මොනරාගල දිස්ත්‍රික්කයේ බුත්තල හා වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ව්‍යාප්තව ඇති අලි – ඇතුන් ගේ නිජබිම වන දෙමලිය – වන්දම – කුඩාඔය රජයේ වනාන්තරයට අයත් රහතන්ගම ග්‍රාම නිලධාරී වසමේ පිහිටි වනාන්තර බුත්තල ප්‍රාදේශීය ලේකම් රසික තිලකරත්න විසින් සමාගම් හා ව්‍යාපාරිකයන් ගණනාවකට බදු දී තිබේ. ඊට අමතර ව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙම වනාන්තර ප්‍රදේශ භාර ව කටයුතු කළ හිටපු බුත්තල බීට්ටු වන නිලධාරී එම්. කේ. ඩී. එස්. කල්හාර විසින් අල්ලස් ලබා ගනිමින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන මෙම ඉඩම් සමාගම්වලට හා ව්‍යාපාරිකයන් වෙත නිදහස් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබේ. මෙම දැවැන්ත ඉඩම් ජාවාරම මුදල් ලබා ගනිමින් මෙහෙයවීම සිදු කර ඇත්තේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි, වැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය හා මොනරාගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ හිටපු සභාපති ජගත් පුෂ්පකුමාර විසිනි.
ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ සිට හඳපානාගල වැව දක්වා අලින් සංක්‍රමණය වීම සිදු වන්නේ දෙමලිය – වන්දම වනාන්තර ප්‍රදේශය තුළිනි. අලි – ඇතුන් 120 ක් පමණ මෙම වනාන්තර නිජබිම් කර ගෙන ජීවත් වන අතර වර්තමානය වන විට අක්කර 3000 ක පමණ භූමි ප්‍රදේශයක වනාන්තර ඉවත් කර දැවැන්ත එල්ලෙන විදුලි වැටවල් සකස් කර මහ පරිමාණ වාණිජ වගා බිම් ව්‍යාප්ත කර තිබේ. මේ හේතුවෙන් අලි – ඇතුන් ගේ සංචරණ මාර්ග සම්පූර්ණයෙන් අවහිර වීම නිසා තෙලුල්ල, ඇතිලිවැව, කිතුල්කොටේ, උල්කන්ඳ, හඳපානාගල සහ පැල්වත්ත ජනපද ලෙස පවතින බ්ලොක් 16 හා 14 යන ගම්මානවලට හා වගා බිම්වලට අලි – ඇතුන් පිවිසීම වර්ධනය වී දරුණු අලි – මිනිස් ගැටුමක් නිර්මාණය වී තිබේ.
හෙක්ටයාර 2694 ක් පුරා ව්‍යාප්ත ව ඇති දෙමලිය – වන්දම – කුඩාඔය රජයේ වනාන්තරය තුළ හා ඊට මායිම් ව කඩවර වැව, පරළු වැව, දෙමලිය වැව, හුරත්ගමුව වැව හා ගුනේරිස් වැව පිහිටා තිබේ. මෙම වනාන්තර ප්‍රදේශය මෙම වැව්වල මෙන් ම කිරිදි ඔයේ ජල පෝෂක ප්‍රදේශ වෙති. මීට අමතර ව මෙම වනාන්තර ප්‍රදේශය උමා ඔය බහුකාර්යය ව්‍යාපෘතිය යටතේ දෙමලිය – වන්දම වන අලි කළමනාකරණ රක්ෂිතය ලෙස ප්‍රකාශයට පත් කිරීමට යෝජනා වී තිබුණි. නමුත් ඊට ප්‍රථම බුත්තල ප්‍රාදේශීය ලේකම් ප්‍රමුඛ කණ්ඩායම විසින් සමාගම්වලට හා ව්‍යාපාරිකයන්ට මෙම රජයේ වනාන්තර සියල්ල බදු දී තිබේ.
නීති විරෝධී ව රජයේ වනාන්තර අත්පත් කර ගෙන සිටින සමාගම් හා ව්‍යාපාරිකයන්
12

12
මොනරාගල හිටපු දිසා වන නිලධාරී, විශ්‍රාමික රශාල් වීරසිංහ ගේ පාලන සමයේ දී ඩෝල් හා නෙල්නා සමාගම්වලට පිළිවෙළින් රජයේ වනාන්තර අක්කර 1200 ක් හා 500 ක් ආදී වශයෙන් නීති විරෝධී ව ලබා දෙමින් ආරම්භ කළ මෙම වනාන්තර ඉඩම් ජාවාරම වර්තමානය වන විට සමස්ත දෙමලිය – වන්දම – කුඩාඔය රජයේ වනාන්තර පද්ධතිය පුරා ම ව්‍යාප්ත කර ඇත. නීති විරෝධී ව මෙම සමාගම් දෙකට ඉඩම් නිදහස් කිරීම සඳහා බුත්තල හිටපු ප්‍රාදේශීය ලේකම් ගයාන් අල්ගේවත්ත සහ වැල්ලවාය හිටපු ප්‍රාදේශීය ලේකම් දයානන්ද රත්නායක ද ක්‍රියාත්මක වී තිබේ. මේ නිසා මෙම වනාන්තරය නිජබිම් කර ගෙන ජීවත් වන 120 ක් පමණ වන අලි – ඇතුන්ට හා ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ සිට හඳපානාගල වැව දක්වා සංක්‍රමණය වන අලි – ඇතුන් දරුණු ඛේදවාචකයකට මුහුණ දී සිටී. මෙම වගා බිම් පවත්වා ගෙන යන සමාගම්වල සේවකයන් හා ව්‍යාපාරිකයන් විසින් අලි – ඇතුන්ට වෙඩි තැබීම නිසා අලි මරණ විශාල ප්‍රමාණයක් මෙම ප්‍රදේශය තුළ වාර්තා වී තිබේ.
මීට අමතර ව මෙම ප්‍රදේශය තුළ පිහිටි කඩවර වැවට පහළින් ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයට මායිම් ව ඇති වර්තමානය වන විට අලි – ඇතුන් රැදී සිටින විශාල ම වනාන්තර ප්‍රදේශයට අයත් අක්කර 202 ක් වාණිජ වගාවන් සඳහා නිදහස් කිරීමට ද සූදානම් වේ. වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මෙම ඉඩම් නිදහස් කිරීමට සූදානම් වන්නේ ඉඩම් ජාවාරම්කරුවන් කිහිපදෙනෙකු ගේ පෙළැඹවීම මත කේ. කේ. රවීන්ද්‍රා මාලනී ප්‍රාදේශීය ලේකම්වරිය විසිනි.
දෙමලිය – වන්දම – කුඩාඔය රජයේ වනාන්තරයේ ඉඩම් මහ පරිමාණයෙන් අත්පත් කර ගෙන සිටින්නේ දේශපාලඥයන් හා ව්‍යාපාරිකයන් පිරිසක් විසිනි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නිමල් ලන්සා විසින් අක්කර 300 ක්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි එස්. බී. දිසානායක ගේ පුතනුවන් වන නාරද දිසානායකට අක්කර 100 ක්, බුත්තල ව්‍යාපාරිකයකු හා සම්බාහන මධ්‍යස්ථාන බොහොමයක හිමිකරුවකු වන සන්දීප් ප්‍රියංකරට අයත් අක්කර 150 ක්, වැවේ වත්ත ෆාම් සමාගමට අයත් අක්කර 100 ක්, හේන ෆාම් සමාගමට අයත් අක්කර 50 ක්, ඕස්ටේ්‍රලියාවේ වැඩවාසය කරන හිමිනමකට අයත් අක්කර 100 ක් හා තවත් ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකුට අයත් අක්කර 50 ක් පමණ වන ඉඩම් කට්ටි කිහිපයක් අත්පත් කර ගෙන තිබේ. මේ සියලූ ම වනාන්තර එළිපෙහෙළි කර වගා බිම් ව්‍යාප්ත කර ඇත්තේ පාරිසරික නීති බොහොමයක් උල්ලංඝනය කරමිනි.
වන සංරක්ෂණ ආඥාපනත උල්ලංඝනය කිරීම
දෙමලිය – වන්දම – කුඩාඔය රජයේ වනාන්තරය, දෙමලිය – කුඩාඔය යෝජිත රක්ෂිතය ලෙස නම් කර ඇති අතර 2009 අංක 65 දරන පනතින් අවසන්වරට සංශෝධිත වන සංරක්ෂණ ආඥාපනතේ 20(1) වන වගන්තියට අනුව රජයේ වනාන්තරයක් ලෙස මෙම ප්‍රදේශය පාලනය වේ. එම වගන්තියට අනුව එවැනි වනාන්තරයක ශාක කපා ඉවත් කිරීම, වගා කිරීම, තාවකාලික හෝ ස්ථිර ගොඩනැගිලි ඉදි කිරීම හා පදිංචි වී සිටීම, මාර්ග සකස් කිරීම හා භාවිත කිරීම වරදකි. එවන් වරදකට අධිකරණයෙන් වරදකරුවකු කරන පුද්ගලයකු වසර 2 ක් දක්වා බන්ධනාගාර ගත කිරීමකට හෝ රුපියල් 5000 ත් 50,000 ත් අතර දඩයකට හෝ මෙම දණ්ඩනයන් දෙකට ම යටත් කළ හැකි ය. මෙම දඩුවමට අමතර ව රජයේ වනාන්තරයට කරන ලද හානිය සඳහා අධිකරණය විසින් නියම කරන දඩයකට ද යටත් කළ හැකි ය. මෙම ආඥාපනතේ 20(2) වගන්තියේ සඳහන් වන ආකාරයට රජයේ වනාන්තරයක නීති විරෝධී ක්‍රියාවක නිරත වීමට ආධාර හා අනුබල ලබා දීම ද වරදක් වන අතර එවන් පුද්ගලයකු මෙම දඩුවම්වලට ම යටත් කළ හැකි ය.
වන අපරාධ සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු සඟවමින් එම ක්‍රියාවේ නිරත වන පුද්ගලයකු මෙම ආඥාපනතේ 48(1) වගන්තියට අනුව වරෙන්තුවක් නොමැති ව අත්අඩංගුවට ගත හැකි ය. මීට අමතර ව මෙම ආඥාපනතේ 53අ. වගන්තියට අනුව රජයේ වනාන්තරයක් නීති විරෝධී ව එළිකරන හෝ අල්ලා ගනු ලබන හෝ නීති විරෝධී ව හෝ අනවසරයෙන් සතු කර ගෙන ඇති අවස්ථාවක ඒ තැනැත්තා වරදකරුවකු වන අතර ඔහු එම වරද සම්බන්ධයෙන් වූ දඩුවමට අතිරේඛ ව එම ඉඩමෙන් නෙරපීමට ද යටත් විය යුතු ය. 1979 අංක 7 දරන රජයේ ඉඩම් සන්තකය ආපසු ලබා ගැනීමේ පනතේ විධිවිධානවලට අනුව අදාළ නෙරපීම් සිදු කළ යුතු ය. මෙය අදාළ ඉඩම පිහිටි ප්‍රදේශයේ වන නිලධාරීන් විසින් සිදු කළ යුතු ය.
මෙවන් වූ නීතිමය තත්ත්වයන් ගණනාවකට යටත් වන දෙමලිය – වන්දම – කුඩාඔය රජයේ වනාන්තරය බුත්තල ප්‍රාදේශීය ලේකම්, වන සංරක්ෂණ නිලධාරීන් හා හිටපු නියෝජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර එක් ව සමාගම්වලට හා ව්‍යාපාරිකයන්ට බදු දී ඇත්තේ කුමන පදනමක් මත ද යන්න ගැටළුවකි. නිලධාරීන් හා දේශපාලඥයන් විසින් සිදු කළ මෙම නීති විරෝධී ක්‍රියා සියල්ලට ම එරෙහි ව නීතිය ක්‍රියාත්මක කළ යුතු ය.
මේ සඳහා වැදගත් වන ප්‍රමුඛ නඩු තීන්දුවක් වන්නේ පටපිළිකන්ඳ නඩු තීන්දුවයි. ප්‍රාදේශීය ලේකම්වරයකු විසින් වන සංරක්ෂණ ආඥාපනත යටතේ පාලනය වන පටපිළිකන්ඳේ රජයේ වනාන්තර ඉඩමක් සඳහා වාර්ෂික බලපත්‍රයක් ලබා දීමට එරෙහි ව අභියාචනාධිකරණයේ විභාග වූ සීඒ/රිට්/අංක 2047/2003 දරන රිට් නඩුකරයට අනුව ලබා දුන් රිට් ආඥාවේ සඳහන් වන්නේ අදාළ රජයේ වනාන්තර ඉඩම ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන ලෙසට පරිසර හා ස්වාභාවික සම්පත් අමාත්‍යංශයේ ලේකම් සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වන සංරක්ෂණ ජනරාල්වරයා වෙත නියෝග කළ බව ය. එම නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වූ එස්.සී. අංක 78/2006 දරන නඩුකරයට අනුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ එකඟතාවයක් නොමැති ව රජයේ වනාන්තර ඉඩමක් සඳහා වාර්ෂික බලපත්‍රයක් නිකුත් කිරීම බලය ඉක්මවා කටයුතු කිරීමක් බවට තීන්දු කරමින් අභියාචනාධිකරණයෙන් ලබා දුන් තීන්දුව තවදුරටත් තහවුරු කරන ලදී. මෙවන් පූර්වාදර්ශ නඩු තීන්දු තිබිය දී බුත්තල ප්‍රාදේශීය ලේකම් දෙමලිය හා වන්දම ප්‍රදේශයේ රජයේ වනාන්තර ඉඩම් සමාගම්වලට හා ව්‍යාපාරිකයන්ට බදු දීමෙන් සිදු කර ඇත්තේ නීති විරෝධී ක්‍රියාවකි.
පරිසර හා පුරාවස්තු අණ පනත් උල්ලංඝනය කිරීම
14

14