Monday, April 28, 2025

ජාජබය අමාරුවේ දාන පත්තරේ විස්තරේ ඇත්තද ? – ලොකු කුමා

ඡායාරූපය අන්තර් ජාලයෙනි.

නඩුකාරයා,මාළු කාරයා,වැඩ කාරයා,ආමි කාරයා,පොලිස් කාරයා අතරේ පත්තර කාරයාද සිටී.මේ පත්තරකාරයන් අතර වැඩියෙන් ඉන්නේ කියවන විට ලිවීම ලියන කාරල්ලන්ය. කිසි දිනක අප් ඩේට් නොවන ඔළු සහිත මේ උන්දැලා වැඩියෙන් සිටින්නේ ප්‍රාදේශීය මට්ටමිනි.

ජනමාධ්‍ය හැඳුනුම්පත එල්ලගෙන කෙරුම්කාරයන්  මෙන් සමාජය තුළ හැසිරෙන මෙවැන්නන් වාර්තාකරණයට වඩා කරන්නේ දේශපාලන කක්කුස්සි සේදීමය. ඒ වාර්තාකරණය තුළ ඇත්තේ තමන් සේවය කරන මාධ්‍ය බංකරයේ ඕනෑ එපාකම් මිස සැබෑ වූ සත්‍යය නොවේ.⁣ එසේම ප්‍රවෘත්තියක් නැතුව අහේනියක් ඇති වූ විට අතේ පැලවෙන බොරුවක් නිර්මාණය කිරීමට තරම් මේ උන්දැලා දක්ෂයන්ය.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අපේ මුහුදු තීරයේ ගිණි බත් වීමෙන් පසු මෙරට මුහුදේ කැස්බෑවුන් මිය යන බවට මාධ්‍ය දිගින් දිගටම වාර්තා කරන ලදී. ගාල්ල දිස්ත්‍රික්කයේ වාර්තා කරණයේ නිරත එක්තරා නාලිකාවක ප්‍රාදේශීය වාර්තාකරුවෙකු  ඒ දින වල වෙරළ⁣ට ගොඩ ගැසූ  කැස්බෑවකු පිළිබඳව දින ගණනාවක් සිය නාලිකාවට ප්‍රවෘත්ති සපයන ලද්දේ “අද එකෙක් ,අදත් එකෙක්, මෙන්න තවත් එකෙක්” වෙරළට ගොඩ ගසා තිබේ යන්න සඳහන් කරමිනි.එකම කැස්බෑවා පිළිබඳව ඇත්ත සඟවා වාර්තා කරමින්  සිය මාධ්‍ය ආයතනයෙන් ගානක් කපා ගන්නට මේ වාර්තාකාරයා සමත් විය.

ගෝඨාභය රාජපක්ෂ ජනපතිවරයා බලයේ සිටින අවදියේ විදුලිය කැපීම සම්බන්දයෙන් සිය ප්‍රදේශයේ මහජන විරෝධතා සංවිධානය කරන ලද්දේද එම ප්‍රාදේශීය වාර්තාකාරයාමය. එහිදී එම සංවිධාන කටයුතු සදහා ඔහුට සහයෝගය දුන්නේ පැවැති ආණ්ඩුවට එරෙහි ප්‍රාදේශීය දේශපාලඥයෙක් හා ජාතික බුද්ධි සේවා නිළධාරීන් කිහිප දෙනෙකි. එම විරෝධතා වාර්තා කිරීමෙන් වාර්තාකරුගේ කල්ල මරේ වූ අතර ප්‍රාදේශීය දේශපාලඥයාට සමාජ වටිනාකමක් එක් කෙරිණි.ජාතික බුද්ධි සේවා⁣වට අඛන්ඩව බුද්ධි තොරතුරු ලබා දෙන බුද්ධි නිළධාරීන් කිහිප දෙනෙක් සිය සේවා ගොනුවට සේවයේ කැපවීම ගැන ඇගයීම් ලකුණු ලබා ගත්තේය.

එක්තරා ප්‍රාදේශීය දේශපාලඥයකු මාධ්‍ය සාකච්ඡාවක් සඳහා සිය බල ප්‍රදේශයේ මාධ්‍ය ආයතන වලට සම්බන්ධ මාධ්‍ය කාරයන් කැඳවන ලෙසට සිය පෞද්ගලික ලේකම් වරයාට නියම කෙරුවේය.මාධ්‍ය සාකච්ඡාව දිනයේ ප්‍රාදේශීය දේශපාලඥයා පැමිණෙවිට මේසය මත විවිධ මාධ්‍ය ආයතනවල ශ්‍රව්‍ය උපකරණ රඳවා තිබුනත් එහි සිටියේ එකම එක මාධ්‍යකාරයෙකි. දේශපාලඥයාට මෙය විසඳා ගත නොහැකි උභතෝකෝටියක් වූ නිසාම ඔහු එහි සිටි වාර්තා කාරයා නියෝජනය කරන්නේ කවර මාධ්‍ය ආයතනයදැයි විමසීය.

මම අහවල් මාධ්‍ය ආයතනයේ රිපෝටර් එම වාර්තාකාරයා පැවසීය.

ඉන් අනතුරුව දේශපාලඥයා සිය මේසයේ රඳවා තිබුණ මාධ්‍ය ආයතන මුද්‍රාව දැක්වෙන ශ්‍රව්‍ය නිවේදන උපකරණ එකින් එක පෙන්වමින් එම ආයතන නියෝජනය කරන්නේ කවුරුන්දැයි විමසන්නට පටන් ගත්තේය.

ඒ ප්‍රශ්ණ වලට එහි සිටි වාර්තා කාරයා පිළිතුරු දුන්නේ ඒ ඒ ආයතන නියෝජනය කරන්නේත් තමන් බව සඳහන් කරමිනි.

ප්‍රාදේශීය වාර්තාකාරයන් සිය බල ඒකාධිකාරය පවත්වාගෙන යන්නේ ඔන්න ඔහොමය. විශේෂයෙන් මුද්‍රිත මාධ්‍ය වලට වඩා ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යයන්හි ප්‍රාදේශීය වාර්තාකාර පදනම රඳවා ගෙන ඇත්තේ එක පුද්ගලයකු කේන්ද්‍රීය කර ගනිමිනි. එහි යම් වෙනසක් පවතී නම් ඒ රාජ්‍යයට සම්බන්ධ ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍ය ආයතනවල පමණි.එම ආයතන වල වාර්තාකරණය පිළිබඳව කොන්දේසි පනවා තිබීම එයට හේතුවයි.

මේ වන විටත් පවතින ආණ්ඩුවට එරෙහිව යටි බිම් ගත මාධ්‍ය ආක්‍රමණයක් සිදු වෙමින් තිබේ.වැඩේ සිද්ධ වෙන්නේ ඇඟට පතට නොදැනෙන ගාණටය. ආණ්ඩුව ගැන සමාජය තුළ දුස් තොරතුරු වැපිරීම ඒ කුමන්ත්‍රණයේ පදනමයි.

මෙහිදී වැදගත් කාරනයක් සදහන් කළ යුතුය. විකෘති ප්‍රවෘත්ති සමාජගත කරමින් ආණ්ඩුව අප්‍රසාදයට පත් කිරීමේ අපේක්ෂා වෙන් මුදා හැර ඇති මාධ්‍ය මෙහෙයුම වඩාත් ශක්තිමත් වී ඇත්තේ ජාජබ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ නොසැලකිල්ල හා කට වාචාල කමයි.

මහ පොළොවේ දේශපාලනයේ නිරත වූ ජවිපෙ පූර්ණකාලිකයන් ඇමතිකමේ ටයි කෝට් ඇඳ ගත් විට පිටියේ සෙල්ලම් කරන්නට හදන්නේ දේශපාලන⁣යේ හතර මායිම් නොදන්නා ගානටය.ආණ්ඩුවේ ඇතැම් කෙරුම්කාරයන් කට ඇරියොත් වැඩේ අවුල් වෙන බවට සමාජය සිතන තරමේ මායිකමකට ලංවෙමින් සිටින්නේ ඒ නිසාය. කට වාචාල කම දේශපාලනය නොවේ. දැන් ආණ්ඩුව සෙල්ලම් කළ යුත්තේ ගණන් හිලව් සමගය. එකතු කිරීම වැඩි කිරීම හා බෙදීම හරියට කරන්නට ආණ්ඩුවට බැරි ⁣වුනොත් අපහාසයෙන් හිනා වෙන්නට විපක්ෂය සූදානමින් සිටී. ප්‍රින්සිපල් අනුර සහෝදරයා වැඩේ ගොඩ දාන කම් බලාගෙන සිටිය හොත් ආණ්ඩුවට ඉදිරි ගමනක් නැත.

ප්‍රාදේශීය සභා ජාජබය දිනුවාට ආණ්ඩුවට ඔළුව නිදහසේ තියා ගෙන වැඩ කරන්නට පොහොට්ටු ටෙලිෆෝන් අලියන් ඉඩ නොදෙනු ඇත.ඒ එවුන්ගේ ජානගත පුරුද්දය.

ජාජබයේ මැති ඇමතිවරුන්ගේ අල්පේශාක්‍ය හැසිරීම තවමත් සමාජය ග්‍රහණය කරගෙන නැත.අමාත්‍යංශවල වියදම් අඩු වී තිබීම ගැන සමාජයට තවමත් අවබෝධ වී නැත.ඒ පිළිබඳව සමාජයෙන් ඇගයීමක්ද නැත. ඒ අඩු පාඩුව සිද්ධ වී ඇත්තේ මක් නිසාද යන්න ගැන ආණ්ඩුවේ අවධානය යොමු විය යුතුය. දළදා ප්‍රදර්ශනයේදී ආණ්ඩුවේ බොහෝ මැති ඇමතිවරුන් ඒ පිළිබඳව බර තබා කටයුතු නොකරන ලදැයි චෝදනාවක් පවතී.මේ චෝදනා තඹ දොයිතුවකට ගණන් නොගෙන සිටීම ජාජබ දේශපාලන ඇඟ පතට හොඳ නැත.

කෝකටත් තෛලය මෙන් අනුර සහෝදරයා යොදා ගනිමින් තම තමන්ගේ දුරුවල කෙරුවාවන් වසන් කරගන්නට යාම නම් හොඳ වැඩක් නොවේ.

ගමේ ඉලව් ගෙදරකට ගොඩ නොවදින  මඟුලක තුළාවක ආරාධනා නොපිළිගන්නා ගමේ පැඟිරන්ගේ බයිලා සාජ්ජයක පොල් තෙල් පහන දැල්වීමට නොපැමිණෙන දේශපාලඥයකු ගැන සිතන්නට තරමේ මෙරට ගැමියන් ගේ ඔළු තවමත් හැදී නැත. එය එසේ වන්නේ නම් ඒ සම්ප්‍රදායික දේශපාලන භාවිතය ගැනද ජාජබයේ ටයි කෝට් නිලමක්කාරයන් සිතිය යුතුය. ජාජබ ආණ්ඩුව කොපමණ හොඳ කළත් සමාජයට දැනී නැත්තේ මෙවැනි අඩු පාඩු කම් නිසාය. ගමේ පන්සලේ දායක සභාවද වැඩිහිටි පැන්ෂන් කාරයන්ගේ සමූහයද මරණාධාර සංගමයද අත් හළ යුතු නැත.

න්‍යාය හා තර්ක හැම තැනකටම වලංගු නොවේ.මෙරට සංස්කෘතිය ඇත්තේ දේශපාලනයට වඩා ගව් ගානක් ඈතිනි.⁣ජනතාව දේශපාලනයට වඩා සංස්කෘතියට ඇළුම් කරන්නන් වේ.ජාජබ ආණ්ඩුව මේ බව තේරුම් ගැනීම වටී.

මේ ලියුම්කරු ජාජබයේ මන්ත්‍රීවරියක හමුවීමට ගොස් පෞද්ගලික කාරණයක් සම්බන්ධයෙන් ප්‍රශ්ණයක් ඉදිරිපත් කළ විට ඇය මට පෙරලා පිළිතුරු දුන්නේ “තමුන්ගේ කටේ සද්දේ වැඩි” යැයි කියාය. මම තක්බීරි වීමි. මේ මන්ත්‍රීවරිය උසාවි නොගිය ළපටි නීතිඥ ගෑනු දැරිවියකි. මම එම ස්ථානයෙන් එළියට බසින විට මට ඇසුනේ “පොලීසියට කෝල් කරා නම් හරි”යැයි ඒ ළපටි මන්ත්‍රීවරිය පවසන හඬය. මාගේ උපන්ගෙයි කටේ සද්දයට එදින මා හට  පොලීසියේ ලගින්නට සිද්ධ වූයේ නම් කළු පැල්ලම් ගෑවෙන්නේ මගේ නොවේ. මේ මන්ත්‍රීවරියට මුහුදු කරයේ සංස්කෘතිය ගැන කිසිදු අදහසක් නැති බව මට වැටහිනි. මුහුදුකරයේ ජනතාව ගේ උස් හඬින් සිදු කෙරෙන සංනිවේදනය ජාන ගත පුරුද්දකි. ඒ මුහුදේ හඬට වඩා හඬ නගා බස් හුවමාරුවට එම ජනතාව හුරු වී ඇති නිසා යැයි පැවසේ. මේ ළපටි මන්ත්‍රීවරිය හමුවී නිවසට පැමිණෙන ලියුම්කරුට කල්පනා වූයේ හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මැය හමුවීමට ගියා නම් නවතින්නට ⁣වෙන්නේ වැලිකඩ බවය. ඒ ඔහුගේ බස් උච්චාරණයේ උස් ගොරෝසු ස්වරය ඇයට ඉවසුම් නොදෙන්නක් විය හැකි යැයි සිතෙන නිසාය.

ජාජබයේ මහජන නියෝජිතයන් තමන් නියෝජනය කරන ප්‍රදේශයේ සංස්කෘතිය ,හැදියාවන් සම්ප්‍රදායන් හා චාරිත්‍ර වාරිත්‍ර පවා අධ්‍යයනය කළ යුතුමය.සිත නොරිදන මහජන සම්බන්ධීකරණයක් ගොඩ නගා ගත හැක්කේ එවිටය.

කෙසේ වෙතත් මාධ්‍ය කාරයන් ගැන ලියන්නට ගොස් වෙන වෙන කතන්දර ලියවුනේ නොලියා බැරි නිසාමය.

ප්‍රාදේශීය මාධ්‍යකාරයන් ජාජබයට මඩ ගහන්න⁣ට සිදු කළ වාර්තාකරණයක් පිළිබඳව ලියන්නනට ගොස් මේ ලිපියට එකතු කළ ආරිච්චි බෝරිච්චි කෑලි වලද ගත යුතු යමක් නැත්තේ නොවේ.

මෑතකදී ටිල්වින් සහෝදරයා රැස්වීමකදී පැවසුවේ බල්ලන් බිරුවාට තවලම ඉදිරියට ඇදෙන බවය. මේ කයිවාරුව ඇහැව්වාම ඒ සමහර විට මාධ්‍යයට රිදෙන්නට පැවසූ ප්‍රකාශයක් වෙන්ටද බැරි නැත. එහෙත් සද් භාවයෙන් සිදු කෙරෙන විවේචන අහක දැමීම නොතරම් බව අපි අවධාරණය කරමු.ගහන්නේ හදාගන්නට මිස අනාථ කරන්න⁣ය නොවේ යන්න ජාජබයේ ඇත්තන් තේරුම් ගත යුතුය.

පසුගිය මැතිවරණ කාලයේදී මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ගණනාවක වාර්තා කරන ලද ප්‍රවෘත්තියක් විය. ඒ මාලිමාවට ඡන්දය දීමට නොහැකි යැයි පැවසූ විට තමාට හෙල්මට් පහරක් ගැසුවේ යැයි යම් පුද්ගලයෙකු ගේ අදහස් දැක්වීමය. මේ වන විට එම පුද්ගලයාට තුවාල වන ආකාරය⁣ට හෙල්මට් පහර ගැසූ තැනැත්තා සමගි ජන බලවේගයෙන් බෙන්තොට ප්‍රාදේශීය සභාවට තරග කරන බවට පොස්ටර් අලවා තිබේ.

මින් ඇඟවෙන අරුත ජාජබය වටහා ගෙන තිබිය යුතුය. එපමනක්ද නොවේ. විපක්ෂයේ  මෙවැනි තක්කඩි වැඩ අනාවරණය කිරීමටද ජාජබයේ ඇත්තන්⁣ මැදිහත් විය යුතුය. එවැනි ජරා බායි වැඩ ගැන ප්‍රසිද්ධියේ විපක්ෂය ප්‍රශ්ණ කළ යුතුය.

මෙරට මාධ්‍ය වාර්තාකරණය ගැන අදහසක් ගත හැකි නිකමට තළු මරන  ප්‍රවාදයකින් මේ ලිපිය අවසන් කරමි.

කතාවේ සිද්ධියට මුල ඇමරිකාවේය.

නිව්යෝක් නුවර මාවතක සිටි දඩාවතේ යන බල්ලෙක් කුඩා දැරියක සපා කන්නට ගත් විට ඒ බල්ලා මරා යම් පුද්ගලයකු දැරිය බේරා ගත්තේය. මේ  සිදුවීම දුටු පොලිස් නිලධාරියකු ඒ මිනිසා අසලට පැමිණ⁣ මෙසේ පැවසීය.

“තමුන් නියම වීරයෙක්. හෙට උදේ පත්තරවල තියේවි නිර්භීත නිව්යෝක් වැසියෙකු පුංච් දැරියක ගේ ජීවිතය බේරා දෙයි කියලා.”

“මම නිව්යෝක් වැසියෙක් නොවෙයි” ඒ පුද්ගලයා පිළිතුරු දුන්නේය.

“එහෙනම් හෙට උදේ පත්තරවල තියේවි නිර්භීත ඇමරිකානුවකු දැරියකගේ ජීවිතය බේරා ගනී” කියලා නැවතත්⁣ පොලිස් නිළධාරීයා පැවසීය.

“නමුත් මම ඇමරිකානුවෙක් නොවෙයිනේ” ඒ පුද්ගලයාගේ පිළිතුර විය.

“එහෙනම් තමුන් කවුද?”

“මම පාකිස්තානු ජාතිකයෙක්”

පසුදින පුවත්පත්වල ශීර්ෂයේ මෙසේ සඳහන් වී තිබූණි.

“ත්‍රස්තවාදියෙක් අහිංසක ඇමරිකානු බල්ලෙක් මරා දමයි”

අපේ රටේ පත්තර වල හා නාලිකා වල ප්‍රවෘත්ති පල කිරීම ඔයිට වඩා වෙනසක් නම් නැත.

ලොකු කුමා විසිනි.

Archive

Latest news

Related news