Sunday, March 16, 2025

අනුරාධපුර වෛද්‍යවරියට ලිංගික හිරිහැර කිරීමේ සැකකරුට පොලිසිය විසින් දඬුවම් දීම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්!

ජායාරූපය: වධහිංසා පැමිණවීමෙන් පසු අධිකරණය හමුවට සැකකරු ඉදිරිපත් කිරිම. එයට පෙර ඔහුගේ ඡායාරූප මාධ්‍ය මගින් ප්‍රචාරය කරන ලදී.

අනුරාධපුර වෛද්‍යවරියට ලිංගික හිරිහැර කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුට පොලිසිය විසින් දඬුවම් දීම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්ෙ බව සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

වෛද්‍යවරියකට ලිංගික හිරිහැර කිරීමක් සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලද සැකකරු මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ පවසා ඇත්තේ තමන්ට සිටගෙන සිටීමට පවා නොහැකි ආකාරයට බරපතල ලෙස පහර දී ගුද මාර්ගයට පොලු කෑල්ලක් ඇතුළු කර වද දුන් බවයි.

 පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් ආයුධ පෙන්වීමට ගොස් ඝාතනය වීම්  ඇතුළු විවිධ වද බන්ධන පැමිණවීම් සම්බන්ධයෙන් පසුගිය කාලයේ පොලිසියට විරුද්ධව විවිධ චෝදනා එල්ල විය. පැවති රජයන්ගේ පූර්ණ ආශීර්වාදය බොහෝ අවස්ථාවල මෙකී අනීතික කටයුතුවලට ලැබුණු අතර වර්තමාන රජය බලයට ගෙන ඒමේ ප්‍රධාන ජනතා අභිලාෂයක් වූයේද නීතියේ විධානය සුරැකෙන දේශයක් ගොඩනැගීමයි.

 සැකකරුවන්ට දඬුවම් දීමට හෝ වෙනත් ආකාරයේ වද බන්ධන ලබාදීමට ශ්‍රී ලංකා පොලිසියට කිසිදු බලයක් ලබාදී නොමැති අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 (4) වගන්තිය අනුව අධිකරණයට ලබා දී ඇති බලය උදුරා ගැනීමට හෝ එය අභිබවා යාමට පොලිසියට නොහැක.

අමල් සුදත් සිල්වා එරෙහිව කොඩිතුවක්කු (1982 2 SCR 19) සහ  හෙක්ටර් ධර්මසිරි මූලස්ථාන පොලිස් පරීක්ෂක රත්නපුර (1993) 1 SRL 224 යන නඩුවලදී ගරු ශ්‍රේෂ්ඨාධිකරණය  ප්‍රකාශ කර ඇත්තේ සැකකරු කොතරම් ම්ලේච්ඡ  හා කුරිරු අයෙකු වුවත් ඔහුට වද හිංසන කිරීමට පොලිසියට බලයක් නැති බවයි.

තවද  අපරාධ විමර්ශන ක්‍රියාවලිය තුළ වින්දිත පාර්ශ්වයට ද යුක්තිය ළඟා කරගත හැක්කේ පොලිසිය විසින් තමන්ට ලබා දී ඇති බලසීමාව තුළ කටයුතු කරන තාක් වේ.  මේ නිසා  පොලිසියට ලැබී ඇති විශාල අභිමතය ප්‍රවේශමෙන් භාවිතා කිරීමට පොලිසිය වග බලා ගත යුතුය. එසේ නැතහොත් ඉන් පළමු පහර එල්ලවන්නේ රටේ නීතියේ පාලනයට බව පොලිස් නිලධාරීන් සිහි තබාගත යුතුවේ.

වෘත්තීයමය ආකාරයෙන් කටයුතු නොකොට අත්අඩංගුවට ගන්නා සැකකරුවන් සම්බන්ධයෙන් අනීතික හා ගෝත්‍රික ආකාරයට කටයුතු කිරීම මගින් අපරාධ මර්ධනයට කිසිදු සහයක් නොලැබෙන බව මෙහිලා සඳහන් කර සිටින අතර නිලලත් පාතාලකරුවෙකුගේ භූමිකාවට අදාල  පොලිසියේ හැසිරීම් වහා නැවැත්විය යුතුවේ. එසේ නැතහොත්  අපරාධ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් පවතින ජනතා විශ්වාසය බිඳ වැටි නීතියේ විධානය වචනවලට පමණක් සීමා වුනු වටපිටාවක් නිර්මාණය වීම නොවැළැක්විය  හැක.

එබැවින් අපරාධ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේදී ශ්‍රී ලංකා පොලිසියේ අනීතික කටයුතු නැවැත්වීමට පියවර ගැනීම සිය පුරවැසියන් වෙනුවෙන් සිදුකළ යුතු ප්‍රමුඛ කාර්යයක් බව මේ මොහොතේ රජයට සිහිපත් කර සිටිමු.

නීතීඥ සේනක පෙරේරා,

විධායක අධ්යක්ෂක, සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව.

Archive

Latest news

Related news