සබරගමු විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් සිය දිවි හානි කරගැනීම සහ ඊට හේතුව නවක වදය යැයි සඳහන් කිරීමත් නිසා ඇති වූ කතිකාව සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය නිවේදනයක් නිකුත් කොට තිබේ.
එහි මෙසේ කියැවේ:
1) පටු න්යාය පත්ර වලින් තොර වූ පූර්ණ අපක්ෂපාතී විමර්ෂණයක් පවත්වන ලෙසත් චෝදනා සත්ය නම් විත්තිකරුවන්ට දඬුවම් පමුණුවන ලෙසත් අප ඉල්ලා සිටින අතර ඒ සඳහා වූ පූර්ණ සහයෝගය ලබා දෙන බවත් ඔවුන් ප්රකාශ කිරීම.
2) නවකවදය වැනි සංස්කෘතික පසුගාමීකම් සමඟ ශිෂ්ය ව්යාපාරයට කිසිඳු සම්මුතියක් නැත.
3) ශිෂ්ය ව්යාපාරයේ පැවැත්මට ද බාධාවක් වන පසුගාමී සංස්කෘතික ශේෂයන් විශ්වවිද්යාලවලින් තුරන් විය යුතුය.
4) ඒ සඳහා ශිෂ්ය ව්යාපාරය ලෙස අපත් ඇතුළුව සමස්ත විශ්වවිද්යාල ප්රජාව තුළම බරපතල සංස්කෘතික සංවාදයක් ඇති කළ යුතුය.
5) පවතින පසුගාමී සංස්කෘතික ශේෂයන් විශ්වවිද්යාලවලින් තුරන් කිරීමට සියලු විශ්වවිද්යාල සිසු සිසුවියන් මැදිහත් විය යුතුය.
ඔවුනගේ නිවේදනයට මුහුණු පොතෙහි ‘හිනා මුහුණු’ දෙදාහකට වැඩි ප්රමාණයක් ලැබී තිබේ. එයින් පවසන්නේ බොහෝ පිරිසක් මේ අදහස පිළි නොගන්නා බවය.
නවක වදය නතර කිරීම සම්බන්ධව අප අකමැත්තෙන් හෝ අවබෝධ කර ගත යුතු කාරණය වන්නේ, අන්තරයට හෝ ආණ්ඩුවට ඇත්ත වශයෙන්ම නවක වදය නැවැත්වීම සිදු කළ නොහැකි බවයි.
එයට හේතුව වන්නේ විශ්ව විද්යාල සංස්කෘතිය තුළ ඇති එයටම ආවේණික වතාවත් සහ ලෝක දැක්මකි. හරියට බුදුන්ගේ සම්ප්රදායට පටහැනිව, ලංකාවේ බෞද්ධ සංඝ සංස්ථාවේ ඇති, කුල මල අනුව සාසනයට බඳවා ගැනීමේ නිකාය සම්ප්රදාය වැනිය. එය එක්තරා පිරිසක් විසින් තවත් පිරිසක් පිඩාවට පත් කරයි. එය නිර්මාණය වීමේ ආර්ථික සහ සමාජීය ප්රචණ්ඩ ඉතිහාසයක් තිබේ. (කියවන්න; කිත්සිරි මලල්ගොඩගේ, Buddhism in Sinhalese Society 1750-1900: A Study of Religious Revival and Change). එයට සමහර සංඝ නිකායන්, ඔබ -මම හෝ ආණ්ඩුව විරුද්ධ වුවා කියා වෙනස් කිරීම එතරම් පහසු නැත. එහෙත් අපිට කළ හැකි යමක් තිබේ, එනම් නිකාය සම්ප්රදාය විසින් බුදුන් විසින් වදාළ සමානාත්මතාවය සම්බන්ධ කතිකාවට සිදු කරන හානිය සම්බන්ධයෙන් කතිකාවක් ඇති කර ගැනීමය.
මේ අවබෝධය සඳහා, නවක වදය ක්රියාත්මක වන්නේ ඇයිදැයි සහ එහි ඇති ව්යුහාත්මක කෘරත්වය සම්බන්ධයෙන්, මුහුණු පොතෙහි මුදිත ජයසුරිය (Muditha Jayasuriya), සහ චුලානන්ද සමරනයාක (Chulananda Samaranayake) ඉදිරිපත් කොට ඇති අදහස් වැදගත් යැයි සිතමි. ඒවා අතර;
1) විශ්ව විද්යාලයක් තුළ පැවතිය යුතු සහ අප තුළ පුද්ගලයෙකු ලෙස පැවතිය යුතු සමානාත්මතාවයේ මුලධර්මය පිළිබඳ අදහස, අනෙකා මත බලය පැටවීම හෝ තමන්ගේ හැකියාව සහ දක්ෂතාවය මත සාර්ථක මිනිහෙක් වීමේ ධනවාදී තර්කනයට අදාළ ලෝක දැක්ම විසින් අතික්රමණය කර ඇති නිසා, රැග් එක විසින් අනෙකා මත හෙළන පහළ දැක්ම වෙනස් කරගැනීම ඉතා අපහසු වී තිබීම.
2) විශ්ව විද්යාල බහුතර සිසුන් පිරිසක්, තමන් රැග් එකට ලක්වීම, තවෙකෙක් ලක් කිරීම, විශ්ව විද්යාල සංස්කෘතිය යැයි අන්ධ භක්තියක සිටීම.
3) රැග් කිරීමට පෙළඹවීමේ ආශාව, පහළ පාන්තික, ග්රාමය ලක්ෂණයක් යැයි කරන විවේචනය පසෙකලා මුළු මහත් සමාජයක පසුගාමී පැවැත්මක ප්රතිපලයක් ලෙස මෙම ප්රචණ්ඩත්වයේ දිග පළල අවබෝධ කරගැනීම. එනම්, ජාත්යන්තර පාසලක පවා හිංසා කිරීම දරාගැනීමට නොහැකිව මිය යාමේ සංසිද්ධි වාර්තා වීම, ප්රධාන පෙළේ කොළඹ පාසල් අහවර වන විට එහි ශිෂ්ය ශිෂ්යාවන්ගේ හැසිරීම, බසයක යන විට අපි අත්විඳින පිඩාව, ෂෙඩ් එකක පෝලිමේ සිට තෙල් ටික ගසා ගැනීමේ නොහික්මුණු හදිසිය, දළඳා වන්දනයට ගිය විට පෝලිම් පැනීමත්, එම පැනීමට දැක් වූ ප්රතිචාරත්, රජයේ ආයතනයකට ගිය විට එම නිලධාරීන්ගේ මාන්නක්කාර හැසිරීමත් යනාදී ලෙස මෙම ප්රචණ්ඩත්වයේ දිග පළල සමාජයක මුල් බැස තිබීම.
අදාළ සිද්ධියට වග කිව යුතු යැයි කියනා සිසුන්ගේ පින්තුර ශෙයා කරමින්, ඔවුනගේ ලේ ඉල්ලීම.
මෙහිදී වැදගත් වෙන්නේ, සමස්තයක් ලෙස මෙම ප්රචණ්ඩකාරී මානසිකත්වය, අනෙකා වෙත තම බලය මුදා හැරීමේ මාධ්යක් ලෙස ලංකා සමාජය තුළ පන්ති පරතරයකින් තොරව දරා සිටින ලෝක දැක්මක ප්රතිපලයක් බවයි.
රැග් කිරීම විසින් දරා සිටින මෙම ව්යුහාත්මක ප්රචන්ඩත්වය අවබෝධය සඳහා තෙට් සම්බත් (Thet Sambath) විසින් අධ්යක්ෂණය කරන ලද Enemies of the People (ජනතා සතුරෝ) වාර්තා චිත්රපටය නිදසුන් කොට ගත හැකිය. එහි මුලික කතාව වන්නේ, කාම්බෝජයෙහි එවකට නායක පොල්පොට් විසින් තම රට වැසියන් කොමියුනිස්ට් ව්යාපෘතියට ගැට ගැසීමේ ක්රියාවින්තයේදී තම රටවැසියන් තුනෙන් දෙකකට ආසන්න ප්රමාණයක් ඝාතනය කිරීමේ ප්රචණ්ඩත්වයයි.
එහිදී සම්බත් විසින් ඉහත ව්යාපෘතියට සම්බන්ධ වූ ඉතාම පහළ පන්තියක ගම්වැසියෙකුගෙන් තමන්ට තම ගම්වැසියන් මරා දැමීමට අණ දුන්නේ කව්දැයි අසයි. ඔහු ගමට අණ දුන් පක්ෂ සහෝදරයා වෙත ඇඟිල්ල දිගු කරයි. සම්බත් පක්ෂ සහෝදරයා හමුවී ඔහුගෙන් එම ප්රශ්නයම අසයි. ඔහු පවසන්නේ සිස්ටර් සුසී නම් පක්ෂ කාඩර්වරිය බවයි. සම්බත් ඇය හමු වී ඇයට තම ගම්වැසියන් ඝාතනය සඳහා අණ දුන්නේ කව්දැයි අසයි. ඇය කැමරාව දෙස බලා කිසිවෙක් තමන්ට අණ නොදුන් බව පවසයි. සුසී සහෝදරිය පක්ෂ යාන්ත්රනය තුළ ඉහළ සාමාජිකාවක නොවේ!
මට මෙහිදී මතු කිරීමට අවශ්ය වන්නේ, ප්රචණ්ඩත්වය ආරම්භ වූ විට, එය ඊට අනන්ය වූ එහිම ආකෘතියක් තුළ, එය එනයින්ම ක්රියාත්මක වන බව පෙන්වා දීමය. ප්රචණ්ඩත්වය ක්රියාත්මක වීමේ තර්කය එය ක්රියාකාරිකයන් තම තත්වය නොසලකා සොයා ගනියි.!
එනම් අප දරා සිටින මෙම ප්රචණ්ඩත්වය සමාජය පුරාම පවතී, එය එයටම ආවේණික ස්වරූපවලින් ක්රියාත්මක වේ. ඒ නිසා අන්තරයට හෝ ආණ්ඩුවට මෙම ප්රචණ්ඩත්වය අවසන් කිරීමට නොහැකිය. මෙයින් ඔවුන් එම වගකීමෙන් බැහැර කරන්නේ නැත.
ඒ වෙනුවට අවශ්ය වන්නේ මෙම රැග් කිරීම ප්රචණ්ඩත්වය තේරුම් ගැනීමය. අවශ්ය වන්නේ මෙම ප්රචණ්ඩත්වය සම්බන්ධ ව්යුහාත්මක අර්බුදවලින්, අනෙකා මත තම බලය භාවිතා කරන්නට අවැසි යැයි සිතෙන, එම පරපීඩක,
ලෝක දැක්මෙන් රැඩිකල් ඛණ්ඩනයක් සහතික කරගැනීමය. තම ලොකුකම්, තම ආශාවන් පිළිබඳ ආත්ම ශික්ෂණයක් ඇති කරගැනීමය. එයට අවශ්ය ලෝක දැක්මක් සඳහා කතිකාව පෝෂණය කරගැනීමය.