Sunday, June 15, 2025

කාමේසුමිච්ඡාචාරා කියන විට මතක් වූ තේගිරිස් ආරච්චිගේ නැතිවූ කුඩය හා ජාජබ ආණ්ඩුව- ලොකු කුමා

(Sri Lanka Brief/14 June 2025) අළුත්ම ප්‍රවෘත්තියක් වූයේ මෙරට බන්ධනාගාර තුළ සිදු වූ දූෂණ සොයන්නට අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව ක්‍රියා කරමින් සිටින බවය

සීඅයිඩීය බන්ධනාගාරය තුළ සිඳුවී ඇති දූෂණ හොයන්නට යන්නේ ජනපතිවරයා විසින් වෙසක් පෝය දින සමාවදී නිදහස් කළ සිරකරුවන් පිළිබඳව ඇති වූ ප්‍රශ්ණයක් ජනපති ලේකම් කාර්යාලයෙන් කළ පැමිණිල්ල නිසාය.

සීඅයිඩීය බන්ධනාගාර පීරනවාට වඩා රාජ්‍ය ලේඛනාගාරයට ගියා නම් රාජකාරිය ඉතා පහසුවෙන් කරන්නට තිබුණි.ඒ බොහෝ මුද්‍රිත මාධ්‍ය මගින් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පවතින දූෂණ වාර්තා කර ඇති බැවිනි. පසුගියදා පැවති බන්ධනාගාර සංවත්සරයකදී අධිකරණ අමාත්‍යවරයා දෝත බදා දෙකට නැවී සම්මාන ඵළකයක් දුන්නේ වැලිකඩ බන්ධනාගාරය තුළ සිරකරුවන් මෙලේච්ඡ ලෙස ඝාතනය කළ සහකාර බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවාටය.මේ තිලිණ ප්‍රධානය ගැන ශිෂ්ඨාචාර සමාජය තුළින් මතු වූයේ විරෝධයකි.එහෙත් ඒ විරෝධය ජාතික ජන බලවේගය ආණ්ඩුව තඹ දොයිතුවකට ගණන් නොගත්තේය.

ගොඨාභය රාජපක්ෂ මෙරට ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටියදී විශේෂ කාර්ය බලකාය ලවා බන්ධනාගාරය තුළ සිදු කරන ලද සිරකරුවන් ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවකු වූ එමිල් රංජන් ළමාහේවාට මහාධිකරණය මගින් දඬුවම් ලැබුණ අතර පසුව ඔහු අභියාචනාධිකරණය මගින් නිදහස් කෙරිණි. එමිල් රංජන් ළමාහේවා කිසිම අතුරු අන්තරාවක් නැතුව නැවතත් බන්ධනාගාර සේවයට එක් විය. රාජ්‍ය නිධාරියෙකුට එරෙහිව අපරාධමය වරදක් සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියා මාර්ග ගැනීමෙන් අනතුරුව නිදහස් වුවද ආයතනික මට්ටමින් විනය ක්‍රියා මාර්ග ගැනීම අහෝසි නොවේ. එමිල් රංජන් ළමාහේවා සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව ආයතන සංග්‍රහයේ රීති ක්‍රියාත්මක කළ බවක් වාර්තා නොවෙි.

මෙහිදී අපට සිහිපත් වන්නේ ඛලීල් ජිබ්රාන් ගේ The Prophel කෘතියේ වදනකි.

ඔබට අධර්මිෂ්ඨයන්ගෙන් ධර්මිෂ්ඨයන් වෙනස් කළ නොහැකිය. දුෂ්ඨයන්ගෙන් යහපත් තැනැත්තන් වෙන් කළ නොහැකිය.මක් නිසාද කිව හොත් කළු නූල් සහ සුදු නූල් එක්කොට වියූවාක් මෙන් එකට එක්ව නැගී සිටින බැවිනි. කළු නූල් කැඩී යන විට රෙද්ද වියන්නා මුළු රෙද්ද ගැනම අවධානය යොමු කළ යුතු වෙයි.ඔහු වියන යන්ත්‍රයද පරීක්ෂා කළ යුතු වෙයි.”

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඉහළ ඇවරියේ නිළධාරීන් සම්බන්ධයෙන් වාර්තා වූ දූෂිත ක්‍රියා පිළබඳව දිගින් දිගටම මාධ්‍ය වාර්තා පළ වන විට ආණ්ඩුව සිටියේ නෑසූ කන් ඇතිවය.

ඒ නොසැළකිල්ලේ උපරිමය වූයේ ජනපති සිරකරු සමාව පවා අත යට ගණුදෙනුවක් බවට පත් කර ගැනීමට බන්ධනාගාරයේ ඉහළ ඇවරි⁣යේ නිධාරීන්ට හැකිවීමය.

මරණ දඬුවම් ලබා බන්ධනාගාර ගතව සිටින දුමින්ද සිල්වා විෂයෙහි බන්ධනාගාර පරිපාලනය අනුගමනය කරන්නේ ඉතා මෘදු ප්‍රතිපත්තියකි. බන්ධනාගාර රෝහළ දුමින්ද සිල්වාගේ සංචාරක නිකේතනය බවට පත් වී තිබේ.

මරණ දඬුවම හිමි වූ සමාජයේ පහල පන්තියේ සිරකරුවන් හට නොලැබෙන සුපිරි සැළකීමක් දුමින්ද සිල්වාට බන්ධනාගාරය තුළදී හිමි වී ඇති බව දන්නෝ දනී. ඔහු පමණක් නොවේ දෙමටගොඩ චමින්ද වැනි පාතාල ක්‍රියාකාරිකයන්ද බන්ධනාගාරය තුළ විඳින සැප පහසුකම්ද එලෙසමය.සිරකරුවන් ඇඳිය යුතු ජම්පර කට්ටලය පවා සුපිරි ගණයේ සිරකරුවන් භාවිතා කරන්නේ නැත. ඔවුන් අඳින්නේ පිටතින් ගෙන්වා ගත් වටිනා සුදු රෙදි හෝ කොට් උර මැසීමෙන් පසු ඉතිරිවන අමු රෙදි වලින් මැහුම් පාටියටදී මසා ගත් ජම්පර හැඩයේ ඇඳුම්ය. නමුත් ඒවා ජම්පර නොවේ. කොට කලිසම් හා කර රහිත බැනියම්ය.

ඇති නැති පරතරය ගැන හොඳින් දැන කියා ගන්නට නම් බන්ධනාගාරය තුළ සිර දඬුමක් විඳිය යුතුමය.

සැබවින්ම වර්තමානයේදී බන්ධනාගාරය පාලනය කරන්නේ නම ගිය පාතාල ක්‍රියාකාරිකයන්ය. ඔවුන් බන්ධනාගාරයේ විඳින්නේ සිටුවර ජීවිතයකි. ඇති හැකි අයට හිරගෙදර නැත්තේ ගෑනු විතරයි යන කියමන සිරකරුවන් අතර ප්‍රචලිත කියමනකි. දැන් ලැබෙන තොරතුරු අනුව දුමින්ද සිල්වා වැනි සිරකරුවෙකුට ඒ බාධාවද සිම්පල් කාරණයකි. ඒ සඳහා

බන්ධනාගාර වෛද්‍යවරයාගේ නිර්දේශය මත පිටත රෝහළක නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනීමට අවස්ථාවක් සළසා ගැනීම පමණකි. අවශ්‍ය කෙරෙන්නේ යහමින් විසි කළ හැකි බර වැඩි නෝට්ටු පමණය.

මේ ලියුම්කරු හට මත් ද්‍රව්‍ය ජාවාරමි කරුවකු පැවසූ අපූරු කතාවකි.

එළියෙ කුඩු බිස්නස් කරද්දි හයි කෝට් එකක් වැදිල අවුරුද්දක් විතර ඇතුළට ගියාම බොසා මං එළියට බහින්නෙ ලක්ෂ තිහ හතලිහක් හොයාගෙන. ඇතුළෙ ඉඳන් බිස්නස් කරන්න පුළුවන් කිසි ආබාධයක් නැතුව. වැඩේ යන්නෙ ඊසි කෑෂ් නේ.’

බන්ධනාගාර තුළ වැඩ කෙරෙන්නේ එහෙමය. ඒ ජාවාරම් කරුගේ කතාව ඇත්තය. ඒ ගැන බන්ධනාගාරයේ හැම දෙනාම දනී.

මෑතකදී සිර දඬුවම් ලැබූ මැති ඇමතිවරුන්ද වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින්නේ අනෙකුත් සිරකරුවන්ට අහිමි සැළකීම් හා වරප්‍රසාද පෞද්ගලිකවම භුක්ති විඳිය හැකි ආකාරයටය. දීර්ඝ කාලයක් තිස්සේ බන්ධනාගාර තුළ සිඳු වන මේ දූෂණ ක්‍රියා පිළිවෙත පැය විසි හතරකින් අවසන් කළ නොහැකිය.

අප මීට ඉහතදී බන්ධනාගාර ලොක්කෙකු ගැන ලිපියක් පල කරන ලදී.අපගේ ඒ ලිපිය පල වී සතියක් යන්නටත් පෙර ඒ දූෂිතයා මාධ්‍ය ප්‍රකාශකයා බවට පත් කර ඇති බව වාර්තා විය. මේ මාධ්‍ය ප්‍රකාශකයා ගාල්ල බන්ධනාගාරයේ අධිකාරී වරයා ලෙස කටයුතු කරමින් සිටින විට සිය ප්‍රධාන ජේලර්වරයා ඝාතනය කරවන ලද්දේ පොඩි ලැසී නම් පාතාල ක්‍රියාකාරිකයා ලවාය. ඝාතනයට ලක් වූ ප්‍රධාන ජේලර්වරයා දිගින් දිගටම මොහුගේ දූෂිත ක්‍රියාකළාපයට එරෙහිව කටයුතු කිරීම ඒ ඝාතනයට හේතුව විය. කෙසේවෙතත් ඒ දිනවල මාධ්‍ය වාර්තා කර තිබුණේ ප්‍රධාන ජේලර්වරයාගේ ඝාතනය මොහු ගේ කොන්ත්‍රාතුවකට පාතාලය විසින් සිදු කළ බවට පොලීසිය අනාවරණය කරගෙන තිබුණ බවය. බන්ධනාගාර සේවයට ඒමට පෙර පොලිස් විශේෂ කාර්ය බලකායේ සේවය කළ මොහු රාජ්‍ය සේවයෙන් නෙරපා හරින ලද්දේ ස්ත්‍රී දූෂණයක වැරදිකරු වීම නිසාය.

මෙවැනි පත් කිරීමකට පෙර ආණ්ඩුවට තිබුණේ අප ලියා ඇති තොරතුරු හරි වැරදි සොයා බැලීමය. අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර ඒ ගැන පවසා ඇත්තේ මම ඔය යූ ටියුබ් කාරයන් හා පත්තරකාරයන් ලියන කියන ඒවා පඩේකට ගණන් ගන්නේ නැති බවය. ඇමතිගේ ප්‍රකාශය සහගහන ඇත්තය. තමන්ට එරෙහිව මාධ්‍ය වල පල වෙන තොරතුරුවල සත්‍ය අසත්‍ය සොයා බැලීමේ වැඩපිළිවෙලක් ඇමතිට පමණක් නොව ජාජබ ආණ්ඩුවට නැත.

අධිකරණ ඇමතිගේ කල් කිරියාව ගැනද පුරවැසියන් තුළ මේ වන විට සැක සංකා මතුවී තිබේ.ඒ සිය විෂය පිළිබඳව ප්‍රමාණාත්මක දැනීමක් හෝ අවබෝධයක් අධිකරණ ඇමතිවරයාට නොමැතිද එසේත් නැතහොත් ⁣ඔහු දැන දැනම ආණ්ඩුවට එරෙහිව යටි බිමිගත කුමන්ත්‍රණයක නියැලී සිටීද යන්න ගැනය.

වැලිකඩ හිරගෙදර මිනිස් ඝාතනයට සම්බන්ධ සහකාර බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් හට අධිකරණ ඇමතිවරයා විසින් දෝත බදා සමරු ඵළකයක් තිළිණ කිරීම ගැන සමාජය වෙතින් එල්ල වූ බරපතල විරෝධයේදී වඩාත් විවේචනයට ලක් වූයේද අධිකරණ ඇමතිවරයා හා බන්ධනාගාර කොමසාරිස් වරයා වේ. සියල්ල සිද්ධ වූයේ මේ පාර්ශවයන් දෙකේ දැනුවත් බවකින් යැයි දැන් දැන් අපටද සැක ඇතිවෙමින් තිබේ.

ඉහළ තනතුරු සඳහා නිධාරීන් පත් කරන විට ඔවුන්ගේ පෙර පැටිකිරිය පිළිබඳව පසුබිම් වාර්තා සැළකිල්ලට ගැනීම ආණ්ඩුවේ වගකීමය.නැතිනම් සිද්ධ වන්නේ හත් පොළේ ගා ගැනීමටය.

අධිකරණ ඇමතිවරයාද මාධ්‍ය සාකච්ඡාවලදී හෙළි දරව් කරමින් සිටින්නේ තමන් ජවිපෙ කුලකයේ ⁣සාමාජිකයකු නොවන බවය. ඔහු ප්‍රකාශ කරන ඒ කාරණය ඇත්තකි. එහෙත් ඔහු විසින් ප්‍රසිද්ධියේ සිදු කරන එම ප්‍රකාශය නිසා හානි වන්නේ ජාජබ ආණ්ඩුවේ සාමූහිකත්වයටය. ජවිපේ හා මාලි⁣මාවෙි සාමාජිකයන් අතර මේ වන විට ආරවුලක් මතු වී ඇති බව අධිකරණ අමාත්‍යවරයා ගේ ප්‍රකාශණය හා සම්බන්ධ කර ගනිමින් පුරවැසියා තුළ සැකයක් මතුවේ. එසේම

අධිකරණ ඇමතිවරයා ගේ කියුම් කෙරුම් වලින්ද ඒ බව තහවුරු වෙමින් පවතී.

ජනපති සමාවෙන් සිරකරුවන් නිදහස් කිරීම අංජ බජල් සිද්ධියක් වූ විට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන කන බොන තැනකදී පෞද්ගලිකව කළ සඳහනක් ජාතික බුද්ධි සේවාවක නිළධාරියෙක් මේ ලියුම්කරු වෙත අනාවරණය කරන ලදී.

එහිදී වජිර අබේවර්ධන පවසා ඇත්තේ බලාගෙන ඉන්න ඉදිරියේදී තව තව ඒවා සිද්ධ වෙයි. අපි ගානට දැල එලල තියෙන්නෙ.ගොඩ අදින්නෙ මේ දෙසැම්බර් විතර යැයි කියාය. එන දෙසැම්බරයේ ⁣දැල ගොඩ ඇදීම ගැන කියවෙන කුමන්ත්‍රණය ගැන අපටත් පැහැදිලි සැකයක් මතුවන බොහෝ තොරතුරු ලැබෙමින් පවතී.

සියළු මිල්ටෙරි බුද්ධි අංශ ඇතුළු සියළු බුද්ධි සේවාවන් මේ වන විටත් දූෂිතයන් ගේ බල අධිකාරිය යටතට පත් වී තිබේ.

මේ දූෂිතයන් සිය තනතුරු වල ස්ථාවරත්වය හා ආණ්ඩුවේ විශ්වාසය දිනා ගෙන ඇත්තේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ යැයි සැක කරන මේජර් ජනරාල් සලේ හා ⁣අනෙකුත් සැකකරුවන් තුරුම්බු ලෙස යොදා ගනිමිනි. එහිදී මේ දූෂිතයන් කරන්නේ බුද්ධි සේවාවේ වි⁣ශිෂ්ට ආකාරයෙන් රාජකාරි කරන නිළධාරීන් සලේ ගේ ගෝලයන් ලෙස වාර්ගීකරණය කර එළවා දමා අන්ත දූෂිතයන් ගෙන් සමන්විත වලල්ලක් නිර්මාණය කිරීමය.

 

මේ කුමන්ත්‍රණකාරී වැඩ පිළිවෙල තවදුරටත් ක්‍රියාත්මක වුව හොත් මෙරට මිල්ටෙරි බුද්ධි සේවාවේ මලගම ඉතා නුදුරේදීම සිදු විය හැකි බවට අපි අනතුරු අඟවමු.ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා ද මේ කුමන්ත්‍රණයට හසු වී ඇතැයි අපට තොරතුරු ලැබී තිබේ. සැබවින්ම අප මේ තොරතුරු මීට ඉහතදී අනාවරණය කරන ලද නමුත් සිඳු වූයේ ඒ දූෂිතයන් අතර සිටි ප්‍රධානියෙකුට ඉහළ පුටුවක වාඩි වීමට අවස්ථාව හිමි වීමය.මෙම දූෂිතයා කළ බරපතල වරදක් ආවරණය කර ගනිමින් මොහු මීට පෙර ආණ්ඩුවේ බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයට ගන්නේ හිටපු බුද්ධි අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් මහතන්තිලය. තමන් හමුදාවෙන් නෙරපීමට තරමේ වූ වරදින් ගලවා ගත් බ්‍රිගේඩියර් මහතන්තිලට එරෙහිව දැන් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාට කේලාම් කියන්නේද මේ දූෂිතයාමය.

බ්‍රිගේඩියර් මහතන්තිලද පාස්කු ප්‍රහාරය පිළිබඳව චෝදනාවට ලක් වූ නිළධාරියෙකි. මෙවැනි දූෂිතයන් කෙරෙහි විශ්වාසය තබා කටයුතු කිරීමෙන් ජාජබ ආණ්ඩුවට සිද්ධ විය හැක්කේ අහක සි⁣ටින නයි ඔඩොක්කුවේ දමා ගත්තා වැනි ලෙඩකි. ජාබයේ ඉහළ නායකයන් කිරි සප්පයන් නොවේ.අප මේ වාර්තා කරන සියළු තොරතුරු ඔවුන් සතුවද ඇතැයි අපි විශ්වාස කරමු.එහෙත් සිඳු වී ඇත්තේ මේ නායකයන් සිය දේශපාලන බලය ගැන උද්දච්ච තක්සේරුවක සිටීමය. ඒ නිසාම ජාජබ ආණ්ඩුව සිතා සිටින්නේ ඒ දූෂිතයන් කවර තනතුරක සිටියද ආණ්ඩුවේ මයිලකටවත් හානියක් කරන්නට බැරි බවටය. එහෙත් ආණ්ඩුව පාඩමක් ඉගෙන ගන්නේ නම් ජනාධිපති වෙසක් පෝය සමාව සිද්ධියම හොඳටම සෑහේ. ඒ නිසා ආණ්ඩුවේ නායකයන් දැන් කල්පනා කළ යුත්තේ අශ්වයා පැන ගිය පසු ස්තාලය වසා දැමීමෙන් පලක් නැති බවය.අප මීට ඉහත කාලයකදී ආණ්ඩුව ⁣රී සෙට් විය යුතු යැයි ලියන ලද්දේද ඒ නිසාය.

අප මේවා ලියන්නේ ජාජබ ආණ්ඩුව කෙරෙහි පවතින ඉරිසියාවකින් හෝ ක්‍රෝධයකින් නොවේ.ජාජබ ආණ්ඩුව බලයට පත් කළ සෑම දෙනෙකු⁣ම ආණ්ඩුව ආරක්ෂා කර ගත යුතුය යන මතයේ සිටී.

එහෙත් ආණ්ඩුවේ වුන් මේ යන විදියට පිස්සු කෙලින්නේ නම් එය ඉතා බරපතලය.එය එසේ වන්නේ නම් මේ ආණ්ඩුවේ අවසානය ලේ පැල්ලම් සහිත දරුණු ඛේදවාචකයක් විය හැකිය. ඒවා අප ලියන්නේ පැරණි සත්වයින්ගේ දේශපාලන කෙරුවාවල් හොඳින් අත් විඳ ඇති නිසාය.

ආණ්ඩුවේ කෙරුම්කාරයන් හිතා ගෙන ඉන්නේ අවුරුද්දක් පමණ ගෙවී යන විට විශාල මහජන ප්‍රසාදයක් අත් කර ගත හැකි බවය. ඒ සිතීම දේශපාලනික අර්ථයෙන් ගත් විට අමු මෝඩ කමකි. ඒ මෙරට දේශපාලනය තනි අතේ සූදුවක් නොවන නිසාය.විපක්ෂය සිටින්නේ එළඹෙන පළමු පැයේදීම ආණ්ඩුවට ෂොට් එක දීමටය.

තේගිරිස් ආරච්චිල පන්සලේ බණ අහන්නට ගිය දවසේ වූ සිද්ධිය මතක් වෙන්නේ ආණ්ඩුවේ ⁣මේ කෙරුවාව ගැන සිතන විටය. බණ අරඹන්නට නායක හාමුදුරුවන් පන්සිල් දෙමින් අදින්නාදානා සිල් පදය කියන විට බණ මඩුවේ ඉදිරියේම වාඩි වී සිටි තේගිරිස් ආරච්චිල ගේ තුළ මතුවූ ශාරිරික නොසන්සුන්කම එහි සිටි හැමදෙනාටම පෙණිනි. එහෙත් නැවතත් නායක හාමුදුරුවන් කාමේසුමිච්ඡාචාරා සිල් පදය කියන විට තේගිරිස් ආරච්චිල සන්සුන් වූ ආකාරයද සැමට දැක ගත හැකි විය. බණ අවසන්ව ගෙදර යන අතරමගදී ඒ සිදුවූ හුටප්පරය ගැන තේගිරිස් ආරච්චිලගෙන් ඔහු හා එක මග යමින් සිටි සමීපතමයකු විමසීය.

නෑ බං මම බණ අහන්න එද්දි අපේ උන්දැගෙ කුඩේ ගෙනාවා. උන්දැ ඒ කුඩේ ආරක්ෂා කරන්නෙ මැණිකක් වගේ. යකෝ බණ අහද්දි අදින්නා දානා කියද්දි තමා මම ගෙන ආපු කුඩය මගේ අතේ නෑ කියල මට මතක් වුනේ. මට බං සිහි කල්පනාවත් නැති වුනා. මොකද බණ අහන්නෙ නැතුව කුඩේ හොයන්න යන්නයැ. දෙයියන්ගෙ පිහිටයි බං ආපහු හාමුදුරුවො කාමේසුමිච්ඡාචාරා කියද්දි තමා කුඩේ තියල ආපු තැන මට මතක් වුනේ ඕයියැයි තේගිරිස් ආරච්චිල පිළිතුරු දුන්නේ ඇඟට පතට නොදැනීය.

තේගිරිස් ආරච්චිලගේ කෙරුවාව හා සමානව ජාජබ ආණ්ඩුව රාජ්‍යය හසුරවන්නට ගිය හොත් නම් කෙල වෙන කෙලවිල්ල හිතා ගන්නට බැරිය.බැරෑරුම් සිද්ධියක් ඇති වූ විට පොලිස්පතිගේ සිට පොලිස් බල්ලා දක්වා යොදවා විමර්ශන කරමින් සිටිනවාට වඩා රාජ්‍ය යාන්ත්‍රණයේ ඇණ මුරුච්චියේ සිටම එන්ජින් එක දක්වාම  හොඳ නොහොඳ ගැන දැන්මම සොයා බලා ඉක්මන් විසඳුම් ලබාදී වැඩේ ගොඩ දා ගැනීම ආණ්ඩුවේ ශරීර සෞඛ්‍යයට හොද බව අපි නැවත වරක් සිහිපත් කරමු.

Archive

Latest news

Related news