(Sri Lanka Brief/13.12.2024) කුමන තරාතිරමක කෙනෙක් වුවත් වරදක් කර ඇත්නම් ඊට අදාළ ක්‍රියාමාර්ග ගන්නවා බවත්, ජාතික ජන බලවෙගයේ ආණ්ඩුව පිළිබඳව ජනතාව තැබූ විශ්වාසය කුමණ ආකාරයකින් හෝ පළුදුවීමට ඉඩ නොතබන බවත්, ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කරයි.
ජනාධිපති මේ බව අවධාරණය කර ඇත්තේ රජයේ මාධ්‍ය ප්‍රධානීන් හමුව අද (13) උදෑසන පැවැත් වූ අවස්ථාවේදීය.
එහිදී වැඩිදුරටත් ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කර ඇත්තේ,
“දශක හතකට වැඩි කාලයක් තිස්සේ මේ රටේ ජනතාව විවිධ ආණ්ඩු බිහිකළා. විවිධ ආණ්ඩු පෙරළුවා.
ඉතිහාසයේ පළමුවෙනි වතාවට මෙවර මේ රටේ ජනතාව අවස්ථා දෙකකදී අපට සහ ජාතික ජන බලවේගයට ලබා දුන් ඓතිහාසික ජන වරමේ අර්ථය සහ හරය කුමක්ද කියන එක සම්බන්ධව අපට පුළුල් දැඩි කියවීමක් තියෙනවා.
ප්‍රමිතිගත සහ ස්ථාවර රටක් නිර්මාණය කරනු ඇතැයි යන විශ්වාසය ඇතිව මේ රටේ ජනතාව ජාතික ජන බලවේගයේ ආණ්ඩුව බිහිකළා.
ඒ සුවිශේෂී විශ්වාසයට අබමල් රේණුවකින් හෝ හානියක් වන්නට අපේ ආණ්ඩුව කිසිවිටකත් ඉඩක් තබන්නේ නැහැ.
ඉතාම කෙටියෙන් කිවහොත්,
රට තුළ වැරදි කරන කිසිවෙකු, කිසිම හේතුවකට ආරක්ෂා කිරීමට අපේ ආණ්ඩුව සූදානම් නැහැ. රට තුළ පමණක් නෙවෙයි, අපේ ආණ්ඩුව තුළ කවර තරාතිරමක කෙනෙක් වුනත් වැරැද්දක් කරනවානම් ඒ වැරැද්දට එරෙහිව ක්රියාමාර්ගන්න අපි පැකිළෙන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගතයුතු නිවැරදිම මොහොතේ ගැනීමට අප දෙවරක් කල්පනා කරන්නේ නැහැ.”
දශක 07ක් තිස්සේ රැවටීමට ලක් වූ ජනතාව අප කෙරෙහි තබා තිබෙන විශ්වාසය නොකඩවා සුරක්ෂිතව කිරීමට සහ මේ රට වඩා යහපත් රටක් කිරීමට අප කොන්දේසි විරහිතව කැපවෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.
මෙම හමුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් හර්ෂ බණ්ඩාර ඇතුළු රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් පැවති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
(Lanka Truth.)