(Sri Lanka Brief/12 July 2025) 2025 ජූනි මස 25 වන දින බතලගොඩ රබර් වතු කම්කරුවන් ජිවිතයේ වැඩියෙන්ම සතුටට පත්වු දිනයයි. ඒ වත්තෙහි ඉතිරිවී සිටි පවුල් 28 ට ඉඩම් කැබැල්ලක හිමිකම ලැබීමත්, ඉන් පවුල් 23 කට ජීවත් වීමට සරිලන නව නිවසක් ලබා ගැනීමට හැකිවීමත් නිසාය.
මේ පවුල් සියල්ල දෙමළ ජාතිකයින්ය.
දැන් ඔවුන් හැදන්වෙන්නේ බතලගොඩ රබර් වතු කම්කරුවන් ලෙස නොවේ. ආනන්ද පුරම් ගම්වාසීන් ලෙසය. මෙය සුව පහසු අසුනක දීගාවී ලබාගත් ජයග්‍රහණයක් නොවේ. බතලගොඩ වත්තේ පස්වන පරම්පරාව වසර ගණනාවක් තිස්සේ වතු හිමියන් සමග ඉඩමක හිමිකම ලබා ගැනීම වෙනුවෙන් නඩු කියමින්, අඛණ්ඩ අරගලයක් ගෙන යාමේ ප්‍රථිපලයකි.
ඇත්ත වශයෙන්ම මෙය සාමූහික උත්සායහක ප්‍රතිපලයකි. සිවිල් සමාජ සංවිධාන, තනි පුද්ගලයින් මෙන්ම රාජ්‍ය ආයතන මෙම ජයග්‍රහණයේ කොටස්කරුවන් වෙති.
ඉඩම් හිමියන් සමග පැවති සාකච්ඡා කිහිපයකින් පසුව ඔවුන් පවරා තිබූ 9361/ L අංක දරණ සිවිල් නඩුව ඉල්ලා අස්කර ගැනීමට තීන්දු විය. වතු හිමි ඉබ්බ්‍රාහිම් මහතා ඇතුලු වතු හිමි කොටස්කරුවන් 10 දෙනා තින්දු කළ අතර පර්චස් 270 ක ඉඩම් කැබැල්ලක් මෙම කම්කරු පවුල් 28ට පරිත්‍යාග කිරිමටත් ඉඩම් හිමියන් ගත් තීරණය සාධනීය පියවරකි.
2023 වසර වන විට මලෛයිහම් ජනතාවගේ ඉතිහාසයට වසර 200 ක් සම්පුර්ණ විය. වසර 200කට පෙර මන්නාරමේ සිට මැදවච්චිය හරහා දඔුල්ලට පැමිණි මෙම ප්‍රජාවෙන් කොටසක් දඹුල්ලේ සිට මාතලේටත් අනෙක් කොටස කුරුණැගල හරහා නුවරඑළිය ඇතුලු ප්‍රදේශවලට ගෙන ගියේ වහලුන් ලෙසය.
කුරුණෑගල හරහා යන ගමනේ ඔවුන්ගේ එක් නවාතැන් පළක්වූයේ දැදුරු ඔය අසබඩ බව ‘තිත්ත කහට’ කෘතියේ සුනිල් ශාන්ත සටහන් කර තිබේ. ඒම පිරිසෙන් පවුල් 28 ක් පමණ බතලගොඩ වත්තේ අද වන විට සිටින අතර මේ එම ආදිතමයින්ගේ පස්වන පරම්පරාවයි.
මෙම ඉඩම්වල හිමිකම ලබා ගැනීම වෙනුවෙන් කම්කරුවන් දිර්ග හා දුෂ්කර අරගලයක යෙදුණි. මේ ඔවුන්ගේ නොසැලෙන ර්‍ධ්‍යෛයේ ප්‍රතිපලයකි. ඔවුහු බලයෙන් ඉඩම් අල්ලා ගත්හ. ගුටිබැටවලට මුහුණ දුන්හ. උසාවි ගියහ.
ඔවුන්ගේ ප්‍රබලම බලය වූයේ තමන් අතර වූ සමගිය මෙන්ම සිවිල් සමාජ සංවිධාන සමඟ එක්ව ගමන් කිරීමයි.
සමාජ සංවර්ධන ආයතනයේ – මහනුවර ( ISD ) සහයෝගය හා මගපෙන්වීම ඇතිව ශ්‍රී ලංකාවේ සමාජ සහජීවනය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය කුරුණෑගල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කරන ලද්දේ දේවසරණ සංවර්ධන කේන්ද්‍රය විසින්ය. ඒ සඳහා තෝරාගත් ගම්මාන 10 න් ඒකක් වූයේ බතලගොඩ වත්තයි.
මානව හිමිකම් හා අයිතිවාසිකම්, කාන්තාවන් හා දරුවන්ගේ ආරක්ෂාව හා අයිතිවාසිකම්, ප්‍රජාතන්ත්‍රවාදය හා මැතිවරණ නීති, ඡන්ද අයිතිය, තොරතුරු දැන ගැනීමේ පනත හා ආණ්ඩුක්‍රම ව්‍යවස්තාව ආදී මාතෘකා පිළිබදව ප්‍රජාව සමග සංවාදයක් ගොඩ නැගිම මෙම ව්‍යාපෘතියේ අරමුණ විය.
2023 පෙබරවාරි මාසේ 28 දේවසරණ සංවර්ධණ කේන්ද්‍රයේ දී මෙම වතුයායේ කම්කරුවන් හමු වූයේ මෙම ව්‍යාපෘතිය පිළිබදව මුලික සාකච්ඡාවක් කිරිම සදහාය. එහි දී මෙම වතුකම්කරුවන් මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නය ලෙසට ඔවුන් පෙන්වා දුන්නේ නිවාස හා ඉඩමක හිමිකමක් නැති කමත්, මේ වන විට ඉඩම් හිමියන් විසින් පවරා ඇති නඩුව සදහා මුදල් සොයා ගැනීමේ අපහසුතාවයත්ය.

2023 අගෝස්තු මස ISD සංවිධානය විසින් වතු කම්කරුවන්ගේ ඉතිහාසය, පිළිබදව නුවරඑළියේදී සංවිධානය කර තිබුන ප්‍රදර්ශනයට හා දැනුවත් කිරීමේ වැඩසටහනට මෙම ජනයා සම්බන්ධ වූහ. ඒ මලෛයිගම් ජනතාවගේ වසර 200ක ඉතිහාසය පිළිබදවයි.
අයිපෙන් සංවිධානය විසින් මෙම මාතෘකාව පදනම් කරගනිමින් මන්නාරමේ සිට මාතලේ දක්වාවු දින 15 ක පා ගමනක් සංවිධානය කර තිබුණේ ද මේ අතරය. බතලගොඩ මලෛයිගම් ප්‍රජාව දඹුල්ලේ මෙම පා ගමනට ද එක් වූහ.
මෙහිදී ඔවුන් දැන හදුනා ගත් රුකී ප්‍රනාන්දු ඇතුලු මාධ්‍යවේදින්, බතලගොඩ වතු කම්කරුවන් සමග සම්බන්ධ වෙමින් මෙම වත්තට ගොස් ඹවුන්ගේ දුක්බර ජිවිතය ගැන පුවත්පත්වලට ලියන ලද ලිපි වලින් හා සමාජ මාධ්‍ය හරහා ඔවුන්ගේ දුක්බර ජිවිතය ගැන තොරතුරුවලින් සිවල් සමාජ කණ්ඩායම් සළිත වූහ.

දේශපාලනඥයින් මෙන්ම කොළඹ කේන්ද්‍රකරගත් සිවිල් සමාජ සංවිධානවල අවධානය මෙම ප්‍රජාව වෙතට යොමු වූයේ ඉන් පසුවය. නීතිමය කටයුතුවලට මැදිහත්වීමේ වගකිම නීතිය හා සමාජ භාරය සංවිධානය භාරගත් අතර අවශ්‍ය වෙනත් කටයුතු වලට මැදිහත් විමට තවත් සංවිධාන ඉදිරිපත් වූහ.
මේ අරගලය සහ ජයග්‍රහණය සිවිල් සමාජ සහ වින්දිත ප්‍රජාව අතර ගොඩ නැගුණූ සාමූහිකත්වය පිළිබද මාහැඟි ආදර්ශයක් සපයයි.
මෙම කාර්යය ආරම්භ කළේ දේවසර සංවර්ධන කේන්ද්‍රය හා මහනුවර සමාජ සංවර්ධන ආයතනයේ ( ISD ) මැදිහත්වීම මතය. එ අනුව වතු හිමියන් හා වතු කම්කරුවන් සමග සාකච්ඡා කර අංක 9361/ L දරණ නඩුව ඉල්ලා අස්කර ගැනීම සිදු විය.
අනතුරුව,
- නිතිය හා සමාජභාරය නිති ආධාර ලබාදිමට ඉදිරිපත් වෙයි.
- ගිවිසුම අත්සන් කිරීමට MDDR හා මහජන කවුන්සලය ඉදිරිපත් වෙයි.
- තවත් තරුණ කණ්ඩයම් විදුලිය ලබා ගැනිම සහයෝගය ලබා දෙයි.
- ජලය ලබාදිමට හා යටිතල පහසුකම් සැපයිමට මොල්ලාර් ආයතනය මැදිහත් වෙයි.
- මාධ්‍ය ආයතන විටින් විට සමාජයට තොරතුරු මුදා හරී.
- ග්‍රාස්රූටඩ් ට්‍රස්ට් ආයතනය, කාන්තා සංවර්ධන පදනම ප්‍රජාව දැනුවත් කරමින් අවශ්‍ය ශක්තිය ඔවුන්ගේ සාමූහිකත්වය බලසතු කරයි.
- අංග සම්පුර්ණ නිවාස 23 ඉදි කිරීමට අයිපෙන් සංවිධානයේ මැදිහත්වීමෙන් පැලමෙරා සංවිධානය රු. මිලියන 25 ක් ලබා දේ.
- ඉඩම් පරිත්‍යාග කිරීමෙන් ඊබ්බ්‍රාහිම් මහතා ඇතුලු පවුලේ 10 දෙනා වතු අධිකාරීන් වන ෆයිසාල් හා අසාඩ් මහත්වරු සක්‍රීය දායකත්වයක් ලබා දෙති.
- මානව හිමිකම් ක්‍රියාධර සෙන්ඩ්‍රිල් ශිවඥානම් ප්‍රබල පහසුකාරක දායකත්වයක් ලබා දෙයි.
- අවට මුස්ලිම්, සිංහල ප්‍රජාව මුල සිටම මෙම වතුකම්කරුවන්ට සහාය ලබා දෙයි.
- රාජ්‍ය නිලධාරීන්ගේ දායකත්වය ද නොනැවත ලැබේ.
- නිවෙස් සාදා ගැනුනේ එම ජනයාගේ සාමූහික ශ්‍රම දායකත්වයෙනි. එය අමිලය.
බතලගොඩ රබර්වතු කම්කරු පවුල් 23ක් ඔවුන්ගේ සිහිනය වූ දැන් නව නිවාසයන්හි ජීවත් වේ. ඔවුන්ගේ අත නොහැර අරගල කිරීමේ ජීවගුණය නොතිබිණි නම් මේ නිවාස ලැබෙන්නේ නැත. එමෙන්ම ඉතා පුලුල් සහයෝගිතා ජාලයක් ගොඩ නැගීමට හැකිවීම ජයග්‍රහණයේ වැදගත්ම බාහිර සාධකයයි.
එය අනාගත ජන අරගලයන්ට ආදර්ශයකි.
(පී.ඩී. ගුණතිලක දේවසරණ සංවර්ධන කේන්ද්‍රයෙහි දීර්ඝ කාලීන සේවයක් සහිත වත්මන් ලේකම්වරයාය.)
ඡායාරූප භද්‍රා වික්‍රමසිංහගෙනි.
