ලයිලා ඛාලිඩ්: අරගලය ජීවිතය කර ගත් අපේ කාලයේ වීරවරියක්!
“ස්ත්‍රී ඉතිහාස මාසය” මෙම 31වනදායින් අවසන් වෙයි.
ලයිලා ඛාලිඩ් නම් අපේ කාලයේ වීරවරිය ගැන මේ සටහන ඒ වෙනුවෙනි.
අද යුක්තිය සහ සාධාරණත්වය උදෙසා ලක් පොළව දෙදෙරවූ අපේ යෞවන පරම්පරාව බොහෝ විට ඇයගේ නම අසා නැතුවා විය හැකිය.
අපේ යෞවනයෙහි ඇය, නොදන්නා අරගලකාරියක හෝ අරගලකරුවකු නොසිටියේය.
1944 අප්‍රේල් 9 දින උපත ලද ලයිලා ඛාලීඩ් ඇයගේ නම ඉතිහාසයේ නොමැකෙන අකුරින් සටහන් කළේ ගුවන් යානයක් පැහැරගත් පළමු ස්ත්‍රිය ලෙසය. ඒ සිය ජනතාවගේ විමුක්තිය උදෙසාය. මාක්ස්වාදී ධාරවට අයත් වූ පලස්තීනයේ විමුක්තිය සඳහා වූ මහජන පෙරමුණේ සටන්කාමිනියක සහ සහ ක්‍රියාකාරිනියක් වු ඇය වසය 25 දී ගුවන් යානයක් පැහැර ගත්තේ පලස්තිනයට නිදහස ලබා ගැනීමේ උපක්‍රමයක් ලෙසය. පලස්තීනයේ විමුක්තිය සඳහා වූ මහජන පෙරමුණ (PFLP) මෙරට මාක්ස්වාදී ඊලාම් ධාරාවට අයත් වූ ඊපීආර්ඒලඑෆ් සහ ප්ලොට් යන සටන්කාමී සංවිධාන ප්‍රධානින්ට අවි පුහුණූව ලබා දුන් සංවිධානයයි.
1969 අගෝස්තු 29 වන දින, රෝමයේ සිට ටෙල් අවිව් දක්වා ගමන් කරමින් සිටි බෝයිං 707 යානය පැහැර ගෙන සිරියවෛහි ඩමස්කස් අගනුවරට ගොඩ බැස්ස වූ ඇය ඇතුළු කණ්ඩායම සිරගත කර සිටි පලස්තීන සටන්කරුවන් නිදහස් කර ගැනීමට සමත් විය.
මෙම වීර ක්‍රියාවෙන් පසු ඒකේ 47 මැෂින් තුවක්කුවක් අතැතිව පලස්තීන ගෙල පළදනාව සහිත ඇයගේ ජායරූපයක් සුපතල විය. එය ගන්නා ලද්දේ එඩී ඇඩම්ස් නම් ජායාරූප මාධයවේදියා විසිනි. එම ඡායාරූපය නිසා ඇය එකල විප්ලවීය “පෝස්ටර් කෙල්ල” බවට පත් විය.
මෙම ලිපියෙහි යොදා ගෙන ඇත්තේ ද එම ඡායාරූපයයි.
ලයිලා එම ප්‍රසිද්ධිය නිසා තමා සිරකාරියක් වන බව තේරුම් ගත්තේ කොතැනවත් නිදහසේ යාමට ඒමට සහ රහසිගත විප්ලවීය ක්‍රියාවන්හි යෙදීමට බාධාවක් වූ බැවිනි.
එබැවින් සිය පෙනුම වෙනස් කර ගැනීමට ඇය ශල්‍යකර්ම හයකට මුහුණ දුන්නාය. වෙනස් රූපයක් ලබා ගත් ඇය ඊළඟ වසරේ දීම ජෝර්දානයේ කළු සැප්තැම්බර් ව්‍යාපාරයේ කොටසක් ලෙස යළිත් වරක් ගුවන් යානයක් පැහැර ගැනීමට නායකත්වය දුන්නාය.
ලයිලා ඛාලිඩ් 2025 වසරෙහි වීඩියෝ සාකච්ජාවකට එක් වෙමින්
එම ප්‍රයත්නය වැරදී ඇයගේ සහායකයා වෙඩි වැදී මිය ගියේය. ඇය අත වූ අත් බොම්බය පුපරා ගියේ නැත. ගුවන් යානය එංගලන්තයේ හීත්‍රෝ ගුවන් තොටුපලට ගොඩ බා ඇය පොලිස් බාරයට පත් කරන ලදී. ඇයට පස්වසරක සිර දඩුවමක් ලැබුණි.
එසේ නමුත් පලස්තීනයේ විමුක්තිය සඳහා වූ මහජන පෙරමුණ අත්අඩංගුවට ගත් සිවිල් වැසියන් කණ්ඩායමකට හිලව් කර ඇය 1970 වසරෙහි දීම මුදා ගත්තේය.
ඛාලීඩ් 1944 අප්‍රේල් 9 වන දින අනිවාර්ය පලස්තීනයේ හයිෆා හි අරාබි දෙමව්පියන්ට දාව උපත ලැබීය. 1948 දී ඊශ්‍රාලය බිහි කිරීමට පලස්තීන ජනයා නෙරපා හැරීමෙන් පසු ඇගේ පවුල 1948 අප්‍රේල් 13 වන දින ලෙබනනයට පලා ගියේය. එහිදී ඇගේ පියා පවුුල අතහැර ගියේය. වයස අවුරුදු 15 දී, ලයිලා සිය සහෝදරයාගේ අඩිපාරේ යමින්, ඇය සමස්ත අරාබි ජාතිකවාදී ව්‍යාපාරයට සම්බන්ධ විය.
1940 ගණන්වල අග භාගයේදී එය ආරම්භ කරන ලද්දේ එවකට බේරූට් හි ඇමරිකානු විශ්ව විද්‍යාලයේ වෛද්‍ය ශිෂ්‍යයෙකු වූ ජෝර්ජ් හබාෂ් විසිනි. මෙම ව්‍යාපාරයේ පලස්තීන ශාඛාව 1967 දින හයේ යුද්ධයෙන් පසු පලස්තීනයේ විමුක්තිය සඳහා වූ මහජන පෙරමුණ බවට පත්විය. ජෝර්ජ් හබාෂ් මාක්ස්වාදී පලස්තීන විප්ලවවාදියකු විය.
1970 දී නිදහස් වීමෙන් පසු ලයිලා ඛාලිඩ් දිගටම පලස්තීන විමුක්තිය උදෙසා විවිධ ක්‍රියාාකරකම්හි යෙදුණි. ඇය ලද ප්‍රසිද්ධිය නිසා පලස්තීන ජනයාගේ නොනිල තානාපතිවරියක ලෙස ඇය විවිධ රටවල සාකච්ඡා සභා ඇමතූවාය.
වෛද්‍යවරයකු වූ ෆයෙස් රෂීඩ් (1950–2023) සමඟ විවාහ වූ ලයිලා ඔවුන්ගේ පුතුන් දෙදෙනා වන බදර් සහ බෂාර් සමඟ ජෝර්දානයේ අම්මාන් හි ජීවත් විය. ඇය අනාගමික පලස්තීන විප්ලවාදිනියකි.
ලයිලා මැන්ඩෙලා සමඟ
ස්වීඩන් ජාතික සිනමාකරුවකු Leila Khaled: Hijacker ( 2006) නමින් ඇය ගේ කතාව සිනමාවට නැගූයේය. ඇයගේ නමින් මැන්ඩෙලා ජීවත්ව සිටියදීම දකුණූ අප්‍රිකානු ප්‍රසිද්ධ මාවතක් නම් කරන ලදී. ඇයගේ නමින් ප්‍රබන්ධ කරන ලද විප්ලවීය ගී බොහෝ ය.
ඇය තවමත් විවිධ රටවල සාකච්ඡා සභාවන්ට පලස්තීන ස්ත්‍රියක ලෙස සහභාගි වෙමින් සිය ජනයාගේ නිදහස වෙනුවෙන් සටන් කරන්නීය. ඇය කියන්නේ පීඩනය ඇති තැන අරගලය පවතිනු ඇති බවයි.
ගාසා හි ඊශ්‍රාල ජන ඝාතනයට විරුද්ධව ඇය අදත් සිය හඬ අවධි කරයි.
ලයිලා ඛාලිඩ්, අද දක්වාම පලස්තීන විමුක්තිය සඳහා වූ මහජන පෙරමුණේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකාවක් වේ. පලස්තීන විමුක්තිය සඳහා වූ මහජන පෙරමුණ, ඊශ්‍රාලයේ යුදවාදී පලස්තීන විරෝධී පිළිවෙතට විරුද්ධ සන්නද්ධ ප්‍රතිවිරුද්ධකම් පෑමේ හවුල්කාර සංවිධානයකි.
වසර 75 ක් පුරා ඇය ජීවත්ව ඇත්තේ සරණාගත ස්ත්‍රියක ලෙසය. ඇය අදත් ජෝර්දානයේ පදිංචිව සිටී.
සුනන්ද දේශප්‍රිය.