යුද හමුදා බුද්ධි අංශය දේශපාලනික වූයේ රාජපක්ෂවරුන්ගේ බල ආධිපත්‍යය යටතේය. රාජපක්ෂවරුන් හමුදා බුද්ධි අංශය යොදවා ගත්තේ ජාතික ආරක්ෂාව සඳහා නොවේ. ඔවුන්ගේ ජාවාරම්වල ආරක්ෂාව සදහාය.එහිදී හමුදා බුද්ධි නිලධාරීන් යොදවා ගනිමින් ඉතා රහසිගතව රාජපක්ෂවරුන් විසින් මුදා හරින ලද මෙලේච්ඡ සාහසිකත්වය අතිශය ප්‍රසන්නය.
රාජපක්ෂවරුන්ට එරෙහිව සිටි බොහෝ දෙනෙකු ඝාතනය කරන ලද්දේ හමුදා බුද්ධි අංශ මැදිහත් වීමෙනි.මේ සාහසික ඝාතනයන්ට එල්ටීටීයෙන් කැඩී ආ කරුණා අම්මාන්ගේ හා පිල්ලෙයාන්ගේ ගෝල බාලයන්ගේ උදව් උපකාර හමුදා බුද්ධි අංශ වෙත ලැබුණ බව තොරතුරු වාර්තා වී තිබේ. උදව් උපකාර යනු ඝාතනය කිරීමය.
ඝාතන ඉතිහාසය
කොළඹින් පැහැර ගෙන යන්නන් ඝාතනය කරන ලද්දේ නැගෙනහිර වෙරළ තීරයේදීය. එහිදී ඝාතනය කෙරෙන්නන් බඩ සහ ගෙල කපා බඩට කලු ගල් දමා මුහුදට දැමීම සිදු කරන ලද බවට ලියුම්කරු වෙත පැවසුවේ හමුදා නිළධාරියෙකි. මෘත දේහයේ බඩ හා ගෙල කපා දමන්නේ එය ඉදිමී උඩට ඒම වැලැක්වීම සදහාය.අමු අමුවේ මිනිස් ඝාතන කිරීම රාජපක්ෂවරුන්ගේ විනෝදයක් වන තරමට සරල වූ අතර ඝාතන සඳහාම සූදානම් වූ බුද්ධි අංශයේ පිරිසක්ද විය. එහි මිනිස් ඝාතන ක්‍රියාවලියේ උච්චතම අවස්ථාව ලෙස සැළකිය හැක්කේ පාස්කු ඉරිදා ප්‍රහාරයයි.
ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යංශ ලේකම් වරයා ලෙස කටයුතු කළ අවදියේ කොළඹ නගරයේ සිගන්නන් දහයකට ආසන්න සංඛ්‍යාවක් රාත්‍රී නිදා සිටියදී හිසට කලු ගල් අත හැර ඝාතන කිරීමේ සිදුවීමක් වාර්තා විය. එම ඝාතනයන් සිදු වූයේ එකම හැඩයකටය.
ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ කොළඹ නගරය සුන්දර කිරීමේ ව්‍යාපෘතිය දියත් වූයේද මේ අවදියේදීය. යාචකයන් කොළඹ නගරය සුන්දර කිරීමට බාධාවක් වීමත් එම යාචකයන් රාත්‍රියේදී ඝාතනයත් අතර සහ සම්බන්ධයක් තිබිය හැකියැයි යමෙකුට මතුවන සැකය ලේසි පහසුද නොවේ.
මේ සැකය වඩාත් තහවුරු වන්නේ මෙරට බුද්ධි අංශ වඩාත් සක්‍රීය පැවැති වටපිටාවක මෙම මිනිස් ඝාතන සිදු වූ බැවිනි.
පොන්සේකාගේ හෙළිදරව්ව
ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඉලක්ක කර ගනිමින් කොළඹ පිත්තල හන්දියේ සිදු වූ බෝම්බ ප්‍රහාරයත් කැබිලිතිගොල්ලෑව සිදුවූ බස් ප්‍රහාරයත් සැක සහිත සිදුවීම් බවට හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පසුගියදා සමාජ මාධ්‍ය තුළ ප්‍රකාශ කෙරුවේය. රාජපක්ෂ වරුන්ගේ බල ආධිපත්‍යය යටතේදී සිදුවූ සෑම දේශපාලන ඝාතනයක්ම හා බෝම්බ පිපිරීමක් පිටුපසම අබිරහස් ප්‍රශ්ණකාරී වටපිටාවක් පැවැති බව නම් පැහැදිලි සත්‍යයකි.
මෙහිදී සිදුවූ ඇතැම් ඝාතන සම්බන්ධයෙන් මේ වන විටත් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ හමුදා බුද්ධි අංශ වලට සම්බන්ධව සිටි සාමාජිකයන් වීම දැඩි ලෙස අවධානයට ගත යුතු කරුණකි.
මේ බුද්ධි අංශ සාමාජිකයන් අපරාධ නඩු ගණනාවකට දැන් කිසිදු හව්හරණක් නොමැතිව විනිශ්චයට මුහුණ දෙමින් සිටී. අවසන් විනිශ්චයේදී ඔවුන් ඉරණම කෙසේ විසඳුනද රාජපක්ෂවරුන් කම්පාවට ලක් නොවුන බව නම් නිසැකය.
හමුදා බුද්ධි අංශය තවමත් පරණය!
ජාතික ජන බලවේගය බලයට පත් වූවද තවමත් මෙරට ක්‍රියාත්මකව පවතින්නේ රාජපක්ෂවරුන් ඇති දැඩි කළ හමුදා බුද්ධි අංශයයි. නව රජයේ හමුදා බුද්ධි අධ්‍යක්ෂවරයා ලෙස පත් කර ඇත්තේ මිල්ටෙරි බුද්ධි සේවාවෙන් පිටස්තර හමුදා නිලධාරියෙකි. ඔහු යුද හමුදා යාන්ත්‍රික බලකායේ සේවය කළ මේජර් ජනරාල්වරයෙකි. මේ මේජර් ජනරාල් වරයාගේ බිරිඳ සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්සගේ පෞද්ගලික ලේකම් වරියයි.
එම දේශපාලනික සම්බන්ධතාව මත හමුදා බුද්ධි අධ්‍යක්ෂ ධුරය එම මේජර් ජනරාල් වරයාට ලබා දුන් බව හැඟේ.
කෙසේ වෙතත් වචනයේ පරිසමාප්තාර්තයෙන්ම නව හමුදා බුද්ධි අධ්‍යක්ෂ වරයා වැදගත් මහත්මයෙකි.
එහෙත් හමුදා බුද්ධි අංශය තුළ පැවැති රාජපක්ෂ මෙලේච්ඡත්වය යටි බිම් ගතව තවමත් ක්‍රියාත්මකව පවතී. එය නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය අරුණ ජයසේකරගේ දැන හැදුනුකම් යටතේද එසේත් නැතිනම් ජාතික ජන බලවේගයේ විශ්‍රාමික හමුදා අදිටන සාමාජික සමූහය ඔස්සේද ක්‍රියාත්මක වන්නකි.
රාජපක්ෂවරුන් යනු දේශපාලනයේ තක්කඩි ගේම් සඳහා කප් ගැසූ පෝරිසාදයන්ය. ජාජබය අදිටන සමූහය ගොඩ නගන විට රාජපක්ෂ වරුන් සිය හෙංචයියන් ඒ තුළට රිංගවා තමන්ගේ අනාගත අපේක්ෂාවන් ඉටු කර ගැනීමේ පදනම දමා ගත්තේය. ඇතැම් හෙංචයියන් ආරක්ෂක නියෝජ්‍ය අමත්‍යවරයාගේ සමීපතම කවයට පවා ඇතුළත් කෙරිණි.
ජාජබ ආණ්ඩුව තුළ හමුදා බුද්ධි අංශයට නව අධ්‍යක්ෂ වරයකුගේ පත් වීම රාජපක්ෂ හෙංචයියන්ට සිය න්‍යාය පත්‍රය සැළසුම් සහගතව ඉදිරියට ගෙන යාමට මහත් පිටු වහලක් විය.
එම රාජපක්ෂ ජාවාරම් කරුවන් මැදිහත් වීමෙන් නව බුද්ධි අධ්‍යක්ෂ මේජර් ජනරාල් වරයකු සමීපයට සම්බන්ධ කෙරුවේ හමුදා බුද්ධි සේවාවේ අන්ත දූෂිතයකු වූ ලුතිනන් කර්නල් වරයෙකි. මේ ලුතිනන් කර්නල් වරයාට අඩුම තරමේ හමුදා සේවයේ උත්තම සේවා පදක්කමවත් නැත්තෙකි.
කරන්දෙණිය බුද්ධි බලකා මූලස්ථානයේ සිටියදී අම්බලන්ගොඩ ගොඩනැගිලි ද්‍රව්‍ය ව්‍යාපාරිකයෙකු ගෙන් ලක්ෂ තිහක ටයිල් වංචා කිරීමකටද ලක්ෂ විස්සක සලාක වංචාවක් සම්බන්ධයෙන්ද චෝදනා එල්ල වී සිටින මේ ලුතිනන් කර්නල් වරයා පනාගොඩ හැදුනුම්පත් අංශයේ සේවයේ නිරතව සිටියදී කාන්තාවන් සමග අයුතු සම්බන්ධතා පැවැත්වී යැයි චෝදනාවකට ලක්වී තිබේ. හමුදා බුද්ධි අංශයෙන් ඉවත් කිරීමට පවා නිර්දේශ කර තිබූ මේ ලුතිනන් කර්නල් වරයා වර්තමානයේදී හමුදා බුද්ධි අධ්‍යක්ෂවරයාට උපදෙස් දීමට තරමේ ප්‍රබලයෙක් බවට පත් වී සිටී.
පසුගියදා හමුදාපතිවරයාට සමාජ මාධ්‍ය ඔස්සේ මඩ ප්‍රහාරයක් එල්ල කිරීමට මුල් වූයේද මේ දූෂිතයාය. බුද්ධි සේවාවේ සාමාන්‍ය සෙබළාගේ සිට ඉහල ඇවරියේ ඡ්‍යෙෂ්ඨ නිලධාරීන්ද මොහුගේ පජාත කැරැට්ටුව දනී. බොහෝ යූ ටියුබ කරුවන්ට හමුදාවේ බුද්ධි තොරතුරු ලබා දෙමින් සිටින්නේද මොහුය.
සැබැවින්ම මෙම ලුතිනන් කර්නල් වරයා හමුදා සෙවෙච්ඡා සේවයට එක්ව පසුව ස්ථිර හමුදා සේවයට එක් වූ අයෙකි. කට වාචාල කම හා වංචාව මිස මොහුගේ වෙනත් දක්ෂතාවක් නැත. මේ වන විටත් මොහු ගේ මැදිහත් වීමෙන් හමුදා බුද්ධි අධ්‍යක්ෂ අංශය වෙත හමුදා බුද්ධි සේවාවේ සිට් අපතයන් රාශියක් එක් කරගෙන සිටී. මේ බොහෝ දෙනෙකු ජනපතිවරණයට පෙර රාජපක්ෂවරුන් බලයට ගෙන ඒමට ප්‍රයත්න දැරූ අය වේ.
ඒ අතරේ සමගි ජනබලවේගයේ විශ්‍රාමික හමුදා සමූහයේ ප්‍රධානියා වූ හිටපු හමුදාපති මේජර් ජනරල් මහේෂ් සෙනානායක ගේ ගෝලයින්ද වේ. වැඩකට නැති පෙත්සම්කරුවන්ද තඹ සතය දක්වා යටි මඩි ගසා ගන්නා දූෂිතයන්ද පම්පෝරි ගහන බොරු කාරයන්ගෙන්ද හමුදා බුද්ධි අංශය ගොඩ නැගෙමින් තිබීම හාස්‍ය ජනකය.
මේ කෙරුවාවේ පිටු පස සිටින්නේ අප ඉහතින් සදහන් කළ ලුතිනන් කර්නල් වරයාය. සිය දියණියට ටියුෂන් දෙන ගුරුවරියගේ දියණිය ශිෂ්‍ය භට නිලධාරිණියක ලෙස හමුදාවට එක් වී මෙන් පසුව මෙම ලුතිනන් කර්නල් වරයා ඇය හමුදා බුද්ධි අධ්‍යක්ෂක සේවාවට එක් කර ගෙන සිටී. මේ ශිෂ්‍ය භට නිලධාරීණිය හමුදා බුද්ධි අධ්‍යක්ෂගේ පරිවාර සහායිකා ලෙස පත් කරවීම මොහු ගේ ඉදිරි සැළසුමයි. එපමනක්ද නොවේ.
ශිෂ්‍ය භට නිලධාරිණියකගේ නව පත් වීමකදී එම නිලධාරිණිය විසින් හමුදා සම්ප්‍රදාය අනුව තේ පැන් සංග්‍රහයක් පැවැත්විය යුතුය. එහෙත් මේ ලුතිනන් කර්නල් වරයා එම සම්ප්‍රදාය බිඳිමින් බුද්ධි අධ්‍යක්ෂ කාර්ය මණ්ඩලයෙන් මුදල් එකතු කර ඇයට තේ පැන් සංග්‍රහයක් පැවැත්වූ බවට තොරතුරු හෙළි වී තිබේ. ඒ සිය දියණියට ටියුෂන් දෙන ගුරුවරියට තමන්ගේ ලොකු කම පෙන්වීමට විය හැකිය. එහෙත් බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ බොහෝ දෙනෙකු පවසන්නේ එම මුදල් එකතුවෙන් ගාණක් මොහු විසින් යටි මඩි ගසා ගන්නට ඇති බවය.
නව බුද්ධි අධ්‍යක්ෂවරයා මේ සැකටයුතු නිලධාරියාගේ පසුබිම් සේවා වාර්තා ගැන අවධානය යොමු කළ යුතුය.
එය එසේ වුව හොත් තමන් සමීපයේ සිටින මේ ජාවාරම්කාරයාගේ චරිතය කෙබඳුද යන්න විනිශ්චය කර ගත හැකිය. මෙහිදී ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකරටද වගකීමක් පවතී.
ඒ තමන් ගේ වගකීම “මයි මෑන්ලා” වෙනුවෙන් නොව රට වෙනුවෙන් නිවැරදිව ඉටු කිරීමය. මේ වන විටත් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර විසින් හමුදා බුද්ධි අධ්‍යක්ෂ අංශයට ඔබා ඇති සමහර මයි මෑන්ලා සමහරක් දක්ෂ පෙත්සම් ගසන්නට හා පම්පෝරියට පමනක් බව බුද්ධි සේවාවේ සාමාන්‍ය සෙබලෙකු ගෙන් පවා විමසා දැන ගත හැකිය.
ගෝටා සහ ලොකු සීයා ඝාතනය
ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් අවදියේ රාගම ලොකු සීයා නම් කට්ටඬියකු පැහැර ගෙන ගොස් අක්කරපත්තුවේ මුහුදු තීරයට ගෙන ගොස් ඝාතනය කරන ලද්දේද මෙම ලුතිනන් කර්නල් වරයා වේ.අප මේ ඔත්තුව සපයන ලද්දේ පසුගියදා ලොකු සීයා ඝාතනය පිළිබඳව ඔහුගේ පුත්‍රයකු පොලීසියෙන් පරීක්ෂණ පවත්වන ලෙසට ලිඛිතව ඉල්ලීමක් කළ නිසාය.
අප මේවා ලියන්නේ හමුදා බුද්ධි සේවාව වල පල්ලට යාම පිළිබඳව පවතින දැඩි කණගාටුවෙනි. රටට අවශ්‍ය කරන්නේ ශක්තිමත් හමුදා බුද්ධි සේවාවකි. එහෙත් මේ වන විට බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයට සම්බන්ධ කර ගෙන සිටින පැපොල් ඇට ලොන්තයන් පිරිසකගෙන් ඒ අපේක්ෂාව ඉටු වන්නේද යන්න සැක සහිතය.
ජාජබයේ විශ්‍රාමික හමුදා අදිටනේ සිටින සාමාජිකයන් සෑම අයෙකුම අනුර සහෝදරයා ඇතුළු ජාජබ ආණ්ඩුව කෙරෙහි ඉතා කැමැත්තෙන් සිටින වුන් යැයි සිතා සිටින්නේ නම් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා වරද්දාගෙන ඇත්තේද එතැනය. මේ අතරේ විපක්සයේ හා රාජපක්ෂවරුන්ගේ කූට්ටාලියන්ද සිටින බව සිහිපත් කරන්නටම නියෝජ්‍ය අමාත්‍යවරයාට සිදුුවේ. අප එසේ ලියන්නේ මේ තක්කඩියන් ගැන අපට බොහෝ තොරතුරු ලැබී ඇති බැවිනි.
විශේෂයෙන් නව හමුදා බුද්ධි අධ්‍යක්ෂ වරයා සමීපව සිට සිය දූෂිත පැවැත්ම වසන් කර ගැනීම සඳහා හමුදා නිලධාරීන්ගේ තොරතුරු යූ ටියුබකරුවන්ට ලබා දෙමින් සිටින ජාවාරම්කාර ලුතිනන් කර්නල් වරයාගෙන් හා ඔහුගේ කල්ලියෙන් ප්‍රවේශම්වන ලෙසද සටහන් කරමු.
(විශේෂ වාර්තාකරුවකු විසිනි )