ඡායාරූපය: අනුර සහෝදරයාගේ මුහුණනින් ප්‍රදර්ශණය වෙන්නේ දැඩි වෙහෙසට පත් වී සිටින මිනිසෙකුගේ ස්වරූපයයි. ( ඡායාරූපය මුහුණු පොතිනි.)
පළාත් පාලන මැතිවරණයෙන් ජාජබ ආණ්ඩුවට ජනතාව ටොක්කක් ඇණ තිබේ.ඒ වැරදි කීපයක් නිසා බවට පැවසේ. මාධ්‍යයෙන් අනාවරණය වෙන ඒ වැරදි අතර ජාජබ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ උද්දච්චකමද වේ.
බොහෝ දෙනා පවසන්නේ ඇතැම් ඇමතිවරුන් හා මන්ත්‍රීවරුන් දුරකථන ඇමතුම් වලට පවා ප්‍රතිචාර නොදක්වන බවය. ආණ්ඩුව මේ චෝදනාව සම්බන්ධයෙන් මුල් දිනවලදී පැවසුවේ කාර්ය බහුල වීම නිසා ඒ මග හැරීම සිදු වූ බවය. ජනපති අනුර සහෝදරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදීද ජනතාව ගේ පාර්ශවයෙන් මතු වෙන මේ චෝදනාව සම්බන්ධයෙන් සාකච්ඡා වූ බවද අනාවරණය විය.
ඔළුවලට දැනෙයිද?
කෙසේවෙතත් එහි අතරමැදි විසඳුමක් නොවීය. මේ වනවිටත් ජාජබ ඇමතිවරුන්ගේ හැසිරීම ඒ ආකාරයෙන්මය. එහෙත් මින් මතුවටවත් මහජන සම්බන්ධීකරණය ගැන අදහසක් ජාජබ ආණ්ඩුවේ මැති ඇමතිවරුන් ගේ ඔළු වලට දැනෙනු ඇතැයි බොහෝ දෙනාගේ විශ්වාසයයි.
මේ ලියුම්කරු පසුගිය සිංහල අලුත් අවුරුදු දිනයේ ජාජබ ආණ්ඩුවේ අගමැතිනිය ඇතුළු අමාත්‍යවරුන් කිහිප දෙනෙකුටම වට්ස් ඇප් මගින් සුබ පැතුවේය. කණගාටුය. ඒ කණගාටුව ඇත්තේ ඒ සදහා වැය කරන ලද ඩේටා ප්‍රමාණය ගැනය. එම සුබ පැතුම සදහා ප්‍රතිචාර දැක්වූයේ එකම එක අමාත්‍යවරයෙකි. ඔහු සමන්ත විද්‍යාරත්න සහෝදරයාය. එය එසේ විය යුතුද යන්න ආණ්ඩුවේ ජාජබ මැති ඇමතිවරුන්ගේ අවධානයට ලක් විය යුතුය. මෙය ඉතා සුළු ප්‍රශ්ණයක් බව ජාජබ මැති ඇමතිවරුන් අදහස වෙන්ටත් පුළුවන. එහෙත් මේ සුලු ගණන් නොගැනීම මෙරට සංස්කෘතිය මග හැර යාමකි.සමාජයට දැනෙන්නේ එහෙමය.
අනෝන්‍ය උපකාර සංස්කෘතිය
මෙරට සමාජය තුළ දීර්ඝ කාලයක් යාවත් කාලීන වෙමින් පවතින සංස්කෘතිය මග හැර දේශපාලනයට ඉදිරි ගමනක් නැත.
බොහෝ සංස්කෘතික හැසිරීම් සම්ප්‍රදායිකය. ඇතැම් ඒවා ආගම හා බැඳුන සිරිත් විරිත්ය. මේ අතර විකාර සහගත හා මිථ්‍යා දෘෂ්ඨික මතවාදයන්ද ගැට ගැසී තිබේ.එහෙත් සමාජය ඒවා අත් හැරීමට සූදානම් නැත. එය එසේ වීමට නම් තව බොහෝ කාලයක් ගත විය හැකිය. අධිපතිවාදී දේශපාලනයෙන් ඒ සංස්කෘතික ඇබ්බැහිවීම් යටපත් කරන්නටද නොහැකිය. ජාජබ ආණ්ඩුවේ රැඩිකල් කමද සංස්කෘතියට අදාල නැත.
මේ සංස්කෘතික සමාජය සමග ඉතා අපූරු ගණුදෙනුවක නිරත වූ දේශපාලඥයා ලෙස සැළකිය හැක්කේ මහින්ද රාජපක්ෂය. ඔහුගේ එම ගණුදෙනුව වංචාකාරී බව සැබෑය. එහෙත් සමාජය ඔහුගේ ඒ බැඳීම විශ්වාස කෙරුවේය. මෙරට විවිධ ක්ෂේත්‍රවල ප්‍රසිද්ධ චරිත වල උපන්දින සැමරුම්වලදී මහින්ද රාජපක්ෂ ගේ දුරකථන සුබ පැතුම අනිවාර්ය සිදු වූවකි. එම ප්‍රසිද්ධ චරිත පොඩි දරුවන් මෙන් ඒ සුබ පැතුම අගයමින් ප්‍රසිද්ධියේ කතා බහ කරන අවස්ථා මේ ලියුම්කරුට අනන්තවත් ඇසී තිබේ. මහින්ද රාජපක්ෂගේ ජාවාරම්කාර දේශපාලන උපක්‍රම සංංස්කෘතියට ගැට ගැසී තිබුණේ එහෙමය. ජාජබයට කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණු දේශපාලනය තුළ මෙවැනි සංස්කෘතික මැදිහත් වීම් බොළඳ හා විකාර ඒවා බවට තක්සේරු කෙරෙන බව සිතන්නට හැකිය.
එහෙත් සමාජය එක වරම මේ සම්ප්‍රදායනුකූල ඇබ්බැහි වීම් වලින් මුදවා ගන්නට නොහැකි බවද පක්ෂ කාඩරය වටහා ගැනීම ඉදිරි දේශපාලනයේ ශරීර සෞඛ්‍යයට වැදගත් විය හැකිය.
රාජපක්ෂගේ උපන්දින සුභපැතුම්
මේ ලියුම්කරු අවුරුදු ගණනාවක් මහින්ද රාජපක්ෂගේ සමීපතම මන්ත්‍රීවරයකු ගේ පෞද්ගලික ලේකම් වරයා විය. ඔහු හා රාජපක්ෂ පවුල අතර පැවැති සම්බන්ධතාව රුසියාවේ සාර් රජ පවුල තුල බලය පතුරවාගෙන සිටි රස්පුටින් ගේ ක්‍රියාකාරකම් හා සමානය. නිතරම විදේශගතව සිටි මේ මන්ත්‍රීවරයා ලන්ඩන් සංචාරයක නිරතව සිටියදී රාත්‍රී එකට පමණ මට දුරකථන ඇමතුමක් ගෙන පැවසුවේ අහවල් ධීවර වරායේ බෝට්ටුවක් පෙරලී ඇති බවත් එහි යන ලෙසය.
මට ඒ රාත්‍රියේ එහි යාමට වාහනයක් නොවීය. එහෙත් මන්ත්‍රීවරයා ඒ ගැන කිසිදු අවධානයක් නොගෙන කෙසේ හෝ එම ස්ථානයට ගොස් ඔහු හා සම්බන්ධ වන ලෙසට පැවසුවේ ඒකාධිපති ස්වරූපයෙනි. මගේ නිවසේ සිට එම ධීවර වරාය පිහිටා තිබුණේ සැතපුමක් පමණ දුරකිනි.මම පයින්ම ඒ රාත්‍රියේ එම දුර ගෙවා සිද්ධිය වූ ස්ථානයට ගොස් බෝට්ටුව හිමිකරුවන් මන්ත්‍රීවරයාට සම්බන්ධ කර දුනිමි. මා පයින්ම එම ස්ථානයට රාත්‍රියේ පැමිණීම බෝට්ටු හිමිකරුවන්ට මහත් විමතියට කරුණක් වුවද ඉන් ලකුණු හිමි කර ගත්තේ මන්ත්‍රීවරයාය. තමන්ට සිදුවූ විපතකදී තමන්ගේ මන්ත්‍රීවරයා සිටින බව සිතන්ට තරමේ ඔවුන් සතුටට පත් වූ බවද නිසැකය.
සැබැවින්ම දේශපාලඥයකු වෙතින් සිය පාක්ෂිකයන් අපේක්ෂා කරන්නේද එවැනි සරල මැදිහත්වීම්ය. ජාජබයේ බොහෝ දේශපාලඥයන් වටහා ගෙන නැත්තේද ඒ සරලකමය. මාලිමාව පළාත් පාලන මැතිවරණයේදී ලකුණු අඩුවූ විෂයන් අතර මහජන සම්බන්ධීකරණය විෂයද තිබෙන බව අප සඳහන් කරන්නේ පැරණි දේශපාලඥයන් ගේ මෙවැනි භූමිකාවන් ගලපා ගනිමිනි. ගමේ ඉලව් ගෙදර මගුල බණ මඩුව දන්සැල තොරණ ගැටවුන්ගේ බයිලා සාජ්ජය වැඩිහිටි සමිතියේ රැස්වීමට පය නොගහන දේශපාලඥයන් හට පැවැත්මක් නැත.ප්‍රතිපත්ති ගරුක දේශපාලනය හා සංවර්ධනයට වඩා සමාජය අපේක්ෂා කරන්නේ එක පත බෙදා හදා ගෙන කන තරමට සමීප වන දේශපාලනයයි.
ඉගෙන ගත යුතු මහජන සම්බන්ධීකරණය
අප විසින් කිසිම අවස්ථාවක ජේආර් ගේ මහින්ද රාජපක්ෂගේ දේශපාලන බලය හැසිරවීම අනුමත නොකෙරේ. එහෙත් මේ දේශපාලඥයන් දෙදෙනා ගේ දේශපාලන භාවිතයේ අනිවාර්යෙන්ම කියවිය යුතු වන්නේ මහජන සම්බන්ධීකරණයයි. එය පුළුල් පරාසයක් තුළ විහිදී ගිය බර සාර උදාහරණයන් සහිත මැදිහත් වීම් වලින් සමන්විතය. පොදු මහජනතාව හා දේශපාලඥයන් අතර සම්බන්ධතාවක් හා බැඳීමක් අඛන්ඩව පවත්වාගෙන යාමට හැකි ආදර්ශයන් ඒ තුළ වේ. ජාජබයේ ආධුනික දේශපාලඥයන් විසින් ඒ ආදර්ශයන් හැදෑරිය යුතුමය. එය පොදු මහජනතාව තුළ විරසකයක් හා සිත් රිදවීමක් නොමැතිව බලය පවත්වාගෙන යාමට රුකුළක්ද විය හැකිය.
මහප්‍රාණ පණ්ඩිත දේශපාලඥයන්ට අපගේ මේ ලියවිලි කිසි වැදගැම්මක් නැති ඒවා වන්නට පුළුවන. එහෙත් ජාජබය බලයට පත් කරවීම සදහා මතවාදීව වෙහෙස වූ පිනට ලියන්නන් වූ අපට එහි යාන්ත්‍රණය ගැන විවේචනය කිරීමට ශුද්ධ වූ අයිතියක් පවතී. අප මහා ලොකු කෙරුමන් නොවූවද ජාජබය වෙනුවෙන් අප ලියන ලද අකුරු එහි ජයග්‍රහණය සඳහා සුළු හෝ දායකත්වයක් දරන්නට ඇතැයි විශ්වාසය අපට තිබේ. මේ ජයග්‍රහණය දේශපාලන ජාවාරම්කාර තක්කඩියන්ගේ විසින් උදුරා ගනිතැයි සැකයක් රට නිර්මාණය වෙමින් තිබේ.
අපටද ඒ ගැන සැකයක් පවතී. අප මේ නැවත නැවතත් ලියන්නේ ඒ ගැනය.
කයිතන් අප්පුලාගේ කයිවාරු මහ පොළවට අදාල නොවේ.ඒ බව මේ පළාත් පාලන මැතිවරණයේදී ජනතාාව ජාජබ ආණ්ඩුවට පෙන්වා දී ඇති බව පැහැදිලිය.
ජේ ආර් ගේ කතාවක්
ජාජබයේ කයිතන් අප්පු කොමරේඩ්ලා හට ගැලපෙන කතාවක් ජේ.ආර් ගේ දේශපාලන ඉතිහාසයෙන් උපුටා ලියන්නට පුළුවන. ඒ මෙසේය.ජේ.ආර් මේ කතාව කර ඇත්තේ දෙවෙලපොල ගනේගම පන්සලේදීය.
“……අපි පුරුදු වෙලා තියෙන්නෙ දීර්ඝ ලෙස කතා කරන්නට. නුමුත් අනිත් කථිකයන් වගේ මං පැය ගණන් කතා කරන්නේ නැහැ.විනාඩි පහළොවක් නැතිනම් විනාඩි විස්සක්. වැඩිම වුනොත් විනාඩි තිහක්. යම් කෙනෙක් කියනවානම් පැය භාගයක් මදි කියලා මං ඒ අයට කියනවා බුදුන් වහන්සේ ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කෙරුවෙ මිනිත්තු දහයකින්. ජේසුස් වහන්සේට කන්ද උඩ දේශනාව මිනිත්තු පහකින් ඉවර කළා. මිනිත්තු පහළොවකින් පුළුවන් ලෝකය හෙල්ලෙන්න කතා කරන්න. නුමුත් මං එච්චර කතා කාරයෙක් නොවෙයි” – උපුටනය අවසන්
ජාජබයේ කොම්රේඩ්ලා තමන් වෙතින් සිදු වූ අඩු පාඩු වහා තේරුම් ගත යුතුය.
ඊළඟ ඇරඹුම ගත යුත්තේ මේ සියල්ල නිවැරිදි කර ගනිමිනි. ලියුම්කරු දැනුවත් වූ ආකාරයට පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය ගැන ජනපති අනුර සහෝදරයා සිටින්නේ කණගාටුවෙනි. ඒ සිය ආණ්ඩුවට සිදු වූ අතපසු වීම් වටහා ගනිමිනි. එහෙත් කෙටියෙන්ම සඳහන් කර තොත් පළාත් පාලන මැතිවරණ ජයග්‍රහණය වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම ජනපති අනුර සහෝදරයාගේ පෞද්ගලික ජයග්‍රහණයකි. ඒ බව තහවුරු කෙරෙන කමන්ටුවක් මුහුණු පොතේ ලියවී තිබෙනු මේ ලියුම්කරුගේ ඇස ගැසුණි. එම කමන්ටුව දමා තිබුණේ මෙරට පරිපාලන ක්ෂේත්‍රයේ ඡ්‍යෙෂ්ඨයකු හා විශිෂ්ටයකු ලෙස සැළකෙන අයෙකි. කමන්ටුව ලියා තිබුණේ පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණය පැවැති උදෑසනය.
“…හිතේ ඇති ඇති කේන්තිය දත් මිටි කාගෙන ඉවසා ගනිමින් ඡන්ද පොළට ගොස් අනුර සහෝදරයා වෙනුවෙන් මාගේ කතිරය ගැසුවෙමි..”
වැඩේ ඇත්තය. මෙරට බොහෝ දෙනෙකු මේ තරමට හෝ ආණ්ඩුව ගොඩ දැම්මේ අනුර සහෝදරයා නිසාය. අනුර සහෝදරයා රාත්‍රී දෙක පමන වන තුරු සිය කාර්යාලයේ වැඩ රාජකාරි කරන බව දන්නේ කීයෙන් කීදෙනාද යන්න පවා ප්‍රශ්ණයකි. මේ මිනිසා ඇතැම් දිනවල දිනා ගන්නේ තම කාර්යාලයේ මේසයට ඔළුව ගසාගෙනය.බිලියන හාරසීයක වත්කමක් ඇතැයි විරුද්දවාදීන් චෝදනා කරන්නේ මෙවැනි කටුක හා දුෂ්කර අභ්‍යාසයක නිරත මිනිසෙකුටය. ජනපති නිවසේ රස මසවුළ භුක්ති විඳින ජනපතිවරයකු වීමට අනුර සහෝදරයාට හැකි වූයේ නම් මේ මාස හය තුළ හැඩ වැඩ වීමේ සළකුණු ඔහුගේ මුහුණින් දැකගත යුතුව තිබුණි.
එහෙත් තවමත් අනුර සහෝදරයාගේ මුහුණනින් ප්‍රදර්ශණය වෙන්නේ දැඩි වෙහෙසට පත් වී සිටින මිනිසෙකුගේ ස්වරූපයයි.
මේ ලියන්නේ වහලකු වීමට නොවේ
අප මේවා ලියන්නේ අනුර සහෝදරයා වෙතින් ලාබ ප්‍රයෝජන ලබා ගැනීම සදහා නොවේ. අවුරුදු හැත්තෑහයක දූෂිත හා ජාවාරම්කාර දේශපාලනයෙන් බිම ඇද වැටී තිබෙන මව්බිම ඔසවා තැබීම සදහා නිර්ව්‍යාජ හා අවංක උත්සාහයක අනුර සහෝදරයා නිරත වෙමින් සිටින බවට අපට අත්දැකීමෙන් තහවුරු වී ඇති නිසාය.
එහෙත් ජාජබ ආණ්ඩුවට තවමත් රාජ්‍යයය හීලෑ කර ගැනීමට නොහැකි වී තිබේ.ඒ ඇතැම් ඇමති කෙරුමන් ගේ නොහැකියාව නිසාය. අඩුම ගානේ ජාතික බුද්ධි සේවාවෙන් හා මිල්ටෙරි බුද්ධි සේවාවෙන් සැබෑ තොරතුරු අනුර සහෝදරයා වෙත නොලැබෙන බව අපට තහවුරු වී තිබේ.මිල්ටෙරි බුද්ධි සේවාව අන්ත දූෂිතයෙකු ගේ ග්‍රහණයට හසුව බිඳ වැටෙමින් පවතී. මේ දූෂිතයාගේ සේවා පැටිකිරිය පිළිබඳව පසුබිම් වාර්තා අවධානයට ගත හොත් අප මේ ලියන තොරතුරුවල සත්‍යය තහවුරු වනු ඇත.
මොහුගේ දූෂිත ක්‍රියාකාරකම් නිසා බුද්ධි සේවාව තුළ සුබ සාධන රාජකාරි වලට සීමා කර සිටි මොහුට වර්තමානයේදී හමුදා බුද්ධි සේවයේ අධ්‍යක්ෂ මේජර් ජනරාල් වරයා රූකඩයක් ලෙස නටවන්නට හැකි වී තිබෙන බව අනාවරණය වේ. මේ අවස්ථාව එම දූෂිතයාට හිමි වී ඇත්තේ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ආරක්ෂාව නිසා බවද පැවසේ. අපට නම් ඒ ගැන ලියන්නට ඇත්තේ මේ දූෂිතයා හමුදා බුද්ධි සේවය බිමටම සමතලා කළ හැකි බවට වූ අනතුරු ඇඟවීමක් පමණය.ඒ වෙන කිසි දෙයක් නොවේ. එම දූෂිතයා පිටු පස සිට මෙහෙයවන්නේ ජවිපේ දේශපාලනය පිළිබඳ දැඩි වෛරයකින් පසුවන හිටපු හමුදාපතිවරයකු බවට අපට තොරතුරු ලැබී ඇති බැවිනි. ජාජබයේ හමුදා විශ්‍රාමිකයන් සංවිධානය කළ අදිටනට එරෙහිව ප්‍රති දේශපාලන විශ්‍රාමික මිල්ටෙරි සංවිධානයක් ගොඩ නගන ලද්දේ එම හිටපු හමුදාපති වරයා වේ.
අනුර සහෝදරයා වැඩ ඇරඹිය යුත්තේ මෙරට බුද්ධි සේවාවන් තුළ පවතින මේ අර්බුදකාරී තත්වය නිරාකරණය කර ගැනීමෙනි. ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මයි මෑන්ස් සංකල්පය මිල්ටෙරි බුද්ධි සේවාවේ දක්ෂයන් කළකිරීමට හේතු වී ඇති බවද සඳහන් කළ යුතුමය.
08 මැයි 2025