ස්වාධීන අභිචෝදක කාර්යාල පනත කෙටුම්පත් කමිටුව පුළුල් කරන්න – තරුණ ජනමාධ්‍යවේදියෝ
නඩු පැවරීමේ ක්‍රියාවලිය සඳහා ස්ථාපිත කිරීමට යෝජිත ස්වාධීන අභිචෝදක කාර්යාලයේ මූලික සැකැස්ම තීරණය කිරීම සඳහා පත් කරන කමුටුවේ සංයුතිය වෙනස් කරන ලෙස ඉල්ලමින් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය අද අධිකරණ අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කළේය.
දැනට යෝජිත කමිටු ව්‍යූහය අනුව සාමාජිකයන් බහුතරයක් නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු කරන හෝ කළ නිලධාරීන් වන බවත්, එම නිසා මහජන විශ්වාසය ඇතිවන පරිදි කමිටුවේ සංයුතිය පුළුල් කිරීම සුදුසු බවත් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය යෝජනා කරයි.
මෙම කමිටුව පිළිබඳ අදහස් දක්වන දේශපාලන අංශ පවසන්නේ මෙවැනි පනතක් සකස් කිරිමට විපක්ෂ නායකවරයාගේ නියෝජිතයකුද සම්බන්ධ කර ගත්තේ නම් වැදගත් බවය. මන්ද යත් මෙවැනි ස්වාධීන අභියෝජක කාර්යාලයක් පිහිටුවීමට ප්‍රධන විපක්ෂය වන සමගි ජන බලවේගයද පොරොන්දු වී ඇති බැවිනි.
කමිටුවේ සභාපති ලෙස නීතිය පිළිබඳ මහාචාර්යවරයකු පත්කිරීම සුදුසු බව ද තරුණ ජනමාධ්‍යවේදී සංගමය යෝජනා කර තිබේ. මෙම කරුණු දක්වමින් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය යොමු කළ ලිපිය පහත දැක්වේ.
නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා,
අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය,
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය,
නො.19, ශ්‍රී සංඝරාජ මාවත,
කොළඹ 10.
අමාත්‍යතුමනි,
ස්වාධීන අභිචෝදක කාර්යාලයක් ස්ථාපිත කිරීම
සන්ඩේලීඩර් පුවත්පතේ කර්තෘ නීතිඥ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වන 92/2009 දරණ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවේ සාක්කි වසං කිරීමේ සිද්ධියේ සැකකරුවන් තිදෙනකුට නීති මගින් කටයුතු නොකිරීමට නීතිපතිවරයා තීරණය කිරීමත් සමග එම දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුවිය. රජයේ නීති උපදේශකයාම නඩු පැවරීම නිසා ඇතිවන ‘ලබැඳියාවන් අතර ගැටුම’ ගැන ඒ සම්බන්ධයෙන් ඇතිවූ සමාජ කතාබහේදී අපි පෙන්වා දුන්නෙමු.
ඒ අනුව මතුව ආ විරෝධයත් සමග ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ද සඳහන් පරිදි ස්වාධීන අභියෝචක කාර්යාලයක් පිහිටුවීමේ යෝජනාව ඉදිරියට ගෙන යෑම සඳහා රජය ගත් තීරණය සම්බන්ධයෙන් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ලෙස අපි ස්තුතිවන්ත වෙමු.
ස්වාධීන අභිචෝදක කාර්යාලයක් ස්ථාපිත කිරීම සඳහා වන මූලික සැකැස්ම සකස් කිරීම සඳහා විද්වත් කමිටුවක් පත් කරන බව ඔබ අමත්‍යංශය ඊයේ (11) දිනයේ නිවේදනය කළේය. එම යෝජිත කමිටුව සමතුලිතතාවක් නැති කමිටුවක්වන බව බැලූ බල්මට පෙනේ. නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයන් දෙදෙනකු එහි සිටින අතර එහි තවත් සාමාජිකයකු ලෙස නම් කර තිබෙන අධිකරණ අමාත්‍යංශයේ ලේකම් ද නීතිපති දෙපාර්තමේන්තුවේ දීර්ඝ කාලයක් සේවය කළ නිලධාරිනියකි. එසේ හෙයින් බැලූ බැල්මට එම කමිටුව අසමතුලිත කමිටුවකි. එසේ හෙයින් අදාල කමිටුව පත් කිරීමේදී පහත සඳහන් යෝජනා ද සලකා බලමින් ස්වාධීන සහ සමතුලිත සංයුතියකින් යුත් කමිටුවක් පත් කරන ලෙස ඉල්ලාසිටිමු.
1) කමිටුවේ සභාපතිවරයා වශයෙන් නීතිය ගැන මනා දැනුමක් ඇති විශ්ව විද්‍යාල මහාචාර්යවරයෙක් පත්කිරීම වඩාත් සුදුසුවේ.
2) නීතිපතිවරා හෝ නීතිපතිවරයා විසින් නම් කරන නීතිපති දෙපාර්තමේන්තුවේ එක් නිලධාරියෙක්.
3) අධිකරණ අමාත්‍යංශ ලේකම්
4) නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ නියෝජිතයෙක්
5) ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් යෝජනා කරන නීතිඥවරයෙක්
6) ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් යෝජනා නොකරන එහෙත් අපරාධ නඩු සම්බන්ධයෙන් ප්‍රාමාණික දැනුමක් ඇති නීතිඥවරයෙක්
7) රාජ්‍ය සේවය ගැන පුළුල් දැනුමක් ඇති ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙක්
8) උක්ත විෂය සම්බන්ධයෙන් ප්‍රාමාණික දැනුමක් ඇති මහේස්ත්‍රාත් නිලයේ සිට ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා ගිය ජ්‍යෙෂ්ඨ විනිසුරුවරයෙක්
9) මහාධිකරණ විනිසුරුවරයෙක්
10) මේ සම්බන්ධයෙන් දැනුමක් සහ උනන්දුවක් ඇති සිවිල් ක්‍රියාකාරිකයෙක්
මෙවැනි ස්වාධීන සහ සමතුලිත කමිටුවක් පත්කිරීමේදී මීට සම්බන්ධ සහ මැදිහත් වන පාර්ශ්ව සමග සාකච්ඡා කිරීම සහ ඔවුන්ගේ යෝජනා විමසීම කමිටුවේ විනිවිදභාවය සහ ස්ථාවර බව සඳහා වැදගත් වන බවත් අපි වැඩිදුරටත් යෝජනා කරමු.
ස්තුතියි.
තරිඳු ජයවර්ධන – සභාපති
එම් එෆ් එම් ෆසීර් – ලේකම්
තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය
ඊමේල් – [email protected]