අප දැන් අවතීර්ණව සිටිනුයේ තාක්ෂණය අපගේ ජීවිත අත්පත් කරගනිමින් සිටිනා වර්තමානයකය. එය කුනු වැල ගෙඩියක් මෙන් අප හිස මත පතතිව හමාරය. අපි එහි කුනු ඉස්මෙන් සරුවාංගයම තෙමා ගනිමින් සිටිමු. කොහොල්ලෑ වලින් ඇලවෙමින් සිටිමු.
ඒ අතරම එයින් විනෝදයක්ද ලබමින් සිටිමු. අපට වදින විට කෝප ගනිමින් අනෙකාට වදින විට ආතල් ගනිමින් සිටිමු. එහෙත් අප අමතක කරන කරුණක් තිබේ. ඒ දැන් අප සිල්ලන්ම සිටිනුයේ අමු හෙලුවෙන් බවයි.
පසුගිය දින කිහිපය පුරා සමාජ මාධ්‍යයන්හී මෙකී තාක්ෂණ වැල ගෙඩියට වැඩියෙන්ම යටව සිටිනු දක්නට ලැබුනේ මාලිමා දේශපාලකයන්ය. නිරතුරුවම ඔවුන්ගේ ප්‍රකාශ හාස්‍ය ඉස්මතු වෙන ආකාරයට සංසරණය වෙන ආකාරයක්ද දක්නට ලැබිණි.
විශේෂයෙන්ම එහි ඇතැම් අය විවිධ වේදිකාවන්හී කතා කළ දේවල කොටස් යලි මතුපිටට ඇදෙනුයේ අතිශය තියුණු හාස්‍යයන් මවමිනි. මේ බොහෝ කතා කැබලි වල ඇත්තේ කථිකයා අමු මරි මෝඩයෙකු බව පෙනී යන කියුම් ය.
එහෙත් සැබෑව වන්නේ මේ තෝරා යළි මතුපිටට ගන්නා කතන්දර කැබලි යනු සියුම් ලෙස සංස්කරණයට ලක් කරන ලද කොටස් බවයි. කිසියම් හරයක් සහිතව කරන ලද ප්‍රකාශයන් පවා මේ සංස්කරණයන්ගේ මහිමයෙන් අමු ගොන් කතා සේ ජනතාවට ඉදිරිපත් කරන්නට හැකියාව දැන් ලැබී තිබේ.
පසුගිය මැතිවරණ සමයන්හී මාලිමාවේ මාධ්‍ය බලකායන් සිය පක්ෂයට අවශ්‍ය ප්‍රසිද්ධිය සහ ප්‍රචාරය ලබාදීම පිණිස බෙහෙවින් සක්‍රීයව සිටිනු දක්නට ලැබිණි. මීට පෙර මෙය අති සාර්ථකව ගෙන ගියේ ගෝඨාභය විසින් සිය මැතිවරණ සටනෙහිදීය. එහිදී ඔහුට තරුණයන් විශාල පිරිසකගේ තාක්ෂණික සහය ලැබිණි.
එහෙත් ඉන්පසුව පිටිය විවෘත වූ අතර තරගය තියුණු විණි. අද වන විට තරගය කෙතරම් තියුණුද යත් මේ විකෘති සංස්කරණයන්හි සියළු දේශපාලන පක්ෂ සුරුවන් බවට පත්ව සිටිති. එහෙයින්ම දිනපතා දේශපාලනයේ ගැඹුර අහිමිව අපට එය සැහැල්ලු විනෝදයක් බවට හැරෙමින් තිබේ.
මේ කතා බොහොමයක් සියුම් සංස්කරණයන් බව බහුතරයක් දනිති. එහෙත් ඔවුහු යළි යළි ඒ නරඹා ආශ්වාදයක් ලබති. ඊට හේතුවක් තිබේ. ඒ මෙවන් සංස්කරණයන්ට ලක්වන ප්‍රකාශ වල ගොදුරු බවට පත්වන අය බොහෝ විට සිය කතාවලදීද පරිණත බව වෙනුවට වාචාලකම ඉස්මත්තට ගන්නා අය වීමයි. එහෙයින් ඔවුන්ගේ ප්‍රකාශයක් සංස්කරණය කර ජෝක් කිරීම ඉතා පහසුය.
ඒ අපෝ පොර කොහොමත් කියන්නෙ ඔය වගේ කතානෙ කියමින් ජනයා ඒ සැහැල්ලුවට ගන්නා බැවිනි. අප පසුගිය කාලය පුරාම දුටුවේ පාර්ලිමේන්තුව යනු විගඩම් මඩුවක් ලෙසින් පමණි. කතානායක අසුනට මිරිස් වතුර වත්කරනා, පොත් සහ පුටුවලින් පහර දෙනා, අමු තිත්ත කතාවෙන් බැණ වදිනා ඒ හැර හරවත් යමක් කිසි විටෙකත් නොපවසනා තැනක් ලෙස මැති සබය මැටි සබයක් ලෙසින් පරසිදුව තිබිණි.
මේ රටේ ජනතාව අති බහුතරයක් මාලිමාවට කතිරය ගැසුවේ එහි වෙනසක් අපේක්ෂාවෙනි. එහෙත් මාලිමාවේ ඇතැම් දේශපාලකයන් තවමත් පෙන්වමින් සිටිනුයේ තමන් පරිණතවීමට ඇති නුසූදානමය. සර්කසයක් සැමවිටම කවටයන් කිහිප දෙනකු බඳවා ගනියි. ඒ එහි එන ත්‍රාසජනක අවස්ථාවන්හී තැතිගැන්ම පහකර හරිනු පිණිසය. එහි ඉන්නා කවටයන්ගේ රාජකාරියද එයමය.
එහෙත් මැති සබය යනු සර්කසයක් නොවේ. එහෙයින් ඊට කවටයන් කිහිප දෙනකු අවශ්‍ය නැත. නමුදු අපට දක්නට ලැබෙනුයේ ආණ්ඩු පක්ෂය මෙන්ම විපක්ෂයද කවටයන්ගෙන් පිරී ඇති බවකි. මෙය වහා නිවැරදි කරගත යුතුව තිබේ. තමන්ගේ ප්‍රකාශයන් සංස්කරණය කර හාස්‍ය මවන්නට හැකිව ඇත්තේ තමන්ගේ කතාවන් හරවත් ප්‍රකාශනයන් බවට පත් කිරීමට අසමත්වීම නිසාවෙනි. කිව යුතු දේ වුවත් කිව යුතු ආකාරය නොදැනීම නිසාවෙනි.
මෙය අපේ දේශපාලකයන් තේරුම්ගත යුතුව තිබේ. මන්ද යත් අපට හාස්‍ය රසය අවශ්‍ය වුවද ඒ හාස්‍ය සමග අසුචි ගන්ධය අවශ්‍ය නොවන බැවිනි. මගේ මිතුරෙක් වරක් මෙසේ පැවසීය. අඩේ අපි හරිම වාසනාවන්තයි බං. මාලිමාව බලයෙ නැති කාලෙ අපිට චතුර හිටියා. මිනිහා ඇල් වතුරත් ගිනි රත් වෙන තාලෙට අපිට ජෝක් දුන්නා. දැන් අපිට චතුරංග ඉන්නවා. යාන්තම් අඩුව මැකුණා.
මේ කියමන්හී අරුත ගැඹුරුය. එය විහින් ජෝක් වන්නට සැරසෙන්නන් වටහාගත යුතුය. බිබිලෙ පොන්සේකා හොරණ පුරපතිව සිටි අවධියේ අවුරුදු උත්සවකය සිදුවීමක් මෙහිලා සටහන් කළ යුතු යයි සිතේ. ඒ වන විට පැවැත්වෙමින් තිබුණේ පාපැදි ධාවන තරගයයි. නිවේදකයා ගැම්මෙනි. හේ මහා බයිසිකල් ධාවන තරගය ගැන විස්තර කරයි.
ඒ අතරේ වරක් ඔහු ඊළඟ තරගය ගැනද කීම තම යුතුකම සේ සිතා මයිකයෙන් මෙසේ කීවේය. ඔව් මීළඟට තිබෙන්නේ මහා වොලිබෝල් ධාවන තරගයයි. මයික් එක අසලම බිබිලෙ පොන්සේකාද සිටියේලු. ඔහුට උන්හිටි තැන් අමතකව ගියේ නිවේදකයාගේ කනට කර හොඳ පදයෙන් ඇමතුවේලු. කරුමය කියන්නේ මයික් එක ඔන් එකේය. ඒ නිසා බිබිලේ ගේ ගුණ ගායනාව නගරටයම ඇසුනේලු. එකල සිටි වැඩිහිටියෝ මෙය අපට රසකර කීවෝය.
එකල බිබිලේ සිටියේය. දැන් අපට ඇත්තේ බිබිලි නොව විසප්පුය. විටින් විට ඔවුහු මනප්පුලා වෙති. මනප්පුලා වුවත් එකක් වටහාගත යුතුය. ඒ තප්පුලෑම අයිති ගොනුන් හට බවයි.
Chulananda Samaranayake මුහුණු පොතිනි.