(Sri Lanka Brief/22.02.2025)
සුනන්ද දේශප්‍රිය.
අනුර කුමාර දිසානායක ආණ්ඩුවට පොලිස් පාර රාජ්‍ය දැන් බරපතල අභියෝගයක් ඉදිරිපත් කර තිබේ. ඒ අත් අඩංගුවට ගෙන පහර දී වද හිංසාවන්ට පත් කරන ලද අපරාධ සැකකාරයින් දෙදෙනෙකු ඝාතනය කිරීම මගිනි. ඒ දෙමටගොඩ සිදුවු ඝාතනයක සැකකරුවන් දෙදෙනෙකු කාකදූවේ දී මරා දැමීමෙනි.අලුත්කඩේ අධිකරණය තුළ ගනේමුල්ල සංජීව ඝාතනය කළ පුද්ගලයා ලෙස අත්අඩංගුවට ගත් සමිඳු දිල්ෂාන් පියුමංග කඳනආරච්චි රඳවා ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ය. ත්‍රවැප යනු වහාම අහෝසි කළ යුතු බවට අනුර කුමාර දිසානායක බලයට ඒමට පෙර කියා සිටි මර්දනකාරී පනතකි. ඔහු විසින් කරන ලදැයි කියන අපරාධය ත්‍රස්තවාදී ඝනයට නොවැටේ. නමුත් එම පනත යොදා ගැනීමට ආරක්ෂක අංශ තීරණය කළේ ය.
අද ආණ්ඩුව සංවිධාන 22ක් තහනම් කරමින් නියෝගයක් නිකුත් කළ අතර එයට ” සේව් ද පර්ල්” සංවිදානය දඇතුලත් කර තිබේ. ඒ එයට විරුද්ධව කිසිදු පරීක්ෂණයක් නැතිවය. එම සංවිධානය පාස්කු ප්‍රහාරයට සම්බන්ද බව කීවේ ගෝටාගේ බුද්ධි අංශ ප්‍රධානියා වූ ජෙනරල් සලේය. නීතිඥ හෙජාස් හිස්බුල්ලාට විරුද්ධ නඩුව ජාජබ ආණ්ඩුව ගෙන යන්නේ සලේ ඉදිරිපත් කළ චෝදනා මතය.
මේ පෙර නිමිති පෙන්වන්නේ පැරණි අනීතික ක්‍රියාවන් තවම ඉදිරියට යන බවයි.
පොලිසිය රාජපක්ෂ කුමරුවකු වන යෝශිත රාජපක්ෂ අත්අඩංගුවට ගෙන එන්නේ වායු සමීකරණය කරන ලද වාහනයකය. රාජපක්ෂවරුන්ගේ අපරාධ ගැන නොදන්නා කෙනෙක් නැත. ඒ ද පොලිස් පාර රාජ්‍ය බලපැමය.
නීතියට පිටින්, ව්‍යවස්ථානුකූල භාවිතයන්ට පිටින් ක්‍රියා කරන පොලිස් ජාලයක් මෙරට තිබෙන බව රහසක් නොවේ. මෙම පොලිස් පාර රාජ්‍ය ජාලයේ ක්‍රියාකරුවන් අතර මාධ්‍ය ආයතන මෙන්ම මාධ්‍යවේදීන් ද සිටිති.
අද පකිස්ථානයේ යුද හමුදා පාර රාජ්‍ය සහ බලයේ සිටින ආණ්ඩුව කටයුතු කරන්නේ වෙන වෙනම නමුත් එකටය. පාර රාජ්‍ය එය අපරාධ රාජ්‍ය, රහස් හස්තය හෝ යටිබිම්ගත රාජ්‍ය යනු කුමන නමකින් හැදින්වූවද එහි ක්‍රියාාකරිත්වය අනීතික සහ අවිවෘතය. එය විවිධ ජාලයන්ගේ එකමුතුවක් විය හැකිය. එහි නීතිපතිවරු පමණක් නොව ඇමැතිවරුන්ද සිටිය හැකිය.
“මිනී මරන අයට රටේ කවුරු කතා කළත් මගෙන් ගැලවීමක් නෑ” – රන්මල් කොඩිකුවක්කු
එවැනි එක් මාධ්‍යයක්, වධහිංසා පැමිණවීම සම්බන්ධයෙන් නම් දරා ඇති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කමිටුව විසින් පවා නඩු විභාග කර වධකයකු ලෙස තීරණය කරන ලද නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු විරයකු කරමින් ලිපි පළ කරයි. එය කියන්නේ මෙසේය: “අපරාධ මර්දනය කිරිමට නොහැකි හේතුව මානව හිමිකම් උල්ලංඝනය කිරීම යටතේ පොලිස් නිලධාරීන්ට නඩු පැවරෙන නිසා අපේ පොලිස් නිලධාරීන් අසරණ බවට පත්ව සිටීම ය. “උඹලා වගේ මැර වැඩ කරන, මිනී මරන අයට රටේ කවුරු කතා කළත් මගෙන් ගැලවීමක් නැති බව දැනගනිව්” යන්න රන්මල් කොඩිතුවක්කුගේ ආදර්ශ පාඨය බව එම පුවත්පත වන “දිවයින” කියන්නේ ආඩම්බරයෙනි.
රන්මල් කොඩිකුවක්කුගේ එම අනීතික වධඛ භාවිතය පෙන්වා දීමෙන් පසුව පවා අනුර කුමාර ආණ්ඩුවට ඔහු නව අපරාධ විමර්ශන ඒකකයේ ප්‍රධානත්වයෙන් ඉවත් කිරීමට තරම් බලයක් නැත. ඔහු පමණක් නොව යෝශිත රාජපක්ෂගේ නීතිවේදිනියගේ සැමියා වන උසස් පොලිස් නිලධාරියා ද තවම අනුර කුමාර ආණ්ඩුවේ නව අපරාධ විමර්ශන ඒකකයේ ප්‍රධානියෙකි. පොලිස් දෙපාර්තමේන්තුවේ නව උපදේශකවරයකු ලෙස පත් කර ගෙන ඇත්තේ ද තාජුඩීන් ඝාතනය වසන් කිරීමට උත්සාහ කළ බවට චෝදනා ලද රණවීර නම් පොලිස් අධිකාරීවරයෙකි.
පොලිස් පාර රාජ්‍ය ඒ තරමට බලවත් ය. එය රාජ්‍යය තුල තවත් රාජ්‍යකි. විටෙක රාජයයේ ද මෙම පාර රාජ්‍යයේ ද ක්‍රියාකාරකම් එකට ගමන් කරයි.
දැනටමත් අනුර කුමාර ආණ්ඩුවේ ප්‍රධානීන් මෙම පොලිස් ඝාතන සාධාරණ කර තිබේ.
මේ අනුර කුමාර දිසානයකගේ වචනය. ( 2021 දෙසැම්බර් 03 වැනි සිකුරාදා පාර්ලිමේන්තුවේ පැවති අයවැය විවාදයකදී – සටහන් වෙබ් අඩවියෙනි)
‘අවසාන වශයෙන් මම කියන්නේ පොලීසියේ ඇතිවෙලා තිබෙන මේ සම්ප්‍රදාය හොඳ සම්ප්‍රදායක් නෙවෙයි කියලායි. ඒක එකම නාටකයක් බවට පත් වී තිබෙනවා. අත්අඩංගුවට ගත්ත කෙනෙක් පොලිස් වෙඩි පහරින් මිය යනවා. ආයුධ පෙන්වන්න ගිය තැන තිබුණු ආයුධයක් පෙරලා එල්ල කිරීම හේතුකොටගෙන. මේ එකම නාටකය. සාමාන්‍යයෙන් පොඩි ළඹයින්වත් ඒ අල්ලස සෙල්ලම කරන්නේ නැහැ. තමුන්වාන්සේලාගේ පොලීසිය එහෙම නෙවෙයි. කවුරුහරි අත්අංගුවට ගන්නවා. ආයුධ පෙන්වන්න ඔහු එක්ක යනවා. ඔහු ඒ ආයුධයක් පෙරලා අතට ගන්නවා. පොලිස් නිලධාරීන්ට ඒ ආයුධයෙන් වෙඩි තියන්න උත්සාහ කරනවා. පොලීසියෙන් වෙඩි තැබීමෙන් ඔහු ඝාතනය වෙනවා. මේක කවුද පිළිගන්නේ? ඔබතුමා කියන්න මේක පිළිගත යුතුද කියලා. මා කියන්නේ අපේ රටේ කිසිවෙක් ජීවත් වෙනවාද, නැද්ද කියලා තීරණය කිරීෆම් අයිතිය එහෙම තිබෙන්න බැහැ කියලායි. එතකොට ඔහු මැරෙනවාද ජීවත් වෙනවාද කියලා තීරණය කරන්නේ කවුද? තමුන්නාන්සේද? එහෙම නැත්නම් පොලිස්පතිතුමාද? පොලිස්පතිතුමට මොකක්ද තිබෙන අයිතිය ඒ අපරාධකාරයා ජීවත් වෙනවාද නැද්ද කියලා තීරණය කරන්න?
දේශබන්දුකරණය
දැන් සිදුව ඇත්තේ එවැනි ද සිදුවීමකි. පොලිසිය යළි දේශබන්දුකරණය වීමකි.
මෙම පොලිස් ජාලය එක්තරා අන්දමක අපරාධකාරී ජාලයකි. පාර රාජ්‍යය යනු එක් තැනකින් මෙහෙය වන එක් ප්‍රධානියකු යටතේ මෙහෙය වන එක් ජාලයක් නොවේ. වරක් අපරාධකාරී මත්දුව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක්ම අත්අඩංගුවට ගැණුනි. ජනාධිපති අනුර කුමාර දිසානායකටම අනුව මත්ද්‍රව්‍ය අපරාධ ජාලය ආරක්ෂක අංශ තුල ද ක්‍රියාත්මක වෙයි.
ඊයේ රාත්‍රියෙහි පොලිසිය විසින් ඝාතනය කරන ලද ඝාතනය සම්බන්ධයෙක් පොලිසිය කියන කතාව පරණ තැටියමය.
“පසුව ඊයේ රාත්‍රි කාලයේදී සැකකරුවන් සඟවා තිබූ තවත් අවි ආයුධ පිළිබඳ පොලීසියට ප්‍රකාශ කිරීමෙන් පසු එම ස්ථානය වෙත සැකකරුවන් රැගෙන ගියා. එහිදී සැකකරුවන් විසින් පොලිස් නිලධාරීන්ගේ ගිනිඅවි උදුරාගෙන පොලිස් නිලධාරීන්ට වෙඩිතැබීමට උත්සාහ කර තිබුණා.පොලිස් නිලධාරීන් විසින් ජීවිත ආරක්ෂාව සඳහා එල්ල කරන ලද වෙඩි ප්‍රහාරවලින් සැකකරුවන් දෙදෙනා තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වුණා.”
මෙවැනි කතා ජාතික ජන බලවේගයේ දේශපාලනඥයින් පිළිගන්නේද? බලයට ඒමට කලින් නම් ඔවුන් මෙවැනි කතා පිළිගත්තේ නැත.
දැන් අභියෝගයට ලක් ව ඇත්තේ මානව හිමිකම් ගැන දේශණා දී බලයට පත් ජාතික ජන බලවේගයේ හෘද සාක්ෂියයි. එහි කිසිවකු පක්ෂයේ ගෝඩ් පාදර්ගෙන් නොවිමසා මේ ගැන කටක් නොඅරින බවට කැට තැබිය හැකිය. අගමැතිනි හරනි අමරසූරියගේ මානව හිමිකම් දැක්මට පැලවත්තේ දී අඟුලු දමා තිබේද?
වත්මන් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර අවුරුද්දකට පෙර කීවේ මෙසේය. ( සටහන් වෙබ් අඩවියෙනි)