ජාතික රණවිරු සමරුව අදය.
යුද්ධය ගැන නැවත නැවතත් සිහිපත් කරමින් වැලපෙන්නන්ද පුරාජේරු කයිවාරු ගසන්නන්ද අඩුවක් නැත.
වැලපෙන්නේ යුද්ධයෙන් සිය සමීපතමයන් අහිමි වූවන්ය. උතුරටද දකුණටද ඒ වැලපීම වලංගුය.මව්බිම වෙනුවෙන් ජීවිතය කැප කළ සෙබළුන් සිහිපත් කරමින් ආණ්ඩුවේ මැදිහත් වීමෙන් රණවිරු සැමරුමක්ද පැවැත්විනි.
රාජපක්ෂ කල්ලිය යුද්ධය කර උඩ තියාගෙන යන්නේ මහින්ද රාජපක්ෂ නැවත උඩට උස්සා ගන්නය.එසේ නොමැතිව යුද්ධයෙන් මියගිය හා ආබාධිත වූ සෙබළුන් ගැන වේදනාවෙන් නොවන බව දන්නේ මොවුන්ගේ පැටිකිරිය දන්නා අයවළුන් පමණි.මෙරට බොහෝ දෙනෙකු යුද්ධයේ වීරයා ලෙස සළකන්නේ මහින්ද රාජපක්ෂය.මොනවා වුනත් යුද්ධය නතර කෙරුවේ ඒ මනුස්සයනේ යැයි රාජපක්ෂ පවුලට විරුද්ධ වුන්ද පවසයි.
ප්‍රභාකරන් ඝාතනය වීමට මාස තුන හතරකට පෙර මේ ලියුම්කරු මහින්ද රාජපක්ෂගේ ඉතාම සමීපතමයකු හා සාකච්ඡාවකට සහභාගි වෙමින් සිටියෙමි.
මේ සමීපතමයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විය.අප සාකච්ඡා කරමින් සිටියේ උතුරේ යුද වදින රණ විරුවන් වෙනුවෙන් බෝධි පූජා වැඩ සටහනක් සංවිධානය කිරීම ගැනය.ඒ සාකච්ඡාවේ සිටියේ අප කිහිප දෙනෙක් පමණය.
මේ සාකච්ඡාව යන අතර තුර මහජන නියෝජිතයාට ඇමතුමක් ලැබුණි.මහින්ද මහත්තයා කෝල් එකක් ගන්නවා යැයි පැවසූ ඔහු සිය මොබයිලය මේසය මත තිබියදීම ස්පීකර් ඇමතීමට සකසා ගත්තේය.
“කොහෙද ඕයි ඉන්නෙ” යැයි ජනපති මහින්ද රාජපක්ෂ විමසීය
සාකච්ඡාවේ සිටි අපට ඒ සංවාදය හොඳින් ඇසේ.
“සර් මං මේ අපේ රණවිරුවන්ට බෝධි පූජා වැඩ සටහනක් කරන්න අපේ කට්ටිය එක්ක පොඩි සාකච්ඡාවක ඉන්නෙ” යැයි අපේ මහජන නියෝජිතයා පිළිතුරු දුන්නේය.
“රෙද්දෙ රණ විරු බෝධි පුජා.ඇඹිලිපිටියට දැන්ම එනව ඕයි දෙකක් දාගන්න”
ජනපතිවරයා ගොරෝසු හඬින් පැවසීය.
මේ දවස ගැන හරියටම සිහිපත් කර ගත හැකි කාරණයක් තිබේ.ඒ යුද්ධය ගැන සාකච්ඡා කිරීමට එක්සත් ජාතීන්ගේ කණ්ඩායමක් මෙරටට ආ දවස්ය.ජනපති මහින්ද රාජපක්ෂ එම පිරිස සමග සාකච්ඡා කිරීමට යොදා ගෙන තිබුණේ ඇඹිලපිටියේදීය.
යුද්ධය අවසන් කළ නායකයාගේ සැබෑ හෘද සාක්ෂිය එහෙමය. ඒත් මේ සැබෑව නොදන්නා මිනිසුන්ට ඔහු වීරයෙකි.
ගැලවුම් කාරයෙකි. මේ කණ්ඩායම යුද්ධය ජාවාරමක් කරගෙන සිටියා මිස එය නැවැත්වීමේ අදහසක නොසිටි බව දන්නෝ දනිති. රාජපක්ෂ වරුන් හා ඔවුන්ගේ සමීපතමයන්ට යුද්ධය ලාභ ලබන වෙළඳාමක් විය. එහෙත් ඒ වෙළඳාම දිගටම කරන්නට නොහැකි වූයේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා නිසාය.
සිංහ රෙජිමෙන්තුවේ නිලධාරියකු වූ සරත් ෆොන්සේකා අම්බලන්ගොඩයෙක් විය. සිංහ රෙජිමෙන්තුව හමුදාව තුළ ප්‍රසිද්ධ වී ඇත්තේ “කිව්ව නාහන දඩබ්බරයන්” සිටින රෙජිමෙන්තුවක් ලෙසය.මෙරට යුද හමුදා ඉතිහාසයේ වැඩ වර්ජනයක් කළ එකම රෙජිමෙන්තුව සිංහ රෙජිමෙන්තුවයි.සිංහ රෙජිමෙන්තුව පිහිටුවන ලද්දේ බණ්ඩාරනායක වරුන්ගේ ආණ්ඩුවක් යටතේය.එහි මූලස්ථානය පිහිටා තිබුණේ කොළඹ ඇචිලන් චතුරශ්‍රයේය.
ගෝටා බේරා වීරක්කොඩි ගෙදර යැවීම
සිංහ රෙජිමෙන්තුවේ භට කණ්ඩායමක් වන ගත සටන් පුහුණුවකට මින්නේරිය ප්‍රදේශයට ගොස් තිබියදී කෝප්‍රල්වරයකු මරණයට පත් විය.ඒ කෝප්‍රල්වරයා මිය ගියේ පුහුණුවේදී හෙම්බත්ව ජලය පානය කිරීමට ඉඩ නොදුන් නිසාවෙන් බව වාර්තා විය. මේ කෝප්‍රල්වරයා ජලය ඉල්ලා සිටියදී ඔහුට ලුතිනන් වරුන් දෙදෙනෙකු පහර දුන් බව පැවසේ.ඒ ලුතිනන් ලක්ෂ්මන් වීරක්කොඩි හා නන්දසේන ගෝඨාභයයි. මේ සිද්ධිය සිංහ රෙජිමෙන්තුව තුළ ගිණි ඇවිලීමට හේතුවක් විය.මින්නේරියේ සිට නැවත ඇචිලන් චතුරශ්‍රයේ මූලස්ථානය වෙත ආ භට කණ්ඩායම නිළධාරී නිවස්නය වෙත කඩා වැදී නිළධාරීන්ට පහර දෙන්නට පටන් ගත්හ. ලුතිනන් නන්දසේන ගෝඨාභය හා ලක්ෂමන් වීරක්කොඩි දෙදෙනා කඳවුරෙන් පැන ගියහ.සිංහ රෙජිමෙන්තුව තුළ වැඩ වර්ජනයක් දියත් විය.පසුව රජය මැදිහත් වීමෙන් ලුතිනන් ලක්ෂමන් වීරක්කොඩි හමුදාවෙන් ඉවත් කළ අතර දේශපාලන සම්බන්ධතා නිසා නන්දසේන ගෝඨාභය වෙනත් රෙජිමෙන්තුවකට අනුයක්ත කෙරිණි.
සිංහ රෙජිමෙන්තු සෙබළුන් නිළධාරී නිවස්නයට කඩා වැදී නිළධාරීන්ට පහර දෙන විට එහි සිටි එක තරුණ නිළධාරියෙකුට පහර දීමෙන් වැලකිණි.
ඒ ඔහු සෙබළුන් අතර ජනප්‍රිය හා ඔවුන්ගේ සිත් දිනා ගෙන සිටි නිළධාරියකු වීම නිසාය.මේ නිළධාරියා ලුතිනන් සරත් ෆොන්සේකාය.
ලුතිනන් සරත් ෆොන්සේකාත් ලුතිනන් ලක්ෂමන් වීරක්කොඩිත් අම්බලන්ගොඩ එකම ගමේ ඉපදුන අයවළුන්ය.ලුතිනන් ලක්ෂමන් වීරක්කොඩි ගේ සහෝදරයා පසු කලෙක මෙරට ගුවන් හමුදාපතිවරයා බවට පත් වූ ජයලත් වීරක්කොඩිය.
එහෙත් රිය අනතුරක් සම්බන්ධයෙන් චෝදනාවකට ඔහුද ගුවන් හමුදාවෙන් ඉවත් වීමට සිදුවිය.
එල්ටීටිය විසින් මාවිල්ආරුව වසා දැමීමෙන් පසුව එය මුදවා ගැනීමට හමුදා පති සරත් ෆොන්සේකාට උපදෙස් ලැබුණ අතර ඔහු ඒ කාර්යය ඉටු කිරීමෙන් පසුව සිය අභිමතයට එළිපන්ට් ෆාස් හා මුලතිව් එල්ටීටී බල ප්‍රදේශයට ප්‍රහාර එල්ල කෙරුවේය. එහෙත් ජනපති මහින්ද රාජපක්ෂගේ අදහස වී තිබුණේ මාවිල් ආරු ප්‍රහාරයෙන් පසුව එල්ටීටීය හා සාම සාකච්ඡා වලට යාමය. හමුදාපති සරත් ෆොන්සේකාගේ දඩබ්බර ප්‍රහාරයෙන් පසුව ජනපතිවරයා විසින් ඔහු කැඳවා සිද්ධිය පිළිබඳව විමසා ඔහුට බැණ වදින්නට පටන් ගත්තේය. ඒ වන විටත් යුද්ධය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණු නායකයන් අතර ආරවුලක් හට ගෙන තිබුණි. ඔවුන් හා සාකච්ඡාවකදී මහින්ද රාජපක්ෂ ජනපතිවරයා කෝපයෙන් විමසා තිබුණේ “ලබ්බෙන් ද ඕයි යුද්ද කරන්නේ” යැයි කියාය.
එහිදී ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ “තියෙන ලබ්බෙන් ගහනවා ඕයි” යැයි පවසමින් එම සාකච්ඡාවෙන් නැගිට ගොස් ඇත.
හමුදාපති සරත් ෆොන්සේකාද තමන්ට ජනපතිවරයා තර්ජනය කරන විට සටන අත හැරියේ නැත. එහිදී ඔහු ජනපතිවරයාට පවසා ඇත්තේ කවුරු නියෝග දුන්නත් නැතත් තමන් යුද්ධය නතර නොකරන බවත් තමන්ගේ කොල්ලන් දමා යුද්ධය කර ගෙන යන බවත්ය. කෙසේ වෙතත් එහි සිටි ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා වූ ගෝඨාභය රාජපක්ෂ දෙදෙනා අතර ඇතිවූ ආරවුල සමථයකට පත් කෙරුවේය. යුද්ධය පවත්වාගෙන යාම ඇරඹුනේ එහෙමය.
ඒ වන විටත් හමුදාවේ පිරිස් බලය අඩු වෙමින් තිබුණි.යුද්ධයේ බිහිසුණු බව නිසාම තරුණයන් හමුදාවට එක්වීම බොහෝ සෙයින් අඩු වෙමින් පැවතුණි.
හමුදාපති සරත් ෆොන්සේකා විසින් සෙබළුන් ගම් වලට ගොස් බඳවා ගැනීමේ සැළසුමක් දියත් කෙරිණි.මෙහිදී අධ්‍යාපන සුදුසුකම් නොසලකා හැරිණි.ගම්වල ඉතා දුෂ්කර ජීවිත වලට හුරු වී සිටි තරුණයන් හමුදාවට බඳවා ගැණිනි.
සැබවින්ම යුද්ධයේ විශිෂ්ට කාර්ය භාරයක් ඉටු කරන ලද්දේ මේ තරුණයන්ය.කර්කශ ජීවිත අත්දැකීම් වලින් සපිරි මේ තරුණයන්ට හමුදාවේ දුෂ්කර අභ්‍යාසයන්ට හුරු වීමට එතරම් කාලයක් ගත නොවීය.දුෂ්කරතා නොතකා ඉදිරියට යාම මේ තරුණයන් තුළ සහජයෙන්ම පැවතුණි.යුද ජයග්‍රහණයේ ශක්තිමත් අත්තිවාරම වූයේද මේ ගැමි තරුණයන්ය.
මේ ලියුම්කරු විසින් අධ්‍යාපනයක් නොලද තරුණයකු හට ඒ දිනවල හමුදාවට එක්වීමට මග පෙන්වන ලදී.මා හට ඔහුට අත්සන පවා පුරුදු කරන්නට සිදු විය.ඔහු මේ වන විටත් යුද හමුදාවේ බලලත් නිළධාරියෙකු ලෙස සේවයේ යෙදී සිටී.යුද්ධයේදී දෙවරක් යුද වෙඩි වැදුන ඔහු හමුදා පාඨමාලාවන් ගණනාවක් හැදෑරූ බවත් අවස්ථා දෙකකදී සාම සාධක හමුදා රාජකාරියට විදේශගත වූ බවත් මේ සෙබලා මා වෙත පවසා තිබේ.අධ්‍යාපනයක් නොලද මේ ගැමි තරුණයා ගැන මට ඇතිවන්නේ ආඩම්බරයකි.
නැවත වරක් ජාතිවාදය අවුළ වන්නට උත්සාහ කරන පිරිසක් මේ රටේ සිටී.
අවිහිංසාවාදී දර්ශණයක් වූ බෞද්ධ දර්ශනයද මේ ගෝත්‍රික පිරිස යොදා ගෙන ඇත්තේ වෛරය හා හිංසනය සඳහාය.
ආණ්ඩුව තොපේ බුදුන් අපේ යැයි මේ අයවළුන්ගේ සිතීමය.බුදුන් වහන්සේ සිය සංඝ පරම්පරාවට දේශනා කෙරුවේ රාජ නීතියට ගරු කරන ලෙසය.එදවස හමුදාවෙන් පැන එන සෙබලකු පවා බුදු සසුනට ඇතුළත් කර නොගැණිනි.
එහෙත් දැන් මෙරට බෞද්ධයන් සිතන්නේ බුදුන් වහන්සේ දේශනා කළ ධර්මයට පටහැණි ආකාරයටය.මේ පිරිස නිතරම ජීවත්වන්නේ තමන් අභිමුඛයේ සතුරකු නිර්මාණය කර ගනිමිනි.මේ සතුරා දෙමළාය.එහෙමත් නැතිනම් මුසල්මානුවාය.එසේ සතුරකු නොමැතිව මේ කණ්ඩායමට නින්ද යන්නේ නැත.
මේ සතුරා මෙරට සමාජයේ ජීවත්වන්නේ අද ඊයේ සිට නොවේ.ඉතිහාසය පෙරලා බැලූ විට ජාතිවාදී ආරවුල් නිසා කෙතරම් ජීවිත සංඛ්‍යාවක් විනාශ වී තිබේද යන්න ගණන් හදා ගත හැකිය.එහෙත් මේ ආරවුල් වලින් ජය ගත් පාර්ශවයක් නම් නැත.
මෙරට දකුණේ හා උතුරේ මුහුදු තීරයේ ජීවත්වන හලාගම හා කරාව කුලයන් දකුණු ඉන්දියාවෙන් මෙරටට සංක්‍රමණය වූ පිරිස්ය. ඒ අතරේ ගම් දෙමළුන් ලෙස හඳුන්වන කුල කණ්ඩායමක්ද සිටී. ගම් දෙමළු නමින් හැඳින්වෙන කුළයට අයත් වන්නන් ගජබාහු රජු සොළී රට ආක්‍රමණය කර ලංකාවට ගෙන ආ සොළී ජාතිකයන් ගෙන් පැවත එන්නන් බව පැවසේ. හලාගම කුලයේ ප්‍රධාන නගරයක් ලෙස සැළකෙන බලපිටියට අයත් වන ගම් හතලිහක පමණ දේවාල තිබේ. එම ගම්වල ගැමියන් මේ දේවාල හඳුන්වන්නේ කෝවිල් ලෙසය. සලාගම කුලය මෙහි ලංකාවේ පදිංචියට ආ හින්දු ආගම අදහන්නන් ලෙස සැළකිය හැකිය.
ඔවුන් පසුකාලීනව බුදු දහම වැළඳ ගත්තද සිය මුල් ආගම සමග පැවැති සම්බන්ධතාව අවසන් කර නැති බව මේ කෝවිල් ආශ්‍රිතයෙන් වටහා ගත හැකිය.
දකුණු මුහුදු තීරයේ පදිංචිව සිටින කරාවේ කුලයට අයත් පිරිසක් උතුරු මුහුදු තීරයේද ජීවත්වේ. එහිදී මේ කුලය හැඳින්වෙන්නේ කරයර් විදියටය.
මෙරට පැවැති යුද්ධයේ අවසාන පරිච්ඡේදය ලියන විට මේ කරාවේ කුලය අමතක කරන්නට නොහැකිය. ඒ මන්ද යත් හමුදාපති සරත් ෆොන්සේකා කරාව කුලයට අයත් අයෙක් වූ අතර වේළුපිල්ලේ ප්‍රභාකරන් යාපනයේ කරයර් කුලයේ අයෙකු විය. එසේ බලන විට යුද්ධයේ අවසාන සටන සිඳුවී ඇත්තේ කරාවේ කුලයට අයත් දෙදෙනෙකු අතරය.
එය තව දුරටත් හාරා අවුස්සා අතීතයට ගිය හොත් මේ දෙදෙනාගේම මිතුන් මිත්තන් එකම පවුලක අයවළුන් වන්ටද බැරි නැත.
මේ ලියුම්කරුද ඉතා කෙටි කාලයක් හමුදා රෙජිමෙන්තුවකට සම්බන්ධව සේවය කෙරුවේය. එහිදී ලියුම්කරු ලද අත්දැකීම් බොහොමයකි. එහෙත් ඒ අතරේ ඉස්පිල්ලක් පාපිල්ලක් හල් කිරීමක් විරාමයක් හා නැවතීමේ ලකුණක් පවා අමතක නොවන තරමේ අත් දැකීමක් මේ ලියුම්කරු තුළ පවතී. එය සුන්දර ලෙස ලිවිය යුතු යැයි සිතේ. ඒ සිඳුවීම මේ ලියවිල්ලට ඇතුළත් කරන්නේ එම අත්දැකීම තවමත් ලියුම්කරුගේ සිත කම්පනයට පත් කරවන නිසාය.
දහසක් බෝසතුන් බුදුවන උදෑසනක මා ඇතුළු තවත් සෙබළුන් කිහිප දෙනෙකු යාපනය නුවර පාරේ මාර්ග බාධකයක සේවයට යොදවා තිබුණි.යන එන අයවළුන් පරීක්ෂා කිරීම මාර්ග බාධකයේ රාජකාරියයි.යාපනය රෝහල පිහිටියේ අපගේ මාර්ග බාධකයට ඉතා නුදුරිනි.
බයිසිකලයක පැද ආ තලතුනා මිනිසකු මා නැවැත්වූයේ පරීක්ෂා කිරීමටය.කාල වර්ණ මිනිසකු වූ ඔහු වේට්ටියක් හා නැෂනලයක් හැඳ සිටියේය.බයිසිකලයේ හැඩලයේ තල් කොල වලින් වියන ලද මල්ලකි.
“කොහෙද යන්නෙ” මම ඔහුගෙන් විමසුවෙමි.
“ඕෆ් වෙලා ගෙදර යනවා තමා සර්” ඔහු කැඩුණු සිංහලෙන් පිළිතුරු දුන්නේය
“කොහෙද වැඩ” මම නැවත ඇසීමි
“අහස්පත්‍රම් …හොස්පිටල් ඇටෙන්ඩන්” යැයි ඔහු පැවසුවේ රෝහළ දෙසට අත දිගු කරමිනි.
මම ඔහුගේ මල්ලට එබී බැලුවෙමි.
එහි පාන් බාගයක් ,කෙසෙල් ගෙඩි දෙකක් කතුරක් පුළුන් හා ගෝස් තිබුණි.තුවාල බෙහෙත් වගයක්ද ඒ අතරේ විය.මා ඒ මල්ල අවුස්සන විට ඔහු ගේ දෑත් වෙවුලන ආකාරය මට පෙනින.
එහෙත් මා සිටියේ බලවත් කම්පනයකිනි.
ඔහු පරීක්ෂා කරමින් වුවද මගේ සිත නැවතී තිබුණේ මගේ තාත්තාගේ රූප කාය තුළය.මගේ තාත්තාද රජයේ රෝහළක ඇටෙන්ඩන්වරයෙකි. ඔහු රාජකාරියට අඳින්නේ වේට්ටිය හා නැෂනලයයි. රාජකාරියට යන්නේ එන්නේ පාපැදියෙනි. ඒ පාපැදියේද පන් වලින් වියන ලද මල්ලක් එල්ලා තිබේ. තාත්තා ඇතැම් දිනවල රාත්‍රී රාජකාරියේ නිරතව සිට නිවසට එන විට ඒ පන් මල්ලේ පාන් බාගයක් හා කෙසෙල් ගෙඩි කිහිපයක් වරදින්නේද නැත. ඒ සමහරවිට ඔහුට උදෑසන ආහාරය සඳහා රෝහලින් දෙන සලාකය වන්නට පුළුවන. තාත්තාගේ පන් මල්ලේ කතුරක් පුළුන් හා බෙහෙත් තිබේ.
මා නැවත මේ මිනිසා දෙස බැලීමි.
වෙනසක් නැත.මගේ තාත්තා මට හමුවී සිටී.ඉතින් මා ඔහු සැක කරන්නේ කෙසේද
“පරිස්සමෙන් යන්න” මම පැවසුවෙමි.
අසරණව බියට පත් ව සිටි මිනිසා උස් හුස්මක් ගන්නා හඬ මගේ හදවත කම්පනයට පත් කෙරුවේය. මා ඔහු නොමැකී යන තුරුම බලා සිටියේ ටී පනස්හය තදින් ඇඟට තද කරගතිමි.
ඇත්තටම ඒ මගේ තාත්තාය