මල්ලියෙ නරක මිතුරන් පිළිගන්න එපා
නංගියෙ නොහොබිනා කම් හුරුවෙන්ට එපා
බෝගම්බර සිපිරි ගෙදරට එන්ට එපා
හතුරෙකුටවත් මට වන් දුක වෙන්ට එපා
සුනිල් එදිරිසිංහයන් ගායනා කරන ඒ ගීතයෙන් පැවසෙන්නේ බෝගම්බර සිර ගෙදර මරණ දඬුවමට නියමව සිටින සිරකරුවකුගේ ශෝකාලාපයයි.
බෝගම්බර හිර ගෙදර ගැන සදහන් කරන විට අප මතකයට එන්නේ මරු සිරාය. දෙද්දුව ජයතුංගලා ගේ සිරිපාල නොහොත් මරු සිරාය.ඔහු 1975 වසරේ අගෝස්තු මස 08 වනදා බෝගම්බර හිර ගෙදරදී එල්ලා මරා දමන ලදී.මරු සිරා මරණ දඬුවමට පෙර රඳවා තිබුණ සිර කුටියේ මේ කවිය ලියා තිබුණ බව පැවසේ.
රන් මැණිකා මගෙ ළඟ සිටි එකම පණ
හෙට උදයේ අටට නිම වෙයි මගේ පණ
අහිතක් නොසිතන්න මා යන ගමන ගැන
දරුවා සමග ඔබ යහතින් සිටිනු මැන
එල්ලා මරා දැමෙන තුරු මරු සිරා සිය බිරිද වූ රන්මැණිකාට හා දරුවාට මුළු සිතින්ම ආදරය කළ බොහෝ කයි කතන්දර වල සටහන්ව තිබේ.
දළදා තේවාව පවා ඇසෙන මානයේ පිහිටා තිබෙන බෝගම්බර සිර ගෙදර පසුගිය ආණ්ඩුව සමයේදී සංචාරක කර්මාන්තය සඳහා යොදා ගැනීමට සැළසුම් කෙරිණි.ඒ සඳහා එහි රඳවා සිටි නේවාසිකයන් පල්ලකැලේ ඉඳි කරන ලද හිර ගෙදරට මාරු කර යවන ලදී.බෝගම්බර හිර ගෙදර සංචාරක කර්මාන්තයට යොදා ගැනීම සඳහා වසර 50 ක කාලයකට බදු දීමට ජාජබ ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය පසුගියදා අනුමැතිය ලබා දෙන ලදී. ඒ සඳහා ආයෝජකයන්ගෙන් යෝජනා කැඳවීමටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබේ.බෝගම්බර හිර ගෙදර ලෝක උරුම සංරක්ෂණය කර ඇති වටිනා දේපොළකි.
අක්කර 11 ක පමණ භූමි භාගයක පැතිරී තිබුණ මෙරට දෙවන විශාලතම හිර ගෙදර බෝගම්බර හිර ගෙදරයි.මෙරට විශාලතම හිර ගෙදර ලෙස සැළකෙන්නේ වැලිකඩ හිර ගෙදරයි.බෝගම්බර හිර ගෙදර ඉඳි කරන ලද්දේ බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා ආණ්ඩුවේ බන්ධනාගාර හා පොලිස් කොමසාරිස් එන්.ආර්.සෝන්ඩර්ස් විසිනි.ඒ 1876 වර්ෂයේදීය.බෝගම්බර හිර ගෙදර ඉඳි කරන ලද්දේ ප්‍රංශයේ බැස්ටීල් හිර ගෙදර ගෘහ නිර්මාණ ශිල්පයට බව සඳහන් වේ.මෙහි ඇති සුවිශේෂත්වය වන්නේ තනි පාදමක් මත ඉඳි කරන ලද ආසියාවේ එකම ගොඩනැගිල්ල වීමය.බෝගම්බර හිර ගෙදර මහල් තුනකින් හා සිර මැදිරි තුන් සිය විසි අටකින් සමන්විතය.
ඇහැලේපොළ කුමාරිහාමි මහනුවර වැවේ ගිල්වා මරණයට පත් කිරීමෙන් පසුව ගොඩ ගැසූ ස්ථානය හිරගෙදර ඇතුළත ඇති බව සඳහන් කෙරේ.අතීතයේදී මහනුවර වැව පිහිටා තිබී ඇත්තේ මේ හිර ගෙදර ඉඳි කරන ලද භූමියේය.පසු කලෙක මහනුවර වැව ගොඩ කර හිර ගෙදර ඉඳි කරන ලද බවත් පැවසේ.
අතීතයේ මෙරට දේශපාලනයේ නිරතව සිටි ලංකා සමසමාජ පක්ෂයේ නායකයන් කිහිප දෙනෙකුම බෝගම්බර හිර ගෙදර රඳවා සිට ඇති බවද ඉතිහාසයේ දැක්වේ.දෙවන ලෝක සංග්‍රාමයට එරෙහිව ලංකා සම සමාජ පක්ෂය මෙරට ගෙන ගිය මතවාදය නිසා එවකට සිටි බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයාගේ නියෝගයෙන් ලංකා සමසමාජ පක්ෂය නීති විරෝධී දේශපාලන ව්‍යාපාරයක් ලෙස නම් කෙරිණි.ඉන් අනතුරුව ලංකා සමාජ පක්ෂයේ නායකයන් වූ ආචාර්ය ඇන්.ඇම්.පෙරේරා,පිලිප් ගුණවර්ධන, ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා ,එඩ්මන් සමරක්කොඩි අත් අඩංගුවට බෝගම්බර හිර ගෙදර විශේෂ සිර මැදිරියක රඳවන ලදී.1947 අප්‍රේල් 07 වන දින මධ්‍යම රාත්‍රියේ හිර ගෙදර රාත්‍රී රාජකාරියේ නිරතව සිටි සොලමන් නම් ජේලර් වරයාගේ උපකාරයෙන් මේ පිරිස ඉන් පලා යන ලදී.මේ පිරිස පලා ගියේ ඉන්දියාවටය.
1876 වර්ෂයේ සිට 1975 වර්ෂය දක්වා බෝගම්බරදී එල්ලා මරා දමන ලද සිරකරුවන් සංඛ්‍යාව 524 කි.අවසන් වතාවට මෙහි එල්ලා මරා ඇත්තේ තිස්මඩ ප්‍රදේශයේ සිදු කළ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් වැරදි කරුවන් වූ ඩබ්.ඩී.රිචඩ් හා ටී.එම්.ජයවර්ධන නම් අයවළුන්ය.
ඒ.ආර්.පී.ජේමිස් අප්පුහාමි නම් පුද්ගලයකු 1947 වර්ෂයේදී බෝගම්බර සිර ගෙදර පිළිබඳව “සිපිරි මාලය” නම් මාල කාව්‍ය සංග්‍රහයක් පල කර තිබේ.
මේ මාල කාව්‍ය සංග්‍රහයේ කවි 95 ක් ඇත.
මේ කවියා බෝගම්බර සිර ගෙදර සිර දඬුවමක් විඳි අයෙකු බව මේ කවි කියවන විට වටහා ගත හැකිය.කෙසේ වෙතත් හුදී ජන පහන් සංවේගය පිනිස සිපිරි මාලයේ කවි කිහිපයක් තැනින් තැනින් ගෙන මෙසේ පල කරමු.