Tuesday, July 8, 2025

චන්ද්‍රිකා සමයේ අනුරාධපුරයේ බර්ටිගේ පොලිසිය සහ එස්.එම්. චන්ද්‍රසේනගේ මැර දේශපාලනය – ප්‍රියන්ත ජයකොඩි

ඡායාරූපය: එස්.එම්. චන්ද්‍ර්‍රසේන සහ බර්ටි ප්‍රේමලාල්

හිටපු කෘෂිකර්ම අමාත්‍යවරයෙකු මෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුද වූ පසුගිය රජය සමයන්හි ප්‍රබල අමාත්‍ය ධුරයක් දැරූ S.M. චන්ද්‍රසේන මහතා ගොවීන් අතර බෙදාදීම සඳහා රජයෙන් ආනයනය කරන ලද බඩ ඉරිඟු බීජ තම දේශපාලන හිතවතුන් අතර බෙදා දීමෙන් රජයට පාඩුවක් සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධව අල්ලස් සහ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කළ පුවත ගිය සතියේ මාධ්‍ය මගින් වාර්තා කරනු ලැබුවා.

කලකට පෙර රජරට හොල්ලාගෙන සිටි දේශපාලනඥයෙකු වූ S.M චන්ද්‍රසේන මහතා මහින්ද රාජපක්ෂ රජය තුල ඉතා ප්‍රබල අමාත්‍ය ධූර කීපයක්ම දරුණු ලැබූ අතර ඔහු රාජපක්ෂ රෙජීමයේ ඇතුළත වලල්ලේ (Inner Circle ) ප්‍රබල සාමාජිකයෙකු ලෙසද එකල සලකනු ලැබුවා.

චන්ද්‍රිකා පාලන යුගය තුල අනුරාධපුර ප්‍රදේශය දික් විජය කරගෙන සිටි බර්ටි ප්‍රේමලාල් දිසානායක දේශපාලන පිටියෙන් ඉවත් කිරීමටද චන්ද්‍රසේන සාධකය ඉවහල්ව පැවැති අතර අවසන් වරට පැවැත්වූ පළාත් සභා මැතිවරණයේදී බර්ටි ප්‍රේමලාල් දිසානායක අභිබවා වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබාගත් චන්ද්‍රසේනගේ සොහොයුරු හිටපු ග්‍රාමාරක්ෂක භටයෙකු වු S.M. රංජිත් උතුරු මැද පළාතේ ප්‍රධාන අමාත්‍ය ධූරය දක්වා ඔසවා තැබීමටත් S.M. චන්ද්‍රසේන දේශපාලන සාධකය මෙන්ම රාජපක්ෂ රෙජීමය තුළ ඔහු ලබා තිබූ බලවත්කමද ප්‍රබල කරුණක් ලෙස බලපානු ලැබූ බවත් සඳහන් කළ හැකියි.

1999 වර්ෂයේ සහකාර පොලිස් අධිකාරී වරයකු ලෙස උසස් වීමෙන් පසු මගේ මුල්ම පත්වීම ලැබුණේ අනුරාධපුරයටයි. ඒ වනවිට අනුරාධපුරයේ පොලිස් රාජකාරි හැඳින්වීමට මහජනතාව භාවිතා කළ ප්‍රකට නමක් වූයේ “බර්ටි පොලිසිය”යන්නයි. ඒ තරමටම දේශපාලනය අනුරාධපුර පොලිස් ව්‍යුහය වෙලාගෙන තිබුණු එවන් පසුබිමක අනුරාධපුරය ප්‍රදේශයේ හෘදශාක්ෂියට එකඟවව නිවැරදිව පොලිස් රාජකාරී ඉටු කිරීම “උඩුගම් බලා පිහිනීමක්” වගේ වුණා. ඒත් අසීරුවෙන් හෝ ඒ කාර්යය නිරත වීමට අපට සිදුව තිබුණා. මා මෙන්ම මේ සමයේ මගේ සහෘදයෙකු ලෙස කටයුතු කළ එවකට ජ්‍යෙෂ්ඨ සහකාර පොලිස් අධිකාරිවරයකු වූ පසුව නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත්ව විශ්‍රාම ලැබූ M.H. මාසෝ මහතා මෙම තත්ත්වයට අදටත් ජීවමානව සිටින ප්‍රබල සාක්ෂියක් ලෙස හැඳින්විය හැකියි.

අනුරාධපුර ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාා ලෙස පද්මසිරි ලියනගේ මහතා කටයුතු කළ අතර ජේෂ්ඨ පොලිස් අධිකාර වරයා ලෙස කටයුතු කළේ විල්ෆ්‍රඩ් මහානායක මහතායි. සහකාර පොලිස් අධිකාරි අංක 1 දිස්ත්‍රික්කය ලෙස S.M . සමරකෝන් මහතාත් සහකාර පොලිස් අධිකාරි අංක 2 දිස්ත්‍රික්කය ලෙස කුප්‍රකට වාස් ගුණවර්ධනත් සහකාර පොලිස් අධිකාරි 3 දිස්ත්‍රික්කය ලෙස කනිෂ්ඨ සහකාර පොලිස් අධිකාරිවරයෙකු වූ මාත් සේවය කළ අතර M.H . මාසෝ මහතා තන්තිරිමලය සහ විලච්චිය අධි ආරක්ෂක කලාප අධීක්ෂණය කිරීම සිදුකරනු ලැබුවා.

මට මතකය හැටියට 1999 වර්ෂයේ ඔක්තෝම්බර් මාසයේ පමණ උතුරු මැද පළාත් සභාවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරනු ලැබුවේ ජ්‍යෙෂ්ඨ සිවිල් පරිපාලන නිලධාරියෙකු වූ “තලාකොටුන්න” මහතායි.තනිකඩයකු ලෙස අනුරාධපුරයේ සේවය කළ ඔහුගේ නිල නිවස පිහිටා තිබුණේ නුවර වැව ඉස්මත්තේ රජයේ නිලධාරීන් සඳහා වෙන්කර තිබූ නිල නිවාස පිහිටා තිබී ප්‍රදේශයේයි. මෙම නිවසට යාබදව එවකට අනුරාධපුර සහකාර පොලිස් අධිකාරි ලෙස කටයුතු කළ සමරකෝන් මහතාගේ නිවසත් ඒ ආසන්නයේම එවකට තනාගෙන යමින් තිබූ උසස් පොලිස් නිලධාරීන්ගේ සංචාරක නිවස්නයත් තවත් රජයේ නිලධාරී සදහා වෙන්කර තිබූ නිවාස කීපයක්ද පිහිටා තිබුණා.

තලාකොටුන්න මහතා පළාත් සභාවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ අතර මෙම වකවානුවේ පළාත් සභාවේ කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ එස්.එම්.චන්ද්‍රසේන අමාත්‍යවරයායි. පළාත් සභාව විසින් රජරට ප්‍රදේශය පුරා වෙලාගෙන තිබූ ජල ප්‍රශ්නය විසඳීම සඳහා සාධනීය පියවරක් ලෙස ජල ප්‍රශ්නය උග්‍ර ප්‍රදේශවල විශාල ප්‍රමාණයේ වගා ලිං ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනු ලැබූ අතර මේ සඳහා විශාල මුදලක් පළාත් සභා විසින් වෙන් කරද තිබුණා. එක් එක් කොන්ත්‍රාත්කරුවන්ට මෙම වගා ලිං තැනීමේ කටයුතු භාරදී තිබූ අතර එප්පාවල ප්‍රදේශයේ තනා තිබූ වගා ලිං පහක් සම්බන්ධව ගෙවීම් කටයුතු සිදු කිරීම සඳහා අදාළ වව්චර පත් අනුමැතිය සඳහා අමාත්‍යාංශ ලේකම්වරයා වූ “තලාකොටුන්න” මහතා අතට පත්ව තිබුණේ මේ අවධියේයි.

මෙම ස්ථාන භෞතිකව පරීක්ෂා නොකර එම ගෙවීම් සිදුකිරීම ප්‍රතික්ෂේප කල ලේකම්වරයා තකහනියක්ම මෙම ප්‍රදේශයන්ට ගොස් වගා ලිං තැනීම සම්බන්ධව සිදුකරනද පරීක්ෂණයේදී හෙළිදරව් වී ඇත්තේ මේ කිසිදු වගා ළිඳක් ඒ වන විට සම්පූර්ණ කර නොතිබූ බවත් වගා ලිං කීපයක්ම තැනීම ආරම්භ කිරීම පවා සිදුකර නොතිබූ බවය. මේ අනුව ගෙවීම් සිදුකිරීම සඳහා ඉදිරිපත් කර තිබූ වව්චර ව්‍යාජ ඒවා බව තීරණය කළ තලාකොටුන්න මහතා ඒවා සඳහා කිරීමට නියමිතව තිබූ ගෙවීම් අත්හිටවූ අතර මේ සම්බන්ධව උතුරු මැද පළාතේ ප්‍රධාන ලේකම්වරයාට පැමිණිලි කිරීමද සිදු කරතිබුණා.

මෙම සිද්ධිය හේතුවෙන් පළාතේ කෘෂිකර්ම අමාත්‍යවරයා සහ තලාකොටුන්න මහතා අතර එතරම් ඇයි හොඳයියක් පැවතුණේ නැති බවයි පසුව දැන ගන්නට ලැබුනේ.

1999 ඔක්තෝම්බර් මාසයේ දිනන තලාකොටුන්න මහතා සුපුරුදු පරිදි සිය කාර්යාලයේ වැඩ කටයුතු අවසන් කර ඔහු පදිංචි නිල නිවසට ගොස් රාත්‍රිය ආහාර ගැනීමට සූදානම් වෙමින් සිටියදී හදිසියේම මුහුණු ආවරණය කරගත් මැර කල්ලියක් ඔහුගේ නිවසට කඩා වැදුණා. පොලු සහ මුගුරු වලින් සන්නද්ධව සිටි මෙම මැර කල්ලිය කිසිදු වග විභාගයකින් තොරව තලාකොටුන්න මහතාට පහරදීම සිදු කළ අතර ඔහු කෙතරම් කෑගැසුවද ඔහුගේ සහයට කිසිවකු පැමිණීම හෝ මැරයන්ගේ පහරදීම අඩු වීම සිදුව තිබුණේ නැහැ. අවසානයේදී සිහිවිසඥ වනතුරු තලාකොටුන්න මහතාට පහර දුන් මැරවරයන් කිසිදු බාධාවකින් තොරව පලා යාමද සිදුකිරීමට සමත් වූූ අතර විනාඩි කිහිපයකට පසුව සහකාර පොලිස් අධිකාර සමරකෝන් මහතාගේ නිවසේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන් විසින් සිහිවිසඥව සිටි ඒ මහතා රෝහල් ගත කිරීම සිදුකර තිබුණා.

මෙම පහරදීම් හේතුවෙන් පසුදින වන විට ‍අනුරාධපුර ප්‍රදේශයේ රාජ්‍ය සේවය තුළ මහත් කැළඹීමක් හටගෙන තිබූ අතර විශේෂයෙන්ම එවකට අනුරාධපුර දිසාපති ලෙස කටයුතු කර තවත් කොන්ද කෙලින්ම තියාගෙන වැඩ කරන නිලධාරියකු ලෙස ප්‍රකට මහ දිසාපති “වන්නිනායක” මහතා මෙම සිද්ධියේ බැරෑරුම්කම වහාම ඔහුගේ විශ්ව විද්‍යාල සමකාලිනයකු වූ එවකට ආරක්ෂක ලේකම් ධූරය දැරූ චන්දානන්ද සිල්වා මහතා දැනුවත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම සිද්ධිය සම්බන්ධව ඉතා අපක්ෂපාති පරීක්ෂණයක් පවත්වන ලෙස ආරක්ෂක ලේකම්වරයා විසින් පොලිස්පතිතුමාටත් අනුරාධපුර දිශාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාටත් පෞද්ගලිකවම නියෝග කර තිබූ අතර මේ අනුව එම විමර්ශනය නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් මා වෙත පැවරීම සිදුකරනු ලැබුවා.

විශේෂයෙන් මා මාරවිල පොලිස්ථානයේ සේවය කරන සමයේ එතුමා සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙස හලාවත කොට්ඨාශය සේවය කළ අතර වගේ විමර්ශන හැකියාවන් සම්බන්ධව එතුමා තුළ තිබූ පූර්ව දැනුම මෙම විමර්ශනය මා වෙත පැවරීමට හේතුවක් වූ අතර එසේම මා “බර්ටි පොලිසියේ” සාමාජිකයකු නොවීමද එම පැවරීමට තවත් ප්‍රබල හේතුවක් වූ බව මා විශ්වාස කරනවා.

මෙම විමර්ශනය සම්බන්ධව මා විසින් මුලින්ම ස්ථානීය පරීක්ෂණයක් සිදු කළ අතර ස්ථාන පරීක්ෂණයෙන් මට ඉතාමත්ම පැහැදිලි වුණේ රාජ්‍ය සේවකයන්ගේ නිවාස විශේෂයෙන්ම උසස් පොලිස් නිලධාරියෙකුගේ නිවාසයක් සහ උසස් පොලිස් නිලධාරීන්ගේ තනාගෙන යනු ලබන නිවාසයේ ආරක්ෂාවට යොදවා සිටින නිලධාරීන් කණ්ඩායමක් මැදින් මෙවැනි මැර කණ්ඩායමක් පැමිණ පහර දීමක් සිදුකර නිරුප්‍රදිතව පලායාම අනිවාර්යයෙන්ම යම් බලවත් හස්තයකගේ අනුදැනුමකින් තොරව සිදුවීමට තිබූ අවකාශය ඉතා අල්ප බවයි.

මේ අනුව පහරදීම සිදුවූ දින රාත්‍රියේ තනාගෙන යමින් පැවති උසස් නිලධාරීන්ගේ න සංචාරක නිවස්න වැඩබිමේ ආරක්ෂාව යොදවා සිටි සිවිල් ආරක්ෂකයින් තිදෙනාගේ සම්බන්ධව තොරතුරු මා විසින් ලබාගනු ලැබූ අතර පරීක්ෂා කර බැලීමේදී හෙළිවූයේ පරසන්ගස්වැව ප්‍රදේශයේ පදිංචිව සිටින ඔවුන් මෙම සිද්ධියෙන් පසුව මෙතෙක් ආපසු රාජකාරී වාර්තා කර නොමැති බවයි. මේ අනුව එදින රාත්‍රියේම මා පරසන්ගස්වැව ප්‍රදේශයට ගොස් මෙම පුද්ගලයන් තිදෙනාම සොයා ඔවුන් රැගෙන මගේ කාර්යාලයට පැමිණි මධ්‍යම රාත්‍රිය වනතුරු ඔවුන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට ලක් කිරීම සිදුකරනු ලැබුවා. නමුත් ඔවුන් තිදෙනාම එක හෙලාම කියා සිටියේ තමන්ට තලාකොටුන්න මහතාගේ නිවස දෙසින් කෑගැසීමක් ඇසී එදෙසට යන විට පහරදීම සිදුව තිබූ බවයි. එහෙත් මෙම සිද්ධිය සම්බන්ධව යම් දැනුමක් මෙම සිවිල් ආරක්ෂක නිලධාරීන් සතුවන බවත් කුමන හෝ බලවේගයකට බියව ඔවුන් තමන් දන්නා සත්‍යය හෙළි කිරීම පමා කරන බවත් මා ප්‍රබල ලෙස විශ්වාස කළ අතර එම තිදෙනා අතරින් ඒ වන විට දුර්වලම පුද්ගලයා ලෙස මා හඳුනාගෙන සිටි තැනැත්තා වෙනම සවිස්තරාත්මකව ප්‍රශ්න කිරීමට ලක් කිරීම තුළින් මගේ මුල් සැකය නිවැරදි බව වටහාගැනීමට හැකි වුණා.

ඔහු පවසා සිටියේය කෑ ගැසිල්ල ඇසී තමා ඇතුළු නිලධාරීන් තිදෙනා ඒ දෙසට යන විට පුද්ගලයින් කණ්ඩායමක් තලාකොටුන්න මහතාගේ නිවසේ සිට ඉදිරියට පැමිණෙමින් සිටි බවත් ඔවුන් කීප දෙනෙකු මුහුණ ආවරණය කරගෙන සිටියද ඒ කණ්ඩායම් අතරින් කීප දෙනෙකු ඒ අවස්ථාවේ මුහුණු ආවරණය කර නොසිටි බවත් ඉන් එක් පුද්ගලයෙක් මීට පෙර S.M. චන්ද්‍රසේන මහතාගේ නිවසේ තමා ආරක්ෂක රාජකාරිවල නිරතව සිටින අවස්ථාවේදී එම ස්ථානයේ සේවය කළ සිවිල් ඇඳුමින් සැරසුණු ඔහුගේ ආරක්ෂකයෙකු බවට තමා ඉතා නිවැරදිව හඳුනාගත් බවත් ඔහුගේ නම “ජයසේන” බවත් සිවිල් ආරක්ෂකයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

මේ අනුව මම ඒ අවස්ථාවේදීම එවකට අනුරාධපුර මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ලෙස කටයුතු කළ “ජයලත්” මහතාට කතා කර අමාත්‍ය චන්ද්‍රසේන මහතාගේ ආරක්ෂාව සඳහා යොදවා සිටින නිලධාරීන්ගේ ලැයිස්තුවක් ලබා ගැනීමට කටයුතු කළ අතර ඉතා හොඳින් පරීක්ෂා කර බැලීමේදී “ජයසේන” නමින් හඳුන්වන පොලිස් කොස්තාපල් වරයකු එම ලැයිස්තුවේ සිටින බව දැනගන්නට ලැබුණා.

මේ පුද්ගලයා සම්බන්ධව සිදුකරනු ලැබූ පසුබිම් පරීක්ෂණය තුළින් ඔහු කලක සිට චන්ද්‍රසේන අමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරියකු ලෙස සේවය කරන ඔහුට ඉතා හිතේශීවන්තව කටයුතු කරන අයෙකු බවත් ඔහු ගල්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් හෙළි වූ අතර එදිනම අළුයම් කාලයේ විශේෂ පොලිස්‌ කණ්ඩායමක් ගල්ගමුව පිහිටි ඔහුගේ නිවසට ගිය නමුත් ඔහුගේ බිරිඳ පවසා සිටියේ ඔහු සතියකින් පමණ නිවසට නොපැමිණි බවයි.ඔහු මේ වන විට චන්ද්‍රසේන අමාත්‍යවරයාගේ නිවසේද නොසිටින බව අභ්‍යන්තර තොරතුරු ඒ වන විට වාර්තා කර තිබූ අතර මේ හේතුවෙන් මේ වන විටත් පොලිසිය විසින් සිදුකරන විමර්ශනය සම්බන්ධව මෙම පහරදීම පසුපස සිටින කණ්ඩායමට ඉව වැටී ඇති බවත් ඔවුන් අත්අඩංගුවෙන්ට පත්වීම වැළැක්වීමට කටයුතු කරන බවත් හොඳින් පැහැදිලි වූ අතර මා විසින් මෙම සියලුම විමර්ශන තත්ත්වයන් එවන විටත් නියෝජ්‍ය පොලිස්පතිවරයා දැනුවත් කිරීමද සිදුකරනු ලැබුවා.

මූලික විමර්ශනය ආරම්භව පැය විසි හතරක් ඇතුළත අපරාධය සාර්ථකව විසඳිය හැකි ප්‍රධාන කරුණු කීපයක් එළි කර ගැනීමට අප සමත් ව තිබු අතර නමුත් පසු දින පහන් වන විට අප කිසිසේත් බලාපොරොත්තු නොවූ සිදුවීම් මාලාවක් පසුබිමේ සිදුවෙමින් පැවතුණා

එදින උදේ දහයට පමණ C.I. D ය නොහොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරිවරයෙකුගේ නායකත්වයෙන් යුත් විශේෂ නිලධාරීන් කණ්ඩායමක් අනුරාධපුරයට පැමිණි අතර ඒ වනවිට මා විසින් සිදු කරගෙන යමින් තිබූ විමර්ශනය සම්බන්ධව සියලු විස්තර සහ ඒ වන විටත් මා භාරයේ සිටි සාක්ෂිකරුවන් වූ සිවිල් ආරක්ෂක නිලධාරීන් තිදෙනාද එම කණ්ඩායමට බාර දීමට නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් ඉහළින් ආ නියෝගයක් අනුව මා හට උපදෙස් දෙනු ලැබුවා.

මේ අනුව මා සියලු විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත බාර දෙනු ලැබූ අතර අද වනතුරුත් එම විමර්ශනයට සිදුවූයේ කුමක්ද යන්න මා හට දැනගන්නට ලැබී නැහැ.

මෙම සිද්ධිය එම වකවානුවේ අනුරාධපුර ප්‍රදේශයේ තුළ සිදුවූ මැර දේශපාලන සංස්කෘතිය තුළින් බිහිවූ එක් සිද්ධියක් පමණක් වන අතර මෙවැනි සිද්ධීන් විශාල සංඛ්‍යාවක් වෙනම නීතියක් ක්‍රියාත්මක වූ මේ මැර රජ දහන තුළ සිදු වූ බවට මාධ්‍ය වාර්තා කර තිබෙනවා එම “පාර රාජ්‍යය” මේ වන විට පුපුරා යමින් පවතින අතර විශේෂයෙන්ම හිටපු මේජර් ජනරාල් ජානක පෙරේරා ඝාතනය වගේම අනුරාධපුරේ ප්‍රකට සමාජ සේවකයකු මෙන්ම වෛද්‍යවරයෙකු ද වන ජෝන් පුල්ලේ මහතාගේ නිවසට පහර දී ගිනිතබා විනාශ කිරීමේ සිද්ධීය ඇතුළු සිද්ධීන් රාශියක් මේ චෞර සමය තුළ වාර්තා වී ඇති අතර ඒ සියළු සිද්ධීන් නැවත විමර්ශනය කර ඒවාට වගකිවයුතුයි චූදිතයන් තරාතිරම නොබලා අධිකරණය හමුවට පැමිණවීම මෙවැනි චෞර රාජ්‍යයක් මතු බිහිවීමට ඇති ඉඩකඩ අහුරා තැබීම සඳහා කළ යුතු ශිෂ්ඨ සම්පන්නම සමාජ සත්කාරය ලෙසයි සඳහන් කළ හැක්කේ .

.( විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති  Priyantha Jayakody මුහුණු පොතිනි. )

Archive

Latest news

Related news