එලෙස මියගොස් ඇත්තේ, ගම්පොළ, අටබාගේ, ඉහළගම ප්‍රදේශයේ පදිංචිව සිටි 22 හැවිරිදි චරිත් දිල්ශාන් දයාරත්න නමැති සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලැබූ ශිෂ්‍යයෙකි.
අප්‍රේල් 29 වන දා ඔහු සියදිවි හානි කර ගෙන තිබේ.
සමාජ මාධ්‍යවල හුවමාරු වන සටහන්වල සඳහන් වන්නේ, ඔහු විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයේ වැසිකිළියට කොට කලිසමක් ඇඳගෙන යාම නිසා ඔහු පිරිසක් ඉදිරියේ නිරුවත් කර නවක වදයට භාජනය කර ඇති බව ය.
අනතුරුව ඇතිවූ “ලැජ්ජාව” මත ඔහු සිය දිවි නසා ගෙන ඇති බව එම සටහන්වල දැක්වේ. ඒවායින් බොහොමයක් නවක වදයට විරෝධය පළ කරන සටහන් ය.
“තවමත් නවක වද සිදුවීම් විශ්වවිද්‍යාල තුළ සිදුවන පසුබිමක” මෙම සිදුවීම “අවසාන නවක වද සිදුවීම විය යුතු බව” තවත් පිරිසක් සමාජ මාධ්‍යවල සඳහන් කර තිබිණි.
ඒ අනුව, අපි මෙම සිදුවීම සම්බන්ධයෙන් සොයා බැලීමක් කළෙමු.

සමාජ මාධ්‍යවල ඇත්තේ මොනවා ද?

සමාජ ක්‍රියාකාරී අනුරුද්ධ බණ්ඩාර සිය ෆේස්බුක් ගිණුමේ සඳහන් කර ඇත්තේ, චරිත් දිල්ශාන්ගේ සියදිවි නසා ගැනීමට හේතුව නවක වද සිදුවීමක් බවට දැඩි කතා බහක් පවතින බවත් මේ පිළිබඳව නිසි පරීක්ෂණයක් කිරීම ආණ්ඩුවේ වගකීමක් බවත් ය.
“ජනාධිපතිවරයාගේ සිට බහුතරයක් මන්ත්‍රීවරුන් විශ්වවිද්‍යාල පද්ධතිය තුළින් බිහි වූවන් වන මොහොතක, රටේ අග්‍රාමාත්‍යවරිය විශ්වවිද්‍යාල ආචාර්යවරියක වන මොහොතක, නජිත් ඉන්දික වැනි හිටපු ශිෂ්‍ය ක්‍රියාකාරීන් පාර්ලිමේන්තුව නියෝජනය කරන පසුබිමක මෙවැනි සිදුවීම් නැවත නැවත ඇසීමට සිදුවීම ද කණගාටුවට කාරණයකි,” යනුවෙන් ද ඔහු එහි සඳහන් කර ඇත.
ඔහු සිය සටහන මගින් පෙන්වා දෙන්නේ, “නවක වදය යන මාතෘකාව කලින් කල මරණයන් හමුවේ මාතෘකාවක් බවට පත් වුව ද කිසිදු රජයක් එය පිටු දැකීම වෙනුවෙන් ජාතික මට්ටමේ මැදිහත්වීමක් කර නොමැති” බව ය.
තවත් ෆේස්බුක් සටහනක මෙම සිදුවීම පිළිබඳව සඳහන් කරමින් චාමර ගුරුගේ සටහන් කර තිබුණේ, මීට විරෝධය පළ කිරීමට හෙට දිනයේ “කොට කලිසම් ඇඳ විශ්වවිද්‍යාලවලට යමු ද?” යනුවෙනි.
තවත් සටහනක විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් “සැඟවී සිටින්නේ ඇයි දැයි?” ප්‍රශ්න කර තිබුණු අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් හඬ නගන ලෙස සඳහන් කර තිබිණි. එහි වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, මෙම සිදුවීම යට ගැසීමට උත්සහ කිරීම “හපන් කමක්” නොවන බව ය.
මෙම ප්‍රකාශවලට අමතරව මිය ගිය විශ්වවිද්‍යාල ශිෂ්‍යය නවක වදයට ලක් කළ බව කියන තවත් සිසුන් කිහිප දෙනෙකුගේ ඡායාරූප ඔවුන්ගේ පෞද්ගලික විස්තර ද සහිතව සමාජ මාධ්‍යවල සංසරණය වන අයුරු නිරීක්ෂණය විය.
සිදුව ඇත්තේ කුමක් ද?
මිය ගිය චරිත් දිල්ශාන්ගේ මව පවසන පරිදි ඔන්ලයින් දේශන පැවතිය ද ඔහු අප්‍රේල් මස 26 වන දා මහපොළ ශිෂ්‍යාධාර සම්බන්ධ ගැටලුවක් නිරාකරණය කර ගැනීම සඳහා විශ්වවිද්‍යාලය වෙත ගොස් තිබේ.
එහිදී ඔහු මෙලෙස නවක වදයට ලක් වී ඇති බව මව පැවසුවා ය.
“එයාට වද දීලා, හැට්ට කට්ටෙනුත් ඇනලා, එයාව තල්ලු කරලා… ගෙදර ආවට පස්සේ අම්මට මූණ දුන්නෙත් නැහැ. එයාගේ ඇඳුම්නුත් ගැලෙව්වලු. අපිට පස්සේ දැනගන්න ලැබුණේ. එයා කාවවත් පාවා දීලා නැහැ. බොරුවට එයාගේ හිතට මානසික ආතතියක් ආවා කියලා ලියලා තියෙන්නේ,” යැයි ඇය පැවසුවේ හැඬූ කඳුළිනි.
“අනේ මම ඉල්ලන්නේ මගේ පුතාට වෙච්ච දේ කාටවත් වෙන්න දෙන්න එපා. තවත් දරුවෙකුට ඒ වගේ දෙයක් වෙන්නේ නැතුව එයාට සාධාරණයක් ඉෂ්ට කරලා දෙන්න,” ඇය වැඩිදුරටත් පැවසුවා ය.
චරිත් දිල්ශාන්ගේ මවගේ නැගණිය අදහස් දක්වමින් පැවසුවේ, අප්‍රේල් 28 වන දා ඔහු නැවත නිවසට පැමිණි බවත් අනතුරුව සිදුවූ සියල්ල තමන් හා පැවසූ බව ත් ය.
“මට එච්චර වද දුන්නා කිව්වා. එයාව මෙහෙම අල්ලාගෙන, ෂෝට් එකක් ඇඳගෙන හිටියලු. එතනින් ගියාට පස්සේ අර කාමරේකට එක්කන් ගිහිල්ලා එයාගේ ඔළුව බිත්තියේ වැද්දෙව්ව ලු. ආයේ මේ පැත්තට ඔළුව ගෙනාව ලු. අර ළමයි බලන් ඉද්දී. එයාගේ ඇස්වලට කඳුළු ආව ලු. එයාට ඒක දරාගන්න බැරුව ඉඳලා තියෙනවා. අනේ මගේ දරුවා ඒ පීඩනය මගෙත් එක්ක කිව්වා,” ඇය අප වාර්තාකරු හා පැවසුවා ය.
චරිත් දිල්ශාන් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ වසර දෙකක කාලය පුරා ම ඔහු නවක වදයට භාජනය වී ඇති බව ඔහුගේ පියා පවසයි.
“මගේ පුතත් ලක්ෂපාන විදුලි බලාගාරයේ ටෙක්නිකල් ඉන්ජිනියර් කෙනෙක් වෙලා ඔය මළ මිනියට අන්දලා තියෙන ඇඳුම ඇඳගෙන ගෙදර එයි කියන ලොකු බලාපොරොත්තුවකින් මායි මගේ නෝනයි බලාගෙන හිටියා,” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.
ඔහු අධ්‍යාපනය ලද 2021/2022 කණ්ඩායමේ සිසුන් අප වාර්තාකරු වෙත පවසා ඇත්තේ, ඔවුන් දෙවන වසරේ අධ්‍යාපනය ලැබූව ද විශ්වවිද්‍යාල උපසංස්කෘතිය අනුව ඔවුන් “සෝෂල් වී” සිට නොමැති බව ය.
ඒ හේතුවෙන් ඔවුන්ට, කොට කලිසම් ඇඳීම තහනම් වී තිබුණු බව ඔවුන් අප වාර්තාකරු වෙත පවසා ඇත.
මිය ගිය චරිත් දිල්ශාන් එලෙස “නේවාසිකාගාරය තුළ කොට කලිසමක් ඇඳ සිටීම” ඔහු නවක වදයට භාජනය වීමට හේතු වී ඇතැයි ඔවුන් තවදුරටත් පවසා තිබේ.
එම සිසුන් අප වාර්තාකරු සමග පැවසූ ආකාරයට “යට ඇඳුමක් අන්දවා” ඔහු නවක වදයට ලක් කර ඇත. කෙසේ වෙතත්, එහිදී ලිංගික හිරිහැරයක් නොවුණු බව ද ඔවුන් සඳහන් කර ඇත.
චරිත් දිල්ශාන් විසින් තම මරණයට පෙර ලියන ලද ලිපිය බීබීසී සිංහල අපට නිරීක්ෂණය කිරීමට හැකි වුණු අතර එහි ඔහු සඳහන් කර ඇත්තේ, තමා “අවුරුදු ගණනක් විශාදයෙන් පීඩා විඳි බව” ය.
‘චරිත්ගේ කලිසම ගලවලා යට කලිසමක් අන්දවන්න කිව්වා. ඊට පස්සේ යට කලිසම පිටින් මුළු ෆ්ලෝ එක දිගේ ම හාවෝ පැන්නුවා’
මේ, තම අනන්‍යතාව හෙළිකිරීමට අකැමති වූ චරිත්ගේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය කණ්ඩායමේ උපාධි අපේක්ෂකයෙකු අප වාර්තාකරුට කළ ප්‍රකාශයක උපුටා ගැනීමකි:
“අපි ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යයන්. අපි මේ කැම්පස් එකට ආව මුල් දවස්වල ඉඳලා ම අපි නොයෙකු අන්දමේ වද හිංසා, නවක වදවලට ලක් වුණා. චරිත අපේ බැච් එකේ අපිත් එක්ක ම ඉගෙනුම ලබන ශිෂ්‍යයෙක්. චරිත්ට මේ වගේ දෙයක් වෙන්න ලොකු ම බලපෑම වුණේ, පහුගිය 26 වෙනි දා චරිත්ටත් අපේ කණ්ඩායමටත් ලබා දුන්නු දරුණු ගණයේ නවක වදය හින්දා. අපි ආපු දවසේ ඉඳලා ම උඩ බැච්වල යම් කිසි කණ්ඩායමක්, අපිව නොයෙකුත් ආකාරයේ නවක වදවලට ලක් කළා. ඒ වගේ ම මේක දිගින් දිගට ම සිද්ධ වෙන්න ගත්තා. අපි දෙවන වසරේ වෙලත් අපිට තාමත් මේ නවක වදය ලබා දෙනවා.
චරිත්ගේ මේ මරණයට ආසන්න ම හේතුව වුණේ, 26 වෙනි දා රාත්‍රියේදී අපිටත් චරිත්ටත් සිද්ධ වුණු දරුණු ගණයේ නවක වදය. අපිට අයියා කෙනෙක් ඇවිල්ලා පල්ලෙහාට එන්න කියලා කතා කරලා කාමරවලට දාලා දරුණු විදිහට වද දුන්නා. අපි එද්දිත් පැයක් විතර චරිත්ට ෂර්ට් ගලවලා, කලිසම ගලවලා, ඩෙස්ක් එකක් උඩ නග්ගලා, වහල අල්ලන් ඉන්න කියලා තිබ්බා. අපි යද්දිත් චරිත්ට ගොඩාක් වද දීලා තිබ්බා. ඊට පස්සේ අපි කට්ටියට කිව්වා එළියෙන් දණ ගහගෙන ඉන්න කියලා. ඊට පස්සේ චරිත්ගේ කලිසම ගලවලා යට කලිසමක් අන්දවන්න කිව්වා. ඊට පස්සේ යට කලිසම පිටින් මුළු ෆ්ලෝ එක දිගේ ම හාවෝ පැන්නුවා. තට්ටු තුනේ පඩිපෙළ නැග්ගුවා සැරින් සැරේට. කබඩ් එකට උස්සලා ගහනවා සැරින් සැරේට, විසික් කරනවා. ඒ විදිහට දරුණු විදිහට වද දුන්නා අපිට. ඊට පස්සේ කිව්වා හීටරේ ගහන් ඉන්න කියලා. හීටරේ කියන්නේ අමානුෂික ම වද හිංසාවක්. ඒ නවක වදය දීලා චරිත්ට දරුණු විදිහට පහර දුන්නා. උඩ බැච් එකේ ඉන්නවා මැදවච්චියේ, හොරණ වගේ ප්‍රදේශවලින් ආව ලොකු ඇඟවල් තියෙන, කිසි ම හිතක් පපුවක් නැති අයියලා ටිකක්. එයාලා තමයි අපිට ගොඩක් මේ විදිහට වද හිංසා දෙන්නේ. ඒ කට්ටිය අපිට පහර දෙනවා, බිත්තිවලට තියලා තද කරනවා. දණ ගහන්න කියනවා. දණහිසෙන් පනින්න කියනවා. ඒ වගේ දරුණු විදිහට නවක වදය දෙනවා ඒ කණ්ඩායම. අපේ රැවුල් එහෙම ඇදලා ගලවනවා.
චරිත්ගේ මරණයෙන් පස්සේ අපි මේ සම්බන්ධව පැමිණිල්ලක් ඉදිරිපත් කළා. අපිට කියන්නේ තියෙන්නේ විශ්වවිද්‍යාල පද්ධතියේ දිගින් දිගට ම සිද්ධ වෙන මේ නවක වදය දැන්වත් නතර වෙන්න ඕනේ. චරිත්ගේ මරණයට සාධාරණයක් වෙනකම්, අපි මේ වැඩේ නවත්තන්නෙත් නැහැ.”
පොලිසිය මොකද කියන්නේ?
චරිත් දිල්ශාන්ගේ මරණය නවක වදය නිසා සිදුවූ බවට සැක කරන බව සඳහන් කරමින් ඔහුගේ විශ්වවිද්‍යාල කණ්ඩායමේ සිසුවෙකු සමනල වැව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
කෙසේ වෙතත්, එවැනි නවක වද සිදුවීමක් සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නොමැති බව සබරගමුව විශ්වවිද්‍යාලය පිහිටි ප්‍රදේශය අයත් සමනළ වැව පොලිසිය බීබීසී සිංහල වෙත පැවසීය.
තම දරුවාගේ මරණය සම්බන්ධයෙන් චරිත් දිල්ශාන්ගේ දෙමව්පියන් ගම්පොළ, පුස්සැල්ලාව පොලිසියට ද පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග ප්‍රකාශ කළේ, නවක වදය ලබා දීම අපරාධමය වරදක් බැවින් යම් කෙනෙකු ඊට සම්බන්ධ වී තිබේ නම්, ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ය.
විශ්වවිද්‍යාලයේ සහ උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ප්‍රතිචාරය
සබරගමුව විශ්වවිද්‍යාලයේ පරිපාලන නිලධාරියෙකු සඳහන් කළේ, චරිත් දිල්ශාන් ඇතුළු ශිෂ්‍ය කණ්ඩායම සඳහා දේශන පැවැත් වූයේ ඔන්ලයින් හරහා බව ය.
එමෙන් ම ඔහු නේවාසිකාගාර සඳහා ලියාපදිංචි වූ ශිෂ්‍යයෙකු නොවන බව ද අදාළ නිලධාරියා සඳහන් කළේ ය.
“මෙයා දෙවැනි අවුරුද්දත් ඉවර වෙලා මැයි 12 තමයි ගන්න හිටියේ තුන් වෙනි අවුරුද්දට. අපි දන්නේ නැහැ ඇතුළේ යන කතන්දරේ මොකක් ද කියලා,” ඔහු වැඩිදුරටත් පැවසීය.
චරිත් දිල්ශාන් පසුගිය දා තාක්ෂණික පීඨයේ පැවති අවුරුදු උත්සවයට සහභාගී වූ බව ඔහු තහවුරු කළේ ය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ගෙන ඇති පියවර පිළිබඳව බීබීසී සිංහල අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්නගෙන් විමසීමක් කළේ ය.
එහිදී ඔහු සඳහන් කළේ, මේ වන විට විශ්වවිද්‍යාල පාලන මණ්ඩලය විසින් මෙම සිදුවීම ගැන සොයා බැලීමට පරීක්ෂණ කණ්ඩායමක් පත් කර ඇති බව ය.
ඊට අමතරව මරණය පිළිබඳව මනෝවිද්‍යාත්මක මරණ පරීක්ෂණයක් සිදු කරන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
“මොනයම් හෝ ආකාරයක ශාරීරීක හිංසනයක්, නවක වදයක් සිද්ධ වෙලා තියෙනවා නම්, නිසි පියවර නීත්‍යනුකූලව ගන්න අපි බලාපොරොත්තු වෙනවා,” යැයි ඔහු බීබීසී සිංහල වෙත ප්‍රකාශ කළේ ය.
මෙම සිදුවීමට සම්බන්ධ යැයි පවසමින්, පුද්ගලයින් ඉලක්ක කරගෙන සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කෙරෙන ප්‍රචාර දැනට ක්‍රියාත්මක පරීක්ෂණ සඳහා හානිකර බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
“අපි ගෙනියන ක්‍රියාවලිය හරි විදිහට වෙනවා. මේ සම්බන්ධයෙන් නිසි මැදිහත් වීමක් අපෙන් කෙරෙනවා. ඒ නිසා අපි සම්පූර්ණයෙන් වගකීම දරනවා,” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, මෙම සිදුවීම පිළිබඳව උසස් අධ්‍යාපන අමාත්‍යංශය කම්පනයට පත් වන බව ත් තම කණගාටුව පළ කරන බව ත් සඳහන් කරමිනි.
ඡායාරූප මූලාශ්‍රය,Department of Government Information | Facebook
ශිෂ්‍ය සංගම් මොක ද කියන්නේ?
චරිත් දිල්ශාන් මුහුණ දුන් බව කියන නවක වද සිදුවීම සම්බන්ධයෙන් බීබීසී සිංහල අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු මධුශාන් චන්ද්‍රජිත්ගෙන් විමසීමක් කළේ ය.
එහිදී ඔහු ප්‍රකාශ කළේ, මෙම සිදුවීම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන සඳහා තම “පූර්ණ සහයෝගය” ලබා දෙන බව ය.
“අපි නවක වදයට කිසි ලෙසකින් පක්ෂපාතී නැහැ. නවක වදය තුරන් කරන්න තමයි අපි කැමති. අපි ඒකට විශ්වවිද්‍යාල ඇතුළේ ශිෂ්‍යයන් එක්ක දිගට මේ මතවාදය අරගෙන යන එක කරගෙන යනවා. කොහොමත් විශ්වවිද්‍යාලවල කාලයත් එක්ක එන පසුගාමී දේවල් තියෙනවා. ඉතින් ඒවා තුරන් කරන්න අභ්‍යන්තරිකව විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් එක්ක මතවාදී තලයේ අරගලයක අපි නිරත වෙලා ඉන්නවා,” ඔහු වැඩිදුරටත් පැවසීය.
සබරගමුව විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති චාරුක පේරුසිංහ බීබීසී සිංහල වෙත ප්‍රකාශ කළේ, නවක වද සිදුවීමක් සිදුව ඇතිදැයි ශිෂ්‍යයින්ගේ පාර්ශවයෙන් විමර්ශනයක් කරන බව ය.
“එහෙම සිද්ධියක් වෙලා තියෙනවා නම් අපි ශිෂ්‍ය සංගම් විධියට ඒ විමර්ශන කරන්න සහයෝගය ලබා දෙනවා,” ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.
ඡායාරූප මූලාශ්‍රය,Inter University Students’ Federation | Facebook
නීතිය සහ දඬුවම්
1998 අංක 20 දරන අධ්‍යාපන ආයතනවල නවක වදය සහ වෙනත් ස්වරූපයේ සාහසික ක්‍රියා තහනම් කිරීමේ පනත, නවක වදයට එරෙහිව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන මූලික ම ප්‍රතිපාදනය වේ.
මෙම පනතේ දෙවන වගන්තිය අනුව, අධ්‍යාපන ආයතනයක් තුළදී හෝ ඉන් පිටතදී නවක වදය සිදු කරන හෝ නවක වදය සිදු කිරීම සඳහා සහභාගි වන අයෙකුට මෙම පනත ක්‍රියාත්මක කිරීමෙන් දඬුවම් ලබා දිය හැකි ය.
එවැනි අයෙකුට මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ පවත්වන නඩු විභාගයකින් අනතුරුව අවුරුදු දෙකක් නොඉක්මවන කාලයක් සඳහා බරපතළ වැඩ සහිතව බන්ධනාගාරගත කළ හැකි අතර, නවක වදයට ලක් වූ තැනැත්තාට සිදු වූ හානියේ ස්වභාවය සලකා බැලීමෙන් පසු වන්දි ගෙවීමට නියම කළ හැකි ය.
එහි තෙවන වගන්තියට අනුව, නවක වදය සිදු කරන අතරතුරදී අධ්‍යාපන ආයතනයේ ශිෂ්‍යයෙකුට හෝ කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකුට ලිංගික අඩන්තේට්ටම් හෝ බරපතළ තුවාල සිදු කළහොත්, එය සිදු කරන පුද්ගලයා වරදකරු වීමෙන් පසු ව අවුරුදු දහය නොඉක්මවන කාලයක් සඳහා සිර දඬුවම් ලබා දිය හැකි ය.
එසේ නොමැති නම්, අගතියට පත් පාර්ශවය සඳහා වන්දි ගෙවන ලෙස නියම කරනු ඇත.
ලිංගික අතවර, බරපතළ තුවාල සිදුකිරීම සහ මරණයට පත් කිරීම යන බරපතළ අපරාධවලට ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහය යටතේ දැඩි දඬුවම් නියම වනු ඇත.
මීට අමතරව, මානව හිමිකම් කඩවීම යටතේ ද නඩු පැවරීමේ හැකියාව තිබේ. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් සඳහා වන තුන් වන පරිච්ඡේදයේ 11 වන ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ, “කිසි ම තැනැත්තෙකු වධ හිංසාවලට හෝ කෲර, අමානුෂික හෝ අවමන් සහගත සැලකිල්ලකට නැතහොත් දඬුවමකට යටත් නොකළ යුත්තේය,” යනුවෙනි.
“වද හිංසා” යන්න අර්ථකථනය කිරීමේදී ශාරීරික හිංසා පමණක් නොව මානසික හිංසා ද ඇතුළත් වන බව ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය නඩු තීන්දු කිහිපයක සඳහන් වී ඇත.
පැමිණිලි කරන්නේ කොහොම ද?
පැය 24 පුරා පැමිණිලි කිරීමේ පහසුව:
1. දුරකතන – 0112-123700
2. අන්තර්ජාල පැමිණිලි පිටුව – www.ugc.ac.lk/rag
3. නවක වද සිදුවීම් පිළිබඳව දැනුම් දීමට එවකට UGC Emergency Safety App නමින් ජංගම දුරකතන යෙදුමක් ද හඳුන්වා දී තිබිණි.
ඊට අමතරව ශ්‍රී ලංකාවේ බලපැවැත්වෙන නීතිය සහ ආරක්ෂණ ක්‍රමවේද අනුව ඕනෑ ම අපරාධයක් හෝ නීතිය කඩකිරීමක් ගැන පොලිසියට පැමිණිලි කළ හැකි ය.
ඔබට සහයක් අවශ්‍ය ද?
මානසික සෞඛ්‍ය ගැටලුවක් සම්බන්ධයෙන් හදිසි ආධාර අවශ්‍ය නම් මහජනතාවට ජාතික මානසික සෞඛ්‍ය ආයතනයේ ක්ෂණික ඇමතුම් අංකය (1926) ඇමතීමට හැකි ය.
දිවි නසා ගැනීම් වැළක්වීමේ සහ ඉන් වැළකී සිටීමට උපදේශන සේවා ලබා දෙන ශ්‍රී ලංකාවේ ආයතන:
ශ්‍රී ලංකා සුමිත්‍රයෝ – දුරකතන අංකය: 011 2696666 හෝ +94 112 682 535
ධෛර්ය, දයානුකම්පාව, කැපවීම (CCC) පදනම – දුරකතන අංකය: 1333 හෝ +94 112 692 909