නිසි ආරක්ෂක ඇගයීමකින් තොරව තමන්ට සපයා දී තිබූ ආරක්ෂක නිලධාරීන්ගේ සංචිතය 60 දෙනෙකු දක්වා අඩු කිරීමට රජය ගනු ලැබූ තීරණය තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය අද (මාර්තු 19) විභාගයට නොගෙන ම නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කළේය.
මහින්ද රාජපක්ෂ ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාලව දීර්ඝ ලෙස කරුණු සලකා බැලීමෙන් අනතුරුව ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ මහින්ද සමය වර්ධන යන ත්‍රීපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.
පෙත්සම සලකා බැලීම ආරම්භ වූ අවස්ථාවේදී පෙත්සම්කාර මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි ෂබ්රි අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවා දායකයා අධිකරණය හමුවට පැමිණ සිටින්නේ වරප්‍රසාද දිනා ගැනීමේ අපේක්ෂාවෙන් නොව ඔහුගේ ජීවිත ආරක්ෂාව තහවුරු කර ගැනීමේ අරමුණින් යැයි සඳහන් කළේය.
තිස් වසරක් තිස්සේ පැවති කුරිරු යුද්ධය අවසන් කිරීමට තම සේවා දායකයා නායකත්වය දුන් බවත් එම නිසා ඔහු කොටි සංවිධානයේ ප්‍රබල ඉලක්කයක් බවට පත් වී තිබෙන බවත් සඳහන් කළ ජනාධිපති නීතීඥවරයා එබැවින් ඔහුගේ ජීවිතයට මේ අවස්ථාව වන විටත් ප්‍රබල තර්ජනයක් පවතින බව පෙන්වා දුන්නේය.
මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණය කළ විමසීමකට පිළිතුරු දුන් ජනාධිපති නීතිඥවරයා කියා සිටියේ ආරක්ෂාව අඩු කිරීමට පෙර තම සේවා දායකයාට නිලධාරීන් 203 දෙනෙකුගේ ආරක්ෂාව සපයා දී තිබූ අතර එම ආරක්ෂාව ඉකුත් ඔක්තෝබර් මස 31 වන දා නිලධාරින් 60 දෙනෙකු දක්වා අඩු කිරීමට කටයුතු කෙරුණු බවයි.
දැනට සපයා දී තිබෙන නිලධාරීන් 60 දෙනා පොලිස් නිලධාරින් බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා සේවා මුර අනුව කටයුතු කිරීමේදී එක් අවස්ථාවක යෙදවනු ලබන්නේ නිලධාරීන් හය දෙනෙකු හෝ හත් දෙනෙකු පමණක් බවත් අනාවරණය කළේය.
මෑතකදී ජන හමුවකට එක්වූ වත්මන් ජනාධිපතිවරයා තම සේවා දායකයාගේ ආරක්ෂාව හැට දෙනෙකු දක්වා අඩු කර තිබෙන බවත් වැඩිපුර කෙඳිරි ගැහුවොත් එය ඉවත් කිරීමට කටයුතු කරන බවට අනතුරු අඟවා තිබුණේ යැයි සිහිපත් කළ ජනාධිපති නීතිඥ අලි සබ්රි ආරක්ෂාව සම්බන්ධයෙන් එවැනි තීන්දු ගැනීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති බවත් සඳහන් කළේය.
වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව ප්‍රභූ පුද්ගලයින්ට ලබා දෙන වරප්‍රසාද පිළිබඳව සොයා බැලීම සඳහා පත් කෙරුණු චිත්‍රසිරි කමිටුව විසින් තම සේවාදායකයාගේ නිරීක්ෂණ කැඳවීමට කටයුතු කළද එම කමිටුව ආරක්ෂාව සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නා කමිටුවක් නොවන බවත් ජනාධිපති නීතිඥවරයා පැවසීය.
තම සේවා දායකයාගේ ආරක්ෂාව අඩු කිරීමට ප්‍රථම ඔහුගේ ආරක්ෂක ප්‍රධානීන්ගේ නිරීක්ෂණ පිළිබඳව රජය විසින් විමසීමක් නොකළ බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා විධිමත් ආරක්ෂක ඇගයීමකින් තොරව අත්තනෝමතික ලෙස සිය සේවා දායකයාගේ ආරක්ෂාව අවම කිරීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් අවධාරණය කළේය.
පුද්ගල ජීවිත ආරක්ෂාව තහවුරු කිරීම රජයේ වගකීමක් බවත් ඉකුත්දා ඝාතනය කරනු පාතල කල්ලි නායක ගනේ මුල්ල සංජීවට පවා පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව සපයා දී තිබූ බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා නීත්‍යානුකූල රජයට එරෙහිව දෙවතාවක් කැරළි ගැසූ රෝහණ විජේවීරගේ පවුලේ සාමාජිකයින්ට පවා දශක තුනකට අධික කාලයක් රජය විසින් ආරක්ෂාව සපයා දී තිබූ බවත් පෙන්වා දුන්නේ ය.
පාස්කු ප්‍රහාරය මෙන්ම ආර්ථික අර්බුදය පිළිබඳවද කලින් තොරතුරු ලැබී තිබියදීත් ඒ සම්බන්ධයෙන් පියවර නොගැනීම නිසා අර්බුදකාරී තත්ත්වයක් ඇති වූ බවත් යමක් සිදුවීමෙන් පසුව ඊට අදාළ හේතු සොයා බැලීම සඳහා මරණ පරීක්ෂණ පැවැත්වීම කිසිසේත්ම වැඩදායක ක්‍රියාවක් නොවන බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කර සිටියේ ය.
එවැනි පසුබිමක් තුළ කිසිදු විධිමත් ආරක්ෂක තක්සේරුවක් හා ඇගයීමකින් තොරව සිය සේවා දායකයාගේ ආරක්ෂාව අවම කිරීමට බලධාරීන් ගනු ලැබූ තීරණය තුළින් සිය සේවා දායකයාගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ජනාධිපති නීතිඥ අලි ශබ්රි වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.
ඉන් අනතුරුව නීතිපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙත්සම්කරුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තීරණය ගනු ලැබුවේ ප්‍රභූ ආරක්ෂාව පිළිබඳව ඇගයීම් සිදු කිරීමේ විශේෂඥ කමිටුවක් විසින් බව සඳහන් කළේය.
එම විශේෂඥ කමිටුව ජනාධිපති ආරක්ෂක අංශයේ ප්‍රධානියා, ඇමති ආරක්ෂක අංශයේ ප්‍රධානියා, පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරියා, මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු ආරක්ෂක බලධාරීන්ගෙන් සමන්විත වන අතර එම කමිටුව 2015 වසරේ සිට අඛන්ඩව ක්‍රියාත්මක වූ බවත් අතිරේක සොලිසිටර් ජනරාල් වරයා පෙන්වා දුන්නේය.
2020 වසරේ පෙත්සම්කරු අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත් වූ අවස්ථාවේදී ද ඔහුගේ ආරක්ෂක ඇගයීම් සිදු කළේ මෙම කමිටුව විසින් බවත් පෙන්වා දුන් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා එම කමිටුව වරින් වර සියලුම හිටපු ජනාධිපතිවරුන්ගේ හා ප්‍රභූවරුන්ගේ ආරක්ෂක ඇගයීම් සිදුකොට ආරක්‍ෂාව සම්බන්ධයෙන් නිරීක්‍ෂණ ඉදිරිපත් කරන බවත් සඳහන් කළේය.
ඒ තුළින් කිසිදු පුද්ගලයෙකට විශේෂත්වයක් දැක්වීමට කටයුතු නොකෙරෙන අතර එක් පුද්ගලයකු ඉලක්ක කර ගනිමින් මෙවැනි ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් පෙන්වා දුන් අතිරේක සොලිසිටර් ජනරාල් රෝහන්ත අබේසුරිය මේ තුළින් කිසිදු ආකාරයක මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වීමක් සිදුවී නොමැති බවත් සඳහන් කර සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රි පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර දීමට තරම් ප්‍රමාණවත් කරුණු අනාවරණය නොවන හෙයින් එය විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරන බවට තීන්දු කළේය.
පූර්ණ ආරක්ෂාව ඉල්ලයි
වත්මන් රජය විසින් ඉවත් කරනු ලැබූ සිය ආරක්ෂිත සංචිතය යළි ලබා දෙන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර තිබිණි.
මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින්, ආරක්ෂක ලේකම්වරයා, පොලිස්පතිවරයා යන පිරිසයි.
මහින්ද රාජපක්ෂ සිය නීතිඥවරුන් හරහා ගොනු කර ඇති පෙත්සමේ සඳහන් කර ඇත්තේ, නිසි ආරක්ෂක තක්සේරුවකින් තොරව සිය ආරක්ෂාව සඳහා සපයා තිබූ ආරක්ෂක නිලධාරී සංචිතයෙන් නිලධාරීන් 60 දෙනෙකු පමණක් ඉතිරි කොට සෙසු සියලු දෙනා ඉවත් කිරීමට කටයුතු කර ඇති බව ය.
මේ වන විට කිසිදු සන්නද්ධ ආරක්ෂක නිලධාරියෙකු සිය ආරක්ෂාව සඳහා යොදවා නොමැති බවත්, පොලිස් නිලධාරීන් පමණක් ආරක්ෂාව සඳහා සපයා තිබෙන බව ද මහින්ද රාජපක්ෂ සිය පෙත්සමේ සඳහන් කර තිබේ.
දශක තුනක් පමණ පැවති යුද්ධයක් නිමා කිරීමට නායකත්වය දුන් තමා ත්‍රස්තවාදී තර්ජනවලට මුහුණ පා සිටින අයෙකු වන අතර තම ජීවිතයට ද තර්ජන එල්ල වී තිබෙන බව හිටපු ජනාධිපතිවරයා දන්වා සිටී.
අත්තනෝමතික ලෙස සිය ආරක්ෂාව ඉවත් කිරීම තුළින් වගඋත්තරකරුවන් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටී.
ඊට අමතරව තමන්ට එල්ල වී ඇති තර්ජන පිළිබඳව තක්සේරුවක් සිදුකරන ලෙස වගඋත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔහු ඉල්ලා සිටී.
එමෙන් ම, මේ වන විට ඉවත් කර තිබෙන තමන්ට සපයා තිබූ සම්පූර්ණ ආරක්ෂක සංචිතය යළි ලබා දෙන ලෙසට වගඋත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.
ආරක්ෂාව අඩු කළ හැටි
විශ්‍රාමික ජනාධිපතිවරුන්ට සහ පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ට හිමි වන වරප්‍රසාද තමන් බලයට පත්වීමෙන් පසුව කප්පාදු කිරීමට පියවර ගන්නා බවට ජාතික ජන බලවේගය ඉකුත් ජනාධිපතිවරණය සමයේ මෙන් ම මහමැතිවරණ සමයේ ද ජනතාවට ප්‍රතිඥාවක් දී තිබිණි.
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්වීමෙන් පසුව එම වරප්‍රසාද කප්පාදු කිරීමට අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළේ ය.
ඒ අනුව, මෙම වරප්‍රසාද කප්පාදු කිරීම සඳහා ගත යුතු නීතිමය ක්‍රියාමාර්ග තීන්දු කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් යුත් අමාත්‍ය මණ්ඩලය විසින් කමිටුවක් ද පත්කරනු ලැබී ය.
ජනපතිගේ අනතුරු ඇඟවීම
ජනාධිපති අනුර කුමාර දිසානායක කියා සිටියේ, හිටපු ජනාධිපතිවරුන්ට නිවාස නොදෙන බවට තමා පොරොන්දුවක් දුන් බව ය. “මම ලියුමක් දෙන්න හිතාගෙන ඉන්නවා මට නම් විශ්‍රාම ගියා ම ගෙවල් එපා කියලා. හැබැයි අනිත් අයටත් දෙන්නේ නැහැ. ජනාධිපති වරප්‍රසාද පනත අනුව නිවසක් හෝ පඩියෙන් 1/3ක් දෙන්න ඕනේ. පඩියෙන් 1/3ක් කියන්නේ, රුපියල් 30,000ක්. මම හිතාගෙන ඉන්නේ මහින්ද මහත්තයාට රු.30,000ක් දෙන්න. දැනට මහින්ද ඉන්න ගෙදර මාසික කුලිය ලක්ෂ 46යි. තාම ඉඩම තක්සේරු කළේ නැහැ. බෞද්ධාලෝක මාවතේ. අපි ගේ ගන්නවා පඩියෙන් තුනෙන් එකක් දෙනවා. තිස් දාහයි. එහෙම නැත්නම් ඉතිරි සල්ලි දීලා ඒ ගෙයි ඉන්න පුළුවන්.”
දැඩි ස්වරයකින් අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ, “හිටපු ජනාධිපතිවරයෙකුගේ ආරක්ෂාවට විතරක් කෝටි 70ක් ගිහින්. අපි ඔක්කෝම අයින් කළා. කෙඳිරි ගෑවොත් ඉන්න ආරක්ෂකයෝ 60ත් අයින් කරනවා. ඩ්‍රෝනවලින් ගහන්නත් තර්ජන තියෙනවා ලු. තර්ජනයක් තියෙනවා නම් ආරක්ෂාව දෙනවා.”
බීබීසී සිංහල සේවයෙනි.
24 ජනවාරි 2025