පරිපාලන සේවයේ අත් පොතක් විය යුතු හොරොව්පතානේ පළමුවෙනි ඩී.ආර්.ඕ ගේ කතා වස්තුව
මෙරට පරිපාලන ක්ෂේත්‍රයේ ඡ්‍යෙෂ්ඨයකුව සිට විශ්‍රාම ගෙන සිටින නීතිඥ ඒ.පී.ඒ .ගුණසේකර ඒ දිනවල ප්‍රසිද්ධව සිටියේ විනිවිද භාවයකින් හා අවංකව පරිපාලන තීරණ ගන්නා නි,ධරියකු ලෙසය. ඔහු විසින් රචිත ඔහුගේ ස්වයං චරිතාපදානය වන්නේ හොරොව්පතානේ පළවෙනි ඩීයාරෝ කෘතියයි.ඔහු රාජ්‍ය සේවය තුළ ඉටු කළ කාර්ය භාරය එහි සඳහන්ව ඇත්තේ එක හුස්මට කිය විය හැකි ආකාරයෙනි. ඔහු විසින් රචිත ඔහුගේ ස්වයං චරිතාපදානය වන්නේ හොරොව්පතානේ පළවෙනි ඩීයාරෝ කෘතියයි. ඔහු රාජ්‍ය සේවය තුළ ඉටු කළ කාර්ය භාරය එහි සඳහන්ව ඇත්තේ එක හුස්මට කිය විය හැකි ආකාරයෙනි.
සැබැවින්ම ඒ.පී.ඒ.ගුණසේකරගේ ස්වයං චරිතාපදානය රාජ්‍ය නිලධාරීන්ට අත් පොතක් ලෙස නිර්දේශ කළ හැකි තරමේ අපූරු සටහන් වලින් යුතු ග්‍රන්ථයකි.

ඔහු රාජ්‍ය පරිපාලන සේවයේ පත් වීම් ලැබූ දින පියා කළ අවවාදය විශ්‍රාම ගන්නා තුරුම ඔහුගේ හෘද සාක්ෂිය කර ගත් බව පැහැදිලිය.
“….පුතේ උඹ හෙට අනිද්දට පත් වෙන්නෙ මේ රටේ උසස්ම සේවයට. ඉස්සර කිව්වෙ මේකට සිවිල් සේවය කියල. මේක උඹේ රටයි. රටේ මිනිස්සුන්ටයි කරන්ඩ තියෙන ලොකු වරමක්.බොහොම සීමා සහිත පිරිසකටයි මේ අවස්ථාව ලැබෙන්නෙ.
උත්සාහ ගනිං තැලෙන පෑගෙන මිනිස්සුන්ට සේවයක් කරන්ඩ. ලොකු මිනිස්සුන්ගෙ අසාධාරණ නියෝග වලට ඔළුව පාත් කරලා නීච වැඩ කරන්ඩ එපා.
කොන්ද කෙලින් තියගෙන රාජකාරි කරපං.අපේ ඇඟේ දුවන ලේ පිරිසිදුයි.
මගේ තාත්ත මට ඒ ලේ පිරිසිඳුව දුන්නා.
මමත් ඒ විදියට උඹට දුන්නා. ඒ ලේ අපිරිසිදු නොකර කවදහරි උඹත් උඹේ දරුවන්ට දෙන්ට ඕනෑ.ජරා වැඩ කරලා අසාධාරණ වැඩ කරලා නීච වැඩ කරලා උඹ මේ ගෙදරට එන්න එපා. එහෙම කරල ආවොත් උඹ මේ ගෙදරට එන්න එපා.
එහෙම කරල ආවොත් එදාට උඹ ඒජන්ත හාමුදුරුවො වුනත් මගේ පණ තිබුණොත් උඹට ගහලා මේ ගෙදරින් එලවල දානවා..”
මේ විශ්‍රාමික රජයේ සේවකයකු වූ ඔහුගේ පියා ඔහුට දුන් අවවාදයයි. ස්වයං චරිතාපදානයේ සඳහන් කර ඇති ආකාරයට ඒ.පී.ඒ.ගුණසේකර සිය රාජකාරිය තුළදී පියා දුන් අවවාදයෙන් පීලි පැන නැති බව වටහා ගත හැකිය.
1975 ජනවාරි 17 වනදා සිට ඒ.පී.ඒ .ගුණසේකර හොරොව්පතාන ඩී.ආර්.ඕ ලෙස රාජකාරි කරමින් සිටින අවස්ථාවේ ඔහු කනිෂ්ඨ සේවකයෙක් ගේ රාජකාරි පැහැර හැරීමක් සම්බන්ධයෙන් මැදිහත් වූ ආකාරය අපූරුය. කාර්යාලයේ වැසිකිලි පිරිසිදු කරන සේවකයා තම රාජකාරිය ඉටු නොකර මග හරිමින් සිටින අවස්ථාවක ඩී.ආර්.ඕ .ගුණසේකර ඔහු කැඳවා ඒ පිළිබඳව ප්‍රශ්ණ කරයි. එහිදී එම සේවකයා පවසන්නේ සර් මම වැව් ලේකම්ගෙ පුතා. මම වැසිකිලි සේදුවොත් එවැනි පවුලක ගෞරවයට මොකද වෙන්නේ යැයි කියාය. ඩීආර්ඕ ගුනසේකර ඔහුට බැණ වදින්නේ නැත. දඬුවම් කරන්නේද නැත. ඉන් අනතුරුව ඩීආර්ඕ ගුණසේකර තමන් ඇඳ සිටින කලිසමෙි කකුල් දණ හිස තෙක් නමා ගෙන වතුර බාල්දි කොසු ඉදල් ගෙන වැසිකිලි සෝදයි.
කාර්යාල සේවකයන් පමණක් නොව ඩීආර්ඕ කාර්යාලයට ආ මහජනතාවද සිට ඇත්තේ ඇස් අදහාගත නොහැකිවය.
අනතුරුව තම රාජකාරිය පැහැර හැර ඇති සේවකයා තමා ළඟට කැඳවූ ඩීආර්ඕ ගුණසේකර ඔහුගෙන් මෙසේ ප්‍රශ්ණ කර තිබේ.
“ජයවර්ධන තමන්ගෙ තාත්තා කවුරු කියලද කිව්වෙ?”
“හිටපු වැව් ලේකම්”
“එතකොට මම කවුද?”
“ඩීආර්ඹ් තුමා”
හිටපු ඩීආර්ඕද ?ඉන්න ඩීආර්ඕද?”
“ඉන්න ඩීආර්ඕ”
“ජයවර්ධන හිටපු වැව් ලේකම් තනතුරයි. ඉන්න ඩීආර්ඕ තනතුරයි ගත්තම ඔය දෙකෙං කෝකද ලොකු?” මම අසමි.
ජයවර්ධන බිම බලාගෙන සිටියි.
“කියන්න ජයවර්ධන මේ තනතුරු දෙකෙං කොයි තනතුරද වැදගත්?”මම නැවතත් අසමි. ඔහු නිහඬය.
“ජයවර්ධන ඒ තනතුරු දෙක අතරෙ වෙනස කොයි වගේද?”
“අහසයි පොළවයි වගේ”
“ඉතින් ජයවර්ධන තමන්ම කියන විදියට මගේ තනතුර බෝම වැදගත්.ජයවර්ධනගෙ තාත්ත දරපු තනතුර එච්චර වැදගත් නෑ”
“ඔව්”
“එහෙම නම් එච්චර වැදගත් ඩීආර්ඕ තනතුර දරන මමත් කන්තොරුුුවෙ වැසිකිලි හේදුවා, ජයවර්ධන දැක්කා නොවැ. ඉතින් වැව් ලේකම් තනතුර දැරුවෙ ජයවර්ධනත් නොවෙයි. ජයවර්ධනගෙ තාත්තා නොවැ. එහෙව් එකේ ජයවර්ධන වැසිකිලි හෝදන එක මදි පුංචි කමක් වෙන්නෙ කෝමද? මීට පස්සෙ වැසිකිළිය සෝදන කොට මොකක් හරි ඒ වගේ අදහසක් ආවොත් ජයවර්ධන හිතන්ඩ මම මේ කරන්නෙ ඩීආර්ඕත් කරපු වැඩක් නේ කියල. දැං ජයවර්ධන යන්ට”
එදින සිට මේ සේවකයා ඩී.ආර්.ඕ. කාර්යාලයේ වැසිකිලි සේදීම මග හැරියේ නැති බව ඒ.පී.ඒ ගුණසේකර සිය චරිතාපදානයේ සඳහන් කර තිබේ.
වර්තමානයේ විශ්‍රාමිකව සිටින ඒ.පී.ඒ ගුණසේකර ගැන අප ලියන්නට අදහස් කෙරුවේ ඔහු විසින් පසුගියදා ඔහු ගේ ෆේස් බුක් ගිණුමේ ලියා ඇති සටහනක් නිසාය.එම සටහන සියළු රාජ්‍ය සේවකයන්ගේ අවධානයට ගත යුත්තකි.
ඒ මෙසේය:
රජයේ නිලධාරීන් වර්ග දෙකක් සිටී. එම වර්ග දෙක නිවැරදිව හැඳින ගැනීමට රජය සමත් විය යුතුය. උතුරු මැද පලාතේ හිටපු ප්‍රධාන අමාත්‍යවරයකු හා ඔහුගේ (වැඩිමහල් සොයුරා ගේ බිරිඳ වන ) පෞද්ගලික ලේකම්වරියද වසර 16 බැගින් වූ බරපතල වැඩ සහිත සිර දඬුවමකට හා රුපියල් 200000 බැගින් වූ දඩ මුදලකට යටත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු තුමන් විසින් ලබා දුන් නඩු තීන්දුව ඵෙතිහාසික බවයි මගේ විශ්වාසය. මෙහිදී නඩු නිමිත්ත වී ඇත්තේ නිල බලය අයුතු ලෙස භාවිතා කරමින් ඉන්ධන සපයා ගැනීමක් බවයි ප්‍රකාශ වුනේ.
ඇත්තෙන්ම මෙම නඩු තීන්දුව ගැන පුවත රූපවාහිනී චැනලයක් මගින් අසන්නට ලැබුණ අවස්ථාවේ මසිතෙහි ඇති වුනේ බලවත් සතුටක්. ඒ එම පුද්ගලයන්ට දඬුවම් හිමි වීම නිසා නොවෙයි.මේ මගින් මේ රටේ සිඳු කරන රජයේ මුදල් අවභාවිතා කිරීම යම් පමණකට හෝ පාලනය කිරීමට මෙම නඩු තීන්දුවෙන් විසල් බලපෑමක් සිදු වන නිසයි සතුටු වුනේ. ඒ ආකාරයෙන්ම කුමන බලපෑම් ආවත් සාවද්‍ය ගෙවීම් නොකර, මුදල් රෙගුලාසි උල්ලංඝනය නොකර, රජයේ මුදල් අවභාවිතාවන් වලක්වා ගත් අති විශාල නිළධාරීන් පිරිසක් එකල රජයේ සේවයේ සිටි බව මම ඔවුන්ට ගෞරවයක් වශයෙන් මෙහි සටහන් කරනවා.
ඔවුන් තමයි එක් නිලධාරි වර්ගයක්.
එවැනි නිලධාරීන් අදත් සිටිනවා. කිසිම විටක ඇමතිවරයෙකුට හෝ ඔවුන්ගේ ගෝල බාලයෙකුට හෝ රජයේ මුදල් සතයක් හෝ රජයේ කාර්යාලයක බැංකු ගිණුමකින් ලබා ගන්ඩ බැහැ.ඒවායින් මුදල් ලබා ගන්ඩ පුළුවන් නිසි බලය සහිත රජයේ නිලධාරියෙකුට පමණයි.
මුදල් රෙගුලාසි අංක 135 අනුව මුදල් වර්ෂය ආරම්භයේදී අදාල අමාත්‍යංශ ලේකම් හෝ දෙපාර්තමේන්තු ප්‍රධානියා හෝ තම ආයතනයේ රජයේ මුදල් ගෙවීමේදී ඊට අදාල කාර්යයන් ඉටු කිරීම සඳහා සුදුසු නිලධාරීන්ට ලිඛිතවම බලය පවරනවා. එහිදී කිසියම් ගෙවීමක් කිරීම සදහා බලය දීම, එම ගෙවීම අනුමත කිරීම,එම වියදම සහතික කිරීම,හා මුදල් ගෙවීම යන කාර්යයන් හතර සදහා තමයි එලෙස බලය පවරන්නේ එම වියදම සහතික කිරීම හා මුදල් ගෙවීම යන කාර්යයන් හතර සදහා තමයි එලෙස බලය පවරන්නේ. එම කාර්යයන් ඉටු කිරීමේදී බලය පැවරුණ නිලධාරීන් අනිවාර්යයෙන්ම අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග අංක 136 සිට 139 දක්වා මුදල් රෙගුලාසිවල ඉතා පැහැදිලිවත් නිශ්චිතවත් දැක්වෙනවා. එම තත්වය යටතේ කිසිදු රජයේ නිළධාරියෙකුට රජයේ මුදල් අනීතික කාර්යයක් සදහා ගෙවිය නොහැකියි. චෙක්පත් වල පළමුවැනි අත්සන්කරුගේ හා දෙවැනි අත්සන්කරුගේ වගකීම් මොනවාද යන්න පවා මුදල් රෙගුලාසිවල නිශ්චිතව සඳහන් කර තිබෙනවා. මෙම තත්වය යටතේ උක්ත කාර්යයන් ඉටු කරනු ලබන නිලධාරීන්ගේ සහාය නොලබා ජනපතිවරයාටවත්, රජයේ මුදල් ලබා ගත නොහැකියි. ඇමතිවරුන් හා ගෝල බාලයන් අනීතික ලෙස රජයේ මුදල් ලබා ගෙන ඇත්නම් එයට මුල් වී ඇත්තේ එම ගෙවීම් වලට අදාලව ඉහත සදහන් කළ කාර්යය ඉටු කළ හා චෙක් පත් අත්සන් කළ නිළධාරීන් බව කිව යුතුය. කුමන පරමාර්ථයක් යටතේ හෝ එවැනි අනීතික ගෙවීම් වලදී ඇමතිවරුන් කියන ඕනෑම වැරදි ක්‍රියාවක් කරන නිළධාරීන් තමයි දෙවන වර්ගය මට මෙහිදී තවත් ගැටලුවක් මතු වෙනවා මට මතකයි. මා රජයේ විවිධ ඉහළ තනතුරු දැරූ අවධියේ විවිධ අනීතික ගෙවීම් කරන ලෙසට මාගේ ඇමතිවරුන් විසින් නියෝග කළ අවස්ථා වලදී මා ඒවා දැඩිව ප්‍රතික්ෂේප කළ ආකාරය වාචිකවත්, ලිඛිතවත් මම මාගේ ස්ථාවරය එම අවස්ථාවලදී ඇමතිවරුන්ට දැන් වූවා. විටෙක ඔවුන් නොසතුටු වුනා. තවත් විටෙක කුපිත වුනා. එක් අවස්ථාවකදී එක් ඇමතිවරයෙකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් අමාත්‍යංශයේ ඡ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ලේකම්වරයකු වන මා හට අපහාස කරමින් වර්ජනය කළා. සියල්ල අසා සිටි මම අවසානයේ ඔහුට පැවසුවේ තවත් යමක් කීමට ඇත්නම් ඒවාද කියන ලෙසත් මාගේ ස්ථාවරය නිවැරිදි නිසා මුදල් රෙගුලාසිවලට පටහැනිව රජයේ මුදල් සතයක් හෝ මවිසින් නොගෙවන බවත් එසේ ඕනෑම වෙලාවක ස්ථාන මාරුවී යාමට මා සූදානම් බවත් මම පැවසුවා.
එසේම තවත් අවස්ථාවක මාගේ අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරියද අමාත්‍යංශ ලේකම් වරයා වූ මා හට තදින් දෝෂරෝපනයක් කළා. කිසියම් ගෙවීමක් නොකිරීම පිළිබඳව. මාගේ ප්‍රතිචාරය වුනේ ඉහත පරිදිමයි. පල් හොරුන්ට ඒ සඳහා සහාය වූ හා සහාය වන ඉහත සඳහන් දෙවැනි වර්ගයද අනුකම්පා විරහිතව නිත්‍යානුකූල ක්‍රියා මාර්ග මගින් රජයේ සේවයෙන් වඳ කර දැමිය යුතු වෙනවා.
එසේ නොකර රජයේ සේවය පිරිසිඳු කළ නොහැකියි. උතුරු මැද පලාත් සභාවේ මහ ඇමතිවරයාට හා ඔහුගේ පෞද්ගලික ලේකම්වරියට රුපියල් 2600000 කට අධික මුදලක් මුදල් රෙගුලාසි වලට පටහැනිව ගෙවීමේදී ඉහත සදහන් කාර්යයන් ඉටු කරන ලද වංචනික නිලධාරීන් සියලු දෙනාට එරෙහිව විධිමත් විනය පියවර ගත යුතු බවයි මගේ අදහස.
කොළඹ මහාධිකරණය විසින් ලබා දුන් ඉහත සඳහන් නඩු තීන්දුවේ පිටපත් සියලුම රජයේ හා පළාත් සභා කාර්යාල වෙත ලබා දීමට රජය ක්‍රියාකරන්නේ නම් එයද යහපත් ක්‍රියාවක් බවයි අවසාන වශයෙන් මා කියා සිටින්නේ
(උපුටනය අවසන්)
නීතිඥ ඒ.පී.ඒ ගුණසේකර ෆේස් බුක් ගිණුමේ සඳහන් කළ ආකාරයට මුදල් වංචාවන්ට ඇමතිවරුන්ට උඩ ගෙඩි දුන් රජයේ නිලධාරීන්ට පාඩමක් උගන්වන්නේ නැතුව ඇමතිවරුන්ට පමණක් දඬුවම් දීමෙන් පලක් නැත. රජයේ මුදල් වංචාවන් සදහා අමාත්‍යවරුන් පොළඹවන හා උදව් උපකාර කරන රජයේ නිළධාරීන්ටද අධිකරණ ක්‍රියා මාර්ග ගත යුතුමය.
රාජ්‍ය පාලනය දූෂණයෙන් හා වංචාවෙන් තොර වන්නේ එවිටය.
නීතිඥ ඒ.පී.ඒ .ගුණසේකර හට රාජ්‍ය පරිපාලන සේවයේ පත් වීම ලැබුණ විට ඔහුගේ පියා ඔහුට දුන් උපදේශය ඔහුගේ වෘත්තීය ජීවිතය ශක්තිමත් කරන ලද බව පැහැදිලිය. එහෙත් වර්තමානයේ රාජ්‍ය පරිපාලන සේවයේ ඉහළ ඇවරියේ බොහෝ දෙනෙකුගේ දූෂිත කෙරුවාව පිළිබඳව ඇසෙන විට ඔවුන් මෙලොවට ජාතක කළ කරුමක්කාර පීතෘත්වයත් අප කේන්ති ගස්සන තරමේය.
(ලොකු කුමා)