Sunday, June 29, 2025

පොලිසිය මොසාඩ් වීම සහ සාජන් නොදත් මාතලන්ගේ හිතේ තිබූ අදහස – ලොකු කුමා

( Sri Lanka Brief/ 29 June 2025) පසුගියදා කිරිබත්ගොඩ නගරයේ නිකරුණේ රස්තියාදු ගැසූ 18 දෙනෙක් පොලීසිය විසින් අත් අඩංගුවට ගන්නා ලද බව මෙරට මාධ්‍ය වාර්තා කෙරිණි. එම ප්‍රවෘත්තියේ වැඩිදුර විස්තරයක් ඉන් ඉදිරියට වාර්තා නොවීය.

ඒ අත⁣රේ ජාතික හැඳුනුම්පතක් නොමැතිව කරුණයෙක් අත් අඩංගුවට ගෙන අධිකරණයට ගෙන අධිකරණයට ඉදිරි පත් කරන ලද බවත් අනතුරුව හැඳුනුම්පත ඉදිරිපත් කිරීමෙන් පසුව නිදහස් කර ඇති බවත් 2025 ජුලි 29 වන දින අනිද්දා පුවත්පත වාර්තා කර තිබුණි. මේ තරුණයා මාවනැල්ල මොහොමඩ් සුහීල් ෂුවේද් නම් 21හැවිරිදි තරුණයෙක් වන අතර ඔහු අත් අඩංගුවට ගෙන ඇත්තේ දෙහිවල පොලීසියෙනි.

මේ වන විට පොලීසියට මුසල්මානුවන් පෙන්නන්ට නොහැකි ගුද රුදාවක් මතු වී තිබෙන බව මෙරට තැනින් තැනින් ඇසෙන කි⁣යවෙන ප්‍රවෘත්ති වලින් පැහැදිලිය. එය හරියමට මීට අවුරුදු තිහ තිස්පහකට පෙර සිංහල බෞද්ධ සමාජය තුළ සෑම දෙමළ ජාතිකයෙක්ම කොටියෙක් ලෙසට රූපාන්තරණය කර ගත් සිතුවිල්ලේ නව නිෂ්පාදනයයි.

වත්මන සෑම මුසල්මානුවෙක්ම සහරාන් කෙනෙක් විය යුතුය යන සැකය පොලීසියේ රාජකාරි ලැයිස්තුවට ඇතුළත් කර ගෙන සිටී.

හැඳුනුම්පත නැති බවට අධිකරණයට ඉදිරිපත් කළ ඒ මුසල්මානු තරුණයා පසුව දෙහිවල පොලීසිය මගින් නැවත අත් අඩංගුවට ගෙන ඇත්තේ ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ ඊශ්‍රායල් කොඩියට හානි කිරීමේ පින්තූරයක් තිබෙන බව පවසමිනි. මෙවර ඔහු අත් අඩංගුවට ගෙන තිබුණේ ත්‍රස්ත මර්ධන පනත යටතේය. ඉන් අනතුරුව ඔහු බන්ධනාගාර ගත කර නිදහස ලබන්නේ මාස 03 කට පසුවය. සෑම තරුණ මුසල්මානුවෙක්ම සහරාන් කෙනෙක් ලෙස සිතා පොලීසිය ඉදිරියටත් රාජකාරි කරන්නට ගියහොත් අමාරුවේ වැටෙන්නේ මෙරට ජනතාවයි.

උතුරේ යුද්ධයේ ආරම්භය සිහිපත් කර ගන්නේ නම් ඒ සම්බන්ධයෙන් වූ උදාහරණ සඳහා වූ කැත හා අවලස්සන අඩුම කුඩුම ඕනෑ තරම් සපයා ගත හැකිය. ඊටත් වඩා පොලීසිය ඊශ්‍රායලයට එරට අගමැති බෙන්ජමින් නෙතන්යාහුටත් වඩා ප්‍රේම කරන්නට යාමද අමු ⁣ජෝක් එකකි.

ධර්ම චක්‍රය හා නාවුක යාත්‍රාවක සුක්කානම හඳුනාගන්නට තරමේ බුද්ධියක් නැති පොලිස්කාරයන් දිගට හරහට ඊශ්‍රායාලයේ මොසාඩ් සංවිධානයේ  රාජකාරිය මෙරට කරන්නට ගියහොත් පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අමුඩය පවා ගලවන්නට සිදු වෙන එක නම් අනිවාර්ය නිසැකයකි. අනෙක් පසින් පොලීසිය මේ උත්සාහ කරමින් සිටින්නේ තවත් වෙඩි බෙහෙත් සේවා නූලක් ඇවිලවීමටය.

ජාතික හැඳුනුම්පත පුරවැසියන් විසින්  අනිවාර්යෙන් තමන් සන්තකයේ තබා ගත යුතුයැයි නියෝගයක් හෝ විධානයක් මෙරට නීතිය තුළ නැත. ඒ බව ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු වලින්ද තහවුරු කරන ලද අවස්ථා තිබේ.

පොලීසියේ නිළ ඇඳුමේ මහන්තත්කමට වඩා ඒ නඩු තීන්දු වල අගය අඩු බවක් වටහා ගත හැක්කේ ජාතික හැඳුනම්පත සන්තකයේ නොමැති බව පවසා තවමත් අත් අඩංගුවට ගැනීම් මෙරටින් වාර්තා වන බැවිනි.

ජාතික හැඳුනුම්පතක් නොමැතිව නිවස ඉදිරිපිට වෙළඳ සැලකට ගිය කලා ශිල්පියකු වූ කසුන් මහේන්ද්‍ර හීනටිගල පොලීසිය විසින් අත් අඩංගුවට ගැනීමේ සිද්ධිය පසුගිය කාලයේ මෙරට සමාජයේ බරපතල ලෙස සාකච්ඡා වූ සිඳුවීමකි.

ඒ සම්බන්ධයෙන් බීබීසිය මෙරට මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ලක්ෂාන් ඩයස් ගෙන් තොරතුරු විමසා තිබුණි. ඔහු එහිදී ජාතික හැඳුනුම්පත පිළිබඳව මෙරට පවතින නීතිය පැහැදිලි කර දී තිබුණේ මෙලෙසය.

“…රටේ පවතින නීතියක් උල්ලංඝනය කරන්නෙ නැතුව අත් අඩංගුවවට ගන්න බැහැනේ කාවවත්. යම් කිසි නීතියක් උල්ලංඝනය කළොත් උල්ලංඝනය කරපු නීතිය මොකද්ද කියලා ඉස්සරවෙලා කියන්න ඕනනේ. අනන්‍යතාව හෙළි  නොකර නම් අන්‍ය අයකු ලෙස පෙනී සිටින්නම ඕනෙ. කෙනෙක් අන්‍ය අයෙකු සේ පෙනී සිටින්නේ නැතිනම් එහෙනම් ඒගොල්ල කියන්නෝන මොන නීතියද කඩ කළේ මොකද්ද කියන එක දැනුම් දෙන්න ඕන. ඩ්‍රයිවින් ලයිෂන් එක,තැපැල් අයිඩෙන්ටි එක එහෙම නැතිනම් රැකියා ආයතනයෙන් දීපු කාඩ් එක එහෙම නැතිනම් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරපු මීඩියා අයඩෙන්ටිය ,ජාතික හැඳුනුම්පතපාස්පෝට් එක මේ ඕනෑම ලේඛනයක් ඉදිරිපත් කරන්න පුළුවන්. එසේ ඉදිරිපත් කරන ලේඛන පිළිබඳ ගැටලුවක් ඇති වුවහොත් ජාතික හැඳුනුම්පත රැගෙන එන ලෙස ඉල්ලා සිටිය හැකි මුත් එය රැගෙන යායුතුයැයි නීතියක් නැහැ.

1968 අංක 32 දරන පුද්ගලයන් ලියා පදිංචි කිරීමේ පනතේ වගන්ති අනුව කොමසාරිස් නියම කරන හෝ එතුමාගේ බලය පැවරූ නිලධාරියෙක් නියෝග කරන දිනයක,වේලාවක ඒක තමන් ඉදිරිපත් කරන්න ඕන කියල තියෙන්නෙ.

එතකොට ඉදිරිපත් කරන්න ඕන නම් ඒක කලින් ලිඛිතව කියන්න ඕන. මිනිස්සු හුඟක් පටලවා ගන්නවා මේ අයිඩෙන්ටි කාඩ් එක සාක්කු දාගෙන යන්න ඕනා කඩේ යන කොට හරි හන්දියට යන කොට හරි කියලා. එහෙම දෙයක් නෑ. අයිඩෙන්ටි කාඩ් එක අල්මාරි⁣යෙ තියලා තියන්න ඕන දෙයක්…”

පොලීසියේ අමු ගොබ්බකම් වලට අටුවා ටිකා ටිප්පණී ලියා වැඩක් නැත.මෙවැනි අනීතික ක්‍රියා කරන පොලිස්කාරයන් ගැන ඊයේ අසන්නට ලැබුණි.අදත් ඇසුණි.හෙටත් අසන්නට ලැබෙනු ඇත.හැමදාමත් එය එසේ වනු ඇත.

පසුගියදා කිරිබත්ගොඩ නගරයේදී සැක සහිත ලෙස හැසිරුණ 18 දෙනා අත් අඩංගුවට ගන්නා ලද්දේ හැඳුනුම්පත් සන්තකයේ තබා නොගැනීමේ වරදට නොවන බව සිතන්නට පුළුවන.

ඇතැම් විට මේ තැනැත්තන් අත් අඩංගුවට ගන්නා ලද්දේ 1842 ජනවාරි 01 දින සම්මත වී ඇති පාදඩ ආඥා පනතේ විධි විධානයන් පරිදි යැයිද සිතිය හැකිය.

මේ පනතේ 3 වගන්තියේ අයාලේ යන්නන් හා අවිනීත ලෙස හැසිරෙන්නන් යනුවෙන් පනතේ විධිවිධාන බල පැවැත්වෙන තැනැත්තන් හදුන්වා දී තිබේ.

එසේත් නැති නම් වරෙන්තුවක් නොමැතිව පුද්ගලයන් අත් අඩංගුවට ගැනීම සඳහා පොලීසිය භාවිතා කරන්නේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 32(1)විධි විධානයන්ය.⁣මේ එම විධි විධානයන්ය.

() තමා ඉදිරිපිට සාමය කඩ කිරීමක යෙදෙන තැනැත්තකු,

() සංඥය වරදකට සම්බන්ධ වූ තැනැත්තකු හෝ එසේ සම්බන්ධවූ බවට යම් තැනැත්තකුට විරුද්ධව විශ්වාස කටයුතු තොරතුරු ලැබී තිබේද නැතහොත් ඒ බවට  යම් තැනැත්තකු සම්බන්ධයෙන් සාධාරණ සැකයක්  පවතීද එවැනි යම් තැනැත්තකු,

() නිත්‍යනුකූල හේතුවක් නොමැතිව (හේතුවක් තිබේ නම් ඒ හේතුව ඔප්පු කිරීමේ කාර්ය භාරය ඒ තැනැත්තා වෙත පැවරී ඇත) ගෙවල් බිඳින උපකරණයක් තමන් සන්තකයේ තබා ගෙන සිටින යම් තැනැත්තකු,

() වරද කරන්නකු ලෙස ප්‍රකාශයට පත් කොට ඇත්තාවූ යම් තැනැත්තකු,

() සොරකම් කරන ලදැයි හෝ  වංචනික ලෙස ලබා ගන්නා ලදැයි සාධාරණව සැක කළ හැකි යම් දෙයක් තම සන්තකයේ තබා ගෙන සිට අසු වූද ඒ දෙය සම්බන්ධයෙන් වරදක් කළේ යැයි සාධාරණව සැක කරනු ලබන්නා වූද තැනැත්තකු,

() ස්වකීය රාජකාරියෙහි යෙදී සිටින සාම නිළධාරියකුට බාධා කරන හෝ නිත්‍යානුකූලව අත් අඩංගුවෙන් පැන ගිය හෝ පැන යාමට තැත් කරන යම් තැනැත්තකු,

() ශ්‍රී ලංකා යුද හමුදාවෙන් නාවුක හමුදාවෙන් හෝ ගුවන් හමුදාවෙන් පලා යන්නකු යයි සාධාරණව සැක කරනු ලබන යම් තැනැත්තකු,

() සංඥය වරදක් කිරීමේ අදහසින් තමා සිටින බව හැඟවීමට පූර්වෝපාය යොදමින් සිටි යැයි විශ්වාස කිරීමට හේතු ⁣ඇති කරවන අවස්ථා යටතේ සැඟවී සිටීමට පූර්වෝපාය යොදමින් සිට හසුවූ යම් තැනැත්තකු,

() ශ්‍රී ලංකාවේදී කරනු ලැබී නම් වරදක් වශයෙන් ගෙන දඬුවම් කළ හැකි වූද ,උදර්පනය හෝ පලායිත තැනැත්තන් හෝ පිළිබඳ තත් කාලයෙහි වලංගුව පවත්නා යම් නීතියක් යටතේ නැතහොත් වෙනත් ආකරයකින් ශ්‍රී ලංකාවෙහි අල්ලා ගනු ලැබීමට හෝ අත් අඩංගුවෙහි රඳවා තැබීමට යටත් වූ වරදක් වන ක්‍රියාවක් ශ්‍රී ලංකාවෙන් පිටත යම් ස්ථානයකදී කිරීමට සම්බන්ධ වූ තැනැත්තකු හෝ එසේ සම්බන්ධ වූ බවට යම් තැනැත්තකුට විරුද්ධව සහේතුක පැමිණිල්ලක් කරනු ලැබ ඇත්තේද නැතහොත් යම් තැනැත්තකු එසේ සම්බන්ධ බවට විශ්වාස කටයුතු තොරතුරක් ලැබී ඇත්තේද නැතහොත් යම් තැනැත්තකට විරුද්ධව සාධාරණ සැකයක් ඇති වී ඇත්තේද එවැනි යම් තැනැත්තකු, සිරභාරයට ගත හැකිය.

මෙලෙස නිකරුණේ නගරයේ සැරිසැරූ බවට චෝදනා කරමින් පුරවැසියන් අත් අඩංගුවට ගැනීම පිළිබඳව මේ ලියුම්කරු කොළඹ පොලිස් බල ප්‍රදේශයේ පිහිටි පොලිස් ස්ථානයක පොලිස් ස්ථානාධිපතිවරයෙකුගෙන්  විමසූ විට ඔහු මෙසේ කීවේය.

“ඊයෙ දවසෙ විතරක් මගේ පොලිස් බල ප්‍රදේශයේ හතලිස් දෙනෙක් විතර මා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 32(1) සඳහන් විධි විධානයන් යටතේ අත් අඩංගුවට අරගෙන විමර්ශනය කරල මුදා හැරියා. මෙතැනදි අපි පුරවැසියන් නිකරුණේ අත් අඩංගුවට ගන්නේ නැහැ. අනවිසයේ විධි විධානයන් පරිදි තමයි රාජකාරිය කරන්නෙ. අපේ අපේක්ෂාව සාමය පවත්වාගෙන යාම මිසක් පුරවැසියන්ගේ නිදහසට බාධා කිරීම නොවෙයි. “

ඒ එම පොලිස් ස්ථානාධිපතිවරයා ගේ ප්‍රකාශයයි. පොලීසිය සද් භවයෙන් සිය රාජකාරිය ඉටු කරනවා වෙන්නටත් පුළුවන.එහෙත් මෙහිදී පුරවැසියන් හට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් හිමි වන නිදහසේ ගමන් බිමන් යාමේ අයිතිය පොලීසිය විසින් අත්තනෝමතිකව උල්ලංඝනය කෙරෙන බවට චෝදනාවක්ද එල්ල විය හැකිය. ඒ සියළු තර්ක වල සාවද්‍ය බව හෝ නිවැරිදිබව තහවුරු කර ගත හැක්කේද නීතියේ අවධරණය කිරීම් යටතේය.

මේ ලියුම්කරු ජීවත්වන ප්‍රදේශයේ බොහෝ කාලයකට පෙර මාතලන් නම් අනවර්ථ නාමයෙන් හැඳින්වූ සුළු සුළු දෑ සොරකම් කරන්නෙක් විය.ඔහු පොලීසියේ ලියාපදිංචි අපරාධකාරයෙකි.

ප්‍රදේශයේ සුළු සොරකමක් සිඳු වූ විට පොලීසිය කුදලාගෙන ගොස් උසාවියට ඉදිරිපත් කරන්නේ මාතලන්ය. මාතලන් හිරගෙදර යන එන එකේ සීමාවක්ද නැත. ඒ මාතලන් බොහෝ නඩු වලට වැරදිකරු කියා ඉතා ⁣සුළු අච්චු ලබා ගන්නා නිසාය. නඩුකාරයාද නීතිඥවරුන්ද ⁣මාතලන්ගේ කෙරුවාව දනී. මාතලන් තමන්ට පැවරෙන නඩු වලට නීතිඥ සහාය පතන්නේද නැත. ඔහුට එරෙහිව පවරන නඩු වලට පෙනී සිටින්නේද ඔහුමය. මාතලන්ට එරෙහිව නඩුවක් විභාග වන දවසට උසාවිය රස සාගරයක් වේ. ඒ මාතලන් විත්තිකූඩු⁣වට නැගි මොහොතේ සිට හැසිරෙන කියන ඒවා ඇසීමෙනි. නඩුකාරයාද මාතලන් ගැන දන්නා කියන නිසා දත මිටි කාගෙන සිනහ නොවී සියල්ල ඉවසාගෙන සිටී. ඇතැම් අවස්ථාවල පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ගෙන් හරස් ප්‍රශ්ණ අහන මාතලන් ඒ ප්‍රශ්ණ කිරීම් අවසන් කරන්නේ “ස්වාමීනි මේ ගරු අධිකරණයේ කාලය කා දමන්නට සූදානම් නැති බැවින්  නඩුවේ චෝදනා වලට මම වැරදිකරු” බව පවසමිනි. නඩුකාරයා මාතලන්ට මාස හය හතක් අච්චු කෙරුවද ඔහුට ගානක් නැත.

එක් අවස්ථාවක ⁣මාතලන්ට එරෙහිව පොලීසියේ නඩු පවරා තිබුණේ රාත්‍රී කාලයේදී සොරකම් කිරීමේ අදහසින් නගරයේ සැරි සරන ලද බවට චෝදනා කරමිනි. ඒ නඩුව විභාගයට ගත් අවස්ථාවේ මාතලන් සාක්ෂි දීම සඳහා සාක්ෂි කූඩුවේ සිටි සැරයන් වරයාගෙන් හරස් ප්‍රශ්ණ ඇසුවේ විත්ති කූඩුවේ සිටිමිනි.

“මේ සාජන් මහත්තය පොලීසිය⁣ට ඇවිල්ල කොච්චර කල්ද?” මාතලන් විමසීය.

“මගේ සේවා කාලය අවුරුදු විසි පහක් ස්වාමීනි”  පොලිස් සැරයන් ගේ පිළිතුරය. මාතලන් එලෙස දිගටම සැරයන් වරයාගෙන් ප්‍රශ්ණ කෙරුවේය.

“මේ සාජන් මහත්තයගෙ ⁣පොලීසියෙ ජොබ් එකට අමතරව සාස්තර ඒම කියනවද?”

“නැහැ ස්වාමීනි.”

“සාජන් මහත්තය ම⁣ට නඩු දාල තියෙන චෝදනාව මොකද්ද?”

“ස්වාමීනි මෙම විත්තිකරු සොරකම් කිරීමේ අදහසින් නගරයේ සැරිසැරීමයි චෝදනාව.”

“සාජන් මහත්තයට දැන් මගේ හිතේ තියෙන අදහස කියන්න පුළුවන්ද?

“බැහැ ස්වාමීනි.”

නඩුකාරයා දෙසට හැරෙන මාතලන් ඊළගට තමන්ගේ නිවැරිදි බව පවසන්නේ අධිකරණයේ නීතිඥවරුන්⁣ සිනහ ගස්වමිනි.

“ඒකනේ ස්වාමීනි මේ සාජන් මහත්තය දැන් මගේ හිතේ තියෙන අදහස කියන්න බැරිලු .ඒත් මට නඩු දාල තියෙන්නෙ සොරකම් කිරීමේ අදහසින් හිටිය කියල.”

“කමක් නෑ කමක් නෑ ස්වාමීනි. මම උසාවියෙ වෙලාව තව දුරටත් නාස්ති කරන්න කැමති නැති හන්ද වැරදිකාරය කියල කියනවා.”

නඩුව අවසන්ය. මාතලන්ට නඩු කාරයා මාස හය හතක් අච්චු කරන්නේ සිනාව තද කරගෙනය.

එපමණය.

Archive

Latest news

Related news