්නේ, මරණ දඬුවම නිසා අපරාධ මර්දනය කෙරෙන බවට ඒකාන්ත සාක්ෂි නොමැති බවත්, ශ්‍රී ලංකාව ජීවිතයේ ඇති වැදගත්කම සහ මුලික මානව හිමිකම් පිළිබඳ පවතින කැපවීම දැනට මරණ දඬුවම අහෝසි කර ඇති රාජ්‍යයන් 100 ක් සමඟ අත්වැල් බැඳගැනීම තුළින් ප්‍රත්‍යක්ෂ කළ යුතු බවත්ය.

  • මානව හිමිකම් කොමිසම අවධාරණය කරන තවත් කරුණක් වන්නේ, මෙරට අපරාධ යුක්ති විනිශ්චය ක්‍රම වේදයන් තුළ පවතින විෂමාචාර පදනම්ව අහිංසකයින් වැරදිකරුවන් කිරීම පිළිබඳව චෝදනා ඇති බවයි.

  • එමෙන්ම, චුදිතයින් අඩු ආදායම් තත්ත්වයක සිටින විට, දක්ෂ නීතිඥයින්ගේ සේවය ලබා ගැනීමට හැකි මුල්‍ය ශක්තියක් ඇති පුද්ගලයින්ට සාපේක්ෂව මරණ දඬුවමට ලක්වීමට වැඩි ප්‍රස්ථාව තිබෙන බව කොමිසමේ මතය වේ. සමහර චුදිතයින් වැරදිකරු වන්නේ එම වරදට වරදකරු වීම නිසාම නොව ප්‍රමාණවත් ලෙස කරුණු ඉදිරිපත් කිරීමට නොහැකි නිසාය යනුවෙන් මානව හිමිකම් කොමිසම පෙන්වා දෙයි.

ජාත්‍යන්තර ප්‍රවණතා

ලෝකයේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ ප්‍රවණතා විමර්ශනය කිරීමේදී පෙනී යන්නේ ශ්‍රී ලංකාව ගතයුත්තේ පසුපසට යාම නොව ඉදිරියට යාම බවයි. ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ (Amnesty International) දත්ත වලට අනුව,

  • 1991 වසරේදී මරණ දඬුවම ක්‍රියාත්මක නොවූ රටවල් 48ක් තිබුණද, මේ වන විට රටවල් 112ක කිසිසේත් ම එය භාවිත නොවේ.

  • 2022 වසරේදී පමණක් කසක්ස්තාන්, පැපුවා නිව් ගිනියා, සියෙරා ලියෝන් සහ මධ්‍යම අප්‍රිකානු ජනරජය එය සම්පූර්ණයෙන් ඉවත් කළේය. මෑතකදී මැලේසියාව සහ ඝානා වැනි රටවල් ද මරණ දඬුවම අහෝසි කිරීමට හෝ අනිවාර්ය මරණ දඬුවම ඉවත් කිරීමට තීරණය කර ඇත.

  • චීනය හැරුණු විට වැඩිම පිරිසක් මරණ දඬුවමට ලක් කළ රටවල් වන්නේ ඉරානය, සෞදි අරාබිය, ඊජිප්තුව සහ එක්සත් ජනපදයයි. 2022 වසරේදී වාර්තා වූ මරණ දඬුවම් 883න් බහුතරය මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් ඉරානය සහ සෞදි අරාබිය වැනි රටවල් විසින් සිදු කර ඇත.

  • මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරන රටවල් සීමිත වන අතර, මරණ දඬුවම වැඩි වශයෙන් භාවිත කරන රටවල් මානව හිමිකම් ආරක්ෂණය සම්බන්ධයෙන් දැඩි විවේචනයට ලක්වූ රටවල් වේ.

අවසාන වශයෙන්

බන්ධනාගාර කොමසාරිස්වරයෙකු විසින් ‘ජාතිය විනාශ කිරීම’ යන ජනප්‍රිය සටන් පාඨය යටතේ මරණ දඬුවම අනුමත කිරීම, බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මූලික මෙහෙවර වන පුනරුත්ථාපනයට සහ නිවැරදි කිරීමේ මූලධර්මවලට පටහැණි වනවා පමණක් නොව, මානව හිමිකම්, නෛතික සහ සමාජ විද්‍යාත්මක ප්‍රබල තර්ක මාලාවක්ද නොසලකා හැරීමකි. දකුණු අප්‍රිකානු ව්‍යවස්ථා අධිකරණයේ ප්‍රකට ‘මක්වන්යේන්’ නඩුවේ තීන්දුව මගින් අවධාරණය කරන ලද පරිදි:

“අපරාධ අධෛර්යමත් කිරීමේ හොඳම ක්‍රමය වන්නේ, වැරදිකරුවන් අල්ලා ගැනීමට, අධිකරණය ඉදිරියේ වැරදිකරුවන් සේ තීන්දු කිරීමට සහ දඬුවම් කිරීමට ඇති හැකියාවයි. අපේ අපරාධ යුක්ති විනිශ්චය පද්ධතියේ අද නැත්තේ ද එයයි.” ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය තුළද අද නොමැති වන්නේ මෙය බව අවබෝධ කර ගැනීම අත්‍යවශ්‍ය වේ. මරණ දඬුවම වැනි ආපසු හැරවිය නොහැකි, නිෂ්ඵල හා කෲර දඬුවම් වෙනුවට, අපරාධ මර්දනය සඳහා අවශ්‍ය වන්නේ යුක්ති විනිශ්චය පද්ධතිය ශක්තිමත් කිරීම මිසක් තාවකාලික ජනප්‍රියත්වය ලබා ගැනීමේ ප්‍රකාශ නොවේ.

(Satahan/whatnews)

Archive

Latest news

Related news