Thursday, June 12, 2025

සිරගෙදර බොසාලා ගැන තව හෙළිදරව්වක් – ලොකු කුමා

බන්ධනාගාර කොමසාරිස් අත් අඩංගුවට පත් විය. ඒ වෙසක් පෝය ජනපති සමාව නොලැබූ සිරකරවකු මුදා හැරීමේ චෝදනාවටය. ජාජබ ආණ්ඩුව බලය⁣ට පත් වූ දින සිටම බොහෝ පුද්ගලයන්ද සිවිල් සංවිධානද බන්ධනාගාර කොමසාරිස්ට එරෙහිව චෝදනා නගන ලද්දේ ඔහු දූෂිතයෙක් බවටය. සැබවින්ම ඔහු දූෂිතයෙක්ද නැද්ද යන්න ගැන අපට තීන්දු තීරණ ගැනීමට හැකියාවක් නැත. ඒ මන්ද යත් ඔහු මෙතෙක් වැරදිකරුවකු නොවු නිසාය.

මහර බන්ධනාගාරයේ හිරකරුවන්ට වෙඩි තියල මරපු වෙලාවෙි මහර බන්ධනාගාර අධිකාරිත් එයා තමයි. ශානි අබේසේකර එතකොට මහර රිමාන්ඩ් එකේ. ගැටුමේදී ඔහු මරන්න කුමන්ත්‍රණයක් තිබුනා කියල ඒ දවස්වල කියවුනා. වෙඩි තියන කොට ශානි බේරුනා. රිමාන්ඩ් එකේ හිටපු ශානි බලන්න ආපු බිරිඳ හැමදාම රස්තියාදු කලා . රාජපක්ෂලාගේ ඕනැකමට හිරකරුවන් මිය යාම ඝාතනයක්  බව උසාවියෙන් තීන්දු කලා. නමුත් නීතිපති බන්ධනාගාර අධිකාරි බේරා ගත්තා. මොකද හිරේ හිටපු ගාමිණී සෙනරත්, ලලිත් විරතුංග බලාගත්තේ එයා. ඔහු වජිර අබේවර්ධනගෙත් යාළුවෙක්.

එහෙත් සිර ගෙවල් තුළ සිද්ධවෙන දූෂිත ජාවාරම් ගැන විවිධ අවස්ථා වලදී මාධ්‍ය අනාවරණය කර තිබේ. සිරකරුවන් හා ඇතැම් බන්ධනාගාර නිළධාරීන් අතර පවතින සහ සම්බන්ධතාව මෙරට අපරාධ වර්ධනය සඳහා බලපා ඇති බව නොරහසකි. මෙරට සිරගෙවල් තුළ සිර දඬුවම් විඳින සිරකරුවන් ⁣ප්‍රසිද්ධ පාතාල ක්‍රියාකාරිකයන් ,දූෂණයේ වරදට හසුවූ රාජ්‍ය නිලධාරීන් හා සාමාන්‍ය සිරකරුවන් ලෙස වාර්ගීකරණය කළ හැකිය. එහිදී සාමාන්‍ය සිරකරු ගනයට අයත් වන්නේ පුරවැසියන් ලෙස ජීවත්වන විට හදිසි කෝපය නිසා අපරාධමය වැරැද්දකට හසුවූ හෝ ජීවත්වීම සඳහා සුලු සුලු වැරදි කර දඬුවම් ලැබූවන්ය. මේ කුලකයේ සිරකරුවන් සිය දඬුවම බන්ධනාගාර නීති රීති වලට යටත්ව නිහඬවම ගෙවා දමන්නන් ලෙස සැළකිය හැකිය.

පාතාලය සහ බන්ධනාගාර නිලධාරීන්

එහෙත් දඬුවම් ලද පාතාල ක්‍රියාකාරිකයන් සිර ගෙය තුළ සිට වුවද සිය දාමරිකම් හා ජාවාරම් කර ගෙන යන්නන්ය.සිර ගතව සිටියද මොවුන් පිටත සමාජය සමග දුරකථන මගින් ගණුදෙනු කරන්නන් වේ. පිටත සිටින ගෝල බාලයන් සිටින්නේ මොවුන්ගේ  වෙනුවෙන් ඕනෑම අපරාධයක් කිරීමට  සූදා⁣නම්වය. එසේම සිර දඬුවම් ලබා සිටින මෙවැනි අපරාධකරුවන් විෂයෙහි  බන්ධනාගාර නිලධාරීන් තුළ පවතින්නේද බය හා මිත්‍රශීලී සම්බන්ධතාවකි.ඇතැම් බන්ධනාගාර නිලධාරීන් හට මෙම අපරාධකරුවන් ගෙන් ලැබෙන සංතෝෂම මාසිකව ලබා ගන්නා වැටුප මෙන් තුන් ගුනයක් විය හැකිය.

අපරාධ චෝදනා වලට වැරදිකරුවන්ව සිර දඬුවම් විඳින ඉහළ පලන්තියට අයත් වූ සිරකරුවන්ද බන්ධනාගාර නිලධාරීන් අතර පවතින්නේද සමීප සම්බන්ධතාවකි. මේ සිරකරුවන් එම සම්බන්ධතාව හරහා පදනම දමා ගන්නේ සිරගෙය තුළ අවම පහසුකම් වත් ලබා ගැනීමටය. ඒ සදහා ඔවුන් විසින් බන්ධනාගාර නිලධාරීන් හට විවිධ ආකාරයෙන් උදව් උපකාර කෙරේ .එය සුපිරි පාසැලකට දරුවෙකු ඇතුළත් කර ගැනීමක් විය හැකිය. එසේත් නැත හොත් ඒ මැදිහත් වීම රජයේ අමාත්‍යංශයක් හා ගණු දෙනුවක් වන්ටත් පුළුවන. සිර ගෙවල් තුළ සිද්ධ වෙන මේ ගණුදෙනු නතර කිරීම ඉතා අසීරුය. සිරකරුවන් මෙන්ම බන්ධනාගාර නිලධාරීන්ද මනුෂ්‍යයෝය යන්න අප අමතක කළ යුතු නැත.

පාතාලය ලවා ජේලර් ඝාතනය

එසේම බන්ධනාගාරයේ ඉහළ ඇවරියේ කොමසාරිස් වරුන් අතරින් කිහිප දෙනෙකු පවා දූෂිත බවට අනාවරණය වී තිබේ. මේ කාණ්ඩයට අයත් කොමසාරිස් වරයකු මීට ඉහත කාලයේ බන්ධනාගාර අධිකාරීවරයකු සිටියදී පාතාල ක්‍රියාකාරිකයකු ලවා ප්‍රධාන ජේලර්වරයකු ඝාතනය කළ බවට මාධ්‍ය දිගින් දිගටම වාර්තා කරන ලදී. එහෙත් එම අපරාධයට සම්බන්ධ වූ මේ බන්ධනාගාර අධිකාරීවරයා අත් අඩංගුවට ගැනීමට පොලීසියට හැකියාවක් නොලැබුණි.

ඒ ඔහුට එරෙහිව සාක්ෂි සොයා ගැනීමට පොලීසිය අසමත් වූ නිසාය. එහෙත් මේ අසමත් වීම නිසා එම බන්ධනාගාර අධිකාරීවරයා ඒ මනුෂ්‍ය ඝාතනයේ වරදින් ගැලවුනද සිදු වූයේ කුමක්ද යන්න මුළු බන්ධනාගාර දෙපාර්තමේන්තුවම දනී.

ඝාතනයට ලක්වූ ප්‍රධාන ජේලර්වරයා වග උත්තරකාර බන්ධනාගාර අධිකාරි වරයාගේ දූෂිත ක්‍රියා කළාපයට එරෙහිව ප්‍රසිද්ධියේ පෙනී සිටියේය. ඒ සම්බන්ධයෙන් වග කිව යුතු බලධරයන්ට ලිඛිතව තොරතුරු සපයන ලදී. ඔහුට මරණය සොයා ආවේ මේ මැදිහත් වීම් නිසා බව බන්ධනාගාරයේ ලොකු පොඩි කවුරුත් දනී. ඝාතනයේ කුමන්ත්‍රණ කරු කවුරුන්ද යන්නත් ඒ සැමට රහසක් නොවේ. මේ ගැන යම් පුද්ගලයෙකුට සැකයක් පවතී නම් එම ප්‍රධාන ජේලරවරයා වෙඩි තබා ඝාතනය කිරීමෙන් පසුව ඒ දිනවල පල වූ මාධ්‍ය වාර්තා කියවා බැලුවේ ⁣නම් ඒ සැකය නිරාකරණය කර ගත හැකිය. එම මාධ්‍ය වාර්තාවල ඉතා පැහැදිලිවම මේ ඝාතනයේ කුමන්ත්‍රණකරු කවරෙක්ද යන්න සඳහන්ව තිබේ.

නියෝජ්‍ය කොමසාරිස් කෙනෙක්

මේ වන විට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් වරයෙකු දක්වා ඉහළට ගොස් සිටින මේ  තැනැත්තා ගේ පැටිකිරිය ගැන තොරතුරු දන්නා අ⁣ය හට නම් මෙවැන්නකු රාජ්‍ය සේවයේ තබා ඒ අහල පහලවත් තබා ගත යුත්තෙක් නොවන බවට ඕනෑ තරම් සාක්ෂි තිබේ . මොහු පාසැල් අධ්‍යාපනයෙන් පසුව පළමුව සේවයට එක් වන්නේ විශේෂ කාර්ය බලකායේ උප පොලිස් පරීක්ෂක වරයකු ලෙසය. එම සේවයේ නිරතව සිටින විට කාන්තාවක දූෂණය කිරීමේ වරදට වැරදිකරු වන මොහු පොලිස් සේවයෙන් නෙරපා හැරේ.

ඉන් අනතුරුව මොහු ජේලර් වරයකු ලෙස බන්ධනාගාරයට එක්වේ. මොහු බන්ධනාගාර සේවයට එක් වන විට ලබා දිය යුතු පොලිස් නිශ්කාෂන වාර්තා සියල්ල සකස් කර දෙන්නේ මොහුගේ පියා විසිනි. ඒ වන විට මොහුගේ පියා ජාතික ඔත්තුසේවාවේ මොහු පදිංචිව සිටි දිස්ත්‍රික්කයේම ස්ථානාධිපතිවරයා විය.

සිය පියාගේ කූඨ මැදිහත් වීම නිසා මොහුට එරෙහිව තිබූ රාජ්‍ය සේවයෙන් නෙරපීමේ වග තුග වසන් කෙරිණි.

බන්ධනාගාර සේවයේ නිරතව සිටියදී නැවත වරක් ස්ත්‍රී දූෂණ චෝදනාවකට මොහු බන්ධනාගාර සේවයෙන් ඉවත් කෙරිණි. එහෙත් හිටපු ජනපති මහින්ද රජපක්ෂ ගේ අවදියේ එම රජයේ ඉතා ප්‍රබල දේශපාලඥයකුගේ දේශපාලන අත් උදව් කාරයකු ලෙස ⁣කටයුතු කළ මොහු නැවත බන්ධනාගාර සේවයට එක් වන්නේ හිඟ වැටුප් හා උසස්වීම්ද සමඟිනි. ඒ සියළු වරප්‍රසාද මොහු හිමි කර ගන්නේ අනීතිකව දේශපාලන බලය යොදා ගනිමිනි.

එස්ටීඑෆ් එකෙන් පැන්නුවා

විශේෂ කාර්ය බලකායෙන් නෙරපා හරින ලද මේ පුද්ගල⁣යා නැවත බන්ධනාගාර සේවය⁣ට එක් වන විට උප්පැන්නය පවා වෙනස් කර ඇති බවට මේ වන විට සැකයක් මතු වී තිබේ. මොහු අධ්‍යාපනය හදාරා ඇත්තේ මෙරට ප්‍රසිද්ධ පාසැලකය.

මොහු සමග අධ්‍යාපනය හැදෑරූ සම කාලිනයන් බොහෝ දෙනෙකු ⁣මේ වන විටත් රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගොස් අවුරුදු තුන හතරක් ගෙවී ගොසිනි.

ඒ නිසාම මේ පුද්ගලයා තවමත් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සේවයේ නිරත වීම බොහෝ දෙනාගේ විමතියට හේතු වී ඇත.

මේ වන විට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරිත්වය  ගැන සමාජය තුළ දැඩි කතා බහක් මතු වී තිබේ.එය දූෂිත බවටද චෝදනා නැගේ.අප මේ ලියවිල්ල ලිව්වේ ඒ නිසාය.ස්ත්‍රී දූෂණයක් නිසා ආරක්ෂක සේවයෙන් නෙරපා හැරි පුද්ගලයෙකු බන්ධනාගාර නියෝජ්‍ය කොමසාරිස් දක්වා ඉහළ තනතුරකට පත් වී⁣මට ඇති ඉඩ හැකියාව ගැන සිතා බලන විට ජනාධිපතිවරයාටත් වංගු ගසා සිරකරුවන් නිදහස් කිරීම එතරම් අරුම පුදුම සිද්ධියක් හෝ බැරෑරුම් ලෙස සිතිය යුතු නැත.එසේම අප ජීවත්වන්නේ ස්ත්‍රී දූෂණයකට අවුරුදු  පහලොවකට සිර දඩුවම් ලැබූ අයෙකු දින හතරක් ඒ සිර දඬුවම් විඳ තිබියදී රටේ ජනපතිවරයා විසින් ඔහුට සමාව දී ගෙදර යැවූ සමාජයකය. එය එසේ වන්නේ නම් ස්ත්‍රී දූෂණ දෙකකට වැරදිකරුවෙකු වූ පුරවැසියකු බන්ධනාගාරයේ ඉහළම තනතුරක සිටීම එතරම් ගණන් ගත යුතු නැති යැයි අපට සිතේ.

සංදර්ශන වලින් එපිටට යන්න

මේවා ඉතා බරපතල කාරණා ලෙස ජාජබ රජය සළකන්නේ නම් හුදකලාව යම් අපරාධමය සිද්ධියක් වූ විට එක් එක් පුද්ගලයන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ගෙන ඉදිරිපත් කරන සර්කස් දර්ශන පෙන්වනවාට වඩා මුළු රාජ්‍ය පද්ධතියේම සිටින මුද්‍රා ගත ⁣දූෂිතයන් හඳුනාගෙන එම දූෂිතයන්ට එරෙහිව යම් වැඩ පිළි⁣වෙළකට අවතීර්ණ වීම කාලෝචිතය.

Archive

Latest news

Related news