පළාත් පාලන ඡන්දය 2025: නිරීක්ෂන කිහිපයක් – සුනන්ද දේශප්‍රිය
අනුර කුමාර දිසානායක සහ ජාතික ජන බලවේගයෙහි ජනප්‍රියත්වය පසු බැස්මකට ලක්ව තිබේ. අනුර මුහුණ දෙන අභියෝගය මහත්ය.
මෙම මැතිවරණයෙහි දී සිය ඡන්ද ප්‍රතිශතය අඩුවූ එකම ප්‍රධාන පක්ෂය එයයි. එහි ඡන්ද පදනම සියයට දහයක සිට විස්ස දක්වා බිඳ වැටුනි. තවද සමස්ත ප්‍රකාශිත ඡන්ද සහ තේරී පත් නියෝජිත සංඛ්‍යාවෙන් බහුතරය දිනා ගැනීමට ජාතික ජන බලවේගය අසමත් විය. ආයතන සංඛ්‍යාවෙන් එයට අති බහුතරය ලැබුණි. එනමුත් සභික සංඛ්‍යාවෙන් අඩක් ඉක්මවූයේ ආයතන සියයක තරම්ය.
සජිත් අසමත්වීම
සජිත් ප්‍රේමදාස සහ සමගි ජන බලවේගයට නව ගැම්මක් ලබා ගැනීමට නොහැකි වී ඇත. සජිත් ප්‍රේමදාසගේ නායකත්වයට ජාතික මට්ටමේ පිළිගැනීමක් නැති බව ඡන්ද ප්‍රතිපල පෙන්වයි. එසේ වෙතත් දෙවන ජාතික පක්ෂය තමන් බව සජබ යළි සනාථ කිරීමට සජබ සමත් විය.
පළාත් පාලන මැතිවරණයේ හොදම පරාජිත නායකත්වය නාමල් රාජපක්ෂට හිමි වේ. එහෙත් ඔහුගේ සහ පිරිවර දූෂිත මැරයින්ගෙන් සමන්විතය.
උතුර නැගෙනහිර සිය දේශපාලන ආධිපත්‍ය යළි පිහිටුවා ගැනීමට කලින් දෙමළ ජාතික සංධානය නම් වූ සහ දැන් ඉලංකෙයි තමිල් අරසු කච්චි (අයි.ටී.ඒ.කේ) සමත් වී තිබේ.
හිටපු ජනාධිපතිවරු තිදෙනෙක්, එනම් ගෝටා, මරා සහ සිරා සිය ඡන්දය ප්‍රකාශ කිරීමට පාරට බැස්සේ නැත. ඔවුන් දේශපාලන මෘත කලේබර නිසාය.
ජනාධිපතිවරණයෙහි සහ මහ මැතිවරණයෙහි 8% පමණ වූ අවලංගු ඡන්ද ක්‍රමයට විරුද්ධ ඡන්ද ලෙස සැළකිය යුතු යැයි තර්ක කළ ප්‍රවාදය පුපුරී ගොස් තිබේ. මෙවර අවලංගු ඡන්ද 2%කට වඩා අඩු විය. මෙවර ඡන්දය ප්‍රකාශ කළ යුතු වූයේ පක්ෂයට පමණක් නිසාය. එය සරළය විදියකි.
සර්වජන බලය සහ යූඇන්පීය කපෝතිය. එම පක්ෂ තවදුරටත් ජාතික මට්ටමේ පක්ෂ නොවේ. යූඇන්පී ඡන්ද ප්‍රතිශතය අඩු විය. සර්ව ජන බලය සෑම අපෙක්ෂකයකුට ලක්ෂ ගණනින් මුදල් ආධාර කළේය.
සජබ- එජාප එක්වීම ඉක්මන් වීමට බොහෝ ඉඩ තිබේ. එසේ නොවුවහොත් එජාප පාක්ෂිකයින් සජබ කරා ආකර්ශනය වනු ඇත. එසේ නැතහොත් යූඇන්පියට අනාගතයක් නැත.
මහා මැතිවරණය සමඟ සසඳන විට
පසුගිය මහා මැතිවරණයෙහි දී ජාජබ ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් 62% ද සජබ 18% ද එජාප සන්ධානය 4% ද පොදු ජන පෙරමුණ 3% ද ලබා ගත්තේය.
රනිල් රාජපක්ෂගේ සිලින්ඩර සන්ධානය සමඟ පක්ෂයේ ප්‍රධානීන් පවා එක්වෙත්දී පොදු ජන පෙරමුණ ලෙස තමා ජනාධිපතිවරණයට තරඟ කිරීමට නාමල් රාජපක්ෂ ගත් තීරණයේ දූරදර්ශී බව මෙම මැතිවරණ ප්‍රතිපල පෙන්වයි. මේ වන විට පොදුජන පෙරමුණ සිය ඡන්ද පදනම 9% කරා ගෙනයාමට නාමල් රාජපක්ෂ සමත් වී තිබේ. ඔහු මෙම වර්ධනය ලබා ගත්තේ යළි පක්ෂයේ පැරනි දූෂිත සහ භීෂිත පිරිස් කරා ප්‍රවිශ්ඨ වීම මගිනි.
සජබ ජන්ද පදනම 21% දක්වා ඉහළ ගොස් ඇතත් නාගරික ප්‍රදේශයන්හි එය මහත් පසුබෑමකට ලක් විය. බස්නාහිර පළාතෙහි සජබ ඉතා දුර්වලය. කොළඹ නගර සභාවෙහි බහුතරය දිනා ගැනීමට බැරිවීම සජබ ලද මහත් පරාජයකි. එසේ වුවත් සජබ (29) සහ යූඇන්පිය (13) එක්ව ජාජබට (49) ළඟ ළඟ තරඟයක් දී තිබේ. මුස්ලිම් කොන්ග්‍රසය 4 කි. සරත් පොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයට 01කි.
රනිල් රාජපක්ෂගේ යූඇන්පියේ ජන්ද පදනම පහළ ගියේය. එමගින් නමුත් ඔහු අවලංගු දේශපාලන කාසියක් බවට මෙම මැතිවරණය මගින් පත් කර තිබේ.
යූඇන්පිය හැරුණ විට සිය ජන්ද පදනම අඩු වී ඇති එකම පක්ෂය ජාතික ජන බලවේගයයි. එය සිටින්නේ 43% මට්ටමේය. එය මහා මැතිවරණයේ සිට 20% ක අඩුවීමකි.
ජාජබ පළාත් පාලන මූලෝපාය
තවම ජාජබ ආණ්ඩුව සිටින්නේ මධු සමය සමය ගත කරමිනි. රනිල් ද ඇතුලු රාජපක්ෂවරුන්ගේ වංචා දූෂණ හෙළි කිරීම වැනි ජනප්‍රිය ප්‍රචාරක කාරණා තවමත් එය සතුය. ජාජබ මෙම මැතිවරණය සැළකුවේ මහ මැතිවරණයක් පරිදිය. ජනාධිපති අනුර කුමාරසහ අගමැතිනි හරිනි අමරසූරිය රට වටා දැවැන්ත රැස්වීම් ඇමතීය.
සමාජ මාධ්‍ය ජනපතිගේ කතාව උපහාසයට ලක් කළ අයුරු
නව දේශපාලන සංස්කෘතිය පිළිබඳ අලවට්ටම් පසෙක් තැබූ ඔහු ජාජබ ජයග්‍රහණය නොකරන පළාත් පාලන ආයතනයන්ට මධ්‍යම රජයේ මුදල් නොදෙන බවට තර්ජනය කළේය.
ඉදිරිගාමී දේශපාලන නායිකාවක් ලෙස ඉස්මතුවීමේ සිය හැකියාව උනා තැබූ අගමැතිනි හරිනි අමරසූරිය, මැතිවරණ නීති කෙළසීමට ප්‍රසිද්ධියේ රහසින් උපදෙස් දුන්නාය.
සියල්ලටමත් වඩා සිය දේශපාලන අතීතය උඩු යටිකරු කරවමින් ජාජබ, කොටි සංවිධානය උත්කර්ශයට නංවන ප්‍රචාරක ව්‍යාපාරයක් දෙමළ බසින් ගෙන ගියේය. එම ප්‍රචාරක ව්‍යාපාරයේ කොටසක් වූ විඩියෝ ගීත පැහැදිලිවම එල්ටීටීඊ හිතවාදී හැගීම් ආමන්ත්‍රණය කළේය. ඉන් එක් ගීයක ජාජබ ජයග්‍රහණය කළහොත් ප්‍රභාරකන්ගේ පිළිරුවක් ඉදි කරන බවට පොරෙන්දු විය. තවත් ගීයක කියැවුණේ ප්‍රබාකරන්ගේ මා පියන් වෙනුවෙන් වරායක් ඉදි කරන බවයි.
ප්‍රභාකරන් කොමියුනිස්ට්ද?
“දෙමළ ජාතික නායකයාගේ දෘෂ්ටිවාදය කොමියුනිස්ට්වාදයයි. ජාතික ජනතා ජනබලවේගයේ දෘෂ්ටිවාදය ද කොමියුනිස්ට්වාදයයි. අපි එක් හවුල් දැක්මක් යටතේ එක්සත් වෙමු.” යැයි තවත් ගීයක කියැවේ.
ප්‍රභාකරන් කොමියුනිස්ට්වාදියකු නොවූ අතර ජාතික ජන බලවේගයද කොමියුනිස්ට්වාදී සංවිධානයක් නොවේ. දෙමළ ජනයාගේ ඡන්ද ලබා ගැනීම සඳහා ජාජබ අවස්ථාවාදයේ පහතටම කිදා බැස්සේය. ජාජබ හි අරටුව වන ජනතා විමුක්ති පෙරමුණ යුද සමයේ පෙනී සිටියේ ප්‍රභාකරන් සහ එල්ටීටීඊය විනාශ කිරීමටය. නෙලුම් මල් ව්‍යාපාරය නමින් ප්‍රචාරක ව්‍යාපාරයක් ද ජවිපෙ විසින් දියත් කළේය.
මෙම අවස්ථාවාදී දේශපාලන ප්‍රචාරයන් නොසළකා දෙමළ ජනයා බහුතරය වන ආයතන අතුරින් 43ක් ඉලංකෙයි තමිල් අරසු කච්චි (අයි.ටී.ඒ.කේ) දිනා ගත්තේය. අකිල ඉලංකෙයි තමිල් කොන්ග්‍රස් ( ඒ.සී.ටී.සී.) ආයතන 03ක් දිනා ගත්තේය. පිල්ලෙයාන් නායකත්වය දෙන ටීවීඑම්පී සහ ඊපිආර්එල්එෆ් නායකත්වය සහිත ප්‍රජාතන්‍ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය එක් ආයතනය බැගින් දිනා ගත්තේය. වවුනියාව ප්‍රදේශීය සභා තුනක වැඩි චන්ද ජාජබ ලබා ගත් නමුත් ඉන් දෙකක දෙමළ පක්ෂ එක්ව බහුතර ආසන දිනා ගත්තේය.
රවුෆ් හකීම් නායකත්වය සහිත මුස්ලිම් කොන්ග්‍රසය ආයතන 06ක් ද රිශාඩ් බදුර්දීන් නායකත්වය සහිත ඒසීඑම්සී ආයතන 03ක් ද දිනා ගත්තේය.
උතුරු නැගෙනහිර දෙමළ සහ මුස්ලිම් ජනයා තමන් සමඟ බවට ජජාබ මිත්‍යාවක සිර වී සිටියේ ජනාධිපතිවරණ සහ මහ මැතිවරණ ප්‍රතිපල මතුපිටින් තේරුම් ගැනීමෙනි. මහා මැතිවරණයෙහි දී එම ප්‍රදේශයන්හි බහුතර දෙමළ ජන්ද බෙදී ගිය අතර ජාජබ ජයග්‍රහණය කළේ එනිසා පමණි.
ජාජබ උතුරු නැගෙනහිර පදනම
එසේ නමුත් මෙම පළාත් පාලන මැතිවරණයෙහි දී ද ජාජබ සැළකිය යුතු ප්‍රමාණයක් දෙමළ ජන්ද ලබා ගනිමින්, එම ප්‍රදේශයන්හි වඩාම ජනප්‍රිය දකුණේ සිංහල නායකත්වයක් ඇති පක්ෂ බවට පත් විය. එය ජයග්‍රහණයකි.
මුස්ලිම් ජනයා බහුතරය වන පළාත් පාලන ආයතන ජයග්‍රහණය කිරීමටද ජාජබ අසමත් විය. මෙරට සුලුතර ජනයාගේ විශ්වාශය දිනා ගැනීමට ආණ්ඩුව සමත් වී නැති බව මෙම ඡන්ද ප්‍රතිපල පෙන්නුම් කරයි. එය දෙස් විදෙස් වශයෙන් ආණ්ඩුවට හොඳ නැත.
ජේවීපී – එන්පීපී ගැටුම
ජාතික ජන බලවේගයේ බොහෝ ප්‍රධානීහු පසුගිය කාලයේ කකුල කටේ දමා ගත්හ. එය නව දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් පෙනී සිටින නමුදු ව්‍යාජ අධ්‍යපන සහතික ඉදිරිපත් කළ මහාචාර්යවරයකු ලෙස පෙනී සිටි හිටපු සිය පක්ෂයේ කතානායකට විරුද්ධව අඩුම ගණනේ විනය පරීක්ෂණයක්වත් කළේ නැත. වාචාල සහ ලිංගිකවාදී ප්‍රකාශ කරන සිය මැති ඇමතින් සම්බන්ධයෙන් ගනු ලැබූ පියවරක් ද නැත. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන සංස්කෘතියක් ඇති රටක නම් අව්‍යක්ත හැසිරීම් නිසා ඉල්ලා අස්විය යුතු මැති ඇමති ගණනාවක්ම ජජබ ආණ්ඩුවේ සිටී.
ජාතික ජන බලවේගය සහ එහි අරටුව වන ජනතා විමුක්ති පෙරමුණ අතර ඇති ගැටුම, ආණ්ඩුව දුර්වල කරයි. සිවිල් සමාජයීය සාධනීය විවේචනයන් පවා ජවිපෙ සළකන්නේ සතුරු ආකල්ප ලෙසය. ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වාගේ ද්‍රෝහීන් සහ වීරයින් සංකල්පය ඊට පදනම සපයයි.
ජවිපෙ-ජාජබ දේශපාලන මංත්‍රය වූ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ජවිපෙ විරුද්ධය. දෙමළ ජනයාගේ යුද්ධ කාලීන ප්‍රශ්ණ විසඳීමද ඉතිරිව තිබේ. ජන ජීවිතයෙහි කැපී පෙනන දියුණුවක් ද නැත. ඉදිරි කාලය ආර්ථික වශයෙන් ඉතා අභියෝගාත්කමය.
අනුර, අභියෝගය ඔබටය!
ආණ්ඩුවේ ලොකුම වාසිය, විපක්ෂයේ දූෂිත අතීතය සහ සජිත් ප්‍රේමදාසගේ ඒකනායක පිළිවෙතයි. එනමුත් ඒවා අවිචල්‍ය සාධක නොවේ. තෙවැනි දේශපාලන පක්ෂ නායකයා නාමල් රාජපක්ෂගේ මතුවීම විසින් ජාජබ කරා ඇදී ආ රාජපක්ෂවාදී ඡන්ද සෑහෙන ප්‍රමාණයක් ආපසු යා හැකිය.
අනුර කුමාර දිසානායක, පළාත් පාලන මැතිවරණයේ අභියෝගය ඔබටය.