(Sri Lanka Brief/ 13 June 2025) කුම්බලා මාලු කෑවා නම් විඳවාපන් බළලෝ කියා අපේ පැතිවල කතාවක් තිබේ. කුම්බලාවා යනු කටු පිරි මාලුවෙකි. ඌ කෑමට ගත් බලළකුට එය එළියට දා ගන්න බැරි තරමට කටු උගුරේ හිරවේ. එවිට විඳවීම හැර අන් විසදුමක් නැත. දැන් හයිකාර පොලිස් නිලධාරියකු වූ ඇනස්ලම් සිල්වාට සිදුව ඇත්තේ ද එයයි.
වැඩ තහනමකට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා විමර්ශනයට පත් කරන ලද පාර්ලිමේන්තු කමිටුව හමුවේ පසුගිය දින (11) සාක්ෂි දුන් කොළඹ අපරාධ කොට්ඨාශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්ස්ලම් ද සිල්වා පැවසුවේ වැලිගම w15 හෝටලයට වෙඩි තැබීම සදහා තමන් ඇතුළු කණ්ඩායමට නියෝග කරන ලද්දේ එවකට කොළඹ අපරාධ කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා බවය.
රාජකාරිය පසෙක තබා කඩප්පුලිකම් කරන්නට ගොස් මෙවුන්දැලාට කෙල වුන දවසට බේරා ගන්නට ලොක්කන් තියා නිල මැස්සෙක් වත් එන්නේ නැත. තමන්ගේ විශ්‍රාම වැටුපත් දැන් තමන්ට අහිමි යැයි හොටු පෙරාගෙන සාක්ෂි කූඩුවේ නැගී දුක පවසන ඇන්ස්ලම් සිල්වා ගෙන් පොලිස් කාරයන් ඉගෙන ගත යුත්තේ ඒ පාඩමයි.
මෙම විමර්ශන කමිටුවේ 24 වන සාක්ෂිකරු වන දැනට වැඩ තහනමකට ලක්ව සිටින ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්ස්ලම් ද සිල්වා ගේ සාක්ෂිය ප්‍රශ්ණ කළ අතිරේක සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් විමසන ලද්දේ නඳුන් චින්තක නොහොත් හරක් කටා ගැන පරීක්ෂණයක් කිරීමට නියෝගයක් ලැබුනේද යන්නය.
රාජපක්ෂගේ අන්තේවාසික නෙවිල් ද සිල්වා
සාක්ෂිකරු ඊට මෙසේ පිළිතුරු දුන්නේය.
“..2023 දෙසැම්බර් 30 වන දින එවකට කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂ නෙවිල් ද සිල්වා මට එන්න කිව්වා නිලධාරීන් කණ්ඩායමක් රැගෙන වැලිගමට යන්න. එහි හෝටලයක පාතාලයට සම්බන්ධ පිරිසකගේ සාදයක් තිබෙන බවත් එම හෝටලය අසල ගොස් තාප්පයට හා එහි බෝඩ් එකට වෙඩි තබා එන ලෙසත් නියෝග කෙරුවා. ඒ සඳහා පිටත්ව ගිය කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කෙරුවේ මම.අප එහි ගොස් වෙඩි තබා ඉදිරියට යන විට තවත් වෙඩි සද්දයක් ඇසුනා. එතකොට අප දැක්කා අප සමග ගිය උපුල් කියන නිළධාරියාට වෙඩි වැදුන බව.එවිට මම මා සමග සිටි කණ්ඩායමට කීවා ‘ඉක්මනට පලයන් ‘ කියලා.එතැන එස්ටීඑෆ් එකේ 20 ක් විතර හිටියා බස් එකක. ඒ බස් එක ස්ටාර්ට් වෙන්න පරක්කු වුන නිසයි අපි අද ජීවතුන් අතර ඉන්නෙ. නැතිනම් උපුල් එකක් අපි සියලුම දෙනා මැරිලා.නෙවිල් සිල්වා අපට කරල තිබුණෙ බොරුවක්.
අපගේ රාජකාරිය ගැන වැලිගම පොලිස් ස්ථානය දැනුවත් කරල තිබෙන බව ඔහු අපට පවසා තිබුණා.
මෙහිදී අතිරේක නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් සාක්ෂිකරුගෙන් විමසුවේ “එවකට පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මේ ගැන ඔවුගෙන් විමසුවේද?”යන්නය.
සාක්ෂිකරු “නැත“යනුවෙන් පිළිතුරු දුනි.
ඉන් අනතුරුව අතිරේක නියෝජ්‍ය සොලිස්ටාර් ජනරාල් සාක්ෂි කරුගෙන් මෙසේ ප්‍රශ්ණ කෙරුවේය.
“මරණ පරීක්ෂණය සිඳු කරන වෙලාවෙ හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මුල් අවස්ථාවදී සිඳු කළ පරීක්ෂණයේදී ඔබ සඳහන් කරල තියෙනවා තුන්වැනි පාර්ශවයක් වෙඩි තිබ්බා කියලා.එසේ නම් මේ කතාව නිර්මණය කෙරුවෙි කවුද?”
සාක්ෂිකාර ඇන්ස්ලම් සිල්වා එයට මෙසේ පිළිතුරු ලබා දුන්නේය.
” සිද්ධියෙන් පස්සෙ නෙවිල් ද සිල්වා වැලිගමට ආවා. මේ විදියෙ කතාවක් කිව්වොත් අපට අවුලක් නැතිවෙයි කිව්වා.ඒ උපදෙස් අනුව තමයි අපි මේ කතාව අධිකරණයට කියමු කියල ස්ථාවරයකට ආවෙ. ඒ නිසා අපි මේ කතාව ඒ විදියට පැවසුවා. මරණ පරීක්ෂණයේදීත් ,මහේස්ත්‍රාත් අධිකරණයේදීත් පළමු වරට ප්‍රකාශ ලබා දීමේදී අප පැවසුවේ නිර්මාණය කරන ලද අසත්‍ය තොරතුරු.අපට පසුව වැටහුනා මේ සිද්ධිය දිගටම පරීක්ෂණ කරන බව. ඉන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිහිල්ලා මම සත්‍යය පැවසුවා.”
දැන දැන කළ වැරැද්ද
වැඩ තහනමකට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ එස්.වීරවික්‍රම සාක්ෂිකරුගෙන් ප්‍රශ්ණ කරමින් විමසුවේ “වැලිගම W 15 හෝටලයට වෙඩි තබන්න යැයි නියෝග ලබා දුන් විටත් දණ්ඩ නීති සංග්‍රහය අනුව කිසිම දේපොළකට වෙඩි තබන්න බැහැ කියල පොලිස් නිලධාරියකු විදියට ඔබ දැන සිටියේ නැද්ද?” යන්නය.
එහිදී සාක්ෂිකරු පිළිතුරු දෙමින් පැවසුවේ “අපි දැනුවත්ව තමයි ඒ දේ කෙරුවේ. නෙවිල් ද සිල්වා ගේ නියෝගයක් නිසා අප වරදක් කරන බව දැන දැනත් ඒ කෙරුවා“යනුවෙනි.
නැවතත් එම නීතිඥවරයා ඔහුගෙන් ප්‍රශ්ණ කෙරුවේ “නීති විරෝධී නියෝගයක් බව දැන දැනත් ඒ බව පොලීසියේ ප්‍රකාශ සටහන් වල සඳහන් නොකරන ලද්දේ මන්ද?” යන්නය.
“ඉහළින් ලැබෙන සියලු නියෝග ක්‍රියාත්මක කරන්න අප බැඳිල නැහැ.”
නුමුත් පොලීසියෙ ඉන්නව නම් අපට ඉහළින් එන නිලධාරීන් දෙන නියෝග කරන්න වෙනවා.නැතිනම් අපට පොලීසියේ රැඳී ඉන්න බැහැ” යැයි සාක්ෂි කරු ඒ ප්‍රශ්ණයට පිළිතුරු දෙමින් පැවසීය.
අනතුරුව නීතිඥවරයා සාක්ෂි කරුගෙන් විමසුවේ “මෙම නීති විරෝධී නියෝගය ගැන පොලිස්පතිවරයා හෝ උසස් පොලිස් නිලධාරීන් දැනුවත් නොකරන ලද්දේ මක් නිසාද?”යනුවෙන්ය.
“එසේ කීවත් කිසිම ප්‍රයෝජනයක් නෑ ඒ නිසා මා කිව්වේ නෑ“
සාක්ෂිකරුගේ පිළිතුර විය.
“වැලිගම යාම සඳහා ව්‍යාජ අංක තහඩු දෙකක් රැගෙන ගියේ මක් නිසාද?”යැයි නීතිඥවරයා ප්‍රශ්ණ කළ විට සාක්ෂි කරු මෙසේ පිළිතුරු දුන්නේය.
“අපි ගියේ පොලීසියෙ වාහනයකින්. ඒක නිසා අංක තහඩු සියල්ල සටහන් වෙනවා. ඒ නිසා අපි ව්‍යාජ අංක තහඩු දෙකක් අරන් ගියා. ඉහළ නිළධාරීන් අපට දෙන තීන්දු තීරණ නිසයි මා වැඩ තහනමකට ලක් වී සිටින්නේ.අද මට විශ්‍රාම වැටුප ගන්නවත් බැහැ.අනෙක් සියලු නිළධාරීන්ට මේ සිද්ධිය ආදර්ශයක්.
මේ වගේ අනීතික නියෝග ක්‍රියාත්මක නොකර ස්ථාන මාරුවීමක් අරන් යාම මීට වඩා හොඳයි“.
කොළඹ අපරාධ කොට්ඨාශයේ ස්ථානාධිපතිවරයා වූ ඇන්ස්ලම් ද සිල්වා අද අසරණ වී සිටින්නේ නීති විරෝධී නියෝග ක්‍රියාත්මක කිරීමට යාම නිසාය.
ඇන්සලම් ද සිල්වා පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකි. මෙවැනි වග කිව යුතු තනතුරක් දැරූ තැනැත්තකු ඉහළ පොලිස් නිලධාරියෙකු ලබා දෙන අනීතික නියෝගයක් ක්‍රියාත්මක කරන ලද්දේ ඒ වරද නොදැන නම් නොවන බව පැහැදිලිය. ඇන්ස්ලම් ද සිල්වා වැඩ පෙන්වන්නට බාර ගන්නට ඇත්තේ වෙන කිසිත් නිසා නොව තමන්ට පොලිස් සේවාව තුළ ලැබෙන වරප්‍රසාද තනතුරු තාන්න මාන්න වංගුවක් ගසා ලබා ගන්නට පින පෑදී ඇතැයි සිතමිනි. එහෙත් ඔහුගේ ඒ අපේක්ෂාවන් කණ පිට හැරවී තිබේ. විශ්‍රාම වැටුප පවා අහිමි වී සිටින ඔහු දැන් අසරණ භාවයේ පතුලටම වැටී සිටින බව පෙනන්නට තිබේ.
ඉහළ නිලධාරීන් විසින් ලබා දෙන අනීතික නියෝග ක්‍රියාත්මක කිරීමට පහල නිළධාරීන් කටයුතු කිරීමට බැඳි නොසිටින බවට සඳහන් කෙරුණ ජාත්‍යන්තර හා දේශීය නඩු තීන්දු පවතී.
දෙවන ලෝක යුද්ධයෙන් පසුව එම යුද්ධයට සම්බන්ධවූ ජර්මානු හමුදා නිලධාරීන්ට එරෙහිව ජර්මනියේ නියුරන්බර්ග් නුවර ඇරඹුන නඩුව අවසානයේ ලබා දෙන ලද තීන්දුව මෙහිදී ආදර්ශයට ගත හැකි නඩු තීන්දුවක් ලෙස සැළකිය හැකිය.මෙම නඩුවේ විත්තිකරුවන් වූ යුද අපරාධ වලට සම්බන්ධ යැයි චෝදනා කෙරුණ ජර්මානු හමුදා නිලධාරීන් සිය නිදහස වෙනුවෙන් ප්‍රකාශ කර සිටියේ තමන්ගේ රටේ නායකයා වූ ඇඩොල්ෆ් හිට්ලර් විසින් පාර්ලිමේන්තුවේ සම්මත කර ගත් නීති හා අණ පනත් වලට අනුව තමන් ක්‍රියා කළ බවත් හමුදා නීතියට අනුව එම නියෝග ක්‍රියාත්මක කිරීමට තමන්ට සිදු වූ බවත්ය. වැඩිදුරටත් ඔවුන් විසින් සාක්ෂි දෙමින් ඉල්ලා සිටියේ තමන් වෙත නැගෙන අපරාධ චෝදනා තම හෘද සාක්ෂියට එකඟව කළ ඒවා නොවන බැවින් නිදහස් කරන ලෙසය. එහෙත් විත්තිකාර හමුදා නිලධාරීන් ඉදිරිපත් කළ එම විත්ති වාචිකය නියුරන්බර්ග් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලද්දේ ඉහළ නිළධාරීන් කුමන නියෝග නිකුත් කෙරුවද ඒවා නිවැරිදි හා නීතියට එකඟව ක්‍රියාත්මක කළ යුතු බැවින් අනීතික නියෝග ක්‍රියාත්මක කිරීමට කිසිවකු නීතියෙන් බැඳී නොසිටින බවය.
ප්‍රේමවතී මනම්පේරි ඝාතන නඩුව
1971 කැරැල්ල සමයේදී මෙරට කතරගමදී සිදූවූ කතරගම රූප සුන්දරිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් පැවැති නඩුවෙි විත්තිකරුවන්ට සිරදඬුවම් ලබා දුන් මහාධිකරණ විනිසුරුද නියුරන්බර්ග් නඩු තීන්දුව සිහිපත් කරමින් අනීතික නියෝග ක්‍රියාත්මක කිරීමට කිසිදු රජයේ නිළධාරියකු නීතියෙන් බැඳී නොසිටින බව සඳහන් කර තිබේ.
එම නඩු තීන්දුවේ මෙසේ සඳහන්ය.
1971 අප්‍රේල් 17 දින ප්‍රදේශයේ තත්ත්වය සටන්කාමී හෝ සාමකාමී වුනා විය හැකිය.එකී කුමන තත්ත්වයක් යටතේ වුවද අත් අඩංගුවේ සිටි සිරකරුවෙකුට වෙඩි තැබීම යුක්ති සහගත නොවේ.යුද නීතියට යටත් යුද සෙබළකු සිවිල් නීතියේ ආරකෂකයකු ලෙස පොලිස් වගකීම් දැරිය යුතු වේ.මෙම වගකීම් ඉටු කිරීමේදී ඔහු සාමාන්‍ය පොලිස් නිළධාරියකු තරමට සිවිල් නීතියට යටත් විය යුතු වේ. කිසිදු හමුදා නිලයකට නීති විරෝධී ක්‍රියාවක් කිරීමට අවසර නැත. ඉහළ නිළධාරියකු දෙන නීති විරෝධී නියෝගයකට අවනත වීමද වරදකි. (විජේසූරිය එ.රජය NLR 25)
පොන්සේකාට විරුද්ධ මඩ පෝස්ටර් නඩුව
2019 වර්ෂයේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී ඇති තීන්දුවකද උසස් පොලිස් නිලධාරීන්ගේ අනීතික නියෝග ක්‍රියාත්මක නොකළ යුතු බව සඳහන් කර ඇත. 2010 වර්ෂයේ පැවැති ජනපතිවරණයේදී එවකට පැවති රජය නාවුක හමුදා භටයන් යොදා ගෙන එම ජනපතිවරණයේ අපේක්ෂක සරත් ෆොන්සේකාට එරෙහිව මඩ පෝස්ටර් හා අරක්කු තොගයක් බෙදා හැරීමට යාමේදී කුරුණෑගල පොලීසිය මගින් ඒවා අත් අඩංගුවට ගන්නා ලදී. එහිදී එවකට කුරුණෑගල ඡ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී පොලීසියට පැමිණ අත් අඩංගුවට ගන්නා ලද සැකකරුවන් හා භාණ්ඩ නිදහස් කරන ලෙසට කුරුණෑගල මූලස්ථාන පොලිස් පරීක්ෂක වරයාට හා එහි පරිපාලන ස්ථානාධිපතිට නියෝග කෙරුවේය.මෙම නිළධාරීන් දෙදෙනා ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වාස් ගුණවර්ධනගේ නියෝග වලට අවනත නොවූ අතර ඒ නිසාම ඔවුන් ස්ථාන මාරු කර යැවීමට කටයුතු කෙරිණි. එම පොලිස් නිලධාරීන් දෙදෙනා තමන්ට ලබා දුන් ස්ථාන මාරුවීම් නීති විරෝධී බව සඳහන් කර මූලික මිනිස් අයිතිවාසිකම් නඩුවක් ශ්‍රෙෂ්ඨාධිකරණයේ පවරන ලද්දේ එවකට පොලිස්පති මහින්ද බාලසූරිය ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වාස් ගුණවර්ධන හා නීතිපති වග උත්තරකරුවන් කරමිනි.
මේ නඩුවේදී වග උත්තරකාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිපතිවරයා ගේ තර්කය වී තිබුණේ පෙත්සම්කාර පොලිස් නිලධාරීන් ඡ්‍යෙෂ්ඨ නිලධාරීන් ගේ නියෝග වලට අවනත නොවීමේ වරද කර ඇති නිසා මොවුන් ස්ථාන මාරු කර යවන ලද බවය. එහෙත් එම තර්කය ප්‍රතික්ෂේප කළ ශ්‍රේෂ්ඨාධිකරණය වැරදි නියෝග පිළිපැදීමට පහල නිලධාරීන් බැඳී නැති බවට සඳහන් කරමින් පෙත්සම්කාර පාර්ශවයේ වාසියට තීන්දුව ප්‍රකාශයට පත් කර තිබෙි.
පොලීසියේ නිල ඇඳුම හැඳ ගත් විට හයිරන් කාර බලයද තමන් සතුවන බව සිතා සිටින පොලිස් කාරයන් සිටී. ඒ අතරේම පොලිස් ලොක්කන්ගේ ඕනෑ එපාකම් ඉටු කර දෙන්නට ජරා පක්කිලිකම් කරන වුන්ද නැත්තේ නොවේ. එහෙත් රාජකාරිය පසෙක තබා කඩප්පුලිකම් කරන්නට ගොස් මෙවුන්දැලාට කෙල වුන දවසට බේරා ගන්නට ලොක්කන් තියා නිල මැස්සෙක් වත් එන්නේ නැත. තමන්ගේ විශ්‍රාම වැටුපත් දැන් තමන්ට අහිමි යැයි හොටු පෙරාගෙන සාක්ෂි කූඩුවේ නැගී දුක පවසන ඇන්ස්ලම් සිල්වා ගෙන් පොලිස් කාරයන් ඉගෙන ගත යුත්තේ ඒ පාඩමයි.