සැළසුම් සහගත කුමන්ත්‍රණකාරී ජාතිවාදී මෙහෙයුමක ආරම්භය සිදු වූයේ එහෙමය. දිවයින ප්‍රවෘත්තියේ නමක් ගමක් සදහන් වී නොතිබුණි. එහෙත් ඉන් අනාවරණය කරන ලද තොරතුරු මෙරට සිංහල සමාජය දැඩි කම්පනයට හා බියට පත් කරවන්නක් විය.පාස්කු ප්‍රහාරයත් සමගම තිගැස්මෙන් සිටි සමාජය මේ ප්‍රවෘත්ති වාර්තාවෙන් තවත් බියට පත් වීම සාධාරණය.වෛද්‍ය සේවාවේ මුසල්මානු වෛද්‍යවරුන් සිංහල බෞදධයන් ගේ සැකයේ විත්තිකරුවන් බවට පත් වෙමින් තිබෙන වටපිටාවක් නිර්මාණය වෙමින් පැවතුනි.කෙසේ වෙතත් එම ආන්දෝලනාත්මක ප්‍රවෘත්තිය ගැන විමර්ශනය කිරීම සදහා එවකට වැඩ බලන පොලිස්පති ජයන්ත වික්‍රමරත්න විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ඡ්‍යෙෂ්‍ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්නට උපදෙස් දුන්නේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වරයා එම විමර්ශනය සමූහ මංකොල්ල විමර්ශන අංශයේ අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත පවරන ලද අතර ඔහු එය සහකාර පොලිස් අධිකාරී බී.එස්.තිසේරා වෙත පවරන ලදී.
දිවයින ප්‍රවෘත්තියේ සඳහන් තොරතුරු පිළිබඳව වැඩිමනත් විස්තර පොලිස් විමර්ශනය සඳහා ලබා ගැනීමට එම ප්‍රවෘත්තිය පල කරන ලද එහි මාධ්‍යවේදියෙකු වන හේමන්ත රන්දුණුට හා ප්‍රධාන කර්තෘ වරයාට 2019 මැයි මස 25 වන දින සමූහ මංකොල්ල විමර්ශනයේ පෙනී සිටින ලෙසට දැනුම් දීමක් කෙරිණි.කුරුණෑගල පොලිස් ලොක්කන් ගේ මූඛ පූට්ටු වූයේ ඉන් අනතුරුවය.දිවයින ප්‍රවෘත්තියට අදාලව පොලිස් පැමිණිල්ලක් නොතිබීම එයට හේතුවයි.කුරුණෑගල පොලිස් අධිකාරී මහින්ද දිසානයක ඉන් අනතුරුව ඉක්මන් විය.ඔහු 2019 මැයි මස 24 වන දින කුරුණෑගල මූළස්ථාන පොලිස් පරීක්ෂක මගින් අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට
ෂාපිට දැමූ නඩුව
වෛද්‍ය ෂාපි අත්අඩංගුවට ගැනීමට නියෝග කෙරුවේය.වෛද්‍ය ෂාපි එසේ අත් අඩංගුවට ගන්නා ලද්දේ චෝදනා තුනක් යටතේය.එම චෝදනා වූයේ තවුහිත් ජමාත් සංවිධානයේ අවශ්‍යතාව ඉටු කිරීමට සිංහල මවුවරුන් වඳ භාවයට පත් කිරීම සඳහා සැත්කිරීම ඉන් අයථා ලෙස මුදල් ඉපැයීම හා විත්තිකරු තවදුරටත් නිදැල්ලේ සිටිය හොත් ජීවිත ආරක්ෂාවක් නොමැති වීම යන ඒවාය.
අත් අඩංගුවට ගන්නා ලද වෛද්‍ය ෂාපි 1979 අංක 48 ත්‍රස්තවාදය වැලැක්වීමේ (තාවකාලික විධිවිධාන)පනතේ 7(1) යටතේ පැය 72 ක් රඳවා ගෙන ප්‍රශ්ණ කිරීමට කුරුණෑගල පොලිස් අධිකාරී මහින්ද දිසානායක විසින් කුරුණෑගල මූපො වරයාට නියෝග කෙරිණි.ඒ සමගම වෛද්‍ය ෂාපි ඉදිරි විමර්ශන කටයුුුතු සඳහා අපරාධ විමර්ෂන දෙපාර්තමේන්තුවට බාර දෙන ලෙස වැඩ බලන පොලිස්පති වරයා නියෝග කෙරුවේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ කැඳවීමට අනුව පැමිණි දිවයින ප්‍රවෘත්ති පත්‍රයේ මාධ්‍යවේදී හේමන්ත රන්දුණු ප්‍රකාශයක් ලබා දෙමින් පවසන ලද්දේ තමන් විසින් පල කරන ලද ප්‍රවෘත්තියට තොරතුරු ලබා දුන්නේ කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් බවය. ඉන් අනතුරුව එම විමර්ශනය බාරව කටයුතු කළ සමූහ මංකොල්ල අංශයේ අධ්‍යක්ෂ ශානි අබේසේකර ගේ නියෝග පරිදි සහකාර පොලිස් අධිකාරී බී.එස්.තිසේරා 2019 මැයි 27 වන දින නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් ලබා ගනිමින් වෛද්‍ය ෂාපි දින 90 ක් රඳවා තබා ගනිමින් ප්‍රශ්ණ කිරීමට 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැලැක්වීමේ (තාවකාලික විධිවිධාන)පනතේ වගන්ති 9(1) යටතේ ආරක්ෂක අමාත්‍යවරයා වන ජනාධිපතිවරයාගේ නියෝගය ලබා ගන්නා ලදී.
රහස් පොලිස් පරීක්ෂණය
රහස් පොලීසියේ නිළධාරීන් කුරුණෑගලට ගොස් වෛද්‍ය ෂාපි විසින් සැත්කම් කරන ලදැයි පැවසුන 615 කගේ පැමිණිලි සටහන් කර ගත් අතර ඉන් 438 දෙනෙකු කට උත්තර ලබා දෙන ලද්දේ තමන් පැමිණිලි කරන්නේ දිවයින පුවත්පතේ පල කරන ලද ප්‍රවෘත්තිය නිසා ඇතිවූ සැකය නිසා බවය.ඒ සමගම වෛද්‍ය ෂාපිට එරෙහිව එවකට කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂ සරත් වීරබණ්ඩාර පැමිණිලි 11 ක් රහස් පොලිස් කණ්ඩායම වෙත යොමු කර ඇත.එම පැමිණිලි වලින් ඉදිරිපත් කරන ලද චෝදනා වූයේ වෛද්‍ය ෂාපි බලහත්කාරයෙන් එම්එල්ටී සැත්කම් කිරීම ,සැත්කම් වලදී මුත්‍රා නාලය කැපීම,
දරුවකු මාරුකිරීම ආදියයි.එම චෝදනා සම්බන්ධයෙන් කුරුණෑගල රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ චන්දන කැඳන්ගමුව විසින් මීට විමර්ශනයක් කර තිබූ බවද පැවසිනි.වෛද්‍ය ෂාපි හා මේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා අතර පෞද්ගලික ආරවුලක් ඇතිවී තිබුණි.ඒ කරුණෑගල රෝහලේම වෛද්‍යවරියක ලෙස සේවය කළ වෛද්‍ය ෂාපි ගේ බිරිඳ ගේ ස්ථාන මාරුවීමක් සම්බන්ධයෙන් දෙදෙනා අතර ඇතිවූ කතා බහකදීය.
වෛද්‍ය සරත් වීරබණ්ඩාර තවත් අධ්‍යක්ෂවරයෙක්
වෛද්‍ය සරත් වීරබණ්ඩාර යොමු කරන ලද පැමිණිලි 11 න් පැමිණිලි 09 ක්ම බොරු පැමිණිලි බව රහස් පොලිස් විමර්ශනයේදී අනාවරණය විය.සැත්කමකදී මුත්‍රා නාල කැපීම සම්බන්ධයෙන් වෛද්‍ය ෂාපි වෙත කරන ලද චෝදනා සම්බන්ධයෙන් එම රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයා රහස් පොලීසියට කට උත්තර ලබා දෙමින් ප්‍රකාශ කර තිබුණේ එය තමන් අතින් සිදු අත් වැරැද්දක් මිස එම වරද වෛද්‍ය ෂාපි අතින් සිදුවූ වරදක් නොවන බවය.එම චෝදනා අතර වූ දරුවකු මාරු කිරීමේ චෝදනාවද අනියම් සම්බන්ධතාවක් හේතුවෙන් දරුවකු ගැබ්ගත් මවක විසින් සිදු කරන ලද වාචික ප්‍රකාශයක් පමණක් විය.
කෙසේ වෙතත් සැත්කම් කිරීමේදී මව්වරුන්ගේ පැලෝපීය නාල වලට වෛද්‍ය ෂාපි විසින් හානි කරන ලදැයි චෝදනාව පරීක්ෂා කිරීමට කොළඹ අධිකරණ වෛද්‍ය නිළධාරීගේ උදව් ඇතුව විශේෂඥ වෛද්‍ය අජිත් තෙන්නකෝන් අජිත් පතිරණ හා ජානකී කරුණාසිංහ පත් කර ගත් බව රහස් පොලීසිය අධිකරණය වෙත කරුණු දක්වා තිබේ.
මහේස්ත්‍රාත්වරයා ගේ බිරිඳ
මෙහිදී රහස් පොලීසිය පැමිණිලිකාර පාර්ශවයේ මව්වරුන් ගේ පැලෝපීය නාල වලට හානි සිදු වී දැයි පරීක්ෂා කිරීමට එස්එච්ජී නම් වෛද්‍ය පරීක්ෂණය සිදු කිරීමටත් ඒ සඳහා කොළඹ කාසල් රෝහලේ සහ රිජ්වේ ළමා රෝහලේ පහසුකම් සපයා ගැනීමටත් අධිකරණ නියෝගයක් ඉල්ලා සිටින ලදී.එහෙත් කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරසේකර අධිකරණය වෙත කළ කරුණු දැක්වීමකට අනුව අධිකරණය ඒ නියෝගය ලබා තාවකාලිකව අත් හිටුවීමක් කෙරිණි.රෝහල් අධ්‍යක්ෂවරයා මේ නඩුවේ පාර්ශව කරුවක්ද නොවීය.එහිදී අනාවරණය වූ තවත් විශේෂ කරුණක් වූයේ මහේස්ත්‍රාත්වරයා රෝහල් අධ්‍යක්ෂවරයා ගේ කරුණු දැක්වීම නඩු වාර්තා වලට ඇතුළත් නොකිරීමයි.ඒ සම්බන්ධයෙන් තරුණ ජනමාධ්‍යවේදීන් ගේ සංඟමයේ මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන විසින් මහේස්ත්‍රාත්වරයාට එරෙහිව අධිකරණ කොමිසමට පැමිණිලි කෙරිණි.එම පැමිණිල්ලට අනුව හෙළිදරව් වී ඇත්තේ මහේස්ත්‍රාත්වරයා ගේ බිරිඳද කුරුණෑගල රෝහලේ වෛද්‍යවරියක ලෙස සේවය කරන බවයි.
රෝහල් අධ්‍යක්ෂ සරත් වීරබණ්ඩාර දන්ත වෛද්‍යවරයෙකි.ඔහු ප්‍රසව හා නාරි වේද විෂයෙහි විශේෂඥයකු නොවූවද අධිකරණයට ඉදිරිපත් වෙමින් ප්‍රකාශ කර තිබුණේ එස්එච්ජී පරීක්ෂණය මාරාන්තික විය හැකි පරීක්ෂණයක් ලෙසය.එම ප්‍රකාශයේ සත්‍ය අසත්‍යතාව තහවුරු කර ගැනීමට රහස් පොලීසිය ප්‍රධාන රෝහල් පහකින් ගෙවී ගිය වසර පහක වාර්තා කැඳවන ලද්දේය.එම වාර්තා අනුව තහවුරු වූයේ රෝහල් අධ්‍යක්ෂවරයා අධිකරණය වෙත ඉදිරිපත් කළ කරුණු පදනම් විරහිත බවය.
මේ විමර්ශනය සම්බන්ධයෙන් වෛද්‍යවරුන් 47 දෙනෙකුගෙන් හෙදියන් 71 දෙනෙකුගෙන් හා සුළු සේවකයන් 18 දෙනෙකුගෙන් රහස් පොලීසිය ප්‍රකාශ සටහන් කර ගෙන තිබුණි.මේ වෙද්‍යවරුන් 47 දෙනාම හා සාක්ෂි දුන් හෙදියන්ද සුළු සේවකයන්ද වෛද්‍ය ෂාපි පැලෝපීය නාල මිරිකනු දැක නැති බව පවසා ඇත.
කිසදා නොගත් විනය ක්‍රියාමාර්ග
මේ අතර වෛද්‍ය ෂාපි අත් අඩංගුවට ගැනීම පිළිබඳව රහස් පොලීසිය කුරුණෑගල එවකට පොලිස් අධිකාරී මහින්ද දිසානායකගෙන් සාක්කි සම්පිණ්ඩන වාර්තාවක් කැඳවන ලදී. ඔහු විසින් 2019 මැයි 26 වන දින SP/PA/4318/19 යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත ,ගසාක්කි කරුවන් 10 දෙනෙකුගේ සාක්කි සම්පිණ්ඩ වාර්තාවක් එවන ලද අතර එම සාක්කි සටහන් කිරීම සිදු කර ඇත්තේ වෛද්‍ය ෂාපි අත් අඩංගුවට ගැනීම සාධාරණීකරණය කර ගැනීම සඳහා ඉහළ පොලිස් නිළධාරීන් ගේ උපදෙස් මත කූඨ ලේඛන ලෙස බවද රහස් පොලීසිය හෙළිදරව් කර ගත්තේය.
2019 ජුලි මාසයේදී වැඩ බලන පොලිස්පති ජයන්ත වික්‍රමරත්න විසින් කුරුණෑගල දිස්ත්‍රික්කය බාරව සිටි නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් හා කුරුණෑගල කොට්ඨාශ බාර ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහින්ද දිසානායක දණ්ඩ නීති සංග්‍රහය ,ආයතන සංග්‍රහය ,හා පොලිස් නියෝග උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනාට එරෙහිව විනය හා අධිකරණ ක්‍රියා මාර්ග ගැනීමට නියමිත හෙයින් ඔවුන් වහාම වෙනත් සේවා ස්ථාන මාරු කිරීමට පොලිස් කොමිසමේ නිර්දේශයක් ලබා ගැනීමට ලිඛිත ඉල්ලීමක් කරන ලද බවට මාධ්‍ය වාර්තා පල විය.එහිදී නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්ට එරෙහිව බරපතල චෝදනා හතරක් එල්ල කර තිබුණි.
1.ජාතිවාදී කලබලයක් ඇතිවිය හැකි තොරතුරක් වැඩ බලන පොලිස්පති වරයා දැනුවත් නොකොට මාධ්‍ය වෙත ලබා දීම
2.එසේම හිතාමතාම ජාතිවාදී කෝළහාලයක් ඇති කිරීමට ආධාර අනුබල දීම
3. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පාස්කු ප්‍රහාරයේ සැක කරුවන් පිළිබඳ පරීක්ෂණ අත් හැර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් නිර්මාණය කරන ලද වෛද්‍ය ෂාපි විසින් සිදු කරන ලද අපරාධය පිළිබඳව විශාල පොලිස් නිළධාරීන් පිරිසක් යෙදවීමට ඉන් පොලිස් දෙපාර්තමේන්තුවට විශාල වියදමක් දැරීමට සිදු වීම
4.බොරු සාක්කි ඉදිරිපත් කරමින් හිතා මතාම අධිකරණ කටයුතු නොමග යැවීම
එම චෝදනා හතර වේ.
නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් දිවයිනට ලබා දුන් තොරතුර ලංකාදීපයට හා ලංකා සී නිවුස් වෙබ් අඩවියටද ලබා දී තිබුණි.ලංකාදීප වෙබ් අඩවිය මේ ප්‍රවෘත්තිය පසුව ඉවත් කරගෙන තිබුණි.
පාස්කු ප්‍රහාරයේ උණුසුම පහ වීමටත් පෙර වෛද්‍ය ෂාපි ගේ වඳ සැත්කම් ජවනිකාව නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් වේදිකාවට ගෙන ආවේ ඔහුගේ රාජකාරිමය අවශ්‍යතාවක් සදහා නොවන බව මේ සිදුවීම ඒටු ඉසෙඩ් විමසන විට පෙනී යයි.නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් ඇතුළු ඒ සම්බන්ධ සියළු නළුවන් කුමන්ත්‍රණකාරී සැළසුමක් දියත් කර ඇති බව ඉතා හොඳින් අනාවරණය වේ.කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂ සරත් වීරබණ්ඩාර විමල් වීරවංශගේ දේශපාලන පක්ෂයේ ක්‍රියා කාරී සාමාජිකයකු වේ. නියෝජ්‍ය පොලිස්පතිවරයා සිටියේද කුරුණෑගල පොදු ජන පෙරමුණේ අමාත්‍යවරයකු වූ ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ ඔඩොක්කුවේය.
තෙවැනි අධ්‍යක්ෂ මහචාර්ය ජයසුමන
වඳ සැත්කම් කතාව දිවයින පත්‍රයෙ පලවීමත් සමගම සිසේරියන් සැත්කම් 8000ක් කළ වෛද්‍යවරයකු කරුණෑගල සිටින බවට සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය කරන ලද්දේ මහචාර්ය ජයසුමනය.
ඔහු රාජපක්ෂ කල්ලියේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයකුව සිටියේය.
කෙසේ වෙතත් මේ වඳ සැත්කම් කුමන්ත්‍රණය එසේ මෙසේ මෙහෙයුමක් නොවන බව අපේ විශ්වාසයයි.මෙය හුදකලා සිදුවීමක් ලෙස ඉතිහාසයට එක් කර නිහඬ විය යුතු සිද්ධියක්ද නොවේ.
එය වෛද්‍ය ෂාපි නම් මුසල්මානුවාට එරෙහිව සමාජගත කළ චෝදනාවක් පමණක් නොවන බවද පැහැදිලිය.
සත්‍ය වශයෙන්ම මෙය පාස්කුව හා සම්බන්ධ මෙහෙයුමේ දිගුවක් ලෙසටද සැක කළ හැකිය.ඒ සම්බන්ධ වග උත්තරකාර පාර්ශවය රාජපක්ෂ දේශපාලනයේ උන්මාදයෙන් සිටි අයවළුන් වේ.පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රාජපක්ෂවරුන්ට එරෙහිව ආ චෝදනා දියාරු දිරීමට වඳ සැත්කම් පිටපත නිර්මාණය කෙරුණ බවටද කිසිම සැකයක් නැත.
කිත්සිරි ජයලත් දැන් දකුණේ පොලිස් ලොක්කා
වඳ සැත්කම් ප්‍රවෘත්තිය මාධ්‍ය වෙත ලබා දී සිංහල බෞද්ධ සමාජය තුළ ගිණි ඇවිලවූ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මේ වන විට දකුණු පලාතේ ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස රාජකාරියේ නිරතව සිටී. ප්‍රවෘත්තිය පල කරන ලද හේමන්ත රන්දුණුද ඉහින් බහින ලෙඩක් නොමැතිව දිවයින පත්‍රයේ සේවය කරයි. සැබැවින්ම මේ වඳ සැත්කම් සිදිධිය හා සම්බන්ධ අනෙකුත් වග උත්තරකාර පාර්ශවයන් අත් හැර මොවුන් දෙදෙනාටම පමණක් චෝදනා කෙරෙන්නේ නම් ඉන් රජයට වූ පාඩුව කෙතරම්ද යන්න සිතා ගන්නටත් බැරිය.
මහජන මුදල් වියදම් කරමින් එම විමර්ශනයේ නිරත වූ පොලිස් නිළධාරීන් වෙත ගෙවන ලද බටා දීමනා ආදිය හැරුණ විට කට උත්තර සටහන් කිරීමට ගත් කඩදාසි පෑන් ආදියේ සදහා වැය කළ මුදලද අති විශාල විය හැකිය.සාක්කි දීම සදහා පැමිණි වෛද්‍යවරුන් හෙදියන් සූළු සේවකයන් ගේ රාජකාරි කාලයත් අධිකරණ වල කාලයත් සමග ගණනය කළ යුතු ඒ සඳහා වැය වූ මුදල් ප්‍රතිපාදනයන් ගණන් හැදීමට බැරි තරමේය.
වැඩ බලන පොලිස්පති ජයන්ත වික්‍රමරත්න විසින් නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්ට හා ඡ්‍යෙෂ්‍ඨ පොලිස් අධිකාරී මහින්ද දිසානායකට එරෙහිව පොලිස් කොමිසම වෙත ලිඛිතව යවන ලද චෝදනා පත්‍රය තවමත් හමස් පෙට්ටියේ බව අමුතුවෙන් සදහන් කළ යුතු නොවේ. පොලිස් කොමිසම තවමත් ආදරය කරන්නේ රාජපක්ෂ කෙරුවාවන්ටය.ඒ නිසා නියෝජ්‍ය පොලිස් පති ධුරයේ සිටි කිත්සිරි ජයලත්ට ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරය දක්වා ඉහළට යාමට වාසනාවද හිමි වී තිබේ.
සිංහල බෞද්ධ සමාජය දැඩි ලෙස කම්පනයට පත් කළ මේ වඳ සැත්කම් සිද්ධිය ව්‍යාජයක් බවට තොරතුරු අනාවරණය වී තිබියදීත් ඒ සම්බන්ධ අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට මේ ආණ්ඩුවටද ඕනෑ කමක් ඇති බවක් පෙනෙන්නට නැත.
2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (අයි.සී.පී.ආර්)පනතේ 3 (1) වන වගන්තියේ මෙසේ සදහන් වේ.ඒ (1) කිසිම තැනැත්තකු විසින් යුද්ධය පැතිරවීම වෙනස් ලෙස සැළකීමට එදිරිවාදිකම් වලට හෝ ප්‍රචන්ඩ ක්‍රියාවලට යොමු කිරීම සංයුක්ත වන ජාතික ,වාර්ගික හෝ ආගමික වෛරය පෙළඹවීම නොකළ යුතුය යනුවෙනි.
ඉන් අනතුරුව එම පනතේ 2(1) වන උප වගන්තියේ සඳහන් වරදක් (අ) සිදු කිරීමට තැත් කරන (ආ)සිදු කිරීමටබආධාර අනුබල දෙන හෝ (ඈ ) සිඳු කරන බවට තර්ජනය කරන සෑම තැනැත්තෙකුම මේ පනත යටතේ වරදකට වරදකරු බව සඳහන් කර තිබේ.
එම පනතේ 3 වන වගන්තිය හා කියවෙන (4)වන උප වගන්තියේ අදාල වැරදි සදහා සිදු කළ යුතු අධිකරණ ක්‍රියා මාර්ග සදහන් වේ.
මෙම පනතට අදාලව හෝ එසේ නැතහොත් හිටපු වැඩ බලන පොලිස්පති ජයන්ත වික්‍රමරත්න විසින් ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්ට එරෙහිව ලිඛිතව නගන ලද චෝදනා පිළිබඳව අවධානයට ගැනීම මහජන ආරක්ෂක අමාත්‍යංශයේ වගකීමයි.මෙහි වැදගත්ම කාරණය වන්නේ වඳ සැත්කම් පිළිබඳව එවකට විමර්ශනය කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වර්තමානයේ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වරයා ලෙස සිටීමය.එම සිද්ධිය විමර්ශනය කළ ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර හටද වර්තමානයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රාජකාරිමය වගකීමක් පවරා තිබේ.
ලොක්කන් සිදු කරන අපරාධමය වැරදි කාලාවරෝධයට යටත් කර අමතක කර දැමීමේ කලාව මෙතෙකින්වත් හමාර කළ යුතුය.එසේ නැතිනම් යලි වතාවක් මෙවැනි අපරාධ කරුවන් රැළකට සමාජය ගිණි තබන්නට හැකි වෙනු ඇති බව ජාජබ ආණ්ඩුව අවධානයට ගත යුතුය.
පාස්කු ප්‍රහාරය ගැන කතා බහ කරන බොහෝ අයෙකු වඳ සැත්කම් මෙහෙයුම ගැන එතරම් බරක් තබා නොසිතති.
එහෙත් හොඳින් විමසා බලන අයෙකුට මේ වඳ සැත්කම් නාඩගම පාස්කු ප්‍රහාරය හා සම්බන්ධ ජවනිකාවක් බව තහවුරු කර ගත හැකිය.එය අඩු වැඩි වශයෙන් කිරා මැණ බලා හාරා අවුස්සා සොයා ගත යුත්තකි.