නීතිය හා අමාත්‍යංශයේ උපදේශකයා ලෙස පත් කරගෙන සිටින විශ්‍රාමික ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.ආර්.එල් රණවීර ගේ පැටිකිරිය පිළිබඳව බොහෝ දෙනා මේ වන විට සුළු සුළු වශයෙන් අනාවරණය කර තිබේ.
ඔහු නීතිය හා සාමය පිළීබඳ නියෝජ්‍ය ඇමති ආනන්ද විජේපාලගේ සරසවි සමයේ සමකාලීන මිතුරකු බව ද කියනු ලැබේ. එකළ සරසවියේ සිටි කිසිවකු ආන්නද විජේපාල ජවිපෙ ක්‍රියාකාරියකු සිටි බවක් නොදනී. ඔහුට මෙම තනතුර දීමේ එකම හේතුව අනුර කුමාර දිසානායක සමඟ ඇති සමීප මිත්‍රත්වයයි.
එහෙත් ජාතික ජන බලවේගයේ නායක සහෝදරයන් ඒ සම්බන්ධව ඇහැක් ඇර බලා නැති බව හෝ තඹ දොයිතුවකට ගණන් ගෙන නැති බව නම් පෙනෙන්නට ඇත.තවමත් නීතිය හා සාමය අමාත්‍යංශයේ කෙරුම්කාරයකු ලෙස පොලිස් දෙපාර්තමේන්තුව තුළ බල ආධිපත්‍යය පතුරවා ගෙන සිටින ටිරාන් අලස්ගේ හිතවතුකු යැයි කියන මේ උපාසක මහත්තයා පොලිස් සේවයේ නිරතව සිටියදී සිදු කරන ලද සාහසික අපරාධ වල ලැයිස්තුව බොහෝ දිගය.
අපට ලැජ්ජයි
මේ අපරාධ ලැයිස්තුව කියවාගෙන යන විට අපට අප ගැන ඇති වන්නේ බරපතල ලැජ්ජාවකි. අපි කොන්දේසි විරහිතව ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිටියේ ඩී.ආර්.එල් .රණවීර වැනි පොලිස් අපරාධකරුවන් ගෙන් දූෂණය වී පවතින නීතියේ ආධිපත්‍යය නැවත මෙරට සමාජය තුළ පිහිටුවීමේ කාර්ය භාරය ඉටු කරනු වස් ජාතික ජන බලවේගය අවංකව හා අව්‍යාජව මැදහත් වනු ඇතැයි යන අහිංසක අපේක්ෂාවෙනි.
එහෙත් මේ වන විට ජාතික ජන බලවේගය ආණ්ඩුව තුළ හුරතල් වන වන අපරාධකාර පොලිස් සාහසිකයන් දකින විට අපට අප ගැන ලැජ්ජා වෙනවා හැරෙන්නට වෙන කරන්නට දෙයක් නැත.
දෙන උපදෙස් මොනවද දන් නෑ
නීතිය හා සාමය අමාත්‍යංශයේ ගරු උපදේශක විශ්‍රාමික ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.එල්.ආර්.රණවීර උපාසක මහත්මයා විසින් එම අමාත්‍යංශයේ ඇමති ආනන්ද විජේපාලට නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගොඩට හා ලේකම් රවි සෙනෙවිරත්නට ලබා දෙන උපදෙස් ගැන සිතන විට අපට අපගේ ජීවිත පිළිබඳවද බියක් දැන් මතු වී තිබේ.ඒ මන්ද යත් රණවීර උපාසක මහත්මයා පොලිස් සේවාව නිරතව සිටියදී සිදු කළ බරපතල අපරාධ ගැන අපට ඉතා හොඳ කියවීමක් තිබෙන නිසාය.
මේ උපාසක මහත්තයා පොලිස් සේවාවට එක්වී උප පොලිස් පරීක්ෂක වරයකු ලෙස 1989 වර්ෂයේ සේවය කර ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයේ වැලිපැන්න පොලීස් ස්ථානයේය.රණවීර උප පොලිස් පරීක්ෂක වරයකු ලෙස සේවයට එක් වන්නේ ඒ දින වල එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල අමාත්‍යවරයකු වූ තම ඥාති බාප්පාගේ උදව් උපකාරයෙනි.මේ ඇමති බාප්පා වෙන කවුරුවත් නොවේ.හිටපු අමාත්‍ය ගාමිණි ලොකුගේය. උප පොලිස් පරීක්ෂක වරයකු ලෙස පුහුණුවෙන් පසු පත්වීම ලබන්නේ කළුතර දිස්ත්‍රික්කයේ වැලිපැන්න පොලීසියටය.
වැලිපැන්න අවට හිටපු ජේවීපීකාරයින්ගෙන් අහන්න!
ජාතික ජන බලවේගය නියෝජනය කරන පැරණි ජවිපේ නායකයන්ට අද වන විට අමතක වූවාට මේ එස් අයි උපාසක මහත්තයාගේ කෙරුවාව ගැන වැලිපැන්න හා ඒ අවට ජීවත්වන පැරණි අයවළුන්ට තවමත් මතකය.වැලිපැන්න පොලීසියේ වධකාගාරය ගැන ඒ මිනිසුන් අදටත් කතා කරන්නේ භීතියෙනි.ඒ තරමටම එස්.අයි.රණවීර උපාසක මහත්මයාගේ කෙරුවාව මතක හිටින කරම්ය.
කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය කල දොස්තර නලින්ද සහෝදර ඇමතිවරයාට හා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සහෝදරයාට අප මේ ලියන සිදුවීම් ගැන ඔිනෑකමින් අමතක කර සිටිනවා නම් මිස අමතක නොවී තිබෙන්නට පුළුවන. ටිල්වින් සහෝදරයා ඒ දින වලදී පොලිස් අත් අඩංගුවට පත් වන්නේද කළුතර නාගස්හන්දියේදී බවද අපට මතකය.
කේ.කේ. සයිමන් සහෝදරයා
1989 වර්ෂය වන විට කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රධාන පෙලේ නායකයකු ලෙස සිටියේ මතුගම වලල්ලාවිට කොට්ඨාශයේ ඉත්තෑපානේ කේ.කේ. සයිමන් සහෝදරයාය.සයිමන් සහෝදරයාගේ පවුලේ තිදෙනෙක් ගැහැණු විය.ඒ අය අතුරෙන් කේ.කේ කරුණාවතීද ජවිපෙ පූර්ණකාලීන සාමාජිකාවක වූවාය.ඇය පක්ෂයට සම්බන්ධ වූයේ 1978 වර්ෂයේදීය.සයිමන් සහෝදරයා 1976 වර්ෂයේදී ජවිපෙ පූර්ණ කාලීන සාමාජිකයකු ලෙස සම්බන්ධව 1989 වර්ෂය වන විට දිස්ත්‍රික් නායකයකු ලෙස පත්ව සිටියේය.මේ දෙදෙනා ගැන පක්ෂයේ ඉහළ පෙලේ නායකයන් දැඩි විශ්වාසයකින් කටයුතු කළ බව තහවුරු වන්නේ එක්තරා සිදුවීමක් නිසාය.
විජේවීරගේ නිවසේ සිටි කලු අක්කා
රෝහණ විජේවීර සහෝදරයා අත් අඩංගුවට පත් වන විට එම නිවසේ ගෘහ සේවිකාවක ලෙස සිටියේ මේ කේ.කේ.කරුණාවතී නොහොත් කලු අක්කාය.කරුණාවතී සහෝදරිය නොහොත් කලු අක්කා විජේවීර සහෝදරයාගේ නිවසට කැඳවාගෙන ගොස් තිබුණේ උපතිස්ස ගමනායක සහෝදරයාය.කරුණාවතී සහෝදරියගේ සහෝදරයා වූ කේ.කේ.සයිමන් සහෝදරයා වැලිපැන්න පොලීසිය මගින් අත් අඩංගුවට ගැණිනි. ඒ අත් අඩංගුවට ගැනීම සිදු කරන ලද්දේ වර්තමානයේ නීතිය හා සාමය අමාත්‍යංශයේ උපදේශක රණවීර උපාසක මහත්මයාය.
වැලිපැන්න පොලීසියේ මස් කඩය තුළ කේ.කේ සයිමන් සහෝදරයාට මෙලෙච්ඡ වද හිංසා කෙරුවද ඔහුගෙන් කිසිදු තොරතුරක් ලබා ගත හැකි නොවීය.අනතුරුව සයිමන් සහෝදරයාට වෙඩි තබා ඝාතනය කරන ලද්දේ අත් අඩංගුවෙන් මිදී ප්‍රති ප්‍රහාරයක් එල්ල කිරිමේ නාටක පිටපත රඟ දක්වමිනි.
ඊට වගකිව යුත්තේ කව්රුන්දැයි ප්‍රදේශයේ ජවිපෙ සාමාජික සාමාජිකාවන් දනිති. අවශ්‍ය නම් ඔවුන් පැලවත්තට කැඳවා අසා ගත හැකිය.
පක්ෂයේ ඉහළ පෙලේ නායක සහෝදරයකු සාහසික ආකාරයට ඝාතනය කළබවට චෝදනා ලබන අයකු තමන්ගේ උපදේශකයකු ලෙස තබා ගත හැකි ආණ්ඩුවක් යනු කුමක්ද? එවැනි අපරාධ සාධාරණ කරන ආණ්ඩුවක්ද?
නීතිය හා සාමය අමාත්‍යංශයේ ඇමති විජේපාල උන්දෑට විලි ලැජ්ජාවක් දැනෙන්නේ නැති වන්නට පුළුවන.එහෙත් ඔර්ජිනල් ජේවීපී කාරයෙක් වන සුනිල් වටගල නියෝජ්‍ය ඇමති සහෝදරයාට හිරිකිතයක් නොදැනෙන්නේ නම් එය ඉතා බරපතලය. එය එසේ වන්නේනම් ලැජ්ජා නහර කපා ගත යුත්තේ අපය.ඒ අප විසින් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් පිහිටුවීම සදහා දැක්වූ ප්‍රකාශන පක්ෂපාතිත්වය ගැන මේ වන විටත් අපගේ පාඨකයන් දක්වන අතිශයය නින්දා සහගත ප්‍රතිචාරයන් නිසාය.
ප්‍රියංකර විජේමුනි හා පූජ්‍ය දොඩංගොඩ ධම්මානන්ද
මර්දන කෙරුවාව එම ඝාතනයට සීමා වූයේද නැත. කළුතර ජවිපෙ ශිෂ්‍ය ක්‍රියාකාරිකයකු වූ 84/85 වානිජ හා කළමණාකරන පීඨයේ ප්‍රියංකර විජේමුනි හා 86/87 ශාස්ත්‍ර පීඨයේ පූජ්‍ය දොඩංගොඩ ධම්මානන්ද පැහැර ගෙන ගොස් ඝාතනය කරන ලද්දේ එපරිද්දෙනි.
ඒ දිනවල වැලිපැන්න ප්‍රදේශයේ පෞද්ගලික කෝන්තර සදහා විරුද්ධවාදීන් ඝාතනය කිරීමේ කොන්ත්‍රාත් බාර ගත්තේද අහවලා බව පවසන බොහෝ සාක්ෂි ඕනෑ තරම් වේ. ඒ දිනවල කළුතර පොලිස් බල ප්‍රදේශයේ තෙබුවන පොලීසියේ ස්ථානාධිපති වරයා වූයේ වර්තමානයේ මනුෂ්‍ය ඝාතනයකට දඬුවම් විඳින මිනීමරු ගනේන්ද්‍ර වාස් ගුණවර්ධනය.
වාස් ගුණවර්ධනත් රණවීරත් ජවිපේ සාමාජිකයන් මර්දනය කෙරුවේ තරඟයට බව තතු දන්නෝ පවසති. වාස් ගුණවර්ධන හිරේය. රණවීර ආණ්ඩුවේය.
සිත් පිත් නැති අළුගෝසුවන් පිළිබඳව නොදන්නේ කව්ද?
සුසසන්තගේ කතාව
පසුකාලයක ඩී.ඩී එල්.රණවීර කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂ වරයා ලෙස පත් වීමෙන් පසුවද සිදු කරන ලද අනීතික ක්‍රියාවක් ගැන වාර්තා වී තිබේ. 2012 දෙසැම්බර් 26 දින බියගම විලේජ් නම් නිවාඩු නිකේතනයේ හිමිකරු වූ බර්නාඩ් ජයරත්න මන්නා පිහියකින් කපා ඝාතනය කෙරිණි.මෙම ඝාතනයට සැක කරුවකු ලෙස කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගන්නා ලද්දේ එහි මුරකරුවකු ලෙස කටයුතු කළ සුසන්ත නම් තරුණයෙකි.මේ තරුණයා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ දින 90 ක් රඳවා ගනිමින් එම ඝාතනයේ වගකීම බාරගන්නා ලෙසට ඒ තරුණයාට වද දී තිබුණි.
එහිදී සොයාගත් එල්ටීටීයට අයත් බෝමිබ හා වෙඩි උණ්ඩද අත්අඩංගුවට ගත් සුසන්තගේ බවට වාර්තා කිරීම සැලසුම විය.එහෙත් මේ මිනීමැරුම පිළිබඳව පොලිස් පරීක්ෂණ පොලිස් පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දීමෙන් පසුව බියගම විලේජ් හිමිකරු ඝාතනය කර ඇත්තේ ඔහුගේ පුත්‍රයා බව හෙළි ව්ය.
ඉන් අනතුරුව කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත් අඩංගුවට ගෙන සිටි තරුණයා මුදා හරින ලදී. එහිදී එල්ටීටියට අයත් බෝමිබ මිනිස් ඝාතනයට සම්බන්ධ සැකකරු වෙත ලබා දුන් සහකාර පොලිස් අධිකාරී පී.වීරසිංහ හා පොලිස් පරීක්ෂක ආනන්ද අත් අඩංගුවට ගැණිනි.මේ සත්‍යය යටපත් කරන ලද්දේ මහින්ද රාජපක්ෂ පවුලේ බලපෑමට බව පසුව චෝදනා එල්ල වීය.
ගෝටා දුන් පත්වීම
රාජපක්ෂ පවුලේ හිතවතකු වූ ඩී.ඩී.එල්.රණවීර ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ නියෝගයෙන් පසු කාලයකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වරයා ලෙස පත් කෙරිණි. යහපාලන ජනපතිවරණය කාලයේ එනම් 2015 ජනවාරි 13 වන දින එජාප මූලස්ථානය වූ පිටකෝට්ටේ සිරිකොත කාර්යාලයට උසාවි නියෝගයක් මත ඇතුළු වීමට උත්සාහ කෙරුවේද මේ රණවීර උපාසක මහත්මයාය.මංගල සමරවීර විසින් රචිත පවුල් ගස නම් නීති විරෝධී කෘතියක් මුද්‍රණය කරන බව පවසමින් රණවීර උපාසක මහත්මයා ස්ථාන නවයකට ඇතුළුවීම සදහා අධිකරණ නියෝග ගෙන තිබුුුණි.මෙම අධිකරණ නියෝග ලබා ගැනීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වරයා ලෙස රණවීර උපාසක මහත්මයා පෞද්ගලිකවම මහේස්ත්‍රාත්වරයා හමුවී තිබුණි. එදින අධිකරණ නිවාඩු දින බැවින් එම නියෝග ලබා ගෙන තිබුණේ මහේස්ත්‍රාත්වරයාගේ නිවසේදීය.
මේ අපූරු මහෙස්ත්‍රාත්වරයා වෙන කවුරුත් නොවේ.තිලිණ ගමගේ නොහොත් අලි හොරකමට චෝදනා ලද අයයි. කෙසේ වෙතත් අධිකරණ නියෝග නොතකා එජාප පාක්ෂිකයන් රණවීර උපාසක මහත්මයාට සිරිකොත කාර්යාලයට ඇතුළු වීමට ඉඩ ලබා දුන්නේ නැත. රාජපක්ෂ වරුන්ගේ අවශ්‍යතාවය සඳහා රණවීර උපාසක මහත්මයා ලබා ගන්නා ලද එම අධිකරණ නියෝග පොලිස් ඉතිහාසයේ පලමුවරට ඡ්‍යෙෂ්‍ඨ පොලිස් අධිකාරීවරයකු විසින් අධිකරණයේ පෙනිි සිට ලබා ගත් අධිකරණ නියෝග ලෙස වාර්තා වී තිබේ.
පවුල් ගස අත්අඩංගුවට
ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතනය කරන ලද්දේ මොහු විසින් අත් අඩංගුවට ගැනීමට ගිය පවුල් ගස කෘතිය රචනා කරන ලද බවට චෝදනාවක්ද වේ. කෙසේවෙතත් ඒ දින වල රාජගිරියේ පිහිටි මංඟල සමරවීරගේ දේශපාලන කාර්යාලයේ ප්‍රගීත් එක්නැලිගොඩ සේවය කරමින් සිටියේය.
තාජුඩින් ඝාතන පරීක්ෂණ අවුල් කිරීම පිළිබඳවද ඩී.ඩී.එල් රණවීර උපාසක මහත්මයාට එරෙහිව අධිකරණය කරුණු වාර්තා වී තිබේ.වැලිවේරිය වෙඩි තැබීමෙන් සිදු වූ මිනිස් ඝාතන පරීක්ෂණද මොහු යටපත් කර ඇති බව සඳහන්ය.
එපමනක්ද නොවේ කෝවිඩ් සමයේදී මහර බන්ධනාගාරයෙ තුළ වෙඩි තැබීමෙන් සිදු කරන ලද මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් සෙවීමට හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කළ කමිටුවේද රණවීර උපාසක මහත්මයා සිටී.මේ කමිටුවේ සභාපති ලෙස කටයුතු කෙරුවේ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධනය.
මෙම මනුෂ්‍ය ඝාතනය පිළිබඳ නඩුව පසුගියදා විභාගයට ගත් අවස්තාවේ නීතිපතිවරයා විසින් වසා දැමීමට මහේස්ත්‍රාත්වරයාට නියෝග කරන ලදී.රණවීර උපාසක මහත්මයා හට කවරකු හෝ නීතිය හා සාමය අමාත්‍යංශයේ උපදේශක තනතුර ලබා දී ඇත්තේ රාජපක්ෂ වරුන්ගේ කිළිටි රෙදි සෝදා පිරිසිදු කිරීමටද යන ප්‍රශ්නය ඇසීමට අපට අයිතියක් තිබේ.
දැන් අපට ජාජබයේ නායක සහෝදරවරුන් ගෙන් අසන්නට තියෙන්නේ රණවීර උපාසක මහත්මයාගේ පොලිස් කෙරුවාව ගැන යන්තමට හෝ කෝපයක් හිරිකිතයක් ලැජ්ජාවක් දැනෙන්නේ නැද්ද කියාය.අඩුම ගණනේ පක්ෂය වෙනුවෙන් වද වේදනා විඳිමින් සිය ජීවිතය පූජා කළ කේ.කේ සයිමන් සහෝදරයා ගැනවත් සිහි වන්නේ නැද්ද යන්නය.
කෙසේවෙතත් මේ වන විට පොලිස් ස්ථාන මාරුවීම් සියල්ල සිදු කරන්නේ උපදේශක රණවීරගේ මැදිහත් වීමෙන් බව පොලිස් දෙපාර්තමේන්තුවට රහසක් නැත.පොලිස් කොමිසම වෙතින්ද ඔහු හට ඒ සදහා ලැබෙන සහයෝගයද ඉතා ප්‍රබලය.
මේ මැදිහත්වීම් වල ප්‍රතිඵලය වී ඇත්තේ ජාතික ජන බලවේගයට සහයෝගය දැක්වූ පොලීසියේ ලොක්කන්ට පොඩ්ඩන්ට යන එන මං නැති වීමය.
තවමත් පොලිස් දෙපාර්තමේන්තුවේ පරිපාලනයේ බල අධිකාරිත්වය රැඳී ඇත්තේ අන්ත දූෂිතයන් අතය. මෙවැනි දූෂිතයන් පෙර පැවැති ආකාරයටම නීතිය නවමින් සිටින්නේ නීතිය හා සාමය අමාත්‍යංශයේ උපදේශක රණවීරගේ හා පොලිස් කොමිෂමේ ආධාර අනුබලය යටතේ නෙවේද?
නීතිය හා සාමය ඇමති ආනන්ද විජේපාල හා නියෝජ්‍ය ඇමති සුනිල් වටගල මේ සියල්ල හොඳින් දනී.එහෙත් ඔවුන් දෙදෙනා නිහඬය.
මේ වන විට දකුණු පලාතේ ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පවා පත් කරන ලද්දේ සාගල රත්නායකගේ මැදිහත් වීමෙන් බව අනාවරණය වී තිබේ.
නීතිය හා සාමය අමාත්‍යංශය තුළ බල ආධිපත්‍ය පතුරවාගෙන සිටින මේ දෙබිඩ්ඩන් තවදුරටත් සේවයේ තබා ගෙන සිටින්නේ ජනපති අනුර කුමාර සහෝදරයාගේ අවශ්‍යතාවට බවටද කතා බහක් නිර්මණය වෙමින් තිබේ.එය එසේ වන්නේ නම් ජාතික ජන බලවේගය කෙරෙහි විශ්වාසය තැබූ ජනතාව ගැන අපට ඇතිවන්නේ බරපතල කණගාටුවකි.
දුකකි.වේදනාවකි.
එහෙත් තව කාරණයක් ජාතික ජන බලවේගයේ නායකයන් වෙත සිහිපත් කළ යුතුය.හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ ධුරයෙන් එලවා දමන විට ඔහු ආරක්ෂා කර ගැනීම සදහා පොලීසියේ හා ආරක්ෂක හමුදාවල බොහෝ දෙනෙකු සිටි බව අපට මතකය.එහෙත් ජාතික ජන බලවේගයට වැරදුනහොත් එහි නායකයන් ආරක්ෂා කිරීමට බල්ලෙක් තබා කිනිතුල්ලෙක්වත් නැතිවන බව නම් ලියා තැබිය යුතුමය.ජාතික ජන බලවේගය ආණ්ඩුව බලයට පත් වූ දින වල බියෙන් සලිතව සිටි රාජ්‍යය හසුරවමින් සිටි තක්කඩි දූෂිතයන් දැන් දැන් පණ ගසමින් අඩව් අල්ලමින් සිටින්නේ තමන්ගේ ආරක්ෂාව සහතික වී ඇති බවට තහවුරු වී ඇති නිසාය. ගෙවී ගිය මාස දෙක තුනක් තුළ මේ දූෂිතයන් හැඩි දැඩි වී ඇත්තේ යම් සේද තව මාස දොළහක් ගෙවී යන විටදී මොවුන් රැළ මීටත් වඩා ශක්තිමත් සමාජමය බලපෑම් කණ්ඩායමක් වන බව නම් නිසැකය.
ලොකු කුමා විසිනි