දවසේ වෙඩිල්ල කවර ප්‍රදේශයකින් ඇසේදැයි නිසැක විශ්වාසයක් පුරවැසියන්ට නැත. ඒ වෙඩි හඬ සමහරවිට බස්නාහිර පළාතේ ගම්පහින් වෙන්නට පුළුවන. එසේත් නැතිනම් දකුණු පලාතේ කොස්ගොඩ බළපිටියෙන් වෙන්නට හැකිය. ඇතැම් විට නැගෙනහිර පළාතෙන් වෙන්ටද පුළුවන.
පුරවැසියන් ඉන්නේ බරපතල අවදානමකිනි. මෑතකදී වත්තලදී හිටපු ඇමති ටිරාන් අලස් ගේ කාර්ය මණ්ඩලයේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස සේවය කළ හොරොයින් ජාවාරම්කාරයෙකු හට පාතාලයන් විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කෙරෙද්දී පාරේ ගමන් කරමින් සිටි අහිංසක ගෑණු මනුස්සයෙකුටද වෙඩි වැදී තිබුණි. පාතාලයන්ට අනුකම්පාවක් නැත.
නිසි ඉලක්කයක් ගැනීමට ආයුද හැසිරවීමේ භාවිතයද නුහුරුය.ටී පනස් හයේ මැගසිනය ඉවරවන තුරු ඉලක්ක පථයට පොකුරු උණ්ඩ මුදා හැරීම උන්ගේ පුරුද්දය. ඉලක්ක පථය අවට සිටින්නන් හා ගැවසෙන්නන් ගැන අවදානමක් ගන්නේද නැත.
පාතාල ක්‍රියාකාරිකයන් මර්ධනය ගැන කියාදෙන්නට බංකුවක් අරගෙන එන්න යැයි වහසි බස් පැවසුවේ බලයට පත් වීමට පෙරය. තවමත් බංකු වඩු මඩුවේ හදනවා වෙන්නට ඇත. ඒ නිසා “වහසි බස් දේශනය” දින නියමයක් නැතුව කල් දමා තිබේ. ඒ කයිවාරුව කෙසේ වෙතත් මේ වන විටත් ආරක්ෂක අමාත්‍යංශයේ වැඩ වෙන්නේ පරණ පුරුද්දට බව ජාජබය බලයට පත් කරවීමට දර දිය ඇදි ආරක්ෂක ලොක්කන් මැසිවිලි නගයි.
සිවිල් පුරවැසියන් හට ගිණි අවි නිකුත් කිරීමේ රාජකාරිය තවම කරන්නේ පරණ සට්ටැඹි ලොක්කාමය. රාජපක්ෂවරන්ගේ කාලයේ සිය හාම්පුතුන්ටද ඒ හාම්පුතුන්ගේ අනියම් අඹුවුවන්ට ගෙදර බල්ලන්ටද හිතූ මතේ ගිණි අවි නිකුත් කෙරුවේ මුන්දෑය.
අප මේ ලියන්නේ බොරු බව කියා සිත රිදවා ගන්නවා නම් හිටපු හමුදාපති ශවේන්ද්‍ර සිල්වා රෙන්න යන විටත් ගුරුකම් කළ මානසික ලෙඩාට පවා නයින් එම් එම් බ්‍රවුනින් වර්ගයේ පිස්තෝලයක් නිකුත් කර ඇති බව සොයා බැලුවේ නම් ඒ හිතේ අමාරුව නැති කරගන්නට හැකිය.ඒ එකම එකක් පමණි. තව කෙල කෝටියකි. හරි විදියට සීඅයිඩී පරීක්ෂණයක් කෙරුවා නම් ඒ සියල්ල සොයා ගත හැකිය. ඒත් පරණ සට්ටැඹි ලොක්කා ඒ රාජකාරි පුටුවේ තියගෙනම කේස් හොයන එක හොරාගේ අම්මාගෙන් පේන අහනවා වාගේ වැඩකි.
ජාජබය බලයට පත් වීමෙන් පසුව බලපත්‍ර දී තිබූ ගිණි අවි බලපත්‍ර අවලංගු කර නිකුත් කර තිබූ ගිණි අවි රජයට බාර දෙන ලෙස නියෝග කෙරිණි. වැඩේ කියන්නේ ඒ බාර ගැනීම් බාරව ක්‍රියා කරන්නේත් අර සට්ටැඹි ලොක්කා වීමය. තමන් විසින් හොරට ගැසු ගේම් මේං බලන්න යැයි ඒ උන්නැහේ ජාජබ ආණ්ඩුවට ප්‍රකාශ කරන තරමේ අවංකයෙක් බවට ආණ්ඩුව එළ කිරි විශ්වාසය තබා ගෙන සිටීම මරේ මරුය.
අප නම් ඒ එළකිරි විශ්වාසය හඳුන්වන්නේ අපූරු ඩීල් ලෙසය. එහෙමත් නැතිනම් ආරක්ෂක අමාත්‍යංශ ලොක්කන්ගේ “කොන්ද බණ්ඩක්කා” වීම කියාය. තවදුරටත් විග්‍රහයක නිරත වන විට ජාජබ දේශපාලඥයන් ගේ ආණ්ඩුකරණයේ කිරි කෝඩු කම ගැනද සිහිපත් කරන්නට පුළුවන. පරණ පල පුරුද්දක් ඇති ඇති වුන් ආණ්ඩුවක් බාර ගත් විට මුලින්ම ශුද්ධ කෙරුවේ ආරක්ෂක අමාත්‍යංශය බුද්ධි අංශ හා පොලීසියයි. එහෙත් ජාජබ කයියන්ට ඒ ගැන කිසිදු අත්දැකීමක් හෝ වැටහීමක් තිබී නැති බව ආරක්ෂක අංශ ලොක්කන් අපට පවසන තොරතුරු වලින් සිතා ගත හැකිය.
මේ වන විට බුද්ධි අංශ තොරතුරු ඉහළට යාම පවා උදාසීන වී ඇති බව වාර්තා වේ. මෑතකදී මිල්ටෙරි බුද්ධි අංශයේ “ඩීල් ලොන්තයකු” රජයට ඉදිරිපත් කරන ලද රාජද්‍රෝහී වාර්තාකරණයට සම්බන්ධ අයවළුන්ගේ ලේඛනයක් ලෙස නම් කළ බුද්ධි තොරතුරු වාර්තාවක ආණ්ඩුව බලයට පත් කරවීම සඳහා දත මිටි කමින් ජනතාව දැනුවත් කළ යූ ටියුබයන් හා මාධ්‍යවේදීන් කිහිප පොළකගේම නම් ඇතුළත් කර තිබුණි. සැබැවින්ම ඒ තොරතුරු වාර්තාවේ නම් සඳහන්ව තිබූ යූ ටියුබයන් හා මාධ්‍යවේදීන් තවමත් විශ්වාසය තබා සිටින්නේ ජාජබ ආණ්ඩුව කෙරෙහිය. ජනපති අනුර දිසානායක සහෝදරයා පිළිබඳවය. එහෙත් ඔවුන් ජාජබ ආණ්ඩුවේ දුර්වල තැන් විවේචනයක නිරතව සිටී.ඒ ආණ්ඩුව කෙරෙහි වූ වෛරයකින් නම් නොවේ.
මේ වාර්තාව ඉදිරිපත් කළ මිල්ටෙරි ලොන්තයාගේ යටි අරමුණ වී ඇත්තේ ජාජබ ආණ්ඩුවට හිතවත් යූ ටියුබයන් හා මාධ්‍යවේදීන් ගේ සිත් බිඳවා ආණ්ඩු පාක්ෂිකත්වයෙන් ඈත් කරවීමය.
රාජපක්ෂවරුන්ගේ කොන්ත්‍රාතු සැළසුම් සිද්ධ වෙන්නේ කිසිවෙකුත් නොසිතන ගාණටය. වැඩේ කියන්නේ ආණ්ඩුවේ බුද්ධි තොරතුරු එළියට පහළියට දී අරුන් මුන් අවුස්සන් නේද මේ තක්කඩියා වීමය. මේ තක්කඩියාගේ පැටිකිරිය ආණ්ඩුවේ ආරක්ෂක ලොක්කන් සොයා නොබලන්නේ නම් කෙලවෙන්නේ ආණ්ඩුවටම බව වටහා ගන්නේ නම් හොදය. වැඩිය ලියන්න අවශ්‍ය නැත.මේ උන්දෑ බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයට පංගාර්තු කරගෙන ඇත්තේ මේ වන විට හිරේ විලංගුවේ වැටී ඉන්නා ෂම්මි කුමාරරත්නම්ය.
ආරක්ෂක තොරතුරු ලබා ගැනීම සම්බන්ධයෙන් ජාජබ ආණ්ඩුව කොපමණ හැඩයකින් මුලා වී තිබේද යන්න ගැන අපට ලැබී ඇති බොහෝ තොරතුරු අතුරෙන් මේ තවත් උදාහරණයකි. ඒ අම්බලන්ගොඩ පොලිස් මූලස්ථාන පොලිස් පරීක්ෂක වරයා ගැනය. අම්බලන්ගොඩ මූපොප ගැන ජාතික බුද්ධි සේවා තොරතුරු වාර්තා වල ඇත්තේ පාතාල ක්‍රියාකාරිකයන් සමග ගණුදෙනු කරන ජරා බායියකු ලෙසය.එහෙත් ජාජබ ආණ්ඩුවේ ඇත්තන්ට මොහු බඩ බැඳ ගත් විශ්වාසවන්තයෙකි. මේවා අරුම පුදුම ගණුදෙනු බව ඒ ගැන කතා බහ වෙන ප්‍රදේශවාසීන්ගේ අදහසයි. මේ මූපොප ගැන වැබ පොලිස්පතිවරයාද මාරම ලව් බව අභ්‍යන්තරයෙන් අසන්නට ලැබේ. මේ වන විට කෝටි විසි පහක තිහක පමණ කොන්ත්‍රාතුවකට අම්බලන්ගොඩ පොලිස් ස්ථානය ප්‍රතිසංස්කරණය කරමින් පවතී.මේ කොන්ත්‍රාතුව පැවරුණේ වැබ පොලිස්පතිවරයා පොලිස් දෙපාර්තමේන්තුවේ ඉදිකිරීම් අංශයේ අධ්‍යක්ෂවරයාව සිටියදීය.මේ කොන්ත්‍රාතුවෙන් කරන්නේ පරණ පොලිස් ස්ථාන ගොඩ නැගිල්ලේ මතුපිට බදාම ගලවා අළුතෙන් බදාම තට්ටුවක් තැවරීමය. මේ කොන්ත්‍රාතු මුදලින් බාගයක් පමණක් වැය කර අංග සම්පූර්ණ නව පොලිස් ස්ථානයක් ඉදි කරන්නට තිබුණ බවද තතු දන්නෝ පවසති. මේ වංචාව සෙවීම අල්ලස් හෝ දූෂණ කොමිසමට බාරය. ඒ මන්ද යත් අප සදහන් කෙරුවේ ඉඟියක් පමණය.නව අල්ලස් හෝ දූෂණ පනත අනුව පැමිණිල්ලක් නොමැතිව වුවද රජයේ ආයතනයක දූෂණ වංචා ගැන විමර්ශණය කිරීමට කොමිසමට බලය තිබේ.
දවසේ වෙඩිල්ල ගැන ලියන්නට ගොස් ආරු බූරු කතන්දර ගොඩක් ලියවුනේ හිතේ අමාරුවටය. ඒත් ඒ තොරතුරු නොලියා ඉන්ටද නොහැකිය. ඒ මන්ද යත් අප අනාවරණය කරන හැම තොරතුරක්ම ගැට ගැසී ඇත්තේ පුරවැසියන්ගේ ආරක්ෂාව තුළ නිසාය.
කෙසේ වෙතත් අපට ලියන්නට තිබුණ විශේෂම තොරතුර ඒ හන්දා මග හැරුණි.
මනුෂ්‍ය ඝාතන සිදු කරන පාතාල ක්‍රියාකාරිකයන් ගැන පුරවැසියන් තුළ සාධාරණ බියක් ජනිත වෙමින් තිබෙන වටපිටාවක පොලීසියේ ලොකු මහත්වරුන් තොගයක් ඉන්දියාවට ගොස් ඇති බව වාර්තා වේ. මෙලෙස තොග ගාණට පොලිස් ලොක්කන් පිරිසක් විදේශ ගත වී ඇත්තේ පොලිස් ඉතිහාසයේ පළමුවරටය. හිටපු පොලිස්පතිවරයකු වූ ඉලංඟකෝන් විසින් පොලිස් ස්ථානාධිපතිවරයකුට පවා විවේක නිවාඩු අනුමත කරන ලද්දේ කොන්දේසි සහිත චක්‍රලේඛ නියෝග වලට යටත්වය.
එහෙත් වර්තමානයේ පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළම ඇවරියේ පොලිස් ලොක්කන් පිරිසකට එකවර රටින් පිටව යාමට අනුමැතිය දී ඇත්තේ ගාල දොර කඩොලු හැර ගවයන්ට නිදැල්ලේ යන්නට අවස්ථාව සළසා දෙන ආකාරයෙනි. මේ පොලිස් ලොක්කන් සේවය කළ බල ප්‍රදේශවල පාතාල අපරාධකාරයන් හා “නිහඬ සම්මුතියකට” එළඹ මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වූයේදැයි අපි නොදනිමු.
ඉන්දියාවේ පැවැත්වෙන පාඨමාලාවක් හා සමුළුවකට මෙම පොලිස් ලොක්කන් සහභාගිවන බව පැවසේ. එම පොලිස් ලොක්කන් අතර ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 03 ක් සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 11 ක් සහ එක් නියෝජ්‍ය පොලිස්පතිවරියක් සිටී. සම්පූර්ණ එකතුව 15 කි.
මේ ඡ්‍යෙෂ්ඨ පොලිස් ලොක්කන් වන්නේ නැගෙනහිර පලාත් බාර ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර,උතුරු පලාත් බාර ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තිලක් ධනපාල, වයඹ පළාත් බාර ඡ්‍යෙෂ්‍ය නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ,අම්පාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල, මඩකලපුව නියෝජ්‍ය පොලිස්පති එම්.එන්.එස්.මෙන්ඩිස්, කොළඹ නියෝජ්‍ය පොලිස්පති උජිත් ලියනගේ,බස්නාහිර දකුණ නියෝජ්‍ය පොලිස්පති ප්‍රදීප් කළුපහන,කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති සරත් කුමාර, රථවාහන නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ, යාපනය නියෝජ්‍ය පොලිස්පති ජී.එච්.මාරපන ,රත්නපුර නියෝජ්‍ය පොලිස්පති මංජුල මාගිල්ල, නාවුක හා සංචාරක නියෝජ්‍ය පොලිස්පති දමයන්ත විජය ශ්‍රී ,මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ඩයස්,කලුතර නියෝජ්‍ය පොලිස්පති ඩබ්.ජේ.පද්මිණි යන අයවළුන්ය.
නීතිය හා සාමය ආරක්ෂාකිරීමේ ඇමතිවරයාගේ “වයසක උපදේශක ජෝඩුව” මේ සමුළුවට සහභාගි නොවීම විශාල අඩුවකි.
මේ පොලිස් ලොක්කන් සේවය කළ ප්‍රදේශ වල ඔවුන් නැවත පැමිණෙන තුරු ජාතික ආරක්ෂාවට සම්බන්ධ හෝ වෙනත් බරපතල අපරාධ සිද්ධියක් වාර්තා නොවන ලෙසට වැබ පොලිස්පති තුමා බලා ගනු ඇති බව අපේ විශ්වාසයයි.
එතුමා ඒ තරමටම සිය දෙපාර්තමේන්තුව ගැන විශ්වාසය තබා සිටීමද පුරවැසියන්ට සතුටු හිතෙන කාරණයකි.මෙවැනි වටපිටාවක දෙවියන් වහන්සේ ගැනද විශ්වාසය තබන්නට පුරවැසියන්ට චකිතයක් ඇතිවේ.ඒ දෙවියන් වහන්සේ පාස්කු දිනයේදී බෝම්බ පිපිරෙන තුරු නිහඬව බලා සිටි නිසාය.
ඒත් අපි මෙහෙම කතාවකුත් අසා තිබෙන බව වැ.බ පොලිස්පතිතුමා හට කියන්නට කැමතිය.
“දේශයේ සාමයට ප්‍රේම කරන්න.ඒත් වෙඩි බෙහෙත් වියලා තබා ගන්න“