මාධ්‍යවේදී කසුන් පුස්සවැල්ල මෙරට පුරවැසියන්ගේ මානව හිමිකම් ආරක්ෂා කර ගැනීම සදහා කොන්දේසි විරහිතව පෙනී සිටින මාධ්‍යවේදියෙකි.හිටපු ජනපති නන්දසේන ගෝඨාභය මෙරට ආරකෂක ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටියදී වැලිකඩ බන්ධනාගාරය තුළ රාජ්‍ය මිල්ටෙරි යාන්ත්‍රණය විසින් සිදු කරන ලද මනුෂ්‍ය ඝාතනයේ මෙලේච්ඡත්වය පිළිබඳව සමාජයට අනාවරණය කළ මාධ්‍යවේදීන් අතර කසුන් පුස්සවැල්ල ඉදිරියෙන්ම සිටියේය.
එහිදී ඔහු ඒ සිදුවීම වාර්තාකරණයෙන් නොනැවතී එහි මෙලේච්ඡත්වය අන්තර්ගතය කරමින් “වැලිකඩ” නම් ග්‍රන්ථයක්ද සමාජගත කෙරුවේය.
කසුන් පුස්සවැල්ල අප්‍රේල් 22 වන දින ගාල්ල අධිකරණ කටයුත්තක් සදහා එහි ගිය අවස්ථාවේ පොලීසිය විසින් ඔහු වෙත සිදු කරන ලද බලහත්කාරී හා අනීතික ක්‍රියාවක් පිළිබඳව ඔහුගේ මුහුණු පොතේ සඳහන් කර තිබේ.
“කණ්නාඩි කූට්ටමට තගරි දමා ගාල්ල අධිකරණයේ ගෞරවය රකින්න හදන පොලීසිය”
යන සිරස්තලය යටතේ ඔහු කළ සටහන මෙසේය
සාමාන්‍යයෙන් මා නිතරම පාහේ සුප්‍රිම් උසාවියටද ඉන් පහල සියලුම අධිකරණයන් වෙතද යන්නෙකි.ඒ සෑම අවස්ථාවකම අධිකරණයට උචිත ඇඳුමක් ඇඳීම අතිශය සාමාන්‍ය කාරණාවකි. මා විසින් සුප්‍රිම් උසාවියේ ගොනු කළ නඩු කටයුතු වලදී බොහෝ විට යුරෝපීය ඇඳුම අඳින අතර අනෙක් බොහෝ විට යුරෝපීය ඇඳුම අඳින අතර අනෙක් බොහෝ විට සුදු කමීසය කළු කලිසම හා කළු සපත්තුද අඳී. ඒ හැරුණ කොට ආභරණ කෙහෙත්ම නොපළඳින මා නිසැකවම අත් ඔර්ලෝසුවත් ඇස් කණ්නාඩිය පැළඳීම අනීවාර්ය චර්යාවකි.
ඇඳුම පිළිබඳ සැලකීමක් දැක්විය යුතු අධිකරණ භූමිය සම්බන්ධ කාරණා හැරණ විට ආරක්ෂාව සම්ප්‍රදායන් හා දැඩි අධීක්ෂණයන් සහිත ආයතන කිහිපයක් රටේ තව ඇත. විධායකය හෙවත් ජනපති, ව්‍යවස්ථාදායකය හෙවත් පාර්ලිමේන්තුව වැනි ස්ථාන වෙතද එක්තරා විදියකට පිළිවෙලකට යාම මගේ සිරිතය. එහිිිදී ද පෑන ඇස් කණ්නාඩිය ඇඳුමේම කොටසක් වීම මගේ සාමාන්‍ය පිළිවෙළය. මේ පිළිවෙල මාගේ අතිශය සාමාන්‍ය ඇඳුමක් ඇඳීම හා පැළඳීම වූයේ එදා සිටමය. ඒ හැරුණ විට වෙනත් කිසිදු සිවිල් ආරූඪයක් හෝ වෘත්තීය ආරූඪයක් මට නොවීය.මෙතෙක් සදහන් කළ යම්තාක් දුරකට ඇඳුම් ඇඳීමේ පිළිවෙළක් ඇති තැන් කිසිවක ඇස් කණ්නාඩිය ආරක්ෂක හේතූන් මත ප්‍රශ්ණ කිරීමකට ලක් නොවුනි. එය ඒ තරමට සාමාන්‍ය ආකාරයෙන් ඇස් දෙකේ හෝ කළු පැහැති කුඩා පටියකින් මගේ බෙල්ලේ එල්ලගෙන තිබුණි.එය කිසිදු අධිකරණයකට හෝ විධායක ජනාධිපතිලාගේ හෝ පාර්ලිමේන්තුවට හෝ ගැටලුවක් නොවීය.
අද උදෑසන ගාල්ල කොටුව අතිරේක මහේස්ත්‍රාත් උසාවියට ගියේ ඇප කරුවකු ලෙස ලැබී තිබුණ දැන්වීමකට අනුවය.
එහිදී ඇස් කණ්නාඩිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් හැසිරුණ ආකාරය සහ අධිකරණ ශාලාවට ඇතුළුවීමට කළ බාධා කිරීම සම්බන්ධව කොටුව උසාවියේ රෙජිස්ට්‍රාර්වරියට කළ වාචික දැනුම් දීම මත ලිඛිත පැමිණිල්ලක් මෙසේ කරන ලදී.
අක්ෂි වෛද්‍ය නිර්දේශය මත භාවිතා කරන ඇස් කණ්නාඩියක් ඇඳුමේ අංඟයක් ලෙස තිබීම ගාල්ල කොටුව මහේස්ත්‍රාත් උසාවියේ දොරටු ආරක්ෂක පොලිස් නිළධාරීන්ට අශෝබනයක් හෝ අධිකරණයට අගෞරවයක් වූයේ කෙසේදැයි නොදනී. කෙසේ වෙතත් දීර්ඝ සටහන් අවශ්‍ය නැත. අධිකරණ රෙජිස්ට්‍රාර්වරියගේ ඉල්ලීම පරිදි කරන ලද ලිඛිත පැමිණිල්ල පහත පල කරමි.
කසුන් පුස්සවැල්ල, 2025 අප්‍රේල් 22 දින”
(උපුටනය අවසන් )
ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ දොරටු ආරක්ෂක රාජකාරි කරන පොලිස් නිලධාරීන් හට කසුන් පුස්සවැල්ලගේ ගෙල එල්ලා ගෙන තිබූ කණ්නාඩි දෙක එහි ආරක්ෂාවට බරපතල තර්ජනයක් ලෙස කල්පනා කළ බව සිතන්නටද නොහැකිය. ඒ මන්ද යත් එම පොලිස් නිළධාරීන් කසුන් පුස්සවැල්ලගේ ඇස් කණ්නාඩි දෙක ගලවා තබා යන ලෙසට නියෝග කර නැති බැවිනි. සැබැවින්ම එහිදී පොලිස් නිලධාරීන් සිය පොලිස් බලය ඔහුට පෙන්නා ඇති බව පැහැදිලිය.
කසුන් පුස්සවැල්ල “අනේ සර් අනේ සර්” කිව්වා නම් මෙවැනි ප්‍රශ්ණයක් මතු වෙන්නේද නැත. අධිකරණ තුළ රාජකාරි කරන ඇතැම් පොලිස් නිලධාරීන් ඉන්නේ මෙරට අග විනිසුරු ගේ ඇවැස්ස මස්සිනලා විදියටය. අධිකරණ කටයුතු සදහා යන එන පුරවැසියන්ට ඔවුන් සළකන්නේ අත පල්ලෙන් වැටුන ගානටය.
මේ බලහත්කාරය මෙරට සෑම අධිකරණයකම සිදුවන දෙයකි.
අධිකරණය කෙරෙහි පවතින ගරුත්වය නිසාම පුරවැසියන් පොලිස් කාරයන් වෙතින් සිදුවන මෙවැනි බලහත්කාර මැදිහත් වීම් ඉවසා සිටී.

“කවට කතිකයා” පත්තරයේ කර්තෘ පෑලිස් අප්පුහාමි ට වූ දේ
මෙරට බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් වූ අවදියේ පල කරන ලද කවට කතිකයා පත්තරයේ කර්තෘ පෑලිස් අප්පුහාමි අධිකරණය තුළ සිදු කරන ලද කෙරුවාවක් මෙහිදී සිහිපත් වේ. පෑලිස් අප්පුහාමි අධිකරණයට කැඳවා ඇත්තේ ඔහුගේ කවට කතිකයා පත්තරයේ එවකට මෙරට පාලනය කළ බ්‍රිතාන්‍ය රජ පවුලට අපහාස කරමින් ප්‍රවෘත්තියක් පල කරන ලද වරදටය. එම ප්‍රවෘත්තියේ ශීර්ෂය වී ඇත්තේ “ඉංග්‍රීසි රජ පවුල අමුඩයට ගිහින්” යන්නය.
එදා පෑලිස් අප්පුහාමි උසාවියේ පෙනී සිටියේ තනිවමය. එහිදී අප්පුහාමි නිර්දෝෂ බව පෙන්වීම සදහා විනිසුරු ඉදිරියේ කරුණු ඉදිරිපත් කිරීම අරඹමින් තමා හැඳ සිටි කබායද කමීසයද ගලවා විත්තිකූඩුවේ එල්ලුවේය. ඉනේ බැඳි හවඩියද උඩින් ඇඳ තිබූ ටුවිඩ් රෙද්දද ගලවා පසෙක දැමීය. අන්තිමට අප්පුහාමි පෙනී සිට තනිකර අමුඩය පිටිනි. තමාගේ නිදහස ඔප්පු කිරීම සදහා අමුඩයත් ගැලවීමට අවශ්‍ය යැයි අප්පුහාමි පවසද්දී විනිසුරුවරයා එය වැලැක්වීය.
ඉන් අනතුරුව පෑලිස් අප්පුහාමි විත්ති කූඩුවේ සිට නිදහසට කරුණු දැක්වීය.
“ස්වාමීනි මා ලෑස්ති වුනේ මගේ නිදහසට කරුණු පෙන්වා දෙන්නටය. එහෙත් එයට මට ඉඩ නොලැබෙන බව පෙනෙනවා.”
මෙන්න එහෙනම් අමුඩයේ රජ පවුල කියා අමුඩ පට ඔසවා විනිසුරු තුමාට පෙන්වා තිබේ. එකල ඉංග්‍රීසි රජ පවුලේ පින්තූරය මුද්‍රණය කරන ලද අමුඩ ලේන්සු වෙළඳ පොලේ තිබී ඇත. කෙසේ වෙතත් අවසානයේදී විනිසුරුවරයා මේ පිස්සා උසාවියෙන් එළවා දමනු යැයි නියෝග කර ඇති බව පැවසේ.
වර්තමාන මාධ්‍ය ඇගයීම අනුව කවට කතිකයා කර්තෘ පෑලිස් අප්පුහාමි ඡ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකි. ඔහු අධිකරණයේ විත්තිකාරයකු වූයේ මෙරට බ්‍රිතාන්‍යයන්ට යටත් පාලනයක් වූ අවදියේය. සිය නිර්දෝෂී බව සඳහා තමන්ම අධිකරණයේ පෙනී සිට කරුණු දැක්වූ පෑලිස් අප්පුහාමි දඬුවම් ලැබුවේද නැත. ඉන් හැගෙන්නේ ඒ දිනවල අධිකරණය තුළ වර්තමානයට වඩා නිදහස තිබුණ බවය.පෑලිස් අප්පුහාමි අද දවසේ අධිකරණය තුළ එවැන්නක් කෙරුවේ නම් නවතින්නට වෙන්නේ වැලිකඩය. ඒ අධිකරණයේ ආරක්ෂාවට යොදවා සිටින පොලිස් කාරයන් ගෙන් අත පය සම්භාහනය කර ගනිමිනි. ගාල්ලේදී කසුන් පුස්සවැල්ලට තග දැමූ පොලිස් කාරයන්ට වඩා බ්‍රිතාන්‍ය යුගයේ සිටි පොලිස් කාරයන්ට වෙන මොනවා නැතත් මොළයක් තිබූ බව නම් පැහැදිලිය.ඒ පොලිස්කාරයන් විනිසුරුවරයාටත් වඩා ඉහළින් මහන්තත්ත කම් පෙන්වන්නට ගොස් නැති බව පෑලිස් අප්පුහාමිට හිමි වූ නිදහසෙන්ම තහවුරු වේ.
