පොලිස් කොමිසම පොලිසියේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීම නිසා නාමික පොලිස්පතිවරයකු බිහි වී ඇති බවත්, පොලිසියේ පත්කිරීම්, මාරුකිරීම් සහ විනයානුකූල ක්‍රියාමාර්ග ගැනීම් කොමිසමෙන් ඉවත් කර පොලිසියට පැවරිය යුතු බවත් වැඩ බලන පොලිස්පතිවරයා සඳහන් කර තිබේ. ඔහු මේ අදහස් පළකළේ 22 දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී ය. මේ අනුව සිතා ගත් හැක්කේ ජාතික ජන බලවේග ආණ්ඩුව පොලිස්පතිගේ මතය පිළිගන්නා බවදැයි විචාරකයෝ ප්‍රශ්න කරති.
එහිදී පොලිස්පතිවරයා මෙසේ ද පවසා තිබේ.
‘ලංකාවෙ දැනට තියෙන නීතියට අනුව පොලිස් කොමිසම ක්‍රියාත්මක වෙනවා. නමුත් ලෝකයේ අපි දකින්නෙ පොලිස් කොමිසම තියෙන්නෙ, පොලිසියේ අභ්‍යන්තරය පාලනය කරන්න නෙමෙයි. එක්සත් ජනපදය ගත්තත්, වෙනත් රටවල් ගත්තත් මහජන ප්‍රශ්න විසඳන්න, පොලිස් නිලධාරීන්ගේ විෂමාචාර ක්‍රියා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න තමයි පොලිස් කොමිසම කටයුතු කරන්නෙ. නමුත් ඒ දෙකම පැත්තකට දාලා, කොමිසම පොලිසියේ අභ්‍යන්තරයට මැදිහත් වන තැනට ඇවිත් තියෙනවා. ඒකට හේතුව වැරදි තැනක පිහිටුවලා තියෙන එක.
මේ තත්ත්වය නිසා පොලිසියේ කටයුතු අපිට පාලනය කරගන්න බැරි තත්ත්වයක තියෙන්නෙ. ඒ සම්බන්ධයෙන් මම ලිඛිතව පොලිස් කොමිසම දැනුවත් කරලා තියෙනවා. පත්කිරීම්, ස්ථාන මාරුකිරීම්, විනයානුකූලව කටයුතු කිරීම් මේ තුන නැත්නම් පොලිස්පති කියන්නෙ නාමික තනතුරක් බවට පත්වෙනවා. ඒක නිසා අපිට අවශ්‍ය සාධාරණය කරන්න බැරිවෙනවා. මේ කටයුතු පොලිසියට පවරන්න ඕනෙ කියන එකයි අපේ අදහස.’
වැ.බ. පොලිස්පති පරණ බලතල ඉල්ලයි!
වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියට අනුව 17 වන සංසෝධනයේ සිට විවිධ සංසෝධන හරහා අද වන විට පරිණාමය වී ඇති පොලිස් කොමිසම වාතයකි. මෙම වැ.බ. පොලිස්පතිට අවශ්‍යව ඇත්තේ 2007ට පෙර තිබූ තිබූ බලතල ඔහුට ලබා ගැනීමටය.
පොලිස් කොමිසමක් පිහිටුවීමේ යෝජනාව මුල ්වරට ගෙන ආවේ 2007 වර්ශයේ දී අන්ර කුමාර නායකත්වය දුන් ජනතා විමුක්ති පෙරමුණ විසිනි. අද ජාජබ ආණ්ඩුවේ වැඩබලන පොලිස්පති වන ප්‍රියන්ත වීරසූරිිය විවේචනය කරන ලක්ෂන පොලිස් කොමිසම සතුව මුල් කාලයේ සිටම තිබුණි. එනයින් ඔහු විවේචනය කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ විසින් චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩුව සමඟ එකව පිහිට වූ ජාතික පොලිස් කොමිසමය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ලලිත් ඒකනායක අවධාරණය කළේ කොමිසමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පවරා ඇති රාජකාරි සිදු කළ යුතු ව ඇති බවයි. කොමිසම සිදුකරමින් සිටින්නේ එම වගකීම ඉටුකිරීම බවත්, මේ නිසා කොමිසම ලබාදෙන නියෝග ක්‍රියාත්මක නොකර සිටීමට පොලිස්පතිවරයාට හැකියාවක් නැති බවත් සභාපතිවරයා පෙන්වා දුන්නේය. පොලිස්පතිවරයා කැමැති වුවත්, අකමැති වුවත්, කොමිසමට දෝෂාරෝපණය කළත් ඵලක් නැති බව වැඩිදුරටත් සඳහන් කරන සභාපතිවරයා, ආණ්ඩුව ව්‍යවස්ථාව වෙනස් කරන්නේ නම් මේ ගැටලු විසඳීය හැකි බව පැවසීය. එතෙක් කොමිසමට ව්‍යවස්ථාවෙන් පවරා ඇති රාජකාරි පැහැර හැරිය නොහැකි බව ද සභාපතිවරයා ටයිම්ස්ඩොට්එල්කේ වෙබි අඩවියට ප්‍රකාශ කර තිබේ.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ ද පවසා ඇත.
‘ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් කොස්තාපල්වරයාගේ සිට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා දක්වා පත්කිරීම්, මාරුකිරීම්, විනය ක්‍රියාමාර්ග ගැනීම් පැවරිලා තියෙන්නෙ පොලිස්පතිවරයාට. එතැනින් ඉහළ සහකාර පොලිස් අධිකාරිවරයාගේ සිට නියෝජ්‍ය පොලිස්පතිවරයා දක්වා මේ කටයුතු සිදුකිරීමේ වගකීම ව්‍යවස්ථාවෙන් පවරලා තියෙන්නෙ ජාතික පොලිස් කොමිසමට. මේ කටයුතු දැනට සිදුකරන්නෙ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ උසස් කිරීමේ, මාරු කිරීමේ කාර්යපටිපාටික රීතිවලට අනුව. ඒත් මේවා පොලිසියට ගැළපෙන ආකාරයට හදලා, පොලිස්පතිවරයාගේ අනුමැතියට දාලා මාස තුනක් වෙනවා. තවම ඒවා අපට ලැබුණෙ නෑ. දැනට තියෙන තත්ත්වයට අනුව අපි මේ කටයුතු කරන්න ඕනෙ. එහෙම නැති වුණොත්, මේ බලතල ව්‍යවස්ථාවට පිටින් පොලිස්පතිවරයාට දුන්නොත්, අපිට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩු පවරයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පොලිස් කොමිසම ගන්න තීරණයක් අභියෝගයට ලක්කරන්න පුළුවන් වෙන්නෙ ශ්‍රේෂ්ඨාධිකරණයට සහ කම්කරු විනිශ්චයාධිකාරයට විතරයි. අපි දැනට පවතින නීතියට අනුව වැඩ කරනවා. ඒකෙ යම් ගැටලු තිබුණත්, ඒක අපේ ප්‍රශ්නයක් නෙමෙයි.’
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 වැනි පරිච්ඡේදයේ ජාතික පොලිස් කොමිෂන් සභාව කොටසේ මෙසේ දැක්වේ.
වැ.බ. පොල්ස්පති අධිකරණය ඉදිරියට ගෙන ආ හැකිය!
“155 (ඊ) – තමන්ගේ නීත්‍යනුකූල කාර්යය ඉටුකිරීමේදී හැර කොමිෂන් සභාවේ හෝ එහි යම් කමිටුවක හෝ යම් තීරණයකට කෙලින්ම හෝ වක්‍රාකාරයෙන් හෝ තමා විසින් ම හෝ වෙනත් යම් තැනැත්තකු මගින් හෝ වෙනත් යම් තැනැත්තකු සමග එක් වී හෝ කවර වුවද ආකාරයකින් බලපෑම් කරන හෝ බලපෑම් කිරීමට තැත්කරන හෝ අයුතු ලෙස මැදිහත් වන හෝ කොමිෂන් සභාවේ හෝ එහි යම් කමිටුවක සාමාජිකයකු වෙත එසේ බලපෑම් කරන සෑම තැනැත්තකු ම වරදකට වරදකරු වන අතර, ඔහු එසේ වරදකරු කරනු ලැබූ විට රුපියල් එක් ලක්ෂයක දඩයකට හෝ අවුරුදු හතක් නොඉක්මවන කාලයකට බන්ධනාගාරගත කරනු ලැබීමකට හෝ ඒ දඩය සහ ඒ බන්ධනාගාරගත කිරීම යන දඬුවම් දෙකට ම හෝ ඔහු යටත් විය යුත්තේය.”
ජාජබ ආණ්ඩුවේ පොලිස්පතිවරයාට 17 වන සංසෝධයෙ ්සිට 21 වන සංසෝධනය දක්වා ගෙන එන ලද තුලන සහ සංවරණ ක්‍රියාදාමය ගැන අදහසක් නැති බව පෙනේ. අනෙක් අතට රාජපක්ෂවරුන් විසින් විකෘති කර බ රහිත කරලන ලද ව්‍යවස්ථා සභාව සහ ස්වාදීන කොමිෂන් සභා යළි බලසතු කිරීමට ද ජාජබ ආණ්ඩුව පියවර ගන්නා බවක් නොපෙනේ.
මෙවැනි පුද්ගලයින් මත රඳා පැවතීමේ හානිය පසු ගියදා අධිකරණය තුල සිදු වූ ඝාතනයෙන් පිළීඹිමු විය. අධීකරණයක දී ගනේමුල්ලේ සංජීව ඝාතනය කරන බවට තොරතුරු ලැබි තිබියදීත් මෙම වැ.බ. පොලිස්පති කිසිදු ආරක්ෂක පියවරක් ගත්තේ නැත.
මේ අනුව වැඩබලන පොලිස්පතිට විරුද්ධව නීතමය පියවර ගැනීමට ජාජබ ආණ්ඩුව අනුබල දෙනු ඇත්ද?
අසෝක ජයවර්ධන විසිනි.
- ශාලික විමලසේන විසින් thetime.lk හි පල කරන ලද ලිපියකින් ගන්නා ලද උදෘත සඳහන් වන නමුත් එම ලිිපියේ අවධාරණයන් සහ මෙම ලිපියේ අවධාරණයන් වෙනස් බව සළකන්න).