Thursday, May 22, 2025

දැන්වත් ඇත්ත තේරම් ගනිමුද සහෝදරවරුනේ – ලොකු කුමා

මම පසුගිය දවසක මා ඉතා හොඳින් දන්න හඳුනන ජාජබ ක්‍රියාකාරිනියක ඇමතුවෙමි. ඇය මෙවර පළාත් පාලන මැතිවරණයටද තරග කර තිබුණාය. මේ වන විටත් ඇය තරඟ කළ පලාත් පාලන ආයතනයේ සභාපතිනිය ලෙසද ඇය නම් කර සිටින්නීය.

කොහොමද ජීවිතේ මම ඇයගෙන් විමසීමි.

ඇය කතාව පටන් ගත්තාය. පෞද්ගලික තොරතුරු කතා බහෙන් පසුව අප දෙදෙනා දේශපාලනය ගැන අදහස් හුවමාරුව ඇරඹීමු.

මම ගොඩක් කළකිරිල ඉන්නේ යැයි ඇය පැවසුවාය.

ඒ ඇයි ?

ඇය එතැන් සිට ඇයගේ කළකිරීමට හේතුව මුල සිට අගට කීවාය. ඒ එකක් නොවේ. ඒ අතර වූ සිද්ධීන් බොහොමයක් සම්ප්‍රදායික දේශපාලන ඇබ්බැහි කම් හා ජාජබ දේශපාලනික මාදිලිය අතර පවතින වෙනස්කම් නිසා ඇතිවූ ගැටුම්ය.

එහෙත් ඒවා නොසළකා හරින්නටද නොහැකිය. ජාජබ දේශපාලන මාදිලිය තවමත් පහල ඇවරියේ පාක්ෂිකයන් වටහා ගෙන නැත. අප මෙහිදී පහල ඇවරියේ පාක්ෂිකයන් යනුවෙන් අදහස් කෙරුවේ ජවිපෙ කාඩරය නම් නොවේ.

ජාජබයේ ජයග්‍රහණය සදහා අනිකුත් පක්ෂ වල සිට එක්වූ ක්‍රියාකාරිකයන්ය.

ඔවුන් තවමත් දේශපාලනිකව සිතන්නේ පරණ පුරුදු විදියටමය.

ජාජබයේ නායකයන් තවමත් තේරුම් ගෙන නැත්තේ මේ සංක්‍රාන්තික වටපිටාවය. එහිදී ජාජබයේ නායකයන් මේ ප්‍රශ්ණය නිරාකරණය කරගන්නට හදන්නේ ජවිපෙ මාදිලිය තුළය. එහෙත් එම මාදිලිය මගින් ජාජබයට සම්බන්ධ වූ අනිකුත් පක්ෂවල ක්‍රියාකාරීන් හා ගැට ගසා ගත නොහැකිය. ඔවුන්ට ඒ දේශපාලනය අප්‍රභංශය. විකාර සහගතය.

සිය පාක්ෂික දේශපාලන නියෝජිතයා තමන්ගේ නිවසේ කොටහළු මංඟල්‍යයේ සිට මරණ තුලා වලදීත් නියෝජනය වනු දැක්මට ඔවුන් කැමතිය. ගහ බැණ ගැනිල්ලකදී හෝ ඉඩම් ආරවුලකදී සිදුවන පොලිස් රාජකාරියකදී තම පාර්ශවය වෙනුවෙන් මහජන නියෝජිතයාගේ මැදිහත් වීම ආරක්ෂාව ඔවුන් නිරන්තරයෙන් අපේක්ෂාවෙන් සිටී.ඒ මෙතරම් කාලයක් ගණුදෙනු කළ ඔවුන්ගේ දේශපාලනයේ හැටිය.

මා හා කතාබහ කළ ජාජබයේ ක්‍රියාකාරිණිය පැවසූ දුක්ගැනවිල්ලේ හොඳම හරිය සම්බන්ධ වෙන්නේ මෙන්න මේ දේශපාලන මාදිලියටය. ඇය මා වෙත පැවසූ ඒ කාරණය මෙහෙමය.

“…අයියෙ පහුගිය ප්‍රාදේශීය සභා ඡන්දෙදි අපේ කොට්ඨාශයක් සමගි ජන බලවේගයට පැරදුනා.මේ සමගි ජන බලවේගයේ නියෝජිතයා පදිංචි වෙලා ඉන්නෙ ඒ ඡන්ද මධ්‍යස්ථානයට ජාජබයෙන් දාපු නියෝජිතයා පදිංචි නිවසට යාබද නිවසෙ.දැන් ඡන්ද ප්‍රතිඵළ නිකුත් වුනාට පස්සෙ අපේ ජාජබ ඡන්ද නියෝජිතයගෙ ගෙදරට අර සමගි ජන බලවේගයෙ නියෝජිතයයි එයාගෙ ෂපොටර්ලයි රතිඤ්ඤා මහ විශාල තොගයක් පත්තුකරල දාල තියෙනවා.

අපේ නියෝජිතයට පුංචි දරුවන් දෙන්නෙකුත් ඉන්නවා.මේ ළමය මට කතා කරල කිව්වා මේ සිද්ධියට මට මැදිහත් වෙන්නය කියල.ඒ කිව්වෙ පොලීසියට කියල ආරක්ෂාවක් දෙන්නය කියන එකයි.මම ඉතින් මේ ගැන අපේ මැතිවරණ කො⁣ට්ඨාශය සංවිධානය කරන පක්ෂයේ ලේකම් වරයාට කිව්වා.

මට ඔහුගෙන් ලැබුණ පිළිතුර තමයි ඕවාට මැදිහත් වෙන්න එපාය කියල.

ඒ පිළිතුර ගැන මම සෑහෙන්න කළකිරුණා.ඒ ළමය මුළු දවසම පෙනී හිටියෙ පක්ෂය වෙනුවෙන්. ඉතින් ඒ ළමයට වෙච්ච අකටයුත්ත ගැන අපි කොන්දේසි විරහිතව පෙනී සිටින්න ඕන නේ ඒ අවස්ථාවෙ.ඒ ළමය තනි කරන එක කුහක කමක් නේද කියල මට සිතුණා.

පොලීසියේ රාජකාරිවලට මැදිහත් වෙන්නෑ කියල අපේ පක්ෂ⁣යෙ තීරණයක් තිබෙන බව ඇත්ත.ඒත් ඒ තීරණය මේ දේශපාලන මහ පොළවට අදාල නෑ.

තවමත් පොලීසිවල ඉන්න ඕඅයිසීල පරණ ආණ්ඩුවල හෙංචයියො.ඒ නිළධාරීන් ගෙ ඔළුවල තවමත් රජකරන්නෙ පරණ හාම්පුතුන්.ඒ හාම්පුතුන් පොලීසිවලට කතා කරල එයාලගෙ වැඩ කරගන්නවා.ඒත් අපියි අපේ පාක්ෂිකයොයි අසරණ වෙලා.

ජාජබ⁣යෙ ඉහල සීමාවට සම්බන්ධ දේශපාලන ක්‍රියාකාරිණියක් විදියට මට මේ අත් දැකීම ලැබුණ නම් මට පහල ඉන්න අපේ ක්‍රියාකාරිකයන් කොච්චර කළ කිරිල ඇද්ද.ඇත්තටම ජාජබයෙ ඉන්නෙ.

ජවිපෙ සාමාජිකයන් විතරක් නොවෙයිනේ.මේ වන විට විවිධ දේශපාලන පක්ෂ වලට සම්බන්ධ වෙලා ඉඳල ජාජබයට එකතු වුන ක්‍රියා කාරීන් හිතන්නේ ඔවුන්ගේ පරණ පුරුදු දේශපාලන සිතීම තුළ ඉඳගෙන.මේ සිතීම එක වරම වෙනස් කරන්න බැහැ.ඒත් අපේ පක්ෂයෙ නායකයන් සිතා ගෙන ඉන්නෙ ඒක එකවර වෙනස් කරන්න පුළුවන් කියල.ඒත් මොන දේශපාලනය කරත් අවසාන විග්‍රහයෙදි අපි මිනිස්සුනේ අයියෙ…”

ජාබයේ මැද පෙල පවා මේ වන විට ඉච්ඡා භංගත්වයට පත් වී සිටින බව මින් තහවුරු කර ගත හැකිය. සැබැවින්ම ජාජබ නායකයන් ගේ න්‍යාය හා තර්ක තුළින් මේ ඉච්ඡා භංගත්වය අවසන් කර හැකි යැයි සිතිය නොහැකිය. එය අවසන් කර ගත හැක්කේ පැරණි දේශපාලනික භාවිතාව හා ගලපා ගනිමිනි.අප මෙහිදී අදහස් කරන්නේ පැරණි දේශපාලනයේ කුණු වී ගිය භාවිතාව ගැන නම් නොවේ. ඒ භාවිතාව ජාජබයේ හැඩයට හා මෝස්තරයට ⁣නිර්මාණය කර ගත යුතුය යන්නය.

ජාජබ නායකයන් ගේ අති පණ්ඩිත කතන්දර ගැන පවා බොහෝ ජාජබ පාක්ෂිකයන් ඉන්නේ කළකිරීමෙනි.

සැබැවින්ම මේ වටපිටාව නිර්මාණය කරන ලද්දේ මාධ්‍යයයි. ජාජාබ නායකයන් සිදු කරන ලද කතාවක එක කොටසක් ගෙන ඉන් සකසන ලද විකෘතිමය අදහසක් ජනිත වන ආකාරය⁣ට මුදා හරින්නේ ⁣මාධ්‍යයයි. එහිදී හිරු හා දෙරණ ඉදිරියෙනි. මේ ආයතන දෙකම භාවිතා කරන්නේ පොදු දේපොළක් ලෙස සැළකිය හැකි විද්‍යුත් සංඛ්‍යාතයි. මේ පොදු විද්යුත්  සංඛ්‍යාත පසුගිය ආණ්ඩු මගින් සිය ජාවාරම්කාර හිතවතුන්ට බෙදා හදා දී ඇත්තේ වෙස්සන්තර පූජා ක්‍රමයටය.

ජාජබ  ආණ්ඩුව බිඳ වැට්ටවීම හා ජනතා අප්‍රසාදයට ගොදුරු කරවීම මේ වාහිනී වල අරමුණ වී තිබ‍ෙ

ජාවාරම්කාරයන් හසුරවන පොදු විද්‍යුත් සංඛ්‍යාත සම්බන්ධයෙන් ජාජබ ආණ්ඩුව ඉක්මන් ක්‍රියා මාර්ගයක් නොගත හොත් අනාගතයේදී එහි අනිසි ඵළ විපාක සිඳු වන්නට ඉඩ ඇති බව නම් පැහැදිලිය.

බල්ලන්ගෙන් ප්‍රවේශම් වෙනු යනුවෙන් බෝඩ් එල්ලා නැති ආණ්ඩුවක් යැයි ජාජබ පාක්ෂිකයන්ට ආඩම්බර වෙන්නට පුළුවන.සිය පාක්ෂිකයාත් අනෙකුත් පුරවැසියන් අතරත් වෙනසක් නැති යැයි
ජාජබ ආණ්ඩුවේ සිතීම බවද ඇත්තය.

එහෙත් ආණ්ඩුවත් ජාජබය පිළිබඳව විශ්වාසය තැබූ බොහෝ අයවළුන් දැන් කළකිරී සිටින බවද ආණ්ඩුව අවධානයට ගත යුතුය.දෙපාර්ශය අතර ඇතිවී තිබෙන මේ නොහොඳ නෝක්කඩුවට ජාජබ ආණ්ඩුවේ නායකයන් පිළියම් යෙදිය යුතුය.ඒ සඳහා මහ ලොකු උත්සාහයක් දැරිය යුතුද නැත.කරන්නට ඇත්තේ සිම්පල් මැදිහත් වීමකි.ඒ සඳහා මා සමග කතා බහ කළ ජාජබයේ මැද පෙලේ ක්‍රියාකාරිනිය විසින් පවසන ලද අමිහිරි අත්දැකීම වැනි දෑ නිවැරිදි කර ගත්තා නම් හරිය.

ප්‍රවාහන නියෝජ්‍ය අමත්‍යවරයා මෑතකදී කළ ප්‍රකාශයක සඳහන් වූයේ ආණ්ඩුව පිහිටවූ දින සිටම රාජ්‍ය නිලධාරීන් පිළිබඳව විශ්වාසය තබා කටයුතු කෙරුවද ඒ විශ්වාසය ඔවුන් විසින් තහවුරු කර නැති බවය. මෙතෙක් දවසක් වඩා ගෙන සිටි එම නිලධාරීන් බිම තියා ආණ්ඩුවේ ප්‍රතිපත්තිවලට සහයෝගය දක්වන නිලධාරීන්ට මින් ඉදිරියට අවස්ථාව දෙන බවත් ඔහු එහිදී වැඩිදුරටත් පැවසීය. එය එසේ වත් ජාජබ ආණ්ඩුව තේරුම් ගෙන සිටින්නේ නම් හොඳය.අප දිගින් දිගටම මේ බව අනාවරණය කර තිබේ.එහෙත් අප විසින් හෙළි කරන ලද බොහෝ තොරතුරු වලට ජාජබයේ ඇමතිවරුන්ගේ අහංකාරය නිසාම සාධාරණයක් ඉටු නොවීය.

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵළයෙන් වත් සැබෑව ⁣වටහා ගැනීම⁣ට ජාජබයේ කෙරුම්කාරයන්ට හැකි වී තිබීම ගැන අපට ඇති වන්නේ සතුටකි.

සුගතපාලද සිල්වා බල්ලෝ බත් කති පොතේ රත්නසේකර මෙහෙම කතාවක් කියයි

” උක්ත ආඛ්‍යාත උගන්වපු ගුරුවරු අපට හැමදාම කියල දීල තියෙන්නෙ බල්ලෝ බත් කති. ගොනා තණකොළ කයි කියලා.හැබැයි කවදාවත් මිනිස්සු බත් කති කියල ඉගැන්නුවේ නෑ.”

සුගතපාලද සිල්වාගේ “රත්නසේකර” පවසන මේ දේ ජාජබ ආණ්ඩුවටත් වලංගුය.ඒත් මිනිසුන්ට තමුන් කරන දේ උගන්වන්ට යාමේදී බොහෝ සීරුවට මාරුවට කළ යුතු බව ආණ්ඩුව මතක තියා ගත යුතුය.

Archive

Latest news

Related news