Thursday, June 26, 2025

පොලිස් හොරු සහ හොරා පොලිස්: ශ්‍රී ලංකා පොලිසියේ නිරුවත පෙන්වන ලැජ්ජා නැති සාක්ෂිය! – ලොකු කුමා

ඡායාරූපය: දේශබන්දු සහ ජගත් කුමාරයා

(Sri Lanka Brief/ 26 June 2025)හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ධුරයේ කටයුතු කරමින් සිටියදී සිඳු කරන ලදැයි පැවසෙන විෂමාචාර හා බලතල අනිසි ලෙස යොදා ගැනීම පිළිබඳව විමර්ශනය කරන පාර්ලිමේන්තු කමිටුව හමුවේ කොළඹ දිසාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති ජගත් චන්ද්‍ර කුමාර විසින් පසුගිය දින (25) ලබා දුන් සාක්ෂිය පොලිස් දෙපාර්තමේන්තුවේ තුළ වර්තමානයේ පවතින ජරාජීර්ණ ඇතුළාන්තය පිළිබඳව අපූරු අනාවරණයක් වේ.

නියෝජ්‍ය පොලිස්පති ජගත් චන්ද්‍රකුමාර 2023 දෙසැම්බර් 31 වැලිගම W 15 හෝටලය කේන්ද්‍රීය කර ගනිමින් සිඳු වූ වෙඩි තැබීම වූ දින වල කොළඹ ප්‍රදේශය බාර නියෝජ්‍යපොලිස්පති වරයා ලෙස කටයුතු කෙරුවේය.

මේ නියෝජ්‍ය පොලිස්පතිවරයා සාක්ෂි දීමේදී ප්‍රකාශ කෙරුවේ W 15 හෝටලය හා සම්බන්ධ සිද්ධියේදී වෙඩි වැදීමෙන් මිය ගිය පොලිස් නිලධාරියා ගැන නොදන්නා බවය.

එහිදී අතිරේක සොලිසිටර් දිලීප පීරිස් ඔහුගෙන් විමසා සිටියේ තවමත් ඔබගේ අදහස නාඳුනන වෙඩික්කරුවකු මෙම වෙඩි තැබීම කළ බවද යන්නය. මේ ප්‍රශ්ණයට පිළිතුරු දුන්⁣ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ ඔව්,මම ඒ මතයේ තමයි ඉන්නේ යනුවෙන්ය.

කෙසේ වෙතත් අතිරේක නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප් පීරිස් මේ නියෝජ්‍ය පොලිස්පති වරයා සාක්ෂි දීමට ප්‍රථමයෙන් ප්‍රශ්ණ කෙරුවේ ඔබ දැන් අසනීපයෙන්ද ඉන්නේ. මොකද මට පේනවා ඔබතුමාගෙ අත් කකුල් වෙවුලනවායනුවෙනි.

එහිදී නියෝජ්‍ය පොලිස්පති ජගත් චන්ද්‍ර කුමාර ස්වාමීනි මම මම පළමුවෙනි වතාවටයි මෙහෙම සාක්ෂි දෙන්නෙ. ඒ නිසා තමයි එහෙම වෙන්නේයැයි පැවසුවේය.

නියෝජ්‍ය පොලිස්පතිවරයකු සිය සේවා කාලයේ පළමුවරට විමර්ශනයකදී සාක්ෂි දෙනවා යැයි සිතීමට පවා අපහසු කාරණයකි. එහෙත් මේ නියෝජ්‍ය පොලිස්පතිවරයා එසේ පැවසුවේ කිසිම ලැජ්ජාවක් නැතුවමය.

අතිරේක සොලසිටර් ජනරාල් දීලීප පීරිස් ඔහුගෙන් හරස් ප්‍රශ්ණ ඇසීම හා ඔහු විසින් ඒ ප්‍රශ්ණ වලට පිළිතුරු සැපයීම රූපවාහිනී විකට වැඩසටහනකට සමානය. අධිකරණ විභාගයකදී මෙසේ වූයේ නම් නියෝජ්‍ය පොලිස්පතිවරයා හිරේ යන්නේ බොරු සාක්ෂි දීමේ වරදටය.

ඒ නාටකය රඟ දැක්වුනේ මෙහෙමය.

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්:

“කරුණාකරල සන්සුන්ව ඉඳගෙන සාක්ෂි දෙන්න. ඔබ නෙවිල් සිල්වාට බයද ?”

නියෝජ්‍ය පොලිස්පති ජගත් චන්ද්‍ර කුමාර:

“මම බය නැහැ. “

කමිටුවේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සාක්ෂි කරුගෙන් මෙසේ විමසීය.

“මහත්මයා දන්නවද අදාළ සිදුවීම රටේ ජනතාව දැන ගත්තට පස්සෙ තමයි ඔබ දැන ගත්තෙ කියල”

නියෝජ්‍ය පොලිස්පති ජගත් චන්ද්‍රකුමාර:

“එහෙම දෙයක් ගැන දැනීමක් නැහැ ස්වාමීනි.”

කමිටුවේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන -” සීසීඩී එකේ කණ්ඩායම භාරව හිටියේ ඔබ, ඔබේ පිරිසක් ගිහිල්ලා මෙහෙම දෙයක් වුනා කියලා දැන ගන්නෙ කාර්යාලය⁣⁣ට ආවාට පස්සෙද?”

නියෝජ්‍ය පොලිස්පති ජගත් චන්ද්‍ර කුමාර:

“ඔව් ස්වාමීනි!”

එහිදී අතිරේක සොලිසි⁣ටර් ජනරාල් දිලීප පීරිස් ප්‍රකාශ කරන ලද්දේ සාක්ෂි කරු අසත්‍ය ප්‍රකාශ කරන බවය.

කමිටු සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන:

“ඔය මහත්මයා සාමාන්‍ය පෙළ සමත් වෙලා ඇතිනේ. ඇයි ඔය විදියට බොරු කියන්නේ?”

නියෝජ්‍ය පොලිස්පති ජගත් චන්ද්‍ර කුමාර:

“මම හරියට දන්නෙ නැති නිසයි ස්වාමීනි. එහෙම කියන්නෙ”

කමිටු සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසිංහ:

“කරුණාකරලා ඔහොම උත්තර දෙන්න එපා. මේක පොඩි ළමයෙක්ට උනත් තේරෙනවා. ඔබතුමා මේ විදියට අපකීර්තියට පත් කරන්නේ සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවම”

අනතුරුව W 15 හෝටලයට වෙඩි තැබීමේ සිදධියට අදාලව වැලිගම ඡ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයා සිදු කළ විමර්ශන වාර්තාව  නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සාක්ෂිකරුට ඇසෙන ලෙස කියවනු ලැබීය. එහි ඇතුළත්ව තිබූ එම වෙඩි තැබීම සිදු කරන ලද්දේ කවරෙක්ද යන්න ගැනත් සඳහන්ව ඇති කොටසත් එහිදී කියවීය.

“ඔබ දැන්ද දන්නෙ වැලිගම පොලීසියෙ ජංගම රථයක සිටි නිලධාරීන් කළ වෙඩි තැබීමකින් තමයි උපුල් කියන නිලධාරියා මිය ගියේ කියලා” යැයි මෙහිදී සභාපති විනිසුරු ප්‍රීති පද්මන් විනිසුරු සාක්ෂි කරුගෙන් විමසීය

“ඔව් මම දැන් තමයි දැන ගත්තේ” යැයි සාක්ෂි පිළිතුරු දුන්නේය.

සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන නැවතත් සාක්ෂි කරුගෙන් ඇසුවේ “මේ ගැන කලින්  දන්නේ නැති එක ගැන තමන්ට පුදුමයක් නැද්ද” යනුවෙන්ය.

“මම දන්නේ නෑ ” යැයි සාක්ෂිකරු එහිදීද පිළිතුරු දුන්නේය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සාක්ෂිකරු ගෙන් ප්‍රශ්ණ කෙරුවේ “ඔබ මියගිය උපුල් කියන නිළධාරියාගෙ මළ ගෙදර ගියා නේද? ඒත් අද වෙන කම් දන්නැද්ද වෙඩි තිබ්බෙ කවුද කියලා “යැයි මේ අවස්ථාවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සාක්ෂි කරුගෙන් විමසීය.

ඔහුගේ පිළිතුරු වූයේ “මා අද වෙනකම් දැනන් හිටියේ නෑ” යන්නය.

මියගිය පොලිස් නිලධාරියාට ලක්ෂ 15 ක වන්දි මුදලක් දීමට අනුමත කෙරුවේ කෙසේදැයි සභාපති විනිසුරුවරයා සාක්ෂි කරුගෙන් ප්‍රශ්න කළ විට සාක්ෂිකරුගේ පිළිතුරු වූයේද ඒගැන නොදන්නා බවය.

මෙලෙස සාක්ෂි කරුගෙන් දිගින් දිගටම ප්‍රශ්ණ විමසීම කෙරිණි.

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්:

“තමන් කණ්ඩායම පිළිබඳව සොයා බැලවේ නැත්තේ මේ අය ⁣දේශබන්දු තෙන්න⁣කෝන්ගෙ වැඩකට ගිය නිසා නේද?”

නියෝජ්‍ය පොලිස්පති ජගත් චන්ද්‍ර කුමාර:

“මම එය ප්‍රතික්ෂේප කරනවා ස්වාමීනි”

සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසිංහ:

“ඔබ දන්නෙ නැතුව කෝමද කාරණාවක් ප්‍රතික්ෂේප වෙන්නෙ”

නියෝජ්‍ය පොලිස්පති ජගත් චන්ද්‍ර කුමාර:

“සමාවෙන්න ස්වාමීනි.මම දන්නෙ නැහැ කියන එකයි පිළිතුර වෙන්න ඕන”

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්‍:

“ඔබ සංවිධානාත්මක අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති අයි.පී.ජයතිලක දන්නවද?”

නියෝජ්‍ය පොලිස්පති ජගත් චන්ද්‍ර කුමාර:

“එවැනි කෙනෙක් ගැන මා දන්නේ නැහැ ස්වාමීනි.”

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්:

“ඔබ අයි.පී ජයතිලක දන්නේ නෑ කියන්නේ  ඔය විදියට යුනිෆෝම් ඇඳන් ඉන්න එක ගැනත් ලැජ්ජාවෙන්න ඕන”

සභාපති විනිසුරු ප්‍රීීීති පද්මන් සූරසේන :

“තමන් පොලීසිය ගැන දැනුවත් එපමණද?”

නියෝජ්‍ය පොලිස්පති ජගත් චන්ද්‍ර කුමාර:

“අයි.පී.ජයතිලක දුටුවහොත් අඳුනා ගත හැකියි ස්වාමීනි”

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්:

“2023 දෙසැම්බර් මස 29 වන දින අයි.පී.ජයතිලක ඇතුළු කණ්ඩායමක් පුද්ගලයන් 11 දෙනෙකු අත් අඩංගුවට ගත් බවඔබ දන්නවාද ?”

නියෝජ්‍ය පොලිස්පති ජගත් චන්ද්‍රකුමාර‍්:

“දන්නවා ස්වමීනි”

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් :

“ඔබ මා එය අහනකම් හිටියා.ඔබ කීවේ නෑ. අදාල පිරිසට ඩීඕ ගහන්න අත්සන් කරලත් තිබුණෙ ඔබ. මම අහනකම් ඔබ ඒ ගැන වත් කීවේ නැහැ.”

නියෝජ්‍ය පොලිස්පති ජගත් චන්ද්‍ර කුමාර‍්:

“නැහැ ස්වාමීනි”

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්:

“වැලිගම මෙහෙයුමට ගිය පිරිසේ සියලුු⁣දෙනා සිවිල් ඇඳුමෙන් යන බව දන්නේ නම් ඔබ ඔවුන්ට එසේ යාමට අවසර දෙනවාද ?”

නියෝජ්‍ය පොලිස්පති ජගත් චන්ද්‍ර කුමාර:

“එසේ නම් මා ඊට අවසර දෙන්නෑ ස්වාමීනි.”

කමිටුවේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන:

“කොළඹ අපරාධ කොට්ඨාශයේ හිටපු ස්ථානාධිපති ඇන්සලම් ද සිල්වා ඇතුළු පිරිසට සිවිල් ඇඳුමෙන් යාමට තමා අවසර ලබා දුන්නාද ?”

නියෝජ්‍ය පොලිස්පති ජගත් චන්ද්‍ර කුමාර:

“ඔව් ස්වාමීනි”

“ඇයි මේ විදියට ස්ථාවර කිහිපයක් ගන්නෙ ඔබකලින් කිව්ව එක දෙයක් දැන් කියන්නෙ තව දෙයක් දෙයක්”

නියෝජ්‍ය පොලිස්පති ජගත් චන්ද්‍ර කුමාර:

“ඔව් ස්වාමීනි”

මේ ⁣සාක්ෂිකරු පොලිස් දෙපාර්තමේන්තු වේ ඡ්‍යෙෂ්ඨ පොළිස් නිලධාරියෙකි. එහෙත් ඔහු පාර්මේන්තු කමිටුව ඉදිරියේ සාක්ෂි දුන්නේ මොනිටසෝරි බබෙක් ගානටය.

ඔහු මෙහි සාක්ෂි දීමට ආවේ වගඋත්තරකාර පාර්ශවය වූ දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන්ය. එහෙත් ඔහුගේ සාක්ෂියෙන් දේශබන්දු තෙන්නකෝන් තවත් අමාරුවේ වැටුන බව නම් පැහැදිලිය.

W 15 හෝටලය අසලදී වැලිගම ජංගම පොලිස් ජංගම රථයකින් වෙඩි තබා පොලිස් නිලධාරියකු මිය යාම මේ රටේ බොහෝ පුරවැසියන්  නොදන්නා සිද්ධියක් නොවේ. මේ සිද්ධිය ගැන මෙරට සමාජය තුළ පූර්ව විනිශ්චයක්ද තිබේ. ඒ මේ සිද්ධිය අනීතික පොලිස්  කොන්ත්‍රාතුවක් ඉටු කිරීමට ගොස් සිදුවූ අපරාධයක් බවය.⁣ ඒ අනීතික කොන්ත්‍රාතුව සිදු කරන ලද්දේ එවකට නීතිය හා සාමය අමාත්‍ය ටිරාන්අලස් ගේ පෞද්ගලික අවශ්‍යතාව නිසා බවටද බොහෝ දෙනා අතර කතා බහ වෙමින් පවතී. එම කතා බහ ගොසිප් නොවේ.

W 15 හෝටලයේ හිමිකරු මෙරට ආණ්ඩුකාරවරයකු ලෙස කටයුතු කළ මුසාමිල් ගේ පුත්‍රයාගේය. ටිරාන් අලස් හා ඔහු අතර ව්‍යාපාරික ගණුදෙනුවක් සම්බන්ධයෙන් ආරවුලක් පැවැති ඒ දින වල අනාවරණය වූ තොරතුරුය. ඇතැම් මාධ්‍ය මගින්ද එම තොරතුරු හෙළි කෙරිණි. කෙසේ වෙතත් එම අපරාධයේ දැන් විත්තිකාරයන් වී ඇත්තේ දේශබන්දු තෙන්නකෝන් සමග යටිබිම් ගත මිනීමරු කල්ලියක් ලෙස කටයුතු කළ පොලිස් කාරයන් කණ්ඩායමකි. ටිරාන් අලස් ගැන හාවක් හූවක් නැත.මේ සිද්ධියට සම්බන්ධ වූ පොලිස් කාරයන් විත්ති කූඩු වල හොටු පෙරා ගෙන අඬන බවත් ඔවුන් සාක්ෂි දෙද්දී බියවී වෙවුලන බවත් මාධ්‍ය ⁣මගින් තොරතුරු වාර්තා කර සිටී.

දේශපාලඥයන් වෙනුවෙන් කඩේ ගොස් මෙලෙස අසරණ වූ ආරක්ෂක හමුදාවල ලොක්කන් හා සොක්කන් බොහෝය.  

ඒ ඉතිහාසය අමතක කර දේශපාලඥයන්ගේ හිත සතුටු කරන්නට කරණම් ගසා ඒ බොස්ලාගේ ගෙදර කද මළු අරන් යාමේ සංදර්ශන පෙන්වන්නට ගිය පොලිස් හා හමුදා ලොක්කන්ට අවසානයේ ඉතිරි වන්නේ වැලිකඩ ජම්පරය පමණි. කොන්ත්‍රාතුව දුන් දේශපාලඥයා සාමයෙන් සතුටින් හා ඉහෙන් බහින රෝගයක් නැතුව තවදුරටත් ජීවිතය විඳිමින් සිටිනු ඇත.

මෙම පාර්ලිමේන්තු කමිටුව පත් කර ඇත්තේ දේශබන්දු තෙන්නකෝන්ට පොලිස් පති ධුරයේ වැඩ තහනමකට ලක්වීම පිළිබඳව තොරතුරු පාර්ලිමේන්තුවට වාර්තා කිරීම පිණිසය.

මෙම කමිටුවේ විනිසුරු වරයකු ලෙස පොලිස් කොමිසමෙි සභාපතිවරයාද කටයුතු කරමින් සිටී. තමන් ඉදිරියේ තොත්ත බබෙකු ලෙස සාක්ෂි දුන් මේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ගැන පොලිස් කොමිසමේ සභාපති වරයාට ලැජ්ජාවක් ඇති නොවූයේ නම් පුදුමය.

පොලිස්පති ජගත් චන්ද්‍රකුමාර පාර්ලිමේන්තු කමිටුව ජෝක් එකට ගත්තාදැයි අපි නොදනිමු. එහෙම හිතන්නට වුවද සාධාරණ කාරණා ඔහුගේ සාක්ෂි දීම තුළින් අනාවරණය කර ගත හැකිය.මේ නියෝජ්‍ය පොලිස්පති වරයා මානසික ආබාධයකින් පෙළෙන්නෙකු නොවේ. තවමත් සක්‍රීය සේවයේ නිරත වන්නෙකි. ඔහු දැනට සේවයේ නිරත වන්නේ පොලීසියේ ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේය. මෙම මූලස්ථානය මගින් ආවරණය කෙරෙන පොලිස් රාජකාරීන්ද එසේ මෙසේ ඒවා නොවේ. කැරළි මර්ධන ඒකකයද පවතින්නේ මේ ස්ථානයෙනි. ජාජබ  ආණ්ඩුවට එරෙහිව කොළඹ කේන්ද්‍රීය කර ගනිමින් කිසියම් අරගල කාරී වටපිටාවක් මතු වුව හොත් මෙවැනි  ⁣නියෝජ්‍ය පොලිස්පතිවරයකු කෙරෙහි විශ්වාසය තබා ගත හැකිද යන්න ආණ්ඩුවේ ලොක්කන් සිතා බැලිය යුතුය. ජාජබ ආණ්ඩුවක් බලයට පත් වී තිබියදී පවා දෙපාර්තමේන්තු විනය බබා හුකුම් තාලයට ජෝක් එකක් කර ගත් මෙවැනි පොලිස් ලොක්කෙකු තවදුරටත් සේවයේ තබා ගන්නවාද යන්න සිතීමට තරමේ මොහුගේ සාක්ෂි දීම ප්‍රශ්ණ සහගතය.

අධිකරණයක මේ සාක්ෂිය ගත්තේ නම් මේ නියෝජ්‍ය පොලිස්පති වරයාට නවතින්නට වෙන්නේ වැලිකඩය. එසේත් නැතිනම් අපරාධ සහායකයකු ලෙස විත්තිකූඩුවට නගින්නටය.

ඒ කෙසේ වෙතත් දීර්ඝ කාලයක් තමන් බලා කියා ගත් පාදඩ දේශපාලන සබඳතා ලෙහෙසියෙන් අමතක කර දමන්නට ඇතැම් ⁣පොලිස් ලොක්කන් සූදානම් නැති බව අමුතුවෙන් ලිවිය යුතු අදහසක් නොවෙයි. තමන් ඇති දැඩි කළ දේශපාලනික අපරාධකාරී වටපිටාව අත් නොහැර සිටින එම පොලිස් ලොක්කන් පොලිස් දෙපාර්තමේන්තු වේම කොටසක් බවට මේ වන විට පත් වී තිබේ. දඩුවම් ලැබුවද විවිධ ආකාරයේ අධිකරණ තීන්දු ලැබුණද පොලිස් දෙපාර්තමේන්තුව තුළ ඒ අපරාධකාරී දේශපාලන ගණුදෙනුවල අවසානයක් දකින්නට නැත්තේ ඇබ්බැහි පුරුද්ද නිසා විය හැකියි.

ක්‍රිස්තුස්වහන්සේ මරා දැම්මේ කුරුසියේ ඇණ ගසාය.ඒ උන්වහන්සේගේ පියා වඩුවෙක් නිසාය.එහෙත් බුදුන් වහන්සේට ඒ ප්‍රශ්ණය මතු නොවූයේ උන්වහන්සෙගේ පියා රජෙකු වූ නිසාය.මේ නියෝජ්‍ය පොලිස්පතිවරයා මුළු රටම හිනස්සවමින් දුන් මට මතක නෑ සාක්ෂියගැන අහිතක් නොසිතා ඔහු අපේ පොලිස් දෙපාර්⁣තමේන්තුවේ ඡ්‍යෙෂ්ඨයෙක් නිසා ඒ සිද්ධිය ගණන් ගන්න ඕනෑ නැති යැයි මහජන ආරක්ෂාව බාරව ඉන්නා නිළමක්කාරයන් සිතන්නේ නම් අපට ලියන්නට ඇත්⁣තේ අනේ අපි පව්කියා පමණය.

ඇතැම් විට ⁣මේ නියෝජ්‍ය පොලිස්පතිවරයා හෙට දවසේ මහජන ආරක්ෂක අමාත්‍යං⁣ශයේ ඉහළ තනතුරක වගකීම් බාර⁣ දෙන්නටද බැරි නැත. ඒ මන්ද යත් ජාජබ ආණ්ඩුව බලයට පත් වූ දින සිට මාධ්‍ය මගින් අනාවරණය කෙරුණ බොහෝ දූෂිතයන්ට හිටියාට වඩා බලතල ලබා දෙමින් ආණ්ඩුවට ප්ලග් කර ⁣ගනිමින් සිටින බැවිනි.

Archive

Latest news

Related news