Friday, March 21, 2025

නීති විරෝධී කල්ලියක් ගොඩ නැගීම ඇතුලුව දේශබන්දුට චෝදනා 09ක්.

මාතර, වැලිගම ප්‍රදේශයේ පිහිටි “W15” හෝටලයට වෙඩිතැබීමේ සිද්ධියට අදාළව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට අමතරව චෝදනා එල්ල වී ඇති කොළඹ අපරාධ කොට්ඨාසයේ  නිලධාරීන් 06 දෙනාද මෝසමක් මගින් අද (21) මාතර අධිකරණයට භාර විය.

මෙම සිදුවීමට අදාළව එවක වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකොන් ඇතුළු මෙම නිලධාරීන්ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහෙස්ත්‍රාත් අධිකරණය පසුගිය මස 27වනදා නියෝගයක් ලබාදී තිබිණි.

මාතර – වැලිගම ප්‍රදේශයේ පිහිටි “W15” හෝටලයට 2023 වසරේදී වෙඩි වෙඩි තැබීමේ සිද්ධියේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරියෙකු මියයාම සම්බන්ධයෙන් එවක වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 08 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පසුගිය පෙබරවාරි මාසයේදී මාතර මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත්කර තිබූනි.

 එම වෙඩි තැබීමේ සීද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර භාරයට පත් කර ඇති වැඩ තහනම් පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්ට එල්ල වී ඇති චෝදනා නවය පහත පරිදි වේ.

01. 2023.12.31 දිනය වනවිට වැඩබලන පොලිස්පති ධූරයේ රාජකාරි කටයුතු සිදු කරමින් සිටියදී ඔහු යටතේ පොලිස් නිලධාරීන් ලෙසට රාජකාරි කරමින් සිටි පොලිස් නිලධාරීන් 08 දෙනෙකු රජය සතු නිල ගිනි අවි, රජයේ උණ්ඩ, රජය සතු පොදු දේපලක් වන WP PK -7225 දරණ වෑන් රථය නීතියේ පනවා ඇති නීත්‍යානුකූල නියෝගයන්ට සහ රාජකාරිමය ලෙසට තමන් බැඳී සිටින නීතිමය වගකීම් වලට අකීකරුව කටයුතු කිරීමෙන් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 162 වගන්තිය යටතේ දඬුවම් කළ යුතු යම් තැනැත්තෙකුට හෝ ආණ්ඩුවට හානියක් සිදුකිරීමේ චේතනාවෙන් නීතියේ විධානයන්ට රජයේ සේවකයකු ලෙසට අකීකරු වීම නමැති වරද සිදු කිරීම.

02. මාතර, වැලිගම “W-15” හෝටලයට T – 56 ස්වයංක්‍රීය ගිනි අවියකින් වෙඩි තැබීමෙන් එම හෝටලයට අනර්ථයක් සිදු කිරීම සහ හෝ එම හෝටලයේ සිටින තැනැත්තන්ට, එහි කළමණාකාරීත්වයට සහ හෝ හිමිකරුවන්ට සාපරාධී බලහත්කාරය පෑම යන අපරාධ අරමුණු මුදුන්පත් කර ගැනීම සඳහා නීති විරෝධි රැස්වීමක සාමාජිකයන් ලෙසට පොලිස් නිලධාරීන් 08 දෙනෙකු පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙසට යොදා ගැනීමෙන් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 147 වගන්තිය යටතේ දඬුවම් කළ යුතු වරද සිදු කිරීම.

03. රාජකාරි කටයුත්තක් නොවන සිය පෞද්ගලික අභිමතාර්ථයන් ලෙස පැවති වැලිගම, පැළෑන “W-15 ” හෝටලයේ සිටින තැනැත්තන්ට, සේවකයින්, කළමණාකාරීත්වය හෝ හිමිකරුවන් T – 56 ස්වයංක්‍රීය ගිනි අවියකින් වෙඩි තැබීම මඟින් සාපරාධි බිය ගැන්වීම සඳහා සහ අනර්ථයට ලක්කිරීමට අදාලව තවත් පොලිස් නිලධාරීන් පිරිසක් සමඟ කුමන්ත්‍රණය කිරීමෙන් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 113 (ආ) වගන්තිය ප්‍රකාරව දඬුවම් ලැබිය යුතු වරද සිදු කිරීම.

04. සිද්ධිය සිදුවීමෙන් අනතුරුව සිදු කරන ලද වැරදි සම්බන්ධයෙන් සත්‍යය අධිකරණ විමර්ශන කටයුත්තේදී නිරාවරණය වීම වැළැක්වීම සඳහා බොරු සාක්ෂි ගෙතීම නමැති ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 190 වගන්තිය මඟින් දඬුවම් කළ යුතු වරද සිදු කිරීම.

05. වැලිගම, පැළෑන “W-15” හෝටලයට ස්වයංක්‍රීය ගිනි අවියක් වන T – 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීමෙන් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ පොදු චේතනාව සම්බන්ධයෙන් වන 32 වගන්තිය සමඟ කියවිය යුතු එහි 410 වගන්තිය යටතේ දඬුවම් කළ යුතු අනර්ථය සිදු කිරීම සහ හෝ 418 වගන්තිය යටතේ දඬුවම් කළ යුතු ගින්නකින් හෝ පුපුරණ ද්‍රව්‍යයකින් අනර්ථය සිදු කිරීම නමැති වරද සිදු කිරීම.

06. එකී ක්‍රියා කලාපය තුලදීම, ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 32 වන වගන්තිය සමඟ කියවිය යුතු 343 වන වගන්තිය අනුව දඬුවම් කළ යුතු සාපරාධි බලහත්කාරය පෑම නමැති වරද සිදු කිරීම.

07. නීත්‍යානුකූල නොවන වෙඩි තැබීමක් සිදු කිරීමෙන් ඇති විය හැකි ප්‍රතිඵලයක් පිළිබඳව ප්‍රමාණවත් දැනුවත් භාවයක් සහිතව සිටියදී නොසැලකිලිමත් ක්‍රියාවක් සිදු කිරීමෙන් මානින්ගමුව ගෙදර උපුල් වාමින්ද කුමාර නමැති පොලිස් නිලධාරියාගේ මරණය දක්වා විහිද ගිය ක්‍රියාවක් සිදු කිරීමෙන් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 32 වන වගන්තිය සමඟ කියවිය යුතු 298 වගන්තිය ප්‍රකාරව දඬුවම් ලැබිය යුතු වරදක් සිදු කිරීම.

08. එකී ක්‍රියා කලාපය තුළදීම ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 32 වන වගන්තිය සමඟ කියවිය යුතු පොදු දේපල පනතේ විෂය පථය තුළට ඇතුළත් වන පරිදි පොදු දේපලක් වන WP PK – 7225 දරණ වෑන් රථයට අනර්ථයක් සිදු කිරීම නමැති වරද සිදු කිරීම.

09. T-56 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවියකින් සිදු කරන ලද වරදකට අදාලව තුවක්කු ආඥා පනතේ 44 (ආ) වගන්තිය යටතේ දඬුවම් කළ යුතු වරදක් සිදු කිරීම.

(ඇසුර ලංකා ට්රුත්)

Archive

Latest news

Related news