පොලීසිය විසින් අරගලයෙහි වින්දිතයන්ට එරෙහිව ගනු ලබන අසාධාරණ, නීති විරෝධී සහ අත්තනෝමතික, පීඩාකාරී ක්‍රියාමාර්ග පිළිබඳ පැමිණිලිවලට ප්‍රතිචාර දක්වමින් නව රජය හදිසි, හෘද සාක්ෂියට එකඟ ක්‍රියාමාර්ග ගත යුතු වේ
2022 වර්ෂය ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරයි. ආර්ථික අර්බුදය එයින් පීඩාවට පත් ජනතාව වීදි බැසීමට පෙළඹවූ අතර එය ‘අරගලය’ නැත හොත් ‘පෝරාට්ටම්’ ලෙස හඳුන්වනු ලැබේ. මාස ගණනක් පුරා පැවති විරෝධතා සහ වාඩිලාගැනීම් ජනතා බලය පිළිබිඹු කළේ ය. සමාජ ගිවිසුම සම්පූර්ණයෙන් ම කඩකරනු ලැබීම හේතුවෙන් ඇති වූ සමාජ නොසන්සුන්තාවය අවසන් වූයේ එවකට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ප්‍රධාන දේශපාලන චරිත ඔවුන්ගේ ධූර වලින් ඉල්ලා අස්වීමෙන් පසුව ය.
අරගලය: දේශපාලන පරිවර්තනයක තීව්‍ර නිමේෂය
2022 වර්ෂයේ ශ්‍රී ලංකාවේ ඇති වූ ආර්ථික අර්බුදය දේශපාලන පරිවර්තනයක තීව්‍ර නිමේෂයක් නිර්මාණය කළේය. විරෝධතා ව්‍යාපාරය රාජ්‍ය පාලනය කෙරෙහි මහජනතාව තුළ ඇති වූ අතෘප්තිය සහ දේශපාලන නායකයින් වගකිවයුත්තන් කිරීමට ඔවුන් තුළ තිබූ අධිෂ්ඨානය සැලකිය යුතු අන්දමින් ප්‍රකාශ කිරීමක් විය. එතුළින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පහ කිරීමේ ක්ෂණික ඉලක්කය සාක්ෂාත් කර ගන්නා ලද නමුත් ආර්ථික ප්‍රකෘතිමත් කිරීම, දේශපාලන ප්‍රතිසංස්කරණ සිදු කිරීම සහ පාලනය කෙරෙහි විශ්වාසය නැවත ගොඩනැගීම යන දිගුකාලීන අභියෝග තවමත් පවතියි. මෙම අර්බුදය මගින් ශ්‍රී ලංකාවේ දේශපාලන හා ආර්ථික පද්ධති තුළ ඇති ගැඹුරු, ව්‍යූහාත්මක ගැටළු ඉස්මතු කර පෙන් වූ අතර, ජනතා අරගලය රටේ අනාගතය මෙහෙයවිය යුත්තේ කෙසේද යන්න පිළිබඳ කතිකාව අඛණ්ඩව හැඩගස්වයි.
අරගලයට එරෙහි රජයේ මර්දනය
රජය කෙරෙහි ඇති වූ විරුද්ධත්වය, අතෘප්තිය සහ රජය වගකිවයුත්තා බවට පත්කිරීමේ අධිෂ්ඨානය සහිත ජනතා නැගී සිටීම මහජන රැස්වීම්, විරෝධතා පාඨ හඬනැගීම්, කථා සහ වෙනත් ආකාරවලින් අදහස් ප්‍රකාශ කිරීම්, මහජන පාගමන් සහ පොදු ඉඩකඩවල වාඩිලා ගැනීම් වැනි ස්වරූප ගත්තේ ය.
මෙම ප්‍රසිද්ධ රැස්වීම්, අදහස් ප්‍රකාශ කිරීමේ ස්වරූප සහ පොදු අවකාශය අත්පත් කර ගැනීම් සඳහා රජය දැක්වූ ප්‍රතිචාර වලට නිදහස සීමා කිරීම, බිය වැද්දීම සහ ප්‍රචණ්ඩත්වය (ජල ප්‍රහාර, කඳුළු ගෑස්, කැරලි මර්දන පොලීසිය යෙදවීම, වධහිංසා පැමිණවීම) තුළින් හානි සිදු කිරීමේ ක්‍රියාමාර්ග ගැනීම සහ වීදිවල සහ මාර්ගගත ක්‍රම ඔස්සේ මහජන විරෝධතාවලට සහභාගී වන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම, රක්ෂිත බන්ධනාගාරගත කිරීම සහ නඩු පැවරීම සඳහා නීතිය භාවිතා කිරීම ඇතුළත් විය.
3000ක් අත්අඩංගුවට
මෙම කාලය තුළ ජනතාව ක්‍රියාත්මක කළ නිරායුධ, අවිහිංසාවාදී අරගලය එවකට පැවති රජය විසින් කුරිරු ලෙස මර්දනය කරන ලද අතර, එහිදී සිවිල් වැසියන් 3,000 ට ආසන්න සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නඩු පවරන ලදී. විවිධ ක්‍රම කිහිපයක් ඔස්සේ අත්අඩංගුවට ගැනීම් සිදු කරන ලදී: විරෝධතා පැවති ස්ථානවල දී හෝ ඒ අවට ස්ථාන වල දී සිදු කරන ලද අත්අඩංගුවට ගැනීම්, විරෝධතා පැවති ස්ථානවල සහ අනෙකුත් ස්ථානවල සී.සී.ටී.වී. කැමරා දර්ශන පදනම් කරගෙන සිදු කරන ලදැයි පැවසෙන අත්අඩංගුවට ගැනීම් සහ විරෝධතා පැවති ස්ථානවල වීඩියෝ දර්ශනවල (උදා: පොලීසියේ අපරාධ වාර්තා කොට්ඨාසයේ කැමරා ශිල්පීන් විසින් පටිගත කරන ලද වීඩියෝ දර්ශනවල, සමාජ මාධ්‍යවල සහ විරෝධතාවල ක්‍රියාකාරකම් ආවරණය කළ මාධ්‍ය ආයතනවලින් ලබාගත් වීඩියෝ දර්ශනවල) සටහන් වී තිබූ වැරදි සම්බන්ධයෙන් සිදු කරන ලදැයි පැවසෙන අත්අඩංගුවට ගැනීම් එයට ඇතුළත් වන අතර, එවකට පැවති රජයට එරෙහිව සිදු කළ විරෝධතා හෝ අදහස් පළකිරීම් සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමේ මුවාවෙන් අපරාධ විමර්ශන කොට්ඨාසය (සී.අයි.ඩී.) වෙත පුද්ගලයින් කැඳවීමෙන් පසුව ද අත්අඩංගුවට ගැනීම් සිදු කරන ලදී.
පොලිසියේ මෙම දේශපාලනීකරණය වූ සහ අත්තනෝමතික ක්‍රියාමාර්ග පැහැදිලිවම පළිගැනීමේ අදහසින් සිදු කරන ලද ක්‍රියාමාර්ග විය.
ඉහත සඳහන් කළ අත්අඩංගුවට ගැනීම් සඳහා අදාළ කර ගෙන ඇති නීති මෙසේ ය:
1. දණ්ඩ නීති සංග්‍රහය
32 සහ 146 වෙනි වගන්ති සමග කියවිය යුතු 140 , 138, 139, 386, 433, 486, 141, 142, 143, 144, 148, 157, 149, 150, 183, 185, 186, 410, 343, 344, 220, 113(අ), 100, 101, 102, 106, 110, 115, 261, 219, 220, 223, 276, 119, 120, 367, 369, 394, 395, 434, 490, 418, 419, 440, 443, 436, 437, 332, 409, 314, 316, 380, 382, 421, 323, 324, 442, 296, 484, 283 වෙනි වගන්ති යටතේ වන වැරදි
2. 1865 අංක 16 දරන පොලිස් ආඥා පනත (සංශෝධිත)
79(2), 2(1)(5), 96 වෙනි වගන්ති සමග කියවිය යුතු 77(1), 77(3), 80(2), 77(2), 98 වෙනි වගන්ති යටතේ වන වැරදි
3. 1982 අංක 12 දරන පොදු දේපළ විෂයෙහිලා සිදු කරන වැරදි පිලිබඳ පනත
02, 03, 04, 05 වෙනි වගන්ති යටතේ වන වැරදි
4. 1940 අංක 09 දරන පුරාවස්තු ආඥා පනත (සංශෝධිත)
15(අ) සහ 15(ආ) වෙනි වගන්ති සමග කියවිය යුතු 4 වෙනි සහ 34(ඇ) වෙනි වගන්ති යටතේ වන වැරදි
5. 1947 අංක 25 දරන මහජන ආරක්ෂණ ආඥා පනත
16(3) වෙනි වගන්තිය යටතේ වන වැරදි
6. 1989 අංක 02 දරන අධිකරණ සංවිධාන පනත
55(1), 55(2)(ආ), 107(2)(3) වෙනි වගන්ති යටතේ වන වැරදි
7. 2008 අංක 40 දරණ ජාතික මංමාවත් පනත (සංශෝධිත)
56(1), 59(1), 59(2) වෙනි වගන්ති යටතේ වන වැරදි
8. ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත
2(1)(අ), (ඇ), (ඈ), (ඌ), (ඉ) සහ 3(අ),(ආ) වෙනි වගන්ති යටතේ වන වැරදි
9. 2007 අංක 24 දරණ පරිගණක අපරාධ පනත
06 වෙනි වගන්තිය යටතේ වන වැරදි.
නඩු වැඩකට නැති බොරු
මෙම නඩුවලින් බහුතරයක් සම්බන්ධ ප්‍රගතියක් නොමැති බව, නැත හොත් ප්‍රගතිය අල්ප බව අවධානයට ගත යුතු කරුණක් වේ. ඇත්ත වශයෙන් ම කිසිදු වරදක් නොකළ ද, විරෝධතාවලට සහභාගී වීම නිසා පීඩාවට ලක්වී සිටින පුද්ගලයන්ට මෙම ප්‍රමාදයන් දඬුවම් සහ පීඩා කිරීමේ තවත් ස්තරයක් එක් කරයි. නඩු වලින් අතිමහත් බහුතරයකට අදාළ සිද්ධීන් තවමත් ‘විමර්ශනය කෙරෙමින් පවතියි’; ඇතැම් නඩුවල චෝදනා පත්‍ර ලබා දී ඇති අතර, විභාග කිරීමේ අවධියේ පවතින්නේ නඩු කිහිපයක් පමණකි. තවත් නඩු කිහිපයක් උපදෙස් ලබා ගැනීම සඳහා නීතිපතිවරයාට යොමු කර ඇත.
උද්ගත මානව හිමිකම් ගැටළු
මතු වී ඇති මානව හිමිකම් ගැටළු වලින් කිහිපයක් පහත සඳහන් පරිදි වේ:
■ කඩිනමින් විමර්ශන සිදුකර සාධාරණ කාල රාමුවක් තුළ විමර්ශන වාර්තා ගොනු කිරීමට අපොහොසත් වීම. එහි ප්‍රතිඵලයක් ලෙස, චෝදනා ගොනු කිරීමට සහ කඩිනමින් නඩු අවසන් කිරීමට ඇති අවස්ථාව ඇහිරී ඇත. නඩුවක් ගොනු කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවට සැකකරුවන් වෙනුවෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇති අවස්ථාවල දී පවා සාක්ෂි නොමැතිකම මත කිසිදු නඩුවක් ප්‍රතික්ෂේප කර නැත්තේ පොලිසිය එයට විරෝධතාවය දැක්වීම හේතුවෙනි.
■ බොහෝ නඩුවලදී, සැකකරුවන්ට එරෙහිව දැනට විමර්ශන සිදු කෙරෙමින් පැවතීම නිසා ඔවුන්ට එරෙහිව සංචාරක තහනම් පනවා තිබීම ඔවුන්ගේ පුද්ගලික නිදහසට සෘජුව ම බලපායි. රැකියා සඳහා විදේශගත වීමට වීසා ලබාගෙන සිටින සැකකරුවන්ට ඔවුන්ගේ ජීවනෝපාය සුරක්ෂිත කර ගැනීමේ අවස්ථා ද අහිමි වී ඇත.
පොලිසියේ අත්තනෝමතික පියවර
මෙම නඩු වලින් බොහොමයක් එම නඩුවලට අදාළ සිද්ධීන්ට සෘජුව ම සම්බන්ධ නොවූ හෝ අදාළ ස්ථානයට ඇතුල්වී හෝ නොමැති පුද්ගලයින්ට එරෙහිව පවරා තිබෙන්නේ ය යන කරුණ මගින් නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් අත්තනෝමතික ලෙස ක්‍රියාමාර්ග ගෙන ඇති බව පෙන්නුම් කරයි. ඇතැම් නඩුවල දී, කිසිදු සැලකිය යුතු හේතුවක් නොමැතිව පුද්ගලයින්ට එරෙහිව අපරාධ නඩු පවත්වාගෙන යන බැවින් වැඩිදුර විමර්ශන සිදු කළ යුතු ය යන පදනම මත සිදුවන ප්‍රමාදයන් ඔවුන්ට දඬුවම් විඳීමට හේතුවක් වී ඇත. මෙම නඩු ආරම්භ කර වසර තුනකට ආසන්න කාලයක් ගත වී ඇති බැවින්, ප්‍රමාණවත් සාක්ෂි තිබීමේ සෘජු ප්‍රතිඵලයක් ලෙස මෙම නඩු පවත්වා ගෙන යා හැකිද යන්න හදිසි අවශ්‍යතාවයක් ලෙස සලකා සමාලෝචනය කිරීම අතිශය වැදගත් වේ.
ඉල්ලීම්
(1) වර්ෂ 2022 – 2023 කාලයේ පැවති ජන අරගලයට සම්බන්ධ වූ විරෝධතාකරුවන්ට සහ විරෝධතා ස්ථාන අවට සිටි පුද්ගලයන්ට එරෙහිව ලැබී ඇති පැමිණිලි පිළිබඳ ඇගයීමක් කරන බවත්, මෙම අත්තනෝමතික සහ නිදහස උල්ලංඝනය කිරීමේ ක්‍රියාමාර්ග පළිගැනීමේ අදහසින් සිදු කර ඇති බව පිළිගන්නා බවත් ඇතුළත් කරමින්, අවශ්‍ය නම් මානව හිමිකම් කොමිෂන් සභාවේ සහාය ඇතිව, රජය ප්‍රතිපත්ති ප්‍රකාශයක් නිකුත් කළ යුතු ය.
(2) අධිකරණය ඉදිරියේ දැනට විභාග වෙමින් පවතින මෙම නඩුවලට අදාළ සිද්ධි සම්බන්ධයෙන් පොලිසිය විසින් ගෙන ඇති සියලු ක්‍රියාමාර්ග (අත්අඩංගුවට ගැනීම, වධහිංසා පැමිණවීම, නඩු පැවරීම සහ සංචාරක තහනම් නිකුත් කිරීම) සමාලෝචනය කරන ලෙස රජය නීතිපතිවරයාගෙන් ඉල්ලා සිටිය යුතු ය.
(3) රජයේ ඉල්ලීම මත නීතිපතිවරයා විසින් මාස 6 ක් ඇතුළත මෙම නඩු සමාලෝචනය කර ක්‍රියාමාර්ග ගත යුතු ය. 2022 මාර්තු සිට 2023 දෙසැම්බර් දක්වා කාලය තුළ විරෝධතා පැවැත්වීම් සම්බන්ධයෙන් පුද්ගලයින්ට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණයේ සහ/හෝ මහාධිකරණයේ පවරා ඇති නඩු සමාලෝචනය කළ යුතු ය. අරගලය පැවති සමයේ තිබූ සන්දර්භය අවබෝධ කර ගැනීම සහ එම අවස්ථාවේ දී රාජ්‍ය බලය අත්තනෝමතික ලෙස භාවිතා කළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් රජය අනුගමනය කරන ප්‍රතිපත්තිය පිළිබිඹු කිරීම සහ එම එක් එක් නඩුව සම්බන්ධයෙන් නීතමය වශයෙන් පිළිගත හැකි සහ සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම සමාලෝචනයේ අරමුණ වේ.
2025 පෙබරවාරි 21
Law and Society Trust (LST) නීතිය සහ සමාජ භාරය විසින් අධිකරණ ඇමතිවරයාට යවන ලද ලිපියකි.